ගුරු වෘත්ති­යයි අධ්‍යා­ප­න­යයි සම­බ­රව කර­ගෙන යෑම මගේ බලා­පො­රො­ත්තු­වයි | සිළුමිණ

ගුරු වෘත්ති­යයි අධ්‍යා­ප­න­යයි සම­බ­රව කර­ගෙන යෑම මගේ බලා­පො­රො­ත්තු­වයි

 

ඔබට මතක නම් 2014 පැවති දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් 5 තරගාවලිය. එම තරගාවලියේ අවසන් 13 දෙනා අතර දක්වා එන්නට හැකියාව ලැබුණු චතුරිකා නිර්මාණිව අමතක වෙන්නට බැහැ. ඇය මේ වෙද්දී සංගීත ගුරුවරියක් විදියට සිය වෘත්තීය ජීවිතය පටන් අරන් ඉන්නේ. ඒ අතරතුර සිය ගායන හැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් නිර්මාණ කරන අතරේ "අරුමැති කටහඬ" කටහඬ පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගිය දා එළිදක්වා තිබුණා.

 

ඒ නිසාම දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරු මාවතේ ආ ගමන් මඟ සේම එතැනින් පස්සේ ජිවිතේ තොරතුරු ගැන සහ මේ “අරුමැති කටහඬ” ගැනත් අපි චතුරිකා එක්ක කතා කළා.

 

අපි මතක් කරමු 2014 දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් පටන් ගත් ගමන ගැන

අද වෙද්දී ඒ සියල්ල ජිවිතේ සොඳුරු මතක බවට පත්වෙලා තියෙනවා. ලොකු අත්දැකීමක් ලැබුවා දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තුළින්. ඇත්තටම සතුටු වෙනවා එදා ඒ තරම් දුරක් එන්න ලැබීම ගැන.

එතැනින් පස්සේ ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායිකාවක් විදියට තේරුණා. මගේම කියලා මේ වෙද්දී ගීත 10ක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් අසංග රුවන් සාගර ලියලා අරුණ ගුණවර්ධන අයියා සංගීතවත් කරපු මේඝ දූතය සහ හර්ෂණ දිසානායක සංගීතවත් කරපු ඉර ගිරවුන්ට කියන ගීත වලට හොඳ ප්‍රතිචාර ලැබුණා.

 

පොඩි කාලේ ඉඳන් ආස කළේ ගායිකාවක් වෙන්නද?

එහෙම ආසාවක් තිබ්බා. මොකද මම ගායනා කරනවා අහන හැමෝම මට කිව්වා කවදා හරි ගායිකාවක් වෙන්න පුළුවන්; දිගටම සංගීතය හදාරන්න කියලා. ඉතින් ඒ දේවල් ඇහෙද්දී ඇහෙද්දී ඒක මගේ යටි හිතේ තිබුණා කවදා හරි ගායිකාවක් වෙනව කියලා.

පවුල් පසුබිම තුළ කලාවට සම්බන්ධකමක් තියෙනවාද?

එහෙම ප්‍රසිද්ධ කවුරුත් අපේ පවුලේ නැහැ. නමුත් මගේ අම්මාට හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒ හැකියාව වෙන්න ඕනේ මටත් ලැබිලා තියෙන්නේ.

 

අපි පාසල් අධ්‍යාපනය ගැන මතක් කළොත්

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ. ඊට පස්සේ 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා.

චතුරිකා දැන් වෘත්තියෙන් ගුරුවරියක්

ඔව්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය මහා විද්‍යාලයේ සංගීත ගුරුවරිය විදියට සේවය කරන්නේ. බොහොම දුෂ්කර පාසලක්. දක්ෂ ළමයි ඉන්නවා. ඒ අය කවදාවත් කලාප තරගයකටවත් ගිහින් තිබ්බේ නැහැ. ඉතින් මට පුළුවන් වුණා ඒ දරුවන්ගේ හැකියාවන් දියුණු කරලා සමස්ත ලංකා තරගයක් දක්වා අරගෙන යන්න.

 

මේ වෙද්දී ඔබ "අරුමැති කටහඬ" කටහඬ පිළිබඳ පර්‍යේෂණාත්මක ග්‍රන්ථයක් එළිදක්වා තියෙනවා

මේක මගේ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි නිබන්ධනයට කරපු පර්යේෂණය ඇසුරෙන් තමා නිර්මාණය කරේ. මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ කටහඬ ගැන. ඒක කරන්න විශේෂ හේතුවක් වුණේ මුලින්ම මට දැනුම ලබා ගන්න.

ඒ එක්කම මට මේක පොතක් විදියට එළිදක්වන්න හිතුණේ මම ගුරුවරියක් විදියට වැඩ කරන්න පටන් ගත්තම මම දැක්කා ළමයි ගායනයට ආස කළත් කටහඬ සම්බන්ධයෙන් තියෙන දැනුම අඩුයි. කටහඬ හරියාකාරයෙන් භාවිත නොකරන නිසා කටහඬට හානි වුණු ගුරුවරු පවා මට මුණගැහුණා.

ඒ නිසා හැමෝටම වැදගත් වන නිසා මට හිතුණා පර්යේෂණාත්මක ව මම සොයා ගත් මේ කරුණු සියල්ල එකතු කරලා පොතක් එළිදක්වන්න. මේ පොත ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට පමණක් නෙවෙයි නිවේදක නිවේදිකාවන්ට රංගන ශිල්පීන්ට ශිල්පිණියන්ට වගේම දරුවන් එක්ක නිරන්තරයෙන් ඉන්න ගුරුවරුන්ට පවා වැදගත් වෙන විදියට තමා සකස් කරලා තියෙන්නේ

 

චතුරිකා විවාහ වෙන්නෙත් සිනමා අධ්‍යක්ෂවරයෙක් එක්ක

මගේ සැමියා චත්‍ර වීරමන්. ඔහු මට මුණගැහෙන්නේ විශ්වවිද්‍යාල කාලයේදී. මිලින්ද තෙන්නකෝන් තමා චත්‍රගේ නිර්මාණවල සංගීත අධ්‍යක්ෂවරයා. මිලින්ද කියන්නේ අපේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක්.

ඉතින් ඔහුගේ නිර්මාණ කටයුත්තකට ගිය වෙලාවක තමා මට චත්‍රව මුලින්ම මුණ ගැහෙන්නේ. ඊට පස්සේ යාළුවො විදියට කාලයක් ඉඳලා පෙම්වතුන් බවට පත්වෙලා අද වෙද්දී විවාහ වෙලා දැන් පුංචි දෝණි කෙනෙක්ගේ ආදරණීය මවුපියන් වෙලා ඉන්නවා.

 

ඉදිරියේදී ඔබේ හඬ චිත්‍රපට පසුබිම් ගායනයෙන් පවා ඇහෙනවනේ, අපි ඒ ගැනත් කියමු

ළඟදීම තිරගත වෙන්නට නියමිත චත්‍ර කරපු ආයු චිත්‍රපටයේ එන එක ගීතයක් මම ගායනා කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ අවස්ථාව ලැබුණේ චත්‍රගේ නිර්මාණය නිසා නෙවෙයි.

ආයු හි සංගීත අධ්‍යක්ෂණය කළ මිලින්ද තෙන්නකෝන් යෝජනා කරා ඒ ගීතයට මාව සුදුසුයි කියලා. ඒත් චිත්‍රපටයේ ඒ ගීතය මට ලැබෙන්නේ එහි හඬ පරික්ෂණයට සහභාගී වෙන්න කියලා මගේ හඬ ඒ සඳහා සුදුසුද කියලා බලලා. ඉතින් ඒ නිර්මාණය තිරගත වෙද්දී ඒ ගීතය තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ට මගේ හඬ අහන්න ලැබෙයි.

 

ඊට අමතරව චතුරිකාගේ කටයුතු මොනවද?

සංගීතය පැත්තෙන් ගත්තම මම නදීක ගුරුගේ මහතාගේ සංගීත ඇකඩමි එකේ බාහිර උපදේශකවරියක් විදියට වැඩ කරනවා. ඒ එක්කම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ දැන් අවුරුදු කිහිපයක් තිස්සේ පසුබිම් ගායිකාවක් විදියට වැඩ කරනවා.

 

ඉදිරි අරමුණු මොනවද?

හොඳ නිර්මාණ එකතුවකින් මිනිස්සු අතරට යන්න කැමැත්තක් තියෙනවා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතු තව දුරටත් ඉදිරියට කරමින් පර්යේෂණ කටයතු වල නියැළෙමින් මගේ සේවය මතු පරම්පරාවට ලබා දෙන්න තමා අරමුණ.

පෞද්ගලික ජිවිත පැත්තෙන් ගත්තම චත්‍රයි පුංචි දෝණියි එක්ක සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන එක තමා බලාපොරොත්තුව.

Comments