කාලහෝරාවට පොහොර නිපදවන හැටි | සිළුමිණ

කාලහෝරාවට පොහොර නිපදවන හැටි

 

හෙළ ගොවිකම - හෙළ වෙදකම - හෙළ වාරිකර්මාන්තය අපට ම ආවේණික වුණු ශ්‍රී ලාංකීය අභිමානයන්ය. පාරම්පරික උරුමයන් ඔස්සේ ඉර - හඳ අනුව ජීවන රටාව හැඩ ගසා ගැන්මට ඔවුන් කටයුතු කෙළේ අදින් වසර දහස් ගණනකට පෙර සිටය.

 

ඔවුන් පොහොර සාදා ගැනීමටද නියමිත කාල හෝරා භාවිත කරන්නට විය. අමාවක පෝය ගෙවී දින 3ක් ගිය තැන මඩපොහොර සකස් කිරීම ආරම්භ කරන ලදී.

ඒ අනුව අක්කරයක භූමි ප්‍රමාණයකට ඔවුන් නිසි පරිදි පොහොර සකසා ගන්නා ලදී.

ශ්‍රී ලංකාවට ආවේණික ගවයන්ගේ අමුගොම කිලෝ 10, හොඳින් ඉදුණු වැල, වරකා, කෙසෙල් කිලෝ 3ක ප්‍රමාණයක් එක්කර හෝ දුඹුරු සීනි කිලෝ 2ක්, ගිනිසීරියා කොළ අහුරු 25ක් හෝ30 පමණ වෙනත් බාහිර දේ මිශ්‍ර නොවූ කළු පස් තාච්චි 25ක් පමණ ළිංවතුර හෝ ඇළ දොළක (රසායන හෝ ක්ලෝරින් මිශ්‍ර නොවූ) ජලය යොදා ගන්නා ලදී.

ලොකු බැරල් එකකට මේ සියලු ද්‍රව්‍ය එකට එකතු කරන ලදී. එම බඳුන වසන්නේ නැත. කාලයකට පෙර නම් බිම වළක් හාරා එතුළම ආවරණයක් බිමට එළා වතුර බැස නොයන ආකාරයට සාදාගන්නා ලදී. වැසි ජලය - පින්න නොවැටෙන සේ මෙම බඳුන උඩට ආවරණයක් ඇති තැනක තබන ලදී.

දිනකට දෙවරක් උදේ - සවස (තද ලීයක ආධාරයෙන්) මෙම මිශ්‍රණය කලවම් කරන ලදී. මෙසේ දින 7ක් කලවම් කළ පසුව එය පණුවන්ට තෝතැන්නක් වන මෙම මිශ්‍රණය පසුව වී ගොයම් ඇතුළු ඕනෑම කෙටිකාලීන බෝගයක් සඳහා භාවිතා කළ හැකිය.

දින 7කට පසුව දින 14ක් පුරාවට මෙම මිශ්‍රණය දින 2කට වරක් වගාවට එකතු කළ හැකිය. පසෙහි ඇති සංයුතිය වෙනස් කරන බලයක් අමාවකට පසු පසළොස්වක දක්වා ඇති කාලයේ පස් හා ශාක කඳන් ලිහිල් වන ස්වාභාවික ක්‍රියාවලිය හේතුවෙන් සාර්ථක ක්ෂුද්‍ර ජීවීන්ද මේ තුළ හටගනී.

තවද හඳ මෝරන්නට දින 2 1/2කට පෙර පසළොස්වක පෝයට දින 3කට පෙර දින රාත්‍රියේ මෙම සකස් කළ මිශ්‍රණය (අතිරේක ඝන පොහොර සාදා ගැනීමට අවශ්‍ය වන්නේ නම්) කොළරොඩු - අවශේෂ බෝග කොටස් නරක්වූ එළවළු පලතුරු කොටස් මිශ්‍රකර එකට ගොඩගසා රාත්‍රී 10ට පසුව රොඩු මිශ්‍රණයට උඩින් ඉහත සකසා ගත් පොහොර මිශ්‍රණය එකතු කර දින 3ක් පසළොස්වක ලබා ගෙවී පසු දින 2කට පසුව හිරුඑළියට මුදා තැබීමෙන් ඉතා ඉහළ අගයක් ඇති කාබනික පොහොරක් අප ලබා ගන්නා ලදී.

දියර මිශ්‍ර කළ පසුව සියලු දේ පොලිතින් හෝ වියාගත් පොල්අතු පඳුරු වැනි දෙයක් යොදා අදාළ නිසි දිනය පැමිණෙන තෙක් වසා තැබිය යුතුයි.

සඳෙහි ක්‍රියාවලියට අනුවම ස්වාභාවික පොහොර නිපදවා ගන්නා ගොවියා එය කෙත සිටුවීමට කුඹුර සකස්කරන අතරත් කුඹුරට ස්වාභාවික පොහොර, විශේෂයෙන් නයිට්‍රජන් එකතු කර ගනී. ඒ කෙසේද යනු පෙර කාලයේ සිට මෑතක් වනතුරු කුඹුරු සකස් කිරීම (කුඹුරු හෑම) සිදුකළේ මීගවයන් ගෙනි. (මීහරක්) ඔවුනගේ මලමුත්‍රා කුඹුරට ගොවිබිමට එක්වීම ඉතාමත් සරුබිමක් ඇතිකර ගැනීමට මඟ පෑදේ.

බක්මහට පෙර අස්වැන්න ගෙට ගැනීමට කඩිනම් වන්නේ ඇයි? නැවත ඊළඟ කන්නයට කටයුතු ආරම්භ කිරීමට පෙර බක්මහ වැහි හා අකුණු මේ කාබනික හෙවත් ස්වාභාවික කෘෂි කර්මාන්තයට ඉතා වැදගත් වන බැවිනි. බක්මහේ අකුණු වැදීමෙන් පොළොවට නයිට්‍රජන් බහුල වශයෙන් එකතුවීම පසු සරුවීමට තවත් ප්‍රධාන හේතුවක් බව හෙළයා දැන ගත්තේ මේ ‌ෙජ්‍යාතිෂ ශාස්ත්‍රයට තිබූ නැඹුරුව නිසාය.

වී ඇටය තුළ දවස් දහයක පුරාවට ශාකයේ පැවැත්මට අදාළ ආහාර ගබඩා කරගෙන සිටී. ඉහත සැකැසූ පොහොර හා නිසි ලෙස සකසා ගත් වගා බිම තුළ නිපදවන ස්වාභාවික ක්‍රියාවලියෙන් සෑදෙන පොහොර දින 20ක් 25ක් ගොයම පෝෂණය වන්නට සෑහේ. ඊට අනතුරුව අකුණුවලින් ලැබෙන නයිට්‍රජන් - නයිට්‍රේට් ලෙස කුඹුරුවලට එකතුවීම තුළින් ලැබෙන පොහොර වගාවට ප්‍රමාණයත්ය.

මේ ස්වාභාවික ක්‍රියාවලිය තුළින්ම නිසි ඵල ලබන්නට රසායනික පොහොර බිඳක් හෝ භාවිතා නොකර සියයට 100ක්ම ප්‍රතිඵල ලබන්නට නම් ඉර, හඳ, පොළොව යන තුනෙහි ක්‍රියාවලිය ගැන ජ්‍යොතිෂමය අතින් මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය.

ජ්‍යොතිෂයට අනුව නියමිත දිනටම වගාව ආරම්භ කළ යුතුය. නියමිත දිනට වැසි ලැබෙන කාලය බලා ගොවිතැන් කළ යුතුය. “අක්වැස්සට“ අනුව මෙය සිදුකළ යුතුය. ‘උදේට පායලා හවසට වහින වැස්ස‘ නමින් එය හඳුන්වා දෙන ලද්දේද ජ්‍යෙතිෂයට අනුව කටයුතු කළ අයයි.

මඳ ප්‍රමාණයට වැසි ඇතිවන මේ කාලයේදී කුඹුරු සකස් කිරීමේදී අඩු ජලය තත්ත්වයක් යටතේ සීසෑම කළ යුතුයි. අධික ජල තත්ත්වය ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාවලියට බාධා ඇති කරවන හෙයින් එසේ කළ යුතුය.

පස සරුවන්නේ ඒ ක්‍රියාවලිය තුළය. මේ ස්වාභාවික ගොවිකම හා අපේකමත් එකට බැඳුන සංස්කෘතිමය ක්‍රියාවලියකි. එයට පාදකව ඇත්තේ හෙළ ජනතාව තුළ තිබුණු දේශීය ජ්‍යොතිෂමය විශ්වාසයයි.

වැපිරීමට නියමිත බීජ දින 2කට පෙර හිරුඑළිය නොවැටෙන ඇතුළු තැනක බිම මාගලක් එළා ඒ අවට කහදියර ඉස පිරිසිදු කොට යකඩ ඇණයක් හෝ බර යකඩ ආයුධයක් ඊට යටකොට කොහොඹ කොළ අඩියට දමා කහකෑලි කීපයක් ඒ අවට රඳවා තබා ගන්නේ සම්ප්‍රදායක් ලෙස වුවත් එය දේශීය ජ්‍යොතිෂයට අනුව කෙම් ක්‍රමයක් ලෙස අප දැන ගත යුතුය. වැපිරීමට ගන්නා බීජවල ගුණාත්මක බව ආරක්ෂා කිරීම මෙහි මූලික පරමාර්ථය වෙයි. කොහොඹ කොළ, ඉති, කහ මේ සියල්ල විෂබීජ නාශක වෙයි.

යකඩවල ඇති කාන්දම් බලය භූමියෙන් එන විපත් දෝෂ ඇදගනී. එය අද දක්වාම ජ්‍යෙතිෂයේ එන ක්‍රමවේදයකි. මේ කෙම් ක්‍රමය පෙර කාලවල ගොවිකම හා බැඳුන අභිචාර විදියකි. තවද වැපිරීමට පෙර පඬුරු බැඳීම ගොවිතැන සරුබව පූර්ණ කරමින් සිදුකරන තවත් ක්‍රියාවලියකි.

විශාල වශයෙන් සිදුකරන වගාවන්ට සේම නිවසේ සිදු කරන වගාවන්ට ද අප අවධානය යොමු කළ යුතුය. කිසිඳු පොහොරක් භාවිතා නොකොට කොහිල, කොටුකොළ, අලකොළ, නීරමුල්ලිය, මුගුණුවැන්න ආදී ආහාරමය බෝග වගාවන් ඉඩමේ එක් කොටසක වළක් (නොගැඹුරු) ලෙස සාදාගත් ස්ථානයකදී නිවසේ භාවිත වන ඉඳුල් වතුර පමණක් එතුළට එකතුවන්ට හැර තබා සකස්කරගත් ස්ථානයකදී වගා කළ හැකිය.

මේ සඳහා කිසිදු පොහොරක් අවශ්‍ය වන්නේ නැත. නිවසින් බැහැර කරවන සාමාන්‍ය අපජලය භාවිතා කිරීමෙන් ඇතිවන විෂ ජලයේ ඇති අපිරිසිදු බව හා විෂ ගතිය මුළුමනින්ම වාගේ ඉහත බෝග වගා තුළින් උරාගනී.

ස්වාභාවික පරිසරයට වන හානිය ද වැළකී අපගේ ආහාර අවශ්‍යතාවය ද සපුරාගත හැකි වෙයි.සියලුම ආහාරමය ශාකවල පණු රෝග සඳහා පිරිසිදු කරගත් කහ අලයක් කැබලි කපා ඊට අබ ඇට තේ හැන්ඳක් දමාගෙන පිරිසිදු ස්ථානයකදී “යථින්ද ඛිලො පඨවිං සිතොසියා“ යන රතන සූත්‍රයේ ගාථාවෙන් 108 වර පිරිත් කරගෙන ඉන්පසුව හොඳින් අඹරා වතුර කෝප්ප 12කට මිශ්‍රකර වගාවට රාත්‍රි කාලයේදී ඉසින්න. මීටම ළිපේ දර පිලිස්සූ තැන්වල ඇති හීන් අළු සුළං හමන දිශාව බලා ඊට ප්‍රතිවිරුද්ධව සිට “සුපටිපන්නෝ“ ගාථාවෙන් 108 වරක් පිරිත්කර උදේ කාලයේ වගාවට ඉහින්න. දොරන තෙල් ‘නමස්කාර‘ පාඨයෙන් දහස්වර මතුරා ගන්න (කට පළල් බඳුනකට දමා) අලුතින් අඹරාගත් කොහු ලනුවක මතුරා ගත් තෙල් ගෑමෙන් පසු ගොයමට ගැටෙන සේ ලනුවේ දෙපැත්තෙන් ඇදගෙන යාමෙන් කුඹුරේ කෘමි උවදුරු දුරුවේ.

එළවළු කොටුවලට වන උවදුරුවලට මැස්සේ තැනින් තැන ඇඟිල්ලෙන් ආලේප කරන්න.

සියලු වගාවන් සඳහා වන වන මෘග උවදුරු හා සියලු සත්ත්ව උවදුරු සඳහා ගොවිබිමේ මල් පැලක් සාදා මල්, පහන්, සුවඳ පුදා තෙරුවන් ගුණ සිහිකර බිම ලී මැස්සක පලතුරු වර්ග 5ක් සහිතව පූජාවක් තබා ඒ මත ඇස්ස කපා සිදුරු නොකරන ලද තැඹිලි ගෙඩියක් මත මෙහි දැක්වෙන කෘෂි වගාව රැකදෙන යන්ත්‍රය තබා තල් කොළ 4ක හෝ තඹ කොළ 4ක රාහුකාලය මඟ හැර ශුභ දිනයක ශුභ හෝරාවකදී දුම් අල්ලා තබාගෙන පිරිත් හූයක් සමඟ නමස්කාර පාඨයෙන් දහස්වර පිරිත් පුරවා (ඉතිපිසෝ ගාථාව සමඟ) ගොවිතැන හෝ ගොවිබිම සතර කෝණ මැටි බඳුන්වල බහා එල්ලා තබන්න. සියලු උවදුරු දුරුවේ.

මස් මාංශ කිලිවලින් වැළකී මෙම පිළිවෙත් ඉටුකරගත යුතුයි.

මේ අනුව අද වුවද අපට ඉතා හොඳ මට්ටමේ දේශීය පොහොර අපටම නිෂ්පාදය කරගත හැකිය. එය වර්තමානයට අපට ඉතා අගනා බව කිව යුතුය.

-------------------------------

•ඔක්තෝබර් 24 ඉරිදා

24 ඉරිදා මුළු දවස පුරාම රෙහෙණ නැකැත යි. සුදුසු අකුරු “ඔ, ව, වි, වු”

 

•ඔක්තෝබර් 25 සඳුදා

25 සඳුදා 01.01 තෙක් රෙහෙණ නැකැත යි. සුදුසු අකුරු “ඔ, ව, වි, වු”

 

•ඔක්තෝබර් 26 අඟහරුවාදා

25 සඳුදා 01.01 සිට 26 අඟහරුවාදා 04.10 තෙක් මුවසිරස නැකැත යි. සුදුසු අකුරු “වෙ, වො, ක, කි”

 

•ඔක්තෝබර් 27 බදාදා

26 අඟහරුවාදා 04.10 සිට 27 බදාදා 07.07 තෙක් අද නැකැත යි. සුදුසු අකුර “කු”

 

•ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා

27 බදාදා 07.07 සිට 28 බ්‍රහස්පතින්දා 09.40 තෙක් පුනාවස නැකැත යි. සුදුසු අකුරු “කෙ, කො, හ, හි”

 

•ඔක්තෝබර් 29 සිකුරාදා

28 බ්‍රහස්පතින්දා 09.40 සිට 29 සිකුරාදා 11.38 තෙක් පුස නැකැත යි. සුදුසු අකුරු “හු, හෙ, හො, ඩ”

 

•ඔක්තෝබර් 30 සෙනසුරාදා

29 සිකුරාදා 11.38 සිට 30 සෙනසුරාදා 12.51 තෙක් අස්ලිස නැකැත යි. සුදුසු අකුරු “ඩි, ඩු, ඩෙ, ඩො” ඉන් පසු ඉරිදා 13.16 තෙක් මා නැකැත යි. සුදුසු අකුරු “ම, මි, මු, මෙ”

 

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.

------------------------------

•මේෂ ලග්නය - හදිසි ධන ලාභ

 

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය තුළ චන්ද්‍රයා 02, 03, 04 යන භාව ස්ථානවල ගමන් කිරීම ඔබට සියලු දෙයින් සුබවාදි වෙයි. ඒ අතර හදිසි ධන ලාභ - දේපළ හා නිවාස හිමිකම් පෙන්වයි. තම පපුව හා සම්බන්ධව තිබූ රෝගයකට නිසි ප්‍රතිකාර ලැබේ. තමා මීට පෙර දී තිබූ මුදලක් කාලයකට පසු තමා සතුවනු ඇත. අධ්‍යාත්මික දියුණුව උදෙසා සිය ආගමික කටයුතු කෙරේ යොමුවන සතියකි.

 

•වෘෂභ ලග්නය - නිවැරදි තීන්දු තීරණගනී

 

වෘෂභ ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා ප්‍රසාදජනක සතියකි. චන්ද්‍රයා පිළිවෙළින් 01, 02, 03 යන ස්ථානවල ගමන් කිරීම නිසා සිතට දැඩි සතුට උදාවන කරුණකට හේතුවේ. තමා ගන්නා නිවැරදි තීන්දුවක් නිසා ආර්ථික ලාභයක් වුවද පෙන්වයි. තම දූ දරුවන්ගේ කටයුතු උදෙසා වෙහෙස ගෙනදෙන සතියක් වුවද සතිය අවසානයේ බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතුවේ. හිසට අධික සෙම දෙන කාලයක්. ප්‍රවේශම් වන්න.

 

•මිථුන ලග්නය - ජීවිතයට නව අත්දැකීමක්

මිථුන ලග්නයට අනුව ඔබට පිටරට ගමන් හෝ ලංකාවේ ඉතා දුර බැහැර ගමනකට හේතුවේ. ඒ වෙනුවෙන් අධික මුදලක් විය පැහැදම් වීමට නියමිතය. තමා රැවටීමට ලක්වූ කරුණක් නිසා ජීවිතයට නව අත්දැකීම් එකතු කරගන්නා සතියක් මෙන්ම සමාජසේවා කටයුතු රැසක නියැළෙන සතියක් ද වෙයි. පාදයේ වළලුකර, යටිබඩ ආශ්‍රිත රෝග උවදුරු පෙන්වයි. තම පවුලට නව සාමාජිකයකු එකතුවන සතියකි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව මේ සතියේ ගමන් කරන්නේ 12, 01, 01 යන භාවස්ථානවලයි.

 

•කටක ලග්නය - කොයි කාගේත් සහාය

කටක ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා ගමන් කරන්නේ 11, 12, 01 යන ස්ථානවල නිසා ආර්ථික වශයෙන් උසස් තලයකට පැමිණිය හැකි සතියකි. කොයි කාගේත් සහාය ඇප උපකාර ලැබෙනු ඇත. නව ආයෝජනයකට අත පොවනු ඇත. තමා කලක් තිස්සේ සැලසුම් කරගෙන ආ කටයුත්තක් සාර්ථක වන ලකුණු පෙනේ. දණහිස ආශ්‍රිත උවදුරු සහිත වෙයි. උඩ නැගීම් බිම පැනීම් වලින් ප්‍රවේශම් වන්න.

 

•සිංහ ලග්නය - ව්‍යාපාර ලාභ

සිංහ ලග්නයට අනුව මෙම සතිය රැකියාව අතින් උසස් තැනකට යා හැක. තමා ඉල්ලුම් කර තිබූ තනතුරක් හිමි වන ලකුණු පෙනේ. පෙර සහභාගි වූ සම්මුඛ පරීක්ෂණයක උසස් ප්‍රතිචාර දැනෙන්නට පටන් ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට උසස් ආදායම් හිමිවේ. ශරීර සෞඛ්‍යය අතින් පපුවේ සීතල බාවය නිසා හටගන්නා සෙම්ප්‍රතිශ්‍යාව - පීනස වැනි රෝග උවදුරු සහිතයි. තමා කිරීමට අදහස් කර සිටින ව්‍යාපාරයක නියැළීමට සුදුසු කාලයකි.

 

•කන්‍යා ලග්නය - පිරිස් බලය හිමිවේ

කන්‍යා ලග්නයට අනුව මෙම සතිය ඉතා පුණ්‍යවන්ත සතියකි. නිවසේ ආගමික පසුබිමක් උසුලන උත්සවයකට හේතුය. තමාට හිමි වන්නට තිබී අන්සතු වූ දේපළක් තමාට හිමිවන ලකුණු පෙන්වයි. චන්ද්‍රයා මෙම සතියේ ඔබ ලග්නයට අනුව 09, 10, 11 යන ස්ථානවල ගමන් කිරීම ඔබට බොහෝ පිරිස් බලය හිමි වන වෙහෙසේ තරමට ප්‍රතිඵල ලැබෙන සතියකි. උරහිස ආශ්‍රිත හදිසි උවදුරු පෙන්වයි.

 

•තුලා ලග්නය - වියදම් අධික වෙයි

තුලා ලග්නයට අනුව ඔබට සතිය ආරම්භය ප්‍රවේශම් වීම වැදගත්ය. චන්ද්‍රයා මේ සතියේ 08, 09, 10 යන ස්ථානවල ගමන් කිරීම සතියේ ආරම්භක දින දෙක - තුන තුනටියට අපල - ආර්ථික වශයෙන් අවමයකට යාම වියදම් අධිකවීම පෙන්වයි. තම වෙළෙඳ ව්‍යාපාර සපල වන අතර ඒ වෙනුවෙන් වෙන කැපවීම ගැන සතුටුවිය හැකි උසස් තත්ත්වයකි. ගමෙන් දුරස්ථව යන ගමනක් තමාගේ වාසියට හේතුවනු පෙනේ.

 

•වෘශ්චික ලග්නය - මංගල යෝග උදාවේ

වෘශ්චික ලග්නයට අනුව තම කේන්ද්‍රයේ චන්ද්‍රයා 07, 08, 09 යන ස්ථානවල ගමන් කිරීම යහපත්ය. අවිවාහක අයට මංගල යෝග ද ආදර සබඳතා ජයග්‍රහණය කරන තත්ත්වයකි. කලාකාමි අදහස් උදහස් දරන අයගේ ජීවන ගමන සාර්ථකවේ. එදිනෙදා සතුට අභිවෘද්ධිය ඇති වනු ඇත. තමා සතු යමක් අනුනට දීමෙන් කිසියම් පාඩු සහගත අවස්ථාවකට මුහුණ දීමට සිදුවේ. කිසියම් කටයුත්තක් තනි තීන්දු තීරණ මත ක්‍රියාවට නැංවීම සුදුසු නොවේ.

 

•ධනු ලග්නය - ඥාතීන් අතර විරෝධතා

ධනු ලග්නයට අනුව මෙම සතියේ ඔබ ඉතා ප්‍රවේශම් විය යුතුයි. චන්ද්‍රයා 06, 07, 08 යන ස්ථානවල ගමන එතරම් සුබ නොවන අතර හදිසි මුදල් පාඩුවකට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. මවුපිය - ඥාති පිරිස් වෙතින් විවිධ චෝදනා එල්ලවීමට ඉඩ ඇති අතර යටිබඩ - තුනටිය ආශ්‍රිත රෝග මතු වනු ඇත. ඒ හැරෙන්නට තමාට කිසියම් අයුරක සමාජ පිළිගැනීමකට වුවද ලක්වීමට ඉඩ තිබේ.

 

•මකර ලග්නය - ආයෝජනයක උසස් පල

මකර ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. දරු සම්පත් බලාපොරොත්තු වූ අයට වාසනාවන්ත දරු උපත් ද - ආර්ථික අයෝජනවලට උසස් ප්‍රතිඵල ද උදා වනු ඇත. චන්ද්‍රයා 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීමේදි සතිය මැද භාගය යටි බඩේ උවදුරක් නිසා රෝහල්ගත වීමකට පවා ඉඩ නැතුවා නොවේ. එහෙත් සමාජයෙන් ටික කලකට ඔබ ඈත්වීමකට හේතුවන කරුණකට ඉඩ ඇත. තමාගේ එදිනෙදා ජීවිතය කාර්ය බහුල වීම නිසාද සෙසු අයගෙන් දුරස්ව සිටීමකට ද ඉඩ ඇත.

 

•කුම්භ ලග්නය - රැකියා උසස්වීම්

කුම්භ ලග්නය හිමි ඔබට මෙම සතිය ඉතා සුබයි. චන්ද්‍රයා 04, 05, 06 යන ස්ථානවල ගමන් කිරීම නිසා නිවාස ලාභ, වාහන ලාභ හා ආර්ථික ප්‍රතිලාභ හිමිවෙයි. රැකියාවේ බලාපොරොත්තු වූ උසස් වීමකට පවා ඉඩ ඇත. තම නිවසක පදිංචියට යාමට පවා අවස්ථාව උදාවේ. පිටරටකට යාමට බලා සිටි අයගේ බලාපොරොත්තු සපල වනු ඇත. තම නිවසට එන ආගන්තුකයකු නිසා ඉදිරි ගමනට යහපතක් පිටිවහලක් ලැබෙනු ඇත. පපුවේ සෙම හතිය මතු වනු ඇත.

 

•මීන ලග්නය - සැලසුම් සපලවේ

මීන ලග්නය හිමි ඔබට මෙම සතිය බොහෝ සුබවාදි බලාපොරොත්තු ඉටුවනු ඇත. දේපළ ඉඩකඩම් හිමිවේ. තම වෙහෙස මහන්සියේ තරමට ප්‍රතිලාභ උදාවේ. කිසියම් ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර බැහැර ගමනකට පියවර තැබීමට සිදුවේ. එහෙත් තමා ඉදිරියේදි කිරීමට සැලසුම් කර තිබූ ක්‍රියාවක් නොදැනුවත්වම ඉටුවනු පෙනේ. ආහාර අරුචිය - බඩේ අජීර්ණ පෙන්වනු ඇත.

Comments