කාන්තා අර්ශස් රෝගය ගැන ඔබ නොදත් දේ | Page 2 | සිළුමිණ

කාන්තා අර්ශස් රෝගය ගැන ඔබ නොදත් දේ

 

අප එදිනෙදා ජීවිතයේ කටයුතු සිදු කරගෙන යාමෙදී ශරීරයේ අපහසුතා දැනුණ විට එය මහත් හිසරදයක්. එම වේදනා දිගින් දිගටම පැවතීම අප නොහිතන දරුණු රෝගවලට ද අත වනනවා. ඒ අතර අර්ශස් කියන්නේ කාන්තා ඔබ දැඩි පීඩාවට පත්වන රෝගී තත්ත්වයක්. එම නිසා මෙවර සිළුමිණ රසඳුන අර්ශස් රෝගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිතුවා.

 

අර්ශස් රෝගය කාන්තාවන් අතර බහුල රෝගයක්. බොහෝවිට රෝගී ලක්ෂණ හඳුනා ගැනීමද ඉතා අපහසුය. ගුද මාර්ගයේ ඇතිවන ලේ පිරුණු ගෙඩි විශේෂය අර්ශස් ලෙස හඳුන්වනු ලබයි. මෙම ගෙඩි තුළට හොඳ රුධිර සැපයුමක් ඇති නිසා ඉක්මනින් තුවාල වී ලේ පිට වේ. එලෙස ගෙඩි වැඩී ගුද මාර්ගයෙන් පිටතට නෙරයි. අර්ශස් වැළදීමට බලපාන ප්‍රධාන හේතුව ලෙස නියමිත වේලාවට මළපහ නොකිරීම, අනවශ්‍ය වේලාවට මළපහ පිට කිරීමට වෙහෙසීම ආදී වැරදි කායික ක්‍රියාවන් දක්නට ලැබේ. මළපහ කිරීමෙදී අධික වේදනාවක් දැනීම, ගුද මාර්ගයේ තද ස්වභාවයක් දැනීම, ගුද මාර්ගයෙන් ගෙඩියක් වැනි ගැටිත්තක් පිටතට ඒම, මළපහ සමඟ ලේ පිටවීම, මළපහ ඉතා ඝනව පිටවීම, ඇවිදීමේ අපහසුතා, නින්දට යාමෙදී අපහසුතා ඇතිවීම, නිසි ලෙස මළ නොපිටවීම, නිතර කැසීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

නිසි පරිදි ජලය පානය නොකිරීම, අධික අම්ල සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම, බර ඉසිලීම වැනි ක්‍රියා ද අර්ශස් රෝගය ඇති වීමට බලපාන සාධක අතර වේ. ඒ වගේම මලබද්ධය හා සිරෝසීස් රෝග ඇති කාන්තාවන්ට හා අභ්‍යන්තර පීඩනය වැඩි කාන්තාවන්ට අර්ශස් සෑදීමේ අවදානම වැඩිය. ගර්භණීභාවයෙන් පසුද කාන්තාවන්ට අර්ශස් රෝගය සෑදීමට හැකිය. මීට අමතරව Gastritis වැලඳී ඇතිවිට සිදුවන ආහාර ජීර්ණයේ යම් අක්‍රමිකතා ද මීට හේතු වේ.

වෛද්‍යවරුන් පවසන අන්දමට මෙම ගුද මාර්ගයේ ඇතිවන ඕනෑම ලේ ගැලීමක් කැක්කුමක් වූ පමණින් එය නිශ්චිතව අර්ශස් යැයි කිව නොහැකිය. වෙනත් රෝග වලට ද එම ලක්ෂණම පෙන්නුම් කළ හැකිය. එමනිසා නිරන්තරයෙන් ඔබේ ගුද මාර්ගයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම කාන්තාවක ලෙස ඔබට වැදගත් ය.

අර්ශස් රෝගය සඳහා සිදු කරන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අතර Proctoscopy ,Singmoidoscopy,Colonoscopy යන වෛද්‍ය පරීක්ෂණ ඔස්සේ ප්‍රථමයෙන් ගුද මාර්ගය හරහා කැමරාවක් යොදා එහි අභ්‍යන්තරය නිරීක්ෂණ කොට පරික්ෂාවට ලක් කරයි. එමඟින් මෙය අර්ශස් රෝගය ද යන්න තහවුරු කර ගනී. ඉන් අනතුරුව රෝගයේ මුල් අවස්තාවේ සිට දරුණු අවස්තා දක්වා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරති. මෙම රෝගයේ මුල් අවස්ථාවේ වේදනාවක් දැනීම හා ඒ සඳහා වේදනා නාශක ඖෂධ ලබා දේ.එහිදී සාමාන්‍ය ලෙස මළපහ පිටවීමට ඖෂධ ලබා දේ. ආහාර ජීර්ණ පද්ධතියෙ ඇති එන්සයිම සමබර කර ගැනීමට ඖෂධ ලබා දේ. දෙවැනි අවස්ථාව තරමක් දරුණු බවට හැරී ඇත්නම් අර්ශස් ගෙඩි පුපුරා යාම ලේ අධික ලෙස පිටවීම දක්නට ලැබේ. එහිදී එන්නත්කරණ ප්‍රතිකාර සිදු කරයි. තෙවැනි අවස්තාවෙදී ගෙඩි පිටතට පැමිණ නැවත ඇතුළට නොයා පිටතට නෙරා තිබේ නම් එය ඉතා දරුණුය. එවිට හොඳම විසඳුම ශෛල කර්ම ක්‍රමවේදයයි. එමඟින් අර්ශස් ගෙඩි සහමුලින්ම ඉවත් කර රෝගය 100% ක් සුව කරයි. වර්තමානය වනවිට තාක්ෂණ දියුණුව සමඟ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර ඕනෑ තරම් පවතින බව වෛද්‍යවරුන් පවසති. ඒ නිසා අර්ශස් රෝගය පිළිබඳ කාන්තාවක් බිය වීමට හෝ ලැජ්ජාවට පත් විය යුතු රෝගයක් නොවේ. එය දරුණු වීමට පෙර නිසි ප්‍රතිකාර ගැනීම කළ යුතුම දෙයක්.

අර්ශස් රෝගය මඟහරවා ගැනීමට ඔබගේ ශරීරය සෞඛ්‍යය සම්පන්නව පවත්වා ගැනීම, නිතර පෝෂදායී අහාර ගැනීම, පලා වර්ග, තන්තුමය ආහාර, පළතුරු, ධාන්‍ය ආහාරයට එක්කර ගැනීමට පුරුදු වන්න. ක්ෂණික ආහාර ගැනීම අවම කිරීම, දිනකට වතුර ලීටර 2ක්වත් පානය කිරීම. වෛද්‍ය උපදෙස් මත කැසීම් ආදියට ආලේපන cream suppositories ලබා ගැනීම හා නියමිත අවස්ථාවේදී වහාම වෛද්‍ය උපදෙස්වලට යොමු වීම අර්ශස් රෝගයේ ඇති දරුණුකම අවම කරගැනීමට රුකුලක්.

එසේ නැතිනම් මෙය උග්‍ර වී පිළිකා, වාත රක්තතාවය, ඇඳුම, දියවැඩියාව Gastritis වැනි දිගුකාලීන දරුණු රෝග වලට ගොදුරු වීමේ අවදානමක් පවතී. බොහෝ වෛද්‍යවරුන් පවසන්නේ අර්ශස් රෝගය සඳහා පෙරදිග ප්‍රතිකාර වඩාත් පහසු හා ආරක්ෂාකාරී බව ය. එමෙන්ම රෝගය 100% ක් සුව කිරීමටද හැකි බවකි. එම නිසා වෙනත් සංකූලතා ඇති වීමේ අවදානමක් ද නැත. ඔබට අර්ශස් රෝගය ඇත්නම් එයට නිසි ප්‍රතිකාර සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර අතපසු නොකරන්න. එවිට නිරෝගී ජීවිතයක් ගත කිරීමට කාන්තා ඔබට හැකිවේ.

 

උප­දෙස් - 
විශේ­ෂඥ ශෛල වෛද්‍ය මයියා ගුණ­සේ­කර

 

Comments