ලෝක කුසලානයේ දී සිහිපත් වෙන මානව සමාජයීය ක්‍රිකට් වීරයා යුවී | සිළුමිණ

ලෝක කුසලානයේ දී සිහිපත් වෙන මානව සමාජයීය ක්‍රිකට් වීරයා යුවී

 

මගේ ජීවිතයට ලාන්ස් ආම්ස්ට්‍රෝං ප්‍රබල බලපෑමක් වුණේ මාත් පිළිකා රෝගියේ වුණාට පසුවයි.

'මිනිසුන්ට වීරයන් විය හැකියි. එහෙත් බොහෝවිට බොහෝ මිනිසුන් වීරයෝ වෙන්නේ තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයන් තුළ. එහෙත් ඔහු පවුලේ, ප්‍රදේශයේ, රටේ, ක්ෂේත්‍රයේ වීරයෙක් වී පසුව සමස්ත මානව සමාජය තුළම මහා වීර පෞරුෂයක් ගොඩනගා ගන්නවා. මේ ඒ වීරත්වය ඔහු උකහාගත් ආකාරය ගැන

ස්ථානය - දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි කින්ග්ස්මේඩ් ක්‍රීඩාංගණය.

දිනය- 2007 සැප්තැම්බර් 22 වැනි දා.

සිදුවීම - පළමුවැනි විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අවසන් පූර්ව තරගය

තවත් නොබෝ වේලාවකින් තරගය ආරම්භවීමට නියමිතව තිබුණා. ඊට මොහොතකට පෙර එම තරගයේ තීරක ක්‍රිස් බ්‍රෝඩ් බර අඩි තබා ආවේ ඉන්දීය ක්‍රීඩක කාමරයට යි. ඔහු දොරට තට්ටු කළා. කෙළින්ම කතා කළේ යුවරාජ් සිංට (යුවීට).

යුවී ඔහු වෙත ගියා. ඔහු තරුණ යුවී දෙස සෘජුව බලා මෙහෙම කිව්වා.

‘බොහෝම ස්තුතියි මගේ පුතාගේ ක්‍රිකට් ජීවිතයම ඉවර කළාට.’

තාත්තා කෙනෙක්ගෙන් එහෙම කතාවක් අහපුවාම ඕනෑම පුද්ගලයෙක් අන්දුන්කුන්දුන් වෙනවා. නමුත් යුවී ඔහුට කදිම පිළිතුරක් දුන්නා.

‘ඒක පුද්ගලිකව ගන්න එපා. මොකද මමත් එක පන්දුවාරයක හයේ පහරවල් පහක් වැදිලා තියෙන කෙනෙක්. ඒ වගේ දෙයක් දැනෙන හැටි මම හොඳට දන්නවා.’

ඒත් බ්‍රෝඩ් ඉල්ලීමක් කළා. ඒ යුවීගේ ජර්සිය සමරුවක් ලෙස තම පුතුට ලබාදෙන්නට පුලුවන් දැයි විමසමින්.

‘ඔහුට ඔබේ ජර්සිය ලැබුණොත් කැමති වේවි. හැබැයි එදා හයේ පහර හය ගහන වෙලාවේ ඔබ ඇඳගෙන හිටපු ජර්සිය.’ ඔහු යුවීගේ මුහුණ දෙස බලා කිව්වා.

යුවී ඒ යෝජනාවට පැකිළුණේ නෑ. ඔහුගේ ටීෂර්ටය බ්‍රෝඩ්ට දුන්නා. ඒ ජර්සිය උඩ පුංචි සමරු සටහනක් තැබීමෙන් පසුවයි. ඒ සමරු සටහනේ තිබුණේ මෙන්න මේවගේ අදහසක්.

‘මම දන්නවා ඒක මොනවගේ හැඟීමක් ද කියලා. මොකද එකම පන්දුවාරය තුළ මමත් හයේ පහරවල් පහකින් ගුටි කාපු කෙනෙක්. ඒ වගේම මතක තියාගන්න ඔබ තමයි එංගලන්තයේ අනාගතය බව.’ යුවී ජර්සිය ක්‍රිස් බ්‍රෝඩ් අත තැබුවා.

එදා යුවී එහෙම සටනක් තබා දුන්නේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට යි. අද වනවිට ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් කඩුලු පන්සියය ඉක්මවා ලබාගත්තු විශිෂ්ට පන්දුයවන්නෙක්.

ඇත්තටම කියනවා නම් යුවී කියෙන් වීරයෙක්, නිකම් වීරයෙක් පමණක් නොවෙයි සිංහයෙක්. ඔහු පළමුව සිංහයෙක් වුණේ පංජාබ් ප්‍රාන්තයට. ෂික් ජාතික ක්‍රිකට් තරුවක් වශයෙන් ඔහු පංජාබීන්ගේ ආදරයට ලක්වුණා. එය නොබෝ කලකින්ම සමස්ත ඉන්දියානුවන්ගේ හදවත් දිනා ගැනීම දක්වා පුළුල් කරගන්න ඔහුට පිළිවන් වුණා. ඒ නිසා ඔහු මුලදී සැලකුණේ ඉන්දියාවේ සිහින කුමරා ලෙසයි.

ඒත් 2007 වසරේ එංගලන්යට එරෙහිව දකුණු අප්‍රිකාවේ දියත් කළ මෙම සුපිරි ඉනිමෙන් පසු ඔහු එක නිමේශයකින් සමස්ත ක්‍රිකට් ලෝකයේම වීරයෙක් බවට පත් වුණා.

ජීවිතය පහසුවෙන් නිශ්චිතව අවබෝධ කරගැනීම අසීරු දෙයක්. එය හරියට කාලගුණය වගේ. මොහොතක් යහපත්ව තිබුණොත් තවත් මොහොතකින් වැහි වළාකුළුවලින් පිරිලා අඳුරු වෙලා යනවා. පැය ගණනක් කිසිම කතාවක් නැතිව මහා වර්ෂාවක් ඇද හැලෙන්න වුණත් පිළිවන්. ඒ ඇයි කියලා කියන්න දැනගත්තත්, අහස එහෙම කළේ මොකක් නිසා ද කියලා විස්තර කරන්නත් කාටවත් බෑ. ජීවිතයත් ඒ වගේමයි.

ඉන්දියාවේ සිහින කුමාරයා ව සිටි යුවීගේ ජීවිතයේ එක් මොහොතකින් උඩු යටිකුරු වුණා. ඒ ඔහු පෙනහළු පිළිකාවකට ගොදුරුවී ඇතැයි හඳුනා ගැනීමත් සමඟයි. ඒ සිද්ධිය ගැන පසුව ඔහු කිව්වේ මෙහෙමයි.

‘ඔය කාලේ මම ජීවිතයයි මරණයයි අතර කඹ ඇද්ද කාලයක්. ඒ කඹ ඇඳිල්ලේ දී මට විශාල ශක්තියක් ඇතිකළ චරිතය ලාන්ස් ආම්ස්ට්‍රෝං.’

පසුකලෙක ඔහු ආම්ස්ට්‍රෝං වගේම පිළිකාව හා පැවැති සටනින් ජයගත්තා. එදා තමයි ඔහු ක්‍රිකට් ලෝකයේ සිංහයකුව සිට සමස්ත ලෝක වාසීන් අතර සිංහයෙක් බවට පත්වුණේ. ඒ යුවී සතු අප්‍රමාණ ධෛර්යවන්ත භාවය හේතුවෙනුයි.

‘මගේ ජීවිතයට ලාන්ස් ආම්ස්ට්‍රෝං ප්‍රබල බලපෑමක් වුණේ මාත් පිළිකා රෝගියේ වුණාට පසුවයි. ඇත්තටම කියනවා නම් ඒක හරිම අමාරු වැඩක්. මොකද එවැනි රෝගී තත්ත්වයකදි ඔබට ඔබේ ජීවිතය කොහේ යනවාද කියලා වැටහීමක් ගොඩනැගෙන්නේ නෑ.’ යුවී පවසනවා. මෙතැනදී ඔහු තමන්ගේ මානසික ශක්තිය ආරක්ෂා කරගන්න බොහෝ කැපවීම් සිදුකර තිබුණා. මොනම හේතුවක් නිසාවත් තම රෝගය ගැන හිතලා ඔහු මානසිකව වැටී තිබුණේ නැත්තේ ඒ නිසයි.

පිළිකාව සුව කරන්න ලබාදීපූ ප්‍රතිකාර කොතරම් දැඩි හා අසීරු වුණත් තමන් පිළිකාව පරාජය කරනවා කියා ඇතිකරගෙන තිබූ විශ්වාසය එක මොහොතකටවත් බිඳ-වැටෙන්නට ඔහු ඉඩදීලා තිබුණේ නෑ.

‘මම ගොඩාක් මහන්සිවෙලා මගේ යෝග්‍යතාවය රැකගත්තා. දෛනික ආහාර වට්ටෝරුව සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ වගේම අතිරේක කාලයක් යොදවා ගෙන හැමදෙයක්ම මැනවින් ඉටු කළා.’ ඔහු පවසා තිබුණා.

මේ තත්ත්වය සමඟ ඔහු ‘YouWeCan' (යුවී කැන්) යනුවෙන් (ඔබට,අපට පුලුවන්) පදනමක් පිහිටුවා ගත්තා. ඒ පදනම මගින් අරමුදල් එක්රැස්කරන විවිධ වැඩසටහන් විවත කරන අයාතනයක්. එම සංවිධානය මගින් පිළිකාව සම්බන්ධව ජනතාව අවධියෙන් තැබීමට උනන්දු වෙනවා. ඒ වගේම අරමුදල් රැස්කිරීමත්, පිළිකාව හා සටන් කොට යළි ජීවිතයේ සිහින දිනාගැනීමට අවශ්‍ය සවිය ලබාදීමත් සිදුකෙරෙනවා.

‘මෙතැන පළමුවැනි දේ තමයි පිළිකාව සම්බන්ධයෙන් සොයා ගැනීමට විවෘත නිරීක්ෂණ සේවා මධ්‍යස්ථානයන්හි අවශ්‍යතාව. වේලාසනින් රෝගය හඳුනා ගැනීම අතිශය වැදගත්. ඔබ රෝගී තත්ත්වය කලින් හඳුනා ගතහොත් සටනෙන් භාගයක් දිනුම්. හුඟාක් මිනිස්සුන්ට පූර්ව පරීක්ෂණ සිදුකර තමන්ගේ රෝගය හඳුනාගන්න අවස්ථා අඩුයි. අපි ඔවුන්ට උපකාර කළ යුතුයි.’ යුවී කියනවා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ අතර මැද අපි ඔහුව සිහිපත් කරන්නේ යුවී එතැනදී සිහිපත්වීම අරුමයක් නොවන නිසයි. මොකද දැන් යුවී කියන්නේ අපි පෙර කිව්වා වගේ පංජාබයේ එහෙම නැත්නම් ඉන්දියාවේ එහෙමත් නැත්නම් ක්‍රිකට් ලෝකයේ වීරයෙක් පමණක් නොවෙයි. ඔහු සමස්ත මානව සමාජයේම අභිමානනීය සිංහයෙක්.

ඒ බව වඩා සනාථ වන්නේ යුවීගේ මේ ප්‍රකාශය තව ආකාරයට හේතුවක් වෙනවා.

‘මම මේක තනියම කළේ නෑ. මගෙත් එක්ක මේ වෙනුවෙන් විශාල පිරිසක් වැඩ කරනවා.’ ඔහු කියන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි. ගෞරවය තනිව ලියාගන්න ඔහු තුළ පවතින අකමැත්ත හා මානුෂීය වශයෙන් ඔහු සතු උත්තර ස්වභාවය එමගින් කියැවෙනවා. ඉතින් යුවී කියන්නේ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී වෙසෙසින් සිහිපත් වුවත් මානව සමාජයට කෙදිනකවත් අමතක නොවන සටන්කාමියෙක්ටයි.

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments