කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

අමතක වීම

 

ප්‍රිය බිරිඳ සෙනෙහසේ තිළිණයක් ලෙස

තම සුරතට පුදකළ ඒ පුංචි කිරුළ

වැලඳගත්තා හදවතින්

දහසක් පැතුමන් සමඟින්

අනන්තය දක්වා සිහිනවල සැරිසරමින්...

 

හෝඩ් පොතේ මුල් අකුර මත

සැතපුවා එය

සෙමින් හමා ආ මඳනල සමඟ

අකුරු මතින්ම දිවගියා ඈතට

ඔවුන් තුටු කඳුළු හෙලද්දී

නැවතුණේ උසම උස කඳු මුඳුනක

දිදුලමින් ආඩම්බරයෙන් ....

 

බොහෝ රැයවල් පහන් කරමින්

නෙත් කෙවෙනි පොගවමින්

දෑස් දල්වා මඟ දෙසට

නැවත සුරතට එනතුරු...

 

සොබාදහමට අනුව

හිරුත් අවරට යද්දී

ඔහුගේ අවසන් හුස්ම පොද

මුසුවුණා වා රැල්ලට

බිරිඳ ගේ සෝසුසුම් සමඟ....

 

සිය පුතු පැමිණ ඇත

උත්කර්ෂවත් අවමංගල්‍යය උත්සවයක්

පියා වෙනුවෙන් ...

 

නන්දනී සුමනවර්ධන

------------------

බලාපොරොත්තුව ...

 

ආත්මයේ ඇතුළු ගැබෙහි වසා සිටින

වදන් නොමැති තනුවක් ඉමිහිරට ගයන

මිහිරි ගැයුම කිසි විටෙකදි නොනවත්වන

'බලාපොරොත්තුව' විහඟෙකි පියා සලන...

 

කුඩා කුරුල්ලා බියපත් වෙතැයි සිතෙන

රුදුරු සුළං සුළි කුණාටු පැමිණි කලට

වඩා තියුණු ලෙසින් ඇසෙයි මධුර ගැයුම

ඇසූ ඇසූ සියල් දනන් සුවපත් වන....

 

සීතලයෙන් ගත සැලෙනා හිම යායක

වියරුව රළ රැළි නඟනා සමුදුරු මැද

තනි වූ මට ගී ගයමින් දෙයි සැනසුම

අහර බිඳක් හෝ යළි නොපතා මවෙතින...

 

Emily Dickinson දහනව වන සියවසේ මුල ඇමරිකාවේ ජීවත් වූ කිවිඳියකි. ජීවිත කාලය තුළ ඕ කිවිඳියක ලෙස ප්‍රසිද්ධියට පත් නොවූවාය. මිතුරු මිතුරියන්ට ලියූ ලිපි වල ඇගේ කවිද ලියැවිණි.

 

1886 දී ඕ මිය ගියාය.

ඇගේ මුල්ම කාව්‍ය සංග්‍රහය නිකුත් වූයේ 1890 දීය.

 

Hope is the thing with feathers ඇයගේ ප්‍රශස්තම කවි අතරින් එකකි. මේ එහි අනුවාදයකි.

 

කුමුදිනී වේලාරත්න

-------------------

ආදරය භාවනාවකි

 

සංසාර ගමන නිවන්නට

ආදරය භාවනාවක් කරගමු

නිවා දමා ක්ලේශයේ පහන් සිළු

උනාදමමු රාගයේ සළු පිළි

ඉකිබිඳුම් හඬ ඇසේ

ඉකිබිඳුම් හඬ ඇසේ

මේ ජිවිතේ හරි සැහැල්ලු යි

සොදුරියේ...

 

නග්න හිස මත මිණිකිරුළ පලඳා

ස්වප්න ස්වරයෙන් බණ පදය මුමුණා

සැලෙන ලෙළෙන කුණාටු සයුරේ

පියාගන්න ඔය දෙනෙත්

මේ ජිවිතේ හරි සැහැල්ලුයි

සොදුරියේ...

 

දැනෙන නොදැනෙන ලෝකයක රස කලතා

දඹද මහගිරි නැගිමු අත් පටලා

නිමාවක් නැති නිමාවක් සොයලා

පියා ගන්න ඔය දෙනෙත්

මේ ජිවිතේ හරි සැහැල්ලුයි

සොදුරියේ...

 

තරින්ද ගුණවර්ධන

----------------

නුඹේ පෙම

 

මළහිරු ගිලෙන

ඈත දියඹේ

මැවෙන රූ රටා

විදගත් එදා අපි

වෙළී දෑතේ

පියමැන්න සැදෑවේ

නුඹට අමතක වුවත්

හදේ ගැඹුරේ තැනක

මතක රිදුම් දෙනවා

අදත් මේ සැඳෑවේ .....

 

නුඹ හුඟක් දුර වග

දැන දැනත් මේ හිත

නුඹ සොයා ඉගිලෙන්නේ

මතක මං පෙත දිගේ...

 

ආසයි දකින්නට

ලෝබයි අසන්නට

මිමිණු පෙම් වදන්

ආයෙත් දෙසවනට ....

 

එදා රතු පාට ඒ

හැන්දෑ යාමයේ

නුඹ සමුගත්ත

වෙරළ ඉම

මගේ නෙත් අගින් ගැලු

කඳුළු ඇත තෙතබරිත

එනවනම් ඔබ එන්න

මතකයන් යළි අරන්

සඳසාවි තවමත්

නුඹේ පෙමට ලෝබයි ....

 

අනුරාධා ගුණසේකර

 

--------------------

සඳ හා ලඳ

 

නැද්ද තවමත් ගෙට වු‌ෙණ්

රෙද්ද නොතියන් පිල්කඩේ

වද්දගත්තොත්. එළි පත්තෙවත්

මද්ද ගෙල වැටුණා වගේ..

 

රෙද්ද ඉරලා වලාවේ

බලන හැටි හත්වලාමේ

සිද්ධපත්තිනි මෑණියන්ගෙත්

රෙද්දෙ තුත්තිරි ඇට රැඳේ..

 

හැප්පි හැප්පී ගිරි බඳේ

හැංගි මුත්තං ඇති සඳේ

යද්දි එද්දි ම නොදන්නවයැයි

රෙද්දෙ මල් ඉස්සෙන රඟේ...

 

සෞම්‍ය ලලිත් කළුබෝවිල

-----------------

මිනිසුන්

 

රැළි නැ‍ෙඟයි යළි බිඳෙයි නිරන්තර සාගරේ

මිනිසාත් රැලි අතර අතරමං වී වගේ

සිතත් ඉවසිලි නැතිව තරගයට දිව යතේ

එවන් සිත් කෙලෙසකද හඳුනන්නෙ ආදරේ...

 

සිනාවත් පෙනෙන්නේ ගැරහුමක් විලසිනේ

දෑස් යුග වැසී ගොස් ඉරිසියාවෙන් හිතේ

කරන කියනා දෙයක හොඳක්නම් නොම දැනේ

අඩුලුහුඬුකම් පමණි තොල් අතර රැඳවුනේ...

 

දිය පිරුණු කෙණ්ඩියක හිස් තැන්ම සොයන්නේ

සැනහෙන්න බැරි හිතට රිදුම්මයි නැඟෙන්නේ

වෙදදුරන් සොයන්නට කාසි කොළ සොයන්නේ

කාසි නැතිවුණා දාට නොදැනීම මියෙන්නේ...

 

කඳුළකදදි දුක හිතෙන දුකම හඳුනන සිතේ

හදවතින් සැබෑවට සිනාසෙන මිනිසුනේ

ගෙනෙන්නේ සුවඳමයි ඔබ සැමට මෙදියතේ

සත්වගම සුවපත්ව ඔබ නිසා සැනසෙතේ...

 

දම්මිණී ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා

------------------

සරසවි මිතු දම

 

තුන්මන් හන්දියේ, කොළඹ සරසවි බිමේ...

සල් ගසේ, නුග ගසේ මුදු සිසිල විඳ දරා...

 

ගල් බංකුවල හිදන්, ගිමන් නිව් අයුරැ අප,

මාළු බනිසත් දෙකට බෙදාගෙන කාපු අප,

ඔපන් කැන්ටිමේ, සත පනහෙ කහට,

රස විඳපු හැටි....

 

සොදුරැතම මතකයකි,

මි‍යෙන තුරැ හිත රැදෙන..

 

උගත්තෙමු ශිල්ප අප

ලැබූයෙමු නැණ නුවණ

වැඩූයෙමු ගුණ සුවඳ

දුකේදිත්, සැපේදිත් එක්වුණා සැම දෙනම,

එයයි අප අද ලබන සැනසුමේ අබිමනද.

තෙවසර, සිව් වසර ගෙවුනෙ කියලා නෙවෙයි

හැරගියෙ එදින අප, යායුතුම නිසාමයි.

ලොවෙහි කොතැනක අප,

ළැගුම් ගෙන ඇති වුවද,

සරසවි දිවියෙ බැදි, සොදුරැ ඒ මිතුරැ දම...

 

යදම් දා ඇති ලෙසට, දැනෙයි අප සැම දෙනට

අපෙ ජීවිත ගමනෙ, කවදාම හරි දිනෙක

ආයෙමත් හමුවෙලා විදගනිමු ඒ සතුට....

දයානි රේණුකා පෙරේරා

--------------------

රොබරෝසියා

 

අතුළ පිවිතුරු රෝබරෝසි මල

අතීතය සිහි කරයිනම්

සිතුළ සැඟවුන සෙනෙහසේ විල

කැලතිලා ගොඩ ගලයිනම්...

 

උතුළ හිස සතපවා ගෙවු කල

නෙතට කදුළක් ගෙනෙයිනම්

පතුළ වැවුදිය සඟවමි නල

ගෙන එන්නෙ ඔබෙ සුවඳනම්.....

 

ඉරමලේ රැස් වැටුනු වැවුදිය

ඇන්දෙ ඔබෙ සිතුවමක් නම්

පිපුණු සියපත් පරව යන කල

මටත් වැඩියෙන් තැවෙයිනම්....

 

නගා පෙණ පිඩු වැදී බිඳුණම

මළානික හද දවයිනම්

මතක ගුලිකර කඳුළු රවටා

නිකැල් ප්‍රේමය මරන්නම්...

 

අයෝමා රණසිංහ

-----------------

හිත..

 

උය උයා හෝදන..

හෝද හෝදා උයන

මහ වලද

දන්කුඩේ හූරලා ඉවතලන

ආයෙමත් හෝදලා උයන

 

චින්තනී ධර්මසේකර

 

--------------------

ප්‍රේම පාරමිතාව

 

මම ප්‍රේමයෙන් පිරී සිටිමි

නුඹ මා හා නැති වුව ද

මම ප්‍රේමයෙන් පිරී සිටිමි...

 

නුඹ මවෙත කිසිදා

නොඑන බැව් දැන දැන ද

මම ප්‍රේමයෙන් පිරී සිටිමි...

 

එදා මෙන් අද ද

අද මෙන් හෙට ද

මම ප්‍රේමයෙන් පිරී සිටිමි...

 

නුඹ කෙරෙහි අපරිමිතව ම

අනන්ත කල්ප ගණනක්

මම ප්‍රේමයෙන් පිරී සිටින්නෙමි...

 

සබඳ, නුඹ මතු බවෙක හෝ

මා කෙරෙහි ප්‍රේමයෙන් පිරෙනු මැනවි...

 

ඉරන්තිකා ප්‍රබෝධනී

--------------

ඇත් රජුනි

 

මහ පෙරහැරේ තේවා හඬ ඇහෙන කොට

මට නොදැනීම හිත යනවා නිවනකට

දිදුලන කරඬුවේ දිස්නය දකින විට

දෑතම එක් වුණා බුදු හිමි වඳින්නට...

 

කලු මාමා සමඟ මඟ දුරු කතර ගෙවා

ඇවිදින් සපුරන්ට පෙර පිරූ පාරමිතා

බිම දැමූ පාවඩය සිය හොඩ වැලෙන් සදා

පෙන්වූයේ අපට බෝසත් ගුණය මෙදා....

 

මෙත් බෝ සමිඳු මතු දින බුදු වෙනවාමයි

රාජා සමඟ නුඹ අග සවු වෙනවාමයි

ඊළඟ ඇසල පොහොයෙත් අපි හමුවෙනවාමයි

මහ ඇත් රජුනි නුඹ නිවනට යනවාමයි...

 

නිමල් ජයතිලක

-----------------

වන්දනාව

 

මහ ගිරි දඹ නැග ගන්නට මගේ ඇඟේ වෙළිලා

රන් සමනල රෑනක් මගෙ ඔසරි පොටේ වහලා

පිටාර යන සෙනෙහස් ගඟ මඟදි නතර කරලා

සීත ගඟුල ළඟ ඉඳගෙන අකුරු ඇහිඳ ගත්තා...

 

හෝඩි පොතේ හරි කලබල රූප එකතු වෙන්නයි

ජීවිතයම කියා දෙන්න පොඩ්ඩක් ඉඩ දෙන්නයි

තුරුල් වෙවී ළඟට ඇවිත් නෝක්කාඩු ගොන්නයි

මේ සමනල පැටවු රෑන මගේම වී ඉන්නයි...

 

කෝඩුකාර වන්දනාව හොඳින් ඉවර වෙන්නයි

ජීවිතයේ කඳු මුඳුනට හෙමින් ඇවිද යන්නයි

උපන් රටට දැයට බසට ආදරයෙන් ඉන්නයි

සුමන සමන් දෙවියෝ මගෙ පැටවුන් රැක දෙන්නයි...

 

සුසන්ත ජයනාල් පෙරේරා

----------------------

ආදර කුසුම

 

සසරේ පතාගෙන ආ පැතුමන් විලස

හදවත් උයනෙ පිපි මගෙ ආදර කුසුම

දෑඟිළි හුයෙන් බැඳ නුඹ වෙත පුද කරන

ඒ සුබ දින අදයි මිහිරෙන් සිත පිරෙන...

 

පටලා දෙඅත් හිඳ උයනේ තුරු සෙව‌ෙණ්

නගමින් සිනාමල් උතුරන තුටු මැද්දේ

මැව් ඒ සිහින මන්දිර දෙහදක් ඇතුළේ

සුපිපුණ දින අදයි මගෙ සිත්මල් උයනේ...

 

සේල රුවන් මිණි අභරණ නොම පැතුව

ගුණදම් උතුම්කොට සැමවිට සිතුව

වෙහෙරක් පුදන බැතිමල් මගෙ හද පිපෙන

හිමියනි නුඹයි මගෙ දිවිමඟ මිණි පහන...

 

ශ්‍රීමන්ත ධර්මවර්ධන

--------------------

වසන්තයක් එනවාලු

 

සුව සදනුවට උරුම පිරිසට ලැබු හේමන්තය නිසා

දිනෙන් දිනටම මෙලක වැසිනට උදා වී ඇත සුබ දසා

සැමැගෙ පැතුමන් මැදින් හෙට දින රුදුරු වයිරසයන් නසා

වසන්තෙට මඟ තැනේවා නැගෙන බාධාවන් වසා...

 

දැයේ රැක්මට ඉදිරි කටයුතු සරත් සමයක් මැදින් සැලසෙත

බියේ කාලය ගෙවන සතහට දිවි ගෙවන්නට දුරැර පිරිපත

වැයේ වීණා සුළුම පිරිසක් නොදැන මතුවන කරුණු දස අත

ගැයේවා පන්සලේ පල්ලියේ දෙව් මැඳුරෙ කෝවිලේ රැදි පොත....

 

සරත් හේමන්තයෙන් වස්සානයෙන් පසුවට ගිම්හාන එත

විපත් පසුවට උදා වීලා රටට දැයටම සැපත ජයසෙත

උපත් සටහන් කරන අතරෙම වැසීලා ගොස් මරණ දෙන පොත

රටත් වැසියන් සැනසෙවා හෙට දිනේ සම්මත මැදින් ගත සිත....

 

වුහානයේ සිට පැතිරි වයිරස වුහානයටම දුරුවෙලා

වහා පාසල් ඇරී විදුහල් මවුන් පෙර ලෙස හිනැහිලා

මහා සම්පත් වාසනාවන් ලක් මවගෙ තුරුලට වෙලා

මෙදා මුව රට එදා ලෙස සරුවෙවා දන හද සනසලා...

 

තෙප්පනාවේ ගුණවර්ධන

-------------------

ගොළු හදවතකට ලියූ කව ....

 

හද පූජාසනේ තබන්නම්

මල් මිටක් ඔබ නමින්

කථා බහක් නොවූ ලෙස

හමුවෙනා මතුදවස ‌ෙළංගතුකම් රැගෙන

සරා සද අමාවක වූ දිනේ

මුළු ලොවම සිහිනයකි

අතීතයේ හැගුම් වැල්

හද පාරනා සොදුරු සිතුවම් පමණි ...

 

පාරමී පුරාගෙන ඉපදෙනා

හදවතේ ආදරය

කඳුළු ගංගා සාගරයේ

සදා දියකර හරින්නෙමි...

 

ප්‍රේමයේ ඉකිබිඳුම

නෑසෙනා දුරින් හිද

ගොළු නොවූ හදවතක්

මතු දිනේ පතන්නෙමි...

 

නයන්ත ජගත් පුංචිහේවා

------------------

කසාවත

 

ජිවිතයේ දුක දැකලා

කලකිරුණා සිත

සියලු සැපත අතහැර දා

ගියා බුදුන් වෙත...

 

බෝ සෙවණේ සක්මනේ

බෝ පත් සිලිලාරේ

කිසිදු දෙයක් මතක් නොවේ

මට නම් මේ බුදු සෙවණේ...

 

නිවන් යන්න පෙරුම් පුරමි

දිනෙන් දිනේ මා

උදේ සවස පතනෙමි

ලෝ වැසියෙනි සෙත මා...

 

සුභෝදනී එන්. ඒ. එම්.

------------------

රෑ තනියම

 

පල වැරූ තුරු ලැහැබ

නොලැග ඉගිළීයති

වවුල් රැල නිහඬවම..

 

සට සටස් ගා වැටෙන

පිනි කඳුළු අතුපතර

බිඳී පාළුව විටින් විට...

 

මී රංචු අරක්ගත්

ඇතුළු ගෙට එබෙන්නට

හතු පිපුන දියමැස්ස

හෙටත් නෙත ගැටෙන්නට

ඉඩ නොදී තව රැයක්

ලණු ඇඳේ දපන්නට...

 

හඬාපන් කණකොකා

පෙර අරුණ නැ‌ෙඟන්නට..

 

පද්මසිරි හේරත්

--------------------

 

කාට කියන්නද...

 

මගේ පන්තිය කොහෙද කොතැනද

දුටු දිනක්වත් මතක නැත්තේ

එදා හමුවුණ යහළුවෝ නැත

කට හඬකි ඉදහිට ඇසෙන්නේ...

 

මේස පුටු යට වටේ රිංගා

ඉතිං කවදද දුව පනින්නේ

පොත පුරා ලියු අකුරු මුතු කැට

ගුරු මවුනි කවදද දකින්නේ...

 

එදා මිහිරට ඇසුන කටහඬ

කැඩි කැඩි එයි ඇයිද මන්දා

ඔන් ලයින් වැඩ ගොඩ ගැසී ඇත

කෙරෙන් නැත්තේ මොකද මන්දා...

 

ගුරු මේසේ ළඟ අපව වට කොට

පෑව සෙනෙහස නැති ද මන්දා

අහස උසටත් වැඩියි පාළුව

කාට කියමුද අනේ මන්දා...

 

පාසැලට මම යන්නේ කවදද

අම්මගෙන් මම අහනවා

ඇය සිනාහ වී කඳුළු හංගා

සෙනෙහසේ කවි කියනවා..

 

මුව වැසුම් ලා යහපුරුදු සැම

අපෙන් ඉටු කොට ඉන්නවා

ගමන බිමනත් නොයන ලෙස

දොරගුළින් වැසිලා තියෙවා....

 

අරුණ ඉසංක සමරතුංග

----------------------

වැසි වැටෙන සැදෑවක

 

නව පැතුම් උපදින

සොඳුරු වසන්තයට අතවනන

නැවුම් සිතුවිලි එක්කරන

කෙත්වතු සරු කරන

වැස්ස නුඹ නම්

මිතුරෙකි මුළු ලොවෙහිම...

 

වැහිළිහිණියන්ගේ නාදයත්

මැඩියන්ගේ හඬත්

මුළු පරිසරයම එකම

ගීතයක් වන සැටි

හරි අපුරුය වැහි දිනක

ගංගා ඇළ දොළ පිරි ගලනා

තුරු ලතා මඳ සුළඟට හිනැහෙනා

පිනි මල් පොකුරු මෙන් මල් පුබුදනා

සිසිල් වැහි බිඳු මිහිතලය සිපගන්නා

අයුරු මනරම්ය සැමදා....

 

නුවන්ති මධුෂානි සුබසිංහ

--------------------

කෘතිය - ගැබ්බර අහස

කර්තෘ - මහින්ද සාලිය

මිල - රුපියල් 200

පිටු - 56

කර්තෘ ප්‍රකාශනයකි.

 

පාසල් වියේ සිට කවියට පෙම් බැදි මහින්ද සාලිය අද වන විට බැංකු ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකි. නමුදු ඔහු කවිය අමතක කළ නොකළ අයෙකි. ඔහු විවිධ මානයන් ඔස්සේ තම කවි සිතට සැරි සරන්නට ඉඩදෙයි.

තලමල පිළිබඳ සරසවි හීනය එවන් එක් මානයකි.

විශ්ව විද්‍යාලයට නවක සිසුන්ගේ පැමිණිම විශ්ව විද්‍යාල සිසුන් අතර කියැවෙන්නේ. ඇතැම් සිසුන් තම පෙම්වතිය තෝරා ගන්නේ ද මේ රැග් සීසන් එකේදිය. කවියා මේ ලියන්නේ එවැනි අත්දැකීමකි. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබුවන්ට නම් මෙය සුලබ අත්දැකීමකි. මාතෘකාව තල මල පිළිබඳ සරසවි සිහිනය.

නැව ඇවිල්ලා - නැව ඇවිල්ලා

අපේ වරායට - නැව ඇවිල්ලා

“ඊයේ දුටු සඳවතිය

මෙහෙ වරෙන්

උඹට මම රැග් කරන්නෑ

කරන උන්ටත් ඉඩක් නැහැ“

වැඩිහිටි ශිෂ්‍යා අලුතින් විශ්ව විදයාලයට පැමිණි සිසු සිසුවියන් අතරින් හැඩකාරියක තෝරා ගන්නේ එලෙසනි. ඇතැම අවස්ථාවල ඒ සබඳතා විවාහයෙන් කෙළවර වුණද ඇතැම් සබඳතා දිගු දුර යන්නක් නොව. ඇතැම්වට දිගු දුර ගියද ඒ සබඳතා ගිලිහි යන අවස්ථාද නැතිවාම නොවේ.

මේ වාණිජ ලෝකයේ කලාව සෞන්දර්යය විදින්නවුන් සොයා ගැනිම අද නම් දුෂ්කර ක්‍රියාවකි. හේතුව වී ඇත්තේ සියල්ලන්ම එක්තරා රාමවක කොටු වී මුදල් පසුපසම හඹා යාමය. නමුදු එවන් සමාජය තුළ කලාව සොයා යන කලාව විදින්නට කැමති ඇත්තෝද හිදිති.

එවන් මිනිසුන් මේ කොටුව තුළ සිර ගත ජීවිත ගත කරන්නවුන් වැනිය. මේ එවැන්නෙකුගේ කතාවකි. මාතෘකාව කන්තෝරු කවිය.

“හැමදාම එකම වැඩ ගොඩක්

හරිම බෝරිං

ඒ මදිවාට...

වට පිට කෙනෙක් නැහැ

කලාවක් රස විඳින...

ජීවිතය හරි ඩ්‍රයි

කවියක් ලියුව ත්

කියවන්නට කෙනෙක් නෑ

මෙලෝ රහක් තියෙන එකෙක්

හොයා ගන්ට ලේසිත් නෑ

අඹුවො දරුවො

කොහොම ඉන්නවද මන්ද?...

මම ම ලියනවා

මම ම විදිනවා

මම ම ලියලා

මම ම විඳවනවා“

බොහෝ ජීවිත එසේය. ජීවිතයේ තමන් හා එක්ව එක මඟක යන්නට කෙනෙක් නැති වූ තැන තනිවන මිනිසුන්ගේ ජීවිත එබඳුය.

මාතෘකාව පහන් පැල. ඇය වෙනුවෙන් අනන්ත අප්‍රමාණ සිහින දකින ඇය වෙනුවෙන් ම බලා හිඳින හදවතක පිරුණ ආදරය එයැයි සිතේ. අන්ධකාර ජීවිතයකට ලද පහන් එළිය ඇයයි. ඔහුගේ පැතුම ඇයයි.

“ තබා දෙතොළඟ අමා මුවරද

විඩාඉර දිවි යහන සැරසුව

ගිමන නොදැනෙන සිහින කෙතාටුපළ

මගේ දිවියේ පහන් පැල ඔබ“

ජීවිතය ජීවත් කරන්නට මහා හුඟක් දේ අවශ්‍ය නැත. ඔහු අපට කියන්නට උත්සාහ දරන්නේ එසේය.

මහින්ද සාලිය විසින් ලියන ලද ගැබ්බර අහස කාව්‍ය සංග්‍රහයේ රසවිදින අතරේ ඔහු තම නිර්මාණ සංග්‍රහය අළෙවියෙන් ලබන ආදායම “ඉසුරු සෙවණ සමාජ සත්කාර පදනම“ අරමුදලට යොදා ගැනීම ද පැසසිය යුතු කරුණකි. මෙම කාව්‍ය සංග්‍රහයේ පිට කවරය මෙන්ම ඇතැම් කවි ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් හේවාපන්නගේ සිතුවමින් හැඩ වී ඇත.

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න

කවි සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

විද්යුත් තැපෑල

[email protected]

 

Comments