කලා ලෝකය බබ­ළ­වන ක්‍රිකට් තරු | Page 2 | සිළුමිණ

කලා ලෝකය බබ­ළ­වන ක්‍රිකට් තරු

 

 

ඔක්තෝබර් 17 ඉඳන් නොවැම්බර් 14 වෙනකම් ක්‍රිකට් ලෝලීන් නම් ඉන්නේ කාටද මෙවර 20යි 20 ලෝක කුසලානය හිමිවෙන්නේ කියන දෙගිඩියාවෙන්. ඒ නිසාම මේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන වැඩි වශයෙන් කතා වෙන කාලයක් කිව්වොත් නිවැරදියි. ක්‍රීඩාවට වගේම කලාවට දක්ෂතා පෙන්නුම් කරන ක්‍රිකට් තරු කිහිපයක් ගැන තමා අද අපි ඔබට කියන්න යන්නේ… මේ අය ඇත්තටම ක්‍රීඩාවට අමතරව ගීතයකින් හෝ රංගනයයකින් සිය ක්‍රීඩා ලෝලීන්ගේ නෙත් සිත් වසඟ කළ ක්‍රිකට් තරුයි.

 

 

 

අකලංක ගනේගම

 

ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට මුලින්ම හඳුනා ගත්ත අකලංක ගනේගම පසුකාලීනව ක්‍රීඩාවට පමණක් කොටු නොවී රංගනය, ගායනය සහ නර්තනය වගේ අංශවලිනුත් සිය දක්ෂතා පෙන්නුම් කරමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගත්තා. අද වෙද්දී නම් ක්‍රීඩා පිටියේ දකින්න නොලැබුණත් කලා ලොවේ විවිධාංගවලදී අකලංක ගනේගම දකින්න ලැබෙනවා.

 

 

සනත් ජයසූරිය

 

සනත් ටෙරාන් ජයසූරිය; ජිවිත කාලයේ හරි අඩක්ම ක්‍රීඩා පිටියට කැප කළ මේ විශිෂ්ට ක්‍රීඩකයා ලෝක සිතියමේ පිහිටි අප කුඩා රට ගැන විශාල අවධානයක් ඇති කිරීමට සමත් වුණා. පන්දුවට පහර දීමේ විලාසය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහිවූ හොඳ ම එක්දින ක්‍රීඩකයන් අතරට ද එක්ව සිටින ඔහුගේ සූවිශේෂී කට් පහර සහ පුල් පහර ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුළ අමරණීයයි.

ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කිරුළ හිමි වූ 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ද සනත් ජයසූරියයි. පන්දු යවන්නන්ට අමතක නොවන පාඩමක් උගන්නපු වමත් කසකරුවා ලෙස හැඳින්වෙන සනත් ජයසූරිය කියන්නෙත් හොඳ ගායකයෙක්.

භාතිය සන්තුශ් එක්ක “ඕ සාති” කියන ගීතයටත් හඬ දායකත්වය දීල තියෙන සනත් ජයසූරිය විවිධ සාදවලදී ගීත ගායනා කරන වීඩියෝ රැසක් අන්තර්ජාලය තුළ දකින්න ලැබෙනවා. කලකට පෙර ඉන්දියාවේ පැවැති ජනප්‍රිය රියලටි වැඩසටහනකට ද නර්තනයෙන් සනත් ජයසූරිය එක් වුණා.

 

 

 

ටී. එම්. ඩිල්ෂාන්

 

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ තමන්ගෙ නමින් ක්‍රිකට් පොතේ පහරක් තියෙන එකම ක්‍රිකට් ක්‍රීඩකයා. අනුකම්පා විරහිතව පන්දු යවන්නන්ට බැට දුන්නත් ඩිල්ෂාන් කියන්නේ හොඳ සංවේදී හදවතක් තියෙන ගායකයෙක්. “හැම සංසාරයේ” නම් යුග ගීතය ගයන්නේ ඩිල්ෂාන් සහ ඔහුගේ බිරිය මංජුලා තිලිණි විසින්. ඒ වගේම තමා තිලකරත්න ඩිල්ෂාන් 'සිංහාවලෝකනය' චිත්‍රපටය වෙනුවෙන් සහ 'මිතු' නාට්‍යය වෙනුවෙන් රංගනයෙන් ද දායක වුණා. ඩිල්ෂාන් විවිධ අවස්ථාවලදී වැඩසටහන්වලදී ගැයූ ගීත තිලකරත්න ඩිල්ෂාන් යූ- ටියුබ් චැනලයෙන් හෝ අන්තර්ජාලයෙන් දකින්න හැකියාව තියෙනවා.

 

 

සචිත්‍ර සේනානායක

 

සචිත්‍ර සේනානායක කියන්නේ ලංකාවෙන් බිහිවුණු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පිටියේදී පන්දුවට පහර දීමට වඩා පන්දු යැවීමට ඔහු සැමවිටම ප්‍රමුඛස්ථානය දුන්නා. එමෙන්ම ඔහු පිටියෙන් ඉවතදී ගායනයට ප්‍රමුඛ තැන දුන්නු දක්ෂ ගායකයෙක්. මේ වනවිට ඔහුගේම ගීත කිහිපයක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර “වටින ඔබගේ” සහ සමිතා මුදුන්කොටුව සමඟින් ගැයූ “මරතෝණ්ඩි දෑතේ” නම් ගීත ඇතුළත්. එපමණක් නොව නිරන්තරයෙන්ම කලා වැඩසටහන් වලට සහභාගී වන සචිත්‍ර, ඒ තුළින් ද ඔහුගේ ගායන හැකියාව පෙන්නුම් කළ දක්ෂ ගායකයෙක්.

 

 

නුවන් කුලසේකර

 

කුලසේකර මුදියන්සේලාගේ දිනේෂ් නුවන් කුලසේකර කියන්නේ ලංකාව බිහිකරපු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක්. ඔබ දන්නවද? ඔහු විශිෂ්ටතම වේග පන්දු යවන්නෙක් වගේම හොඳ ගායකයෙක් බව. ඔහුගේ ගායන හැකියාවන් කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩසටහන්වලදී දැකගන්න පුළුවන්. ඒවගේම සිය මිත්‍රයන්ගේ විවිධ උත්සව අවස්ථාවලදී ඔහු ගීත ගැයූ වීඩියෝ අන්තර්ජාලයේ යූ ටියුබ් මඟින් ඕනෑ තරම් නරඹන්නට පුළුවන්. ඒ වගේම තමයි අලුත්ම ආරංචිය නුදුරේ ම නුවන් කුලසේකරගේ ම ගීතයක් ක්‍රීඩා ලෝලීන්ට අහන්නත් ලැබෙන බව.

 

Comments