ඉතිහාසයේ සැඟවුණු මැණික් වත්මනට ගළපන නිර්මාණවේදිනිය | සිළුමිණ

ඉතිහාසයේ සැඟවුණු මැණික් වත්මනට ගළපන නිර්මාණවේදිනිය

ඉතිහාසය රස ගුලාවකි; මූලාශ්‍රය පිරුණකි. එහි විවිධ කතා තිබේ. ඒවා සමාජගතවී ඇත්තේ ද විවිධ ලෙසිනි. සමහර මතවාද සමාජගත වී ඇත ද ඒවායේ ඇතුළාන්තයේ සිදුවී ඇත්තේ එය ම ද කියා ගැටලුවක් පැන නඟී.

 

ඒ සමාජගතවී ඇති සමහර මතවාද නිවැරදි නොවන බවට වෙන සාක්ෂි වෙනත් මූලාශ්‍රය ඔස්සේ හමුවෙන බැවිනි. ඉතිහාසයේ කිමිදෙන්නකුට ඉතිහාසය රස ගුලාවකි.

තවත් කෙනකුට පර්යේෂණාගාරයකි. ප්‍රතිනිර්මාණිත ආකරයකි. කෙසේ කොහොම වුවත් ඒ සියල්ලේ ද හමු වෙන්නේ ජීවිතයේ විවිධ දෑ ය. අසාධාරණය, අයුක්තිය හෝ වෙන කිසියම් ම හෝ දෙයක් ය. ඒවායෙහි ද අද ජීවිතයේ සිදුවූ බොහෝ දෑ විවිධ ලෙස හමු වේ. සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, කුරිරුකම් සේ ම මෛත්‍රිය ද ආදරය ද ඒවායෙහි හමු වේ. වැඩිදුර යා යුතු නැත. මේ සියල්ල ජාතක පොත පමණක් ඇසුරු කළා වුව ද ලැබෙන බව නිසැක ය.

පද්මිනී සෙනෙවිරත්න ගුරු වෘත්තියෙන් පසු දැන් ගෙවන්නේ විශ්‍රාම දිවියකි. ඇය විශ්‍රාමය අර්ථවත් ව ගෙවන්නේ හදාරමින්, බලමින්, කියවමින්, සොයමින් හා ලියමිනි. සිය පුස්තකාලය සේ ම විවිධ ලේඛන හා හැදෑරුම් ඈ සොයන්නේ බලන්නේ කුතූහල හා පර්යේෂණාත්මක දෑසිනි. ඉතිහාසය ඇගේ ප්‍රියතම විෂයයකි. දිවයින බදාදා අතිරේකයට ලිපි ලියන්නට යම් යම් කරුණු සෙවූ ඇයට ඒ කරුණුවල හා සමාජගත කරුණු අතර වෙනසක් පෙනෙන්නට පටන් ගත්තේ ය. ඇය සිය ප්‍රථම නවකතාව වූ න ගච්චති ලියන්නේ ඒ අනුව ය.

‘මහනුවර යුගය ගැන හොයද්දි මට ගොඩක් කරුණු ලැබුණා. මේ ලිපි ලිවුවම ඒවා කියවන්නෙ ටිකක් වයසින් මුහුකුරා ගිය අය කියලා මට හිතුණා. මේ කරුණු තරුණ පරම්පරාවට කිට්ටු කරන්නෙ කොහොමද කියලා මම කල්පනා කළා. ඒ අනුවයි ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනා ගත්ත නවකතාව පැත්තට මගේ අවධානය යොමු වුණේ. මම වරක් ශ්‍රී වික්‍රමරාජසිංහ ගැන ලිපියක් ලිව්වා දිවයින පත්තරේට.

මට මේ ලිපියට අවශ්‍ය කරන කරුණුවලටත් වඩා කරුණු බොහොමයක් මේ සෙවීමෙදි ලැබුණා. අපි ශ්‍රී වික්‍රමරාජසිංහ කියන චරිතය ගැන දැනගෙන හිටියෙ අධම චරිතයක් ලෙසනෙ. නමුත් ඔහු ජනතාවට හිතැති ව හිටපු රජ කෙනෙක් කියලා මට කරුණු හොයද්දි තේරුණා. මට ඕන වුණා මේ රජ්ජුරුවො අපි හිතන් හිටිය කෙනා නෙවේ ය කියලා පාඨකයන්ට කියන්න.

මේ රජ්ජුරුවො ජනතාව වෙනුවෙන් කළ දේවල් එකතැනක ඒකරාශී වෙලා නැති වුණාට වෙන වෙනම තැන්වල ලියැවිලා තිබුණා. නාඋල්ල ධම්මානන්ද හාමුදුරුවන්ගෙ ‘ඌව විත්ති‘ පොතේ ඒ ගැන සඳහන්. තව බොහෝ පර්යේෂණ කෘතිවල මේ ගැන සඳහන්. ඒවගේම ඒ.සී. ලෝරිගෙ The gazetter of the Central Province of Ceylon කෘතියෙත් මේ රජ්ජුරුවො එක එක වෙහෙර විහාරවලට කළ සැලකිලි ගැන සඳහන්. හියු නෙවිල්ගෙ කවි එකතුවෙත් දෙවිවරුන්ට කරන පූජාවෙ සඳහන් වෙනවා මුහුදෙන් එතෙර ගියපු රජු ගැන. ඒ වගේම නිමේෂ තිවංකර සෙනෙවිපාල කියන නුවර එක්කෙනෙක් සංස්කරණය කරපු පොතක තිබිලා මට හමු වුණා මේ රජ්ජුරුවො වෙනුවෙන් හදපු දේවාලයක් ගැන සටහනක්. එහි විදියට රජු ඒ වනවිටත් වෙල්ලෝරෙ ජීවත් වෙනවා.

මේ සියල්ල ප්‍රබන්ධ කියලයි මට හිතුණෙ. ඇහැලෙපොල ගැන හොයද්දි මට තේරුණ දෙයක් තමයි අපි ඉගෙන ගත්ත දේවල් නොවෙයිනෙ මේ කියලා. එතකොට මේ සියලු හේතු මට බලපෑවා න ගච්ඡති ලියන්න’

ඉතිහාසයේ සමහර කරුණු ලියැවෙන්නේ එය රචනා කරන්නාගේ දෘෂ්ටිකෝණයට අනුව ය. ඔහු දරන්නේ කවර මතයක් ද ඒ වෙනුවෙන් එකී ලේඛනය ලියැවෙයි. එහෙත් ඉතිහාසය හුදු කතන්දරමය ස්වරූපයෙන් එහා ගොස් විචාරාත්මකව බලන දෑසට මේ සියලු කරුණු තර්කාන්විත ව පෙනෙන්නට පටන් ගන්නේ ය. එවිට මෙතෙක් හිස පුරා පිරී තිබූ මතවාද ඛණ්ඩනය වෙන්නට පටන් ගනියි. ඒවා තවත් එවැනි ම පිළිගැනීම්වල සිටින අයගේ දැන ගැන්ම පිණිස පද්මිණී ලේඛිකාව ලියා තබන්නේ ය. න ගච්ඡති හරහා අපට පෙන්නුම් කෙරෙන්නේ ඉතිහාසය විසින් නිවැරදි මූලාශ්‍රය ජනගත කරන්නට වෙහෙසුණු ලේඛිකාවගේ සමාජ වගකීමයි. තමා දැන නොදන්නා සේ සිටිනවාට වඩා බහුජන සවිඥානිකත්වය වෙනුවෙන් ඇය ඒවා ලියා තබන්නේ ය.

තිවත ලියැවෙන්නේ ද මෙලෙස ම ය. එයත් ඉතිහාසය විසින් ඇගේ දැක්ම නිවැරදි කිරීමක් වෙනුවෙන් ලියැවෙන්නකි.

‘තිවත සීතාවක යුගය අළලා ලියැවුණු නවකතාවක්. බොහෝ පොත්පත්වල සඳහන් වෙන්නෙ සීතාවක රාජසිංහ රජු කළු චරිතයක් ලෙස. එහෙත් එය එසේ නොවන බව කියැවෙන මූලාශ්‍රය දෙකක් මට ලැබුණා. එකක් මධුවාපී විහාර විත්ති වර්ණනාව හා දහනැක පටුන කියන පොත. නාරම්මලට නුදුරුව තියෙනවා මී වැව කියලා ගමක්. එහි ඉතිහාසය පිළිබඳවයි ඒ පොතෙන් කියැවෙන්නෙ. අපට එහි පිටපතක් ලැබුණා අපේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක් වෙන මී වැවේ ගුණානන්ද පණ්ඩිත හාමුදුරුවන්ගෙන්.

දෙවැන්න තමයි සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය කියන ලියැවිල්ල. එය මහාචාර්ය රිසිමන් අමරසිංහයන් විසින් ලියන ලද ‘ඓතිහාසික සීතාවක‘ කියන ග්‍රන්ථයට ඇතුළත් කරලා තියෙනවා.

සීතාවක රාජසිංහයන් ගැන නවකතාවක් ලියන්න අදහස ආවේ ඒ ලියැවිල්ල කියවීමෙන් පස්සෙයි.

සමහර කාරණා මේ සමය සේම එදා ද සිදුවූ ඒවා ය. එදා ද බල අරගලය වෙනුවෙන් විවිධ අකටයුතුකම් හා නොවිය යුතු දෑ සිදු වුණේ ය. පාවාදීම් මෙන්ම චරිත ඝාතන ද ඔස්සේ පුද්ගල චරිත ගැන අප්‍රසාද ඇති කළේ ය. මේ සියල්ලේ සිද්ධි දාමය එකක් වෙන අතර මේවායේ සිදුවන ස්වරූපය හා ඒවා ට මුහුණ දෙන ආකාරය පමණක් වෙනස් ය.

‘රාජසිංහ රජතුමාට එරෙහි පීතෘ ඝාතක චෝදනාව අසත්‍යයක් බව සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය වගේම මධුවාපී විහාර විත්ති වර්ණනාවත් ඍජුවම කියනවා. එය බල අරගලයක ප්‍රතිඵලයක්.

රාජසිංහ රජු ජනතා අප්‍රසාදයට පත් කිරීම සඳහා හිතාමතා පතුරවපු බොරුවක් බව ඒ පොත්වල සඳහන් වෙනවා. අර කලින් සඳහන් කළා වාගෙ දෙවැනි රාජසිංහ කාලය වනවිටත් සීතාවක රාජසිංහ කියන්නෙ වීරයෙක්.

මහාචාර්ය රිසිමන් අමරසිංහයන් ඔහුගේ ඓතිහාසික සීතාවක ග්‍රන්ථයට මානියම්ගම පුස්කොළ ලිපිය කියලා ලියැවිල්ලක් ඇතුළත් කරලා තියෙනවා. එය ලියලා තියෙන්නෙ සිටිනාමළුවේ සෝභිත කියලා හාමුදුරුනමක්. එහි සඳහන් ආකාරයට හාමුදුරුවරුන් හිර අඩස්සියට ගැනීමත්, විහාර ගම් හේවා නිල සමකරන්නටත් රදලයන්ට විපත් කරන්නටත් රජ්ජුරුවො පටන් අරන් තියෙනවා. එයට හේතුව රජුට විරුද්ධව සංඝයා කුමන්ත්‍රණය කිරීමයි. මට හිතෙන විදිහට ඔය සංඝ ඝාතන චෝදනාව මුලින්ම එල්ල කරල තියෙන්නෙ පළමුවන විමලධර්මසූරිය රජුගේ වීරත්වය හුවා දක්වමින් ලියන ලද මන්දාරම්පුර පුවතින් විය යුතුයි. එය ලියැවී ඇත්තේ දෙවැනි රාජසිංහ යුගයේදී එනම් 1647දී.‘

තිවත ලියැවෙන ආකෘතිය ද වෙනස් ය. එය චරිත තුනක් කතා කරන ආකෘතියක් ඔස්සේ පාඨකයාට ඉදිරිපත් වේ. ප්‍රතිනිර්මාණ කාර්යයේදී මෙවැනි වෙනස්කම් කළ යුතුව ඇත; නැත්නම් එය පාඨකයාට දැනෙන්නේ නැවතත් පෙර ඉතිහාස මූලාශ්‍රය ම කියවන්නා සේ ය.

‘නිර්මාණකරණයේදී ඉතිහාසය ගැන හැම කෙනෙක් ම දන්න දේ කියන්න උත්සාහ කිරීම අසාර්ථකයි. එහෙත් ගවේෂණාත්මක ව යම් දෙයක් ඉදිරිපත් කළොත් වයස් භේදයකින් තොරව එය කියවනවා. උදාහරණයක් ගත්තොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො දුෂ්ට,

අධර්මිෂ්ඨ රජෙක් කියලයි හැමෝම දන්නෙ.

ඒක නැවත නැවත කීමෙන් තේරුමක් නෑ. අලුත් දෙයක් පාඨකයාට ලැබෙන්නෙ නෑ. වෙනස් නමුත් ඇත්ත යමක් කියවන්න ලැබුණොත් පාඨකයන් ඊට ආසක්ත වේවි. ඔහු අධර්මිෂ්ටයකු නොවන බව කීවොත් එය කියවන්න වැඩියෙන් පෙලඹීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒක නිකම්ම කියලා පලක් නෑ. අත්තනෝමතික ව එවැනි අදහසක් ඉදිරිපත් කරන්නත් හැකියාවක් නෑ.

අප එය තහවුරු කළ යුතුයි. එතැනදී නිර්මාණකරුවාට ගවේෂකයකු වෙන්න සිදු වෙනවා. කොහොම වුණත් ඉතිහාසය කියන්නෙ නිර්මාණකරුවන්ට ධන නිධානයක්.

‘පද්මිනී සෙනෙවිරත්නගේ වරණ 2018 ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටය මෙන්ම සියලු සම්මාන උළෙලවල් හි අවසන් වටය සඳහා නිර්දේශ වන්නේ ය.

‘වරණ ලියද්දි මගේ මහත්තයා නැති­‌ෙවලා ටික කාලයයි ගෙවිලා තිබුණෙ. විශ්‍රාම අරන් තනියම කාලය ගෙවන්න වුණාම මම උත්සාහ කළා ඒ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න. ඉතින් මම අපේ පුස්තකාලයේ තියෙන පොත් පත් කියෙව්වා. කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණ යටතේ උඩරට ජනතාවට ඉඩම් අහිමි වුණා. ඒ අවස්ථාවෙදි ඒ ඉඩම් අහිමි වුණු මිනිසුන්ගේ ප්‍රශ්නය තමයි මට කතා කරන්න ඕන වුණේ.

ඉතිහාසයේ හැංඟුණු තොරතුරු ගැන පාඨකයන් දැනුම්වත් කරන්න මම කැමැතියි.

හැමෝම දන්න කතාවට එහා ගියපු විවිධ අර්ථකතනවලට ලක් වෙලා විකෘති හා වෙනස් වුණු ඉතිහාසයේ ඇතැම් දෑ නිවැරදි කරන්න මට වුවමනා වුණා’

ඈ මේ සියල්ල ලියන්නට පෙර ඉතිහාසය පුරා සොයමින්, ගවේශණය කරමින්, පීරමින් කිමිදෙන්නී ය. ඒවායේ ජීවත් වෙන්නේ ය.

ඇගේ ලේඛනය ඒ ඒ වකවානුවල ලේඛන විධික්‍රමයට අනුව හැඩගස්වා ගැනීමේ ප්‍රයත්නයේ නිරත වන්නී ය. එවිට ඇයට භාෂාව පිළිබඳ ව ද පර්යේෂණ කරන්නට සිදුවේ.

ඇය සොයා ගන්නා එවැනි සැඟැවුණු මැණික් වැනි දෑ ඉතිහාසය කැණ පාඨක ප්‍රජාව වෙත තිළිණ කරන්නී ය. මතක තබා ගත යුත්තේ ඉතිහාසයේ ලියැවී ඇති සියලු දෑ ඒ අයුරින් ම පිළිගන්නා තාක් කල් අපේ වර්තමානය ගැන ද සැක සංකා මතුවෙන බව පමණී.

Comments