ඉගෙන ගත්ත බව අපි ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ | සිළුමිණ

ඉගෙන ගත්ත බව අපි ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ

ආචාර්ය ගීතාංජනී කලෙකට පෙර

 

කලක් ගුරුවරියක් ව සිට පසුකලෙක රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වත්මනේ උසස් නිලයක් දරන, කවියට ගීතයට මෙන්ම නවකතාවට ද පෙම් බඳින ගීතාංගනී ප්‍රදීපා සේරසිංහ තමන්ගෙ කාර්ය බහුල ජීවිතය ඇතුළේ පවුලත් සමබර කරගෙන යන විදිය අපූරුයි. ‘මගේ ළමා කාලය ගත වුණේ සාමාන්‍ය ගැහැණු ළමයෙක් විදියට. මගේ ගම කොහෙද කියලා කවුරු හරි ඇහුවම මට කියන්න තියෙන්නේ දිගු උත්තරයක්. මගේ අම්මා ගම්පහ. තාත්තා මාතර තෙලිජ්ජවිල. පුංචි කාලේ තාත්තගේ ගමේ හිටිය. තාත්තා සුරාබදු නිලධාරියෙක් හින්දා අවුරුදු තුනෙන් තුනට ස්ථාන මාරුවීම් ලබමින් රටපුරා සේවය කළේ. ඒ කාලේ අම්මයි තාත්තයි තීරණය කරනවා ඉගෙනීමේ කටයුතු වලට කොළඹ රැඳෙන එක හොඳයි කියලා. ඒ නිසා මම හැදෙන්නේ මගේ අම්මගේ අම්මයි තාත්තයි ළඟ. මගේ අම්මගේ තාත්තා නාවික හමුදා නිලධාරියෙක්. ඒ දෙන්න හිටියේ අගනුවර. මගේ පවුලේ මට ඉන්නේ නංගිලා දෙන්නෙක්.

 

මම මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්. පසුව ගෝතමී බාලිකා විද්‍යාලයෙන් තමා උසස් පෙළ දක්වා ඉගෙනීම් කටයුතු සිදු කරේ.

විශ්වවිද්‍යාල ජිවිතයට කලින් මම පටන් ගන්නේ මගේ රාජකාරි ජීවිතය. උසස් පෙළට මම හැදෑරුවේ ජීව විද්‍යාව විෂය. 1984 ජනවාරි වල විද්‍යා ගණිත විෂය ධාරා හදාරපු අයට තිබ්බ තරග විභාග ප්‍රතිඵල වලට අනුව විද්‍යා ගණිත උප ගුරුවරියක් හැටියට 1984දී මගේ මුල්ම රාජකාරි ජීවිතය පටන් ගන්නවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය යාය 13/14 මහසෙන් මහා විද්‍යාලයේ.

තරුණ නැඟිටීමක් සිද්ධ වෙන 88/89 කාලයේ මම විශ්ව විද්‍යාල ජීවිතයට මුහුණ දුන්නු කාලය. විශ්වවිද්‍යාල සහ පාසල් අවුරුදු තුනක වගේ දීර්ඝ කාලයක් විවෘත නොකර තියෙනවා. එතැනදී මම හිතුවා උසස් පෙළ දෙවන වරට පෙනී සිටින්න. ඒ පෙනී සිටියේ කලා විෂය ධාරාවෙන්.

ඇය පළමු වර විද්‍යා විෂය හදාරලා දෙවැනි වරට කලා විෂය ධාරා තෝරා ගන්නේ තමන්ගේ සහජ හැකියාව පිළිබඳ තමන්ටම ඇති වෙන තක්සේරුව හා ආශාව නිසා ය.

‘පුංචි කාලයේ ඉඳන්ම මම ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්. මට ලියන්න හැකියාවක් තිබ්බා. මම සාමාන්‍ය පෙළ ලියන කාලේ ඉඳන්ම පත්තරවලට කවි ලිව්වා. නවයුගය පත්තරේට මුලින්ම ලිව්වේ. ඊට පස්සේ විජය සහ මිහිර පත්තරේට. කවි හදාරමින් ලියන්න පටන් ගත්තේ ලේක්හවුස් එකේ යොවුන් ජනතා පත්තරේ යොවුන් පහන්වැට කියලා ධර්මසිරි ගමගේ මහත්තයා පටන් ගත්තු නවක අතහිත දීමට. මම ඒ යොවුන් ජනතා පත්තරේට කවි ලියපු මුල්ම කණ්ඩායමේ හිටිය ලාබාලම කෙනෙක්. ඒ වෙද්දී මම විද්‍යා විෂය ධාරාව තෝරාගෙන ඉවරයි. මගේ ගුරුවරුන්ට දෙමාපියන්ට ඕනෑ වුණේ මාව වෛද්‍යවරියක් කරන්න. මගේ හිතෙත් ඒ ආසාව තිබ්බා. ඒ නිසා පළමු වරට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටියත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න ප්‍රමාණවත් ලකුණු තිබුණේ නැහැ.

1983 දී හොඳම ගීත රචනයට හිමි යෞවන සම්මානයත් 1985 දී හොඳම කාව්‍ය නිර්මාණයට සහ හොඳම කෙටිකතාවට හිමි යෞවන සම්මාන දෙකත් මම දිනා ගන්නවා. 1988 දී නැවත මම හොඳම කාව්‍ය නිර්මාණයට හිමි සම්මානය ලබනවා. මේ කාලයේ මගේ කවි කියවපු අය විශේෂයෙන්ම ධර්මසිරි ගමගේ මහත්තයා වගේ අය කියපු දෙයක් තමා අපරාදේ ප්‍රදීපා විද්‍යාව කළේ කරන්න තිබ්බේ කලා විෂයයන් කියල. ඒ ලැබුණු උත්තේජන සහ මගේත් තිබුණු කැමැත්ත එක්ක එවකට තිබුණු තරුණ නැගිටීම නිසා මගේ රාජකාරි සහ අධ්‍යයන ජීවිතය අක්‍රිය වෙලා තියෙන කාලයේ මම හිතුවා දෙවැනි වර කලා විෂයන්වලින් විභාගයට පෙනී ඉන්න. දෙවන වර ප්‍රතිඵල මත සිංහල සහ ජනසන්නිවේදනය හදාරන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

 

ආචාර්ය ගීතාංජනී සිය සැමියා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නසිරි අරංගල සමඟ

 

මම විවාහ ජිවිතයට ඇතුළත් වුණේ 1990 දී. රත්නසිරි අරංගල තමා මගේ සැමියා. මම යොවුන් ජනතා පත්තරේට ලියන කවි ඔහු කියවලා තිබුණා. අපිට අවස්ථා ලැබුණා යොවුන් ජනතා පුවත්පත මගින් තරුණ කණ්ඩායම් සඳහා සංවිධාන කෙරුණු විවිධ වැඩසටහන්වලට සහභාගී වෙන්න. එතනදී තමා මුලින්ම මම ඔහු හඳුනා ගන්නේ බොහොම සමීප මිත්‍රයෙක් හැටියට. ඒ මිත්‍රත්වය තමා කාලයකට පස්සේ ආදරයක් වෙලා විවාහය දක්වා ආවේ.

ඒ වසරේදීම මම මගේ විද්‍යාවේදී උපාධිය සම්පුර්ණ කරනවා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල සහ ජනසන්නිවේදනය ගෞරව උපාධිය හදාරනවා. ඒක සම්පුර්ණ වෙන්නේ 94දී. 1995දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත ගුරු වෘත්තියෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයට මාරු වෙනවා.

ජීවිතය ඉරි ගසා වෙන්කර ලියා නැත. බොහෝ දේවල් සිදුවන්නේ කිය කියා නොවේ. ඇය ද පරිපාලන සේවයට එක්වෙන්නේ පෙර සැලසුම් කර නොවේ.

‘මුලින්ම මට පත්වීම් ලැබෙන්නේ කොළඹ සහකාර දිස්ත්‍රික් ලේකම් විදියට. ඉන් පස්සේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් හැටියට සේවය කරලා පසුව පරිසර අමාත්‍යංශයේ සහකාර ලේකම් හැටියට කටයුතු කළා. ඒ අතරේ මට ලැබෙනවා එක්සත් රාජධානියට යන්න මගේ කළමනාකරණපති උපාධිය හදාරන්නට. ඒ ගිහිල්ලා උපාධිය සම්පුර්ණ කරලා මම නැවත එන්නේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට. ඒක තමා අපේ රටේ විධායක ශ්‍රේණිවල නිලධාරීන් අතරින් විශේෂයෙන්ම සමස්ත ලංකා සේවාන්හි කළමනාකරණය පිළිබඳ සියලු පුහුණු කටයුතු කරන ආයතනය. ඒ ආයතනයට තමා මම එන්නේ කළමනාකරණ උපදේශවරියක් හැටියට. මම මුලින්ම සේවාවට ඇවිල්ලා මගේ සේවා ආරම්භක පුහුණුව ලබපු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේම තමයි අවුරුදු 5ක් කළමනාකරණ උපදේශක කෙනෙක් හැටියට සේවය කරන්නේ. ඊට පස්සේ මම යනවා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හැටියට. ඊට පස්සේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හැටියට. එතනින් පස්සේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ හැටියට අවුරුදු 4ක් පමණ සේවය කරනවා. නැවත ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට ආරාධනයක් ලැබෙනවා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශකවරියක් වශයෙන් සේවය කරන්න. ඒ සේවා කාලයෙන් පස්සේ මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෙනවා. ඊට පස්සේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් පත්වෙලා යනවා.

ඊට පස්සේ කලක් මම සේවය කරපු සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් හැටියට ස්ථාන මාරුවක් ලබනවා. එතන අවුරුදු 4ක් විතර සේවය කරලා මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජ්‍ය පරිපාලන විෂයභාර අතිරේක ලේකම් හැටියට ස්ථාන මාරුවීම් ලබනවා. ඔය අතරේම 2020 වසරේ මැද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වෙලා එනවා. වසංගත තත්ත්වයන් එක්ක 2021 මේ අවුරුද්දේ මුල තමා ආචාර්ය උපාධියේ ප්‍රතිඵල එන්නේ. මේ අවුරුද්ද මුලදී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පුර්ණකාලීනව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වෙනවා.

මේ සියල්ල අතරේ මා සතු ලේඛන හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වරින් වර පොත් කිහිපයක් ලිව්වා. 1990දී පින්මද දියණි මගේ පළවෙනි කවි පොත. තව ‘වඳුරු සහෝදරියෝ’ පරිවර්තන පොත සහ මගේ ස්වතන්ත්‍ර නවකතා පොතක් වන "සුබ උපන්දියක්" ලිව්වා. මම කියවන්නත් කැමති කෙනෙක් නිසා සහ මගේ සැමියා සතුව පොහොසත් පුස්තකාලයක් ගෙදරම තියෙන නිසා මහාවංශය, ථුපවංශය වගේ පොත් කියවද්දී මගේ හිතේ මැවුණු චරිත කිහිපයක් තිබුණා. ප්‍රධානම චරිතය වුණේ විහාරමහාදේවි චරිතය. ඒ චරිතය පදනම් කරගෙන සිඳු මෙහෙසි පොත රචනා කළා. රාජකාරි කටයුතු එක්ක කාර්යබහුල වීමත් එක්කම වැඩි කාලයක් ලේඛනයට යොදවන්න බැරි වුණත් තව පොතක් දෙකක් ලියන්න හිතේ තියෙනවා.

පරිපාලනය හා ලේඛනය ජීවිතයේ සම තැන් කරගත් ඇය තවතවත් ජීවිතයට ඉසුඹු ලද දෑ මතක් කරන්නට වෙර දරන්නී ය.

මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ ගැන කෙටියෙන් මතක් කරනවා නම්, අනුරාධපුරයේ රාජකාරි ජීවිතය පටන් ගැනීම තමා මගේ හැරවුම් ලක්ෂය. සැබෑ ජනජීවිතය මම දැක්කේ ඒ අවුරුදු 20 ඇතුළෙ මම සාමාන්‍ය පෙළ ගණිතය උගන්වපු ඇතැම් දරුවෝ තවමත් මා එක්ක කතා කරනවා. ඒ අයට වුණු එක පොරොන්දුවක් තවම මට ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ තමා දවසක අපි හමුවෙමු කියලා කතා කරගත්තා. ඒ පාසලේ ඉගෙන ගත්ත දරුවන් දෙන්නෙක් ගුරුවරු වෙලා ඉන්නවා. ඒ ගැන මට විශාල සතුටක් තියෙනවා.

මගේ විවාහය මගේ ඊළඟ හැරවුම් ලක්ෂය. ඒ එක්කම ශ්‍රී ලංකා පරිපාලන සේවයට එකතු වීම. ඒ එක්කම මට ජීවිතේ නැතිවීම් දරා ගන්න කියා දුන් මගේ පියාගේ අභාවය. දුවෙක් සහ තාත්තා කෙනෙක් අතර තියෙන බැඳීම ගැන අමුතුවෙන් මම කතා කරන්න ඕනේ නැහැනෙ. ඒ එක්කම මගේ ජිවිතේ ප්‍රධාන හැරවුම් ලක්ෂ දෙකක් මගේ පුතාලා දෙන්න ඉපදුණ දවස්.

මේ තාක් මගේ වෘත්තීය ජිවිතේ ඉදිරි ගමනක් එන්න මට ලොකු සහයෝගයක් ලැබුණේ මගේ පවුල නිසා. මොකද ඒ අය වෙනුවෙන් මගේ රාජකාරි ජීවිතය කැප කරන්න කියලා මට කවදාවත් කිව්වේ නැහැ. මගේ ගෙදර එදිනෙදා කටයුතු වලදීත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ලෙහෙසි නැහැ මේ සියල්ල කළමනාකරණය කරගෙන යාම. විශේෂයෙන්ම මගේ දරුවෝ පුංචි කාලේ චුටි නංගි සහ මගේ මහත්තයාගේ නංගි මට උදව් කරා.

අපිට ඉන්නේ පුත්තු දෙන්නෙක්. මට ඉන්නේ දෙකළවරක ඉන්න පුත්තු දෙන්නෙක් කිව්වොත් නිවැරදියි. ලොකු පුතා ආත්මජ ප්‍රභාෂ්වර උසස් අධ්‍යාපනය හදාරන්නේ ඇක්වයිනාස් හි උද්‍යාන හා ගෙවතු අලංකරණය පිළිබඳ ඩිප්ලෝමාව. එයා පරිසරය එක්කම ඉන්න කැමති කෙනෙක්. පරිගණකය ඇසුරු කරන්නේ සෞන්දර්ය කටයුතු ස්පර්ශ කරන්න සහ සින්දු අහන්න විතරයි. චූටි පුතා විචක්ෂණ සුගීෂ්වර අනිත් කෙළවරේ ඉන්නේ එයා පරිගණක මෘදුකාංග පිළිබඳ තමා ප්‍රථම උපාධිය හදාරලා තියෙන්නේ. එයා මිදුලටවත් බහින්නේ නැහැ. හැබැයි ගහක අත්තක් හරි කපන්න ගියොත් චූටි පුතා කලබල වෙලා කියනවා අතු කපන්න එපා කියලා. ගස් හිටවන්නේ නැති වුණාට ගස් කපනවට බොහොම විරුද්ධයි. ලොකු පුතා ගහ කොළ එක්කම තමයි. එයාල කිව්වෙම අම්මාවත් තාත්තාවත් කරන දෙයක් උසස් පෙළට කරන්නේ නැහැ. මොකද අපේ වෘත්තීය පැත්තට යොමු වෙන්න ඒ අයට කිසිම අදහසක් තිබ්බේ නැහැ. අපි බලපෑම් කරෙත් නැහැ. ඒ අයට නිදහස දුන්නා ඒ අය කැමති ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයනය කරන්න.

අනාගත පරපුරට මම හැමදාම කියන්නේ අධ්‍යාපනය කියන්නේ සහතික එකතු කිරීම හෝ විභාග සමත් වීම නම් නෙමෙයි. ගිරව් වගේ කටපාඩම් කරන එකෙන් ඔබ්බට ගිහිල්ලා අවබෝධයක් එක්ක ලබා ගන්න දැනුමක් එක්කයි ජීවත් වෙන්න ඕනේ. ඉගෙන ගත්ත බව අපි ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ. අපේ හැසිරීම ඒ බව ඔප්පු කරනවා.

Comments