ඇඟිල්ලක් ළෙලවත් ඔවුහු එතරම්ම බලවත් | සිළුමිණ

ඇඟිල්ලක් ළෙලවත් ඔවුහු එතරම්ම බලවත්

 

‘ක්‍රිකට් තරගයක තීරණයට ප්‍රබලව බලපෑම් එල්ල කළ හැක්කේ විනිසුරුවාට ය. ක්‍රිකට් තරගයක ප්‍රධාන විනිසුරුවෙක් හා පැති විනිසුරෙක් වශයෙන් විනිසුරුවන් දෙදෙනෙක් සිටිති. ඊට අතිරේකව තෙවැනි විනිසුරුවෙක් හා සමස්ත තරගය දෙසම විමසිලිමත්වන තරග තීරකයෙක් ද වේ. මේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අසමසම බලවත්තු ගැන ය.’

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග විනිසුරුවරයන් වශයෙන් විනිසුරුවන් නම්කිරීමට පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය කටයුතු කළේ ය. ඒ පළමු වටයේ තරගාවලිය වන සුපර් 12 කණ්ඩායම් අතරට එක්වන කණ්ඩායම් හතර තේරීම වෙනුවෙන් පැවැත්වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලිය හා ඊට පසු ආරම්භ වන සුපිරි දොළහ තරගාවලිය සඳහා ය.

ඒ අනුව ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් අයි.සී.සී. තරගාවලියට එක්වන විනිසුරුවරයන් සංඛ්‍යාව දහසයකි. ඊට විනිසුරුවන්ට අමතරව තරග තීරකයන් සිව්දෙනෙකුගේ සේවය සපයා ගැනීමට ද අයි.සී.සී. ය කටයුතු යොදවා තිබේ.

මෙම තරගාවලියේ විනිසුරු කටයුතු යෙදෙන විනිසුරුවන් අතින් තිදෙනකු වඩාත් සුප්‍රකට විනිසුරුවන් සේ සැලකෙයි. ඒ ඔවුන් හයවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විනිශ්චයෙන් දායක වන බැවිණි. එසේ හයවැනි වතාවට විනිශ්චය කටයුතු වෙනුවෙන් එක්වන විනිසුරුවන් තිදෙනා වනුයේ අලීම් ඩාර්, මාරයිස් එරාස්මුස් හා රොඩ් ටකර් ය.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ සෑම ලෝක කුසලාන තරගයක් වෙනුවෙන්ම මධ්‍යස්ථ විනිසුරුවන් විනිශ්චය සඳහා එක්කිරීමට අයි.සී.සී. ය කටයුතු කර තිබීමයි. ඉන් අදහස් වන්නේ යම් රටක් නියෝජනය කරන විනිසුරුවරයකුට තමන් නියෝජනය කරනු ලබන රට ක්‍රීඩා කරන තරගයක් විනිශ්චය කිරීමට අවස්ථාව ලබානොදීම මෙහිදී සිදුවෙයි. ඒ අනුව ලෝක කුසලාන තරග හතළිස් පහේ විනිසුරුවන් ලෙස කටයුතු කරනුයේ මධ්‍යස්ථ විනිසුරුන් දහසය දෙනෙකි.

‘අපිට ලෝකයේ සිටින හොඳම විනිසුරුවන් කැඳවා මෙම තරගාවලිය විනිශ්චය කරන්න ලැබීම ගැන සතුටුයි. ඒ වගේම විශිෂ්ටතම තීරකවරුන්වත් අපි මේ වෙනුවෙන් සම්බන්ධ කරගෙන සිටිනවා. ඒ ගැන අපි අයි.සී.සී. ය වශයෙන් ආඩම්බර වෙනවා.’ යැයි අයි.සී.සී. විනිසුරු හා තීරක කමිටුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඒඩ්රින් ග්‍රිෆිත් පවසා තිබේ.

‘ඒ වගේම අපි සැමවිටම ඉතාම සුදුසු නිලධාරීන් යොදවන්න ක්‍රියා කළා. මධ්‍යස්ථ විනිසුරුවන් හා තීරකයන් යොදවා ගන්නත් අපිට හැකිව තිබෙනවා. අපි ඔවුන්ට සුබ පතන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපි විශ්වාස කරනවා ඔවුන් මෙම තරගාවලිය පහසුවෙන් පවත්වන්නට අවශ්‍ය සහයෝගය ලබාදේවි කියා.’ ඔහු වැඩිදුරටත් පැවසූවේ ය.

ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම අන්තර් ජාතික විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මීට පෙර පැවැති 2019 ලෝක කුසලානයේ දී අවසන් මහා තරගය විනිශ්චය කරනු ලැබුවේ ය. මෙවර තරගාවලියේ ආරම්භක තරගය වන සුපිරි 12 අතරට එක්වීමේ තේරිම් තරගාවලියේ පළමු තරගයට විනිශ්චයෙන් දායක වූයේ ය. ඔහු සමඟ එම තරගය විනිශ්චයට එක්වූ අනෙක් විනිසුරුවරයා වූයේ ක්‍රිස් ගැෆනි ය. මෙහි තරග තීරකයා වූයේ රන්ජන් මඩුගල්ල ය. රූපවාහිනී විනිසුරුවරයා සේ රිචර්ඩ් කෙට්ල්බරෝ කටයුතු කළ අතර අෂාන් රාෂා සිව්වැනි නිලධාරියා විය.

අලීම් ඩාර් හා එරාස්මුස් සුපිරි 12 තරගාවලියේ එංගලන්ය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයේ විනිසුරුවන් වශයෙන් කටයුතු කරති. එහි තරග තීරකයා ඩේවිඩ් බූන් ය. තෙවැනි විනිසුරු වනුයේ සිය පළමු තරගය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින්නේ ක්‍රිස් බ්‍රවුන් ය.

තරග තීරකවරුන් මෙසේය.

රන්ජන් මඩුගල්ල, ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝ, ජවගල් ශ්‍රීනාත්.

විනිසුරුවන් -  ක්‍රිස් බ්‍රවුන්, අලීම් ඩාර්, කුමාර් ධර්මසේන, මාරිස් එරාස්මුස්, ක්‍රිස් ග්‍රැෆනි, මයිකල් ගෆ්, ඒඩ්රියන් හෝල්ඩ්ස්ටෝක්, රිචර්ඩ් ඉලංග්වර්ත්, රිචඩ් කෙට්ල්බෝරෝ, නිටින් මෙනොන්, අෂාන් රාසා, පෝල් රයිෆල්, ලැංග්ටන් රුස්රි, රොඩ් ටකර්, ජොඑලේ විල්සන් හා පෝල් විල්සන්.

කාන්ති ජයසිංහ

Comments