ආහාර මිල වැඩි වීම ගැන ජනතාව කියන කතා | සිළුමිණ

ආහාර මිල වැඩි වීම ගැන ජනතාව කියන කතා

රජය මැදිහත් වෙලා ජනතාවට සහන ලබා දෙන්න 
- ආර්.එම්. ස්වර්ණලතා (53)  පුත්තලම - ගෘහණියක්

බෙහෙත් ගන්න ගමේ ඉඳලා කොළඹ ආවෙ. තේ බොන්න ගියත්, කෑම ටිකක් කෑවත් අපිව විකිණෙනවා. අතේ තියන තුට්ටු දෙක ඉවරයි. දැන් නම් ජීවත්වෙන්න හරි අමාරුයි. වෙළෙන්දට දොස් කියන්නත් බෑ. ගෑස්, පෙට්‍රල් ගණන්. තෙල්, සීනි, පිටි, හාල්, පොල් හැමදෙයක්ම ගණන් නිසා කෑම මිල ඉහළ යනවා තමයි. මිල පාලනය ඉවත් වෙලා නිසා ආහාර ද්‍රව්‍ය හිතූ ගණන්වලට විකුණනවා. දවසින් දවස මිල ඉහළ යනවා මිසක් අඩුවක් නෑ. අපි ඉල්ලා සිටින්නේ රජය මැදිහත් වෙලා සහන දෙන්න කියලයි.

සාමාන්‍ය ජනතාවට සහන සැලසීම රජයේ වගකීමයි
- එම්.එෆ්. මොහිදීන් (39) බොරැල්ල - ත්‍රිවිල් රියදුරු

එදාවේල හම්බකරගෙන කන මධ්‍යම පාන්තිකයන්ට තමයි ප්‍රශ්න. ත්‍රිවිල් එකට ලක්ෂ 1 1/2ක් ඇරියස්. පෙට්‍රල්, ඩීසල් විතරක් නෙමෙයි භූමිතෙලුත් ගණන්. හයර් දුවලා ඉස්සර වගේ ආදායමක් නෑ. කඩෙන් කන්නේ. එදිනෙදා හම්බකරන ගාන වැඩිපුරම යන්නේ කඩෙන් කන්න, තේ බොන්න. ලොකු මිනිහාට මේවා දැනෙන්නේ නෑ. දේශපාලකයන්ට ගානකුත් නෑ. හැමදාම මේ ගැටලු වලින් තැළෙන්නේ, දුක් විඳින්නේ පොඩි මිනිහා තමයි. රජයේ වගකීම යුතුකම නැති බැරි කෙනාට වැඩිපුර සහන සලසවන එකයි.

මිල පාලනය තමයි හෙනේ 
- ශෂිකා ගීතාංජලී විජේරත්න (36) මරදාන - රෝහල් සේවිකා

මගේ සැමියත් නැතුව දරුවා හදාගන්නේ අම්මා. වැඩට යද්දි හුඟාක් කන්නේ බොන්නෙ කඩෙන්. ඉතින් කන්න බොන්න කොච්චර වියදම්ද? ඒ විතරක්ද අනිත් ගෙදර උයන පිහන හාල් එළවළු, මස් මාළුත් ගණන්නේ. දුප්පතාට තමයි බඩේ පහර වදින්නේ හැම දේකින්ම. තියන මිනිහට මේවා කොච්චර ගණන් ගියත් අවුලක් නෑ. මිල පාලනය ඉවත් කරපු එක තමයි හෙනේ. නැති බැරි අයට වැඩි සහන දීම වගකිව යුත්තන්ගේ වගකීමක්.

කෑම විකුණුවාට ලාභයක් නෑ
- ඒ.එච්.එම්. රෆීක් (63) සුදුවැල්ල -කෑම අලෙවිහල් හිමිකරු

හැම කෑම වර්ගයක්ම වගේ මගේ පෙට්ටි කඩේ තියනවා. ඉස්සර රු. 30ට විකුණපු බනිස් දැන් රු. 50යි. රු. 25ට තිබුණු රෝල්ස් රු. 45යි. ඉඳිආප්ප 10ක් ඉස්සර රු. 30ට වික්කට දැන් රු. 50යි. රු. 30 කඩල දැන් රු. 50යි. දැන් කඩල, කව්පි ගණන් නිසා කෑම හදන්නෙත් නෑ. රු. 30 වික්ක පිට්ටු කෑල්ල දැන් රු. 40යි. රු. 60ට වික්ක දර පෝරණු පාන් දැන් රු. 75යි. හැම දෙයක්ම ගණන් තමයි. ප්ලේන් බනිස් අරන් අපි බිත්තර, සැමන්, අල, එළවළු මිශ්‍රණ පුරවලා විකුණන්නේ. ඒවා ඉතිරිවුණාම පාඩුයි. කපුටන්ට කන්න දානවා. පිටින් ගන්න කෑම නම් ඉතුරුවා ආපහු දෙනවා. කොහොම වුණත් ඉස්සර වගේ ලාභයක් නෑ අපිට.

වේලක් ඇර වේලක් කන්න වෙලා තියෙන්නෙ
- සුදීර නාමල් (44) සීදූව - පෙදරේරු

පෙදරේරු හෝ කුලී වැඩ කරලා දවසට රු. 1500ක් හොයාගන්න බෑ. වැඩිපුර කන්නේ කඩෙන්. බනිස් ගෙඩියක් කාලා උදේට ප්ලේන්ටියක් බීවත් රු. 80ක් විතර යනවා. ඉස්සර බත් එකක් කෑවා ඒ සල්ලිවලට. වේලක් ඇර වේලක් කාලා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ළමයිට දෙන්නවත් පිටි ටිකක් නෑ. රජය මිල පාලනය ඉවත් කළා. දිනපතාම මේ බඩු මිල ඉහළ යාමෙන් බඩේ පහර වදින්නේ සාමාන්‍ය ජනතාවටයි. සල්ලිකාරයෝ තොග ගණන් ගෙවල්වල ස්ටොක් කරලා. බඩු මිලට පාලන මිලක් යොදලා මිල අඩු කරලා ජනතාවට සහන ලබාදීම රජයේ වගකීමක්.

කෑම මිල වැඩි වීමත් තදින් දැනෙන්නේ දුප්පතුන්ටයි
- පෙරියසාමි සුජීවන් (22) රත්නපුර - විදුලි කාර්මික

කොළඹ බෝඩිමක ඉඳලා රැකියාව කරන්නේ. කඩෙන් කන්න බොන්න ගිහාම තුන්වේල හරියට කෑවොත් රු. 700 විතර යනවා. ඉතින් කොහොමද ඉතුරුවක් කරන්නේ. පඩිය දවසකට රු. 1000ක් 1500ක් විතර. වියදමට සාපේක්ෂව ආදායම වැඩිවෙන්නේ නෑනෙ. කඩකාරයන්ට බණින්නත් බෑ. පෙට්‍රල්, ගෑස්, හාල්, පිටි, සීනි, පරිප්පු, අල, ලූණු, පොල්තෙල්, පොල් සේරම ගිනි ගණන්. කඩහිමියන්ටත් අමුද්‍රව්‍ය ගන්න වෙන්නෙ වැඩි මිලට. කෑම ගණන් යාම සාධාරණයි. මේ හැම ප්‍රශ්නයක්ම තදින්ම දැනෙන්නේ දුප්පත් ජනතාවට මිසක් ධනවතුන්ට නෙමෙයි. මොන හේතු කීවත් මිල පාලනය ඉවත් කළාම වෙළෙන්දෝ හිතුමතේ වැඩ.

Comments