අැසුර | සිළුමිණ

අැසුර

මිනිස්සු උපදිති; අශ්වයෝ නූපදිති. මෙහි තේරුම කුමක්ද?

කෘතිය - මංජු - මරණය හා ස්මරණය

කර්තෘ - කැත්ලින් ජයවර්ධන

මිල රුපියල් 450/=

සරසවි ප්‍රකාශනයකි.

දුරකථනය - 011 2889 381

 

කැත්ලින් ජයවර්ධනගේ අලුත්ම කෘතිය වන “මංජු - මරණය හා ස්මරණය” සුරතල් සුනඛයන් දෙදෙනෙකුගේ මරණය නිසා උපන් කම්පනයකින් ලියවුණු මරණය නම් සංසිද්ධියේ ස්මරණයකැයි එක්වනම පෙනී යයි. එහෙත් මෙහි ඇති විෂය කරුණ වන්නේ මරණය යන්න අවබෝධ කර ගැනීමට ඇය ගත් නොවක් උත්සාහය යි. ඒ සඳහා බොහෝ උද්ධෘත පාඨ සම්භාව්‍ය සාහිත්‍යයෙන් පවා උපුටා ගැනීමට ඇය කටයුතු කොට තිබේ. එසේ ලියවුණු ඒ දීර්ඝ ආඛ්‍යානය අවසානයේදී කෙසේ නම් කරන්නේද යන ප්‍රශ්නාර්ථයට මුහුණ පා ඇති බව ඇගේම වචන පවසන්නේ මෙසේ ය. මෙය “එක්තරා ජීවන ගවේෂණයක් ලෙසින් ද හැඩතල ගැන්වෙයි. පුදුමය නම් සියල්ල ලියා හමාර කොට යළි කියවාගෙන යෑමේදී ඉන් අසම්පූර්ණ ලිඛිිත ආපදානයක ලක්ෂණ ද හිස එසවීමයි. මෙය කවර වර්ගීකරණයකට, කවර ශානරයකට යටත් කළ යුතුදැයි ඉඳුරා පැවසීමට මා අපොහොසත් වන්නේ ඒ අනුවය.”

 

මරණය යනු ජීවිතය අත්හැරයාමක් ද? පොදුවේ කවුරුත් සිතන ආකාරයට එය එසේ නොවන්නේ යැයි පැවසීමට ද අසීරු ය. කෘතිය තුළ අත්හැරීම ගැන යම් පැවසීමක් තිබුණද එය වඩාත් විස්තරාත්මකව ගතහොත් අත්හැරීම යනු සැබෑ ජිවන පැවැත්මේ හරය යැයි කිව හැක. බෞද්ධ දර්ශනයේ කියවීමට අනුව අතිීතය යනු සදහටම අහිමි වූවකි. අනාගතය යනු තවමත් හිමි නොවූවකි. එසේ වූ කළ ජීවිතයේ අපේ හිමිකම ඇත්තේ මේ මොහොත තුළ ය. එය එළැඹි සිහියෙන් ගත කිරීම නිවැරැදි වන තරමටම නිදහස් පැවැත්මක් වෙනුවෙන් අප පසුබස්වන අතීත අනාගත ශෝකය මෙන්ම භීතිය හා බැඳුණ මිථ්‍යාවන් අත්හැර දැමීම මඟින් අප ලබාගන්නේ සැබෑ නිදහස් ජීවිතය යි. එය ශෝකී ස්මරණයන්ගෙන් තොරය. බාධාකාරී සිතුවිලිවලින් තොරය. සැබෑ නිදහස් පැවැත්මක් වෙනුවෙන් අත්හැර දැමීම කොතරම් වැදගත්දැයි මෙන්ම එය කොතරම් ජිවන මාර්ගයක්දැයි මේ අනුව පැහැදිලි වනු ඇත. පොදුවේ අප සිතන ආකාරයට අත්හැර දැමීම යනුවෙන් අදහස් වන්නේ තමන් සතු දෑ තේරුමක් ඇතිව හෝ නැතිව ඉවත් කොට දැමීමක් නොවන බව මේ අනුව පැහැදිලි වේ.

කතුවරිය මරණය සම්බන්ධයෙන් සිදුකරන්නා වූ මෙම ගවේශනය තුළ අපට දැකිය හැකි වන්නේ ශිෂ්ටාචාර පුරාම පොදු මිනිසා මරණය නම් සංසිද්ධිය ගැන දැක්වූ බිය සැකය මෙන්ම එය කවරාකාර දෙයක් දැයි හඳුනා ගැනිීමට තම තම නැණ පමණින් ඊට ලබාදුන් අරුත් නිරුක්ති විමසීමකි. මිනිසා මරණය ගැන එවැනි තත්ව ආකල්ප නිර්මාණය කර ගත්තේ ඇයි? සරලවම අසනවා නම් මිනිසා මරණයට බිය වන්නේත්, ඒ ගැන ශෝක කරන්නේත් ඇයි?

“මිනිස්සු උපදිති. අශ්වයෝ නූපදිති.” යන දාර්ශනික කියවීම ඉහත ප්‍රශ්නකාරී තත්ත්වය ගැන මනා පැහැදිලි කිරීමක් කරයි. ඊට අනුව මිනිසා, සිය උපතින් පසුව අවට ලෝකය ගැන ලබාගන්නා දැනුම විසින්ම ඔහු තුළම සිය පැවැත්ම සම්බන්ධයෙන් ඇලීම් බැඳීම් ද නිර්මාණය කරනු ලබයි. තෘෂ්ණාව නම් විග්‍රහය මීට අදාළ ය. එසේ ගත් කළ මිනිසා දැනුමින් පමණක් නොව තම පැවැත්ම පිළිබඳව තෘෂ්ණාවෙන් ද මුහුකුරා යන සත්වයෙකු වේ. මරණය පිළිබඳ බිය ඔහු තුළ ඇතිවන්නේ ද ඒ පසුබිම තුළමය. නමුත් අශ්වයන් (පොදුවේ සතුන්) එසේ නොවේ. ඔවුහු ස්වභාව ධර්මයේ නියමයට අනුව උපදිති. එමෙන්ම සිය පැවැත්ම අවසානයේදී අර ආක­ාරයෙන්ම මරණයට ද පත්වෙති. ඒ අනුව සිය උපත පැවැත්ම හා මරණය ගැන මිනිසා මෙන් අමුතු බියකට හෝ වෙනත් හැගීම් ඇති කර ගැනීමට ඔවුහු කටයුතු නොකරති. මිනිස්සු උපදිති. අශ්වයෝ නූපදිති යන උත්ප්‍රාසවත් දාර්ශනික කියුමෙන් අර්ථවත් වන්නේ මෙම සත්‍යය යි. එසේ ගත් කළ මරණයේ ස්මරණය හා බැඳුණු බොහෝ දෑ මිනිසා විසින්ම තමන් වෙනුවෙන් එකරැස් කරගත් දේ මිස වෙනත් දෙයක් නොවන බව පැහැදිලි ය.

පුනරුප්පත්තිය යන්නද මරණය හා බැඳුණ තවත් මානව කියවීමක් වේ. අවසානයේදි මරණය නම් නොවැළක්විය හැකි ඉරණම පිළිගත් මිනිසා සිය ජීවිතය කරා යළිත් පිවිසීමේ මඟක් හැටියට පුනරුප්පත්තිය හඳුනාගත්තේ දැයි සිතා බැලීම වටී. මෝටර් රථ නිෂ්පාදනයෙහි පුරෝගාමියකු වූ හෙන්රි ෆෝඩ් වරක්, බුදු දහමට තමන් වඩාත් කැමති වන්නේ එහිලා පුනරුප්පත්තිය ඉගැන්වෙන හෙයින් යැයි පැවසුවේ ය. මන්ද එවිට මේ ආත්මයේදී තමන් රැස් කර ගත් දැනුම සමඟ ඊළඟ ආත්මයේදී තම ආයතනය වඩාත් හොඳින් පවත්වා ගෙන යාමට ඉන් අවස්ථාවක් ලැබෙන හෙයිනි. බැලූ බැල්මට මෙය විහිළු සහගත ප්‍රකාශයක් ලෙසින් දැනුණත් පොදුවේ පුනරුප්පත්තිය ගැන පවතින අදහස මෙය නොවේදැයි සිතා බැලීම වටී. පුනරුප්පත්තිය යනු ගැඹුරු ජෛවමය සංසිද්ධියක් ලෙසින් වටහා නොගන්නා පොදු මිනිසා මරණය නම් වේදනකාරී බාධකය හමුවේ සිය ජිවන තෘෂ්ණාව තවදුරටත් පවත්වා ගැනීමේ මගක් හැටියට පුනරුප්පත්තිය යොදා ගන්නා සැටියක් මේ අනුව පෙනේ. නමුත් මේ සංකල්පය ගැඹුරු දාර්ශනික යථාවබෝධයකින් පසක් කර ගත යුත්තක් බව කතුවරිය විසින් උපුටා දක්වන මිළිඳු ප්‍රශ්නය පෙන්වා දෙයි.

“මිළිඳු රජ - නාගසේනයනි, සංක්‍රමණය වන කිසිවක් නැත යන්න සත්‍ය වන කල්හි පුනරුප්පත්තියක් තිබිය හැකි ද?

නාගසේන හිමි - හැකිය මහරජ.

මිළිඳු රජ - මෙය කෙසේ නම් විය හැක්කේ ද? නිදසුනකින් පහදනු මැනවි.

නාගසේන හිමි - මහරජ, මිනිසෙකු එක් පහනකින් තවත් පහනක් දල්වතැයි සිතන්න. මෙහි අර්ථය එක් පහනක් අනෙකට සංක්‍රමණය වේ යන්න ද?

මිළිඳු රජ - නැත හිමියනි.

නාගසේන හිමි - එලෙසම පුනරුප්පත්තිය ඇත. එහෙත් සංක්‍රමණයක් නැත.”

මේ ආකාරයට බෞද්ධ දර්ශනය නිවැරැදිව තේරුම් ගැනීමෙන් ජීවිතය සහ මරණය පිළිබඳව අප විසින්ම නිර්මාණය කරගත් බිය සහ ශෝකය කොතරම් හිස් දෙයක් දැයි වටහා ගත හැකිවේ. මරණය යනු ජීවන පැවැත්මේම කොටසක් මිස හිටි හැටියේ අප වෙත කඩා පනින්නට බලා සිටින සතුරු පාර්ශ්වයක් නොවන බවද ඒ අනුව දත හැකිවේ. ජීවන පැවැත්මේ ඇලීම් බැඳීම් අනවශ්‍ය පමණින් රැස් කර ගන්නා තරමටම මරණය පිළිබඳ බිය අප තුළ වර්ධනය වේ. ඒ අනවශ්‍ය සියල්ල අත් හරින තරමටම අප තුළ වැඩෙන උපේක්ෂාව විසින් බිය සැක නැති වේදනාකාරී නොවන සැබෑ ජීවිතාවබෝධය ඇති කරනු ලබන්නේය. ඒ වූකලි නිදහස් සම්මා අවබෝධයක් ඇති ජීවන පැවැත්මක් වේ. මහාචාර්ය සුචරිත ගම්ලත් වෙතින් උපුටා ගත් පහත දැක්වෙන උද්ධෘතයෙන් නිරූපණය වන්නේ ඒ ජීවිතාවබෝධයයි.

“පැවැත්මේ ස්වභාවය ප්‍රකාශ කිරීම සඳහා බුදුසමයට පහන් දැල්ල තරම් ගැළපෙන රූපකයක් නැත. පහන් දැල්ල නොවෙනස්ව චලනයෙන් තොරව පවත්නා හැටියක් පෙනේ.

එහෙත් එය අඛණ්ඩව ස්වයං නිෂ්පාදනයේ ද ස්වයං ක්ෂය වීමෙහි ද යෙදී සිටින්නක් පමණි.”

එසේ ගත් කළ මරණය යනු අපගේ ජීවන පැවැත්ම විසින්ම නිර්මාණය කරන ලද ජෛවමය සංසිද්ධියක් බව අවබෝධ කර ගැනීම අවශ්‍යම තත්වයක් වේ. එසේ නැතුව මරණය යන්න හුදකලාව ගෙන පාළුව ද, කාංසිය ද, බිය ද ඇති කර ගනිමින් වේදනාව රැස් කරගැනීම නිශ්ඵල කටයුත්තක් යැයි සිතමි. තවද එය බුද්ධි හීන වෑයමක් වශයෙන්ද ගත හැකි වේ.

කැත්ලීන් ජයවර්ධනගේ “ මංජු - මරණය හා ස්මරණය” කුමන ශානරයකට අයත් වූවත් නොවූවත් මෙහිදී අපට වැදගත් වන්නේ එහිලා ඇය විසින් මතු කරන්නට උත්සාහ කරනු ලබන කියවීිම යි. ඊට එකඟ විය හැකිද නොහැකිද යන විමසීමයි. එසේ නැතිව ඒ වෙනුවෙන් තර්ක ගොඩ නැගීමට උත්සාහ කිරීම නිසරු වෑයමක් වේ.

මාර්කස් ටුල්ලියස් සිසරො සිය “වියපත් විය” කෘතියේලා මහලු විය සහ මරණය සාමකාමීව පිළිගැනීමට ගත් වෑයම ඉහත කී ජීවිතාබෝධය කරා සිය අවබෝධයෙන් පැමිණීමට ගත් වෙනස් ආකාරයක වෑයමක් යැයි සිතේ.

“විකල්ප ඇත්තේ දෙකක් පමණි. එක්කො මරණය මිනිසාගේ ආත්මය සහමුළින්ම විනාශ කරන්නේ ය. නැතිනම් එය ආත්මය සදාකාලික ජීවිතයක් තිබෙන ස්ථානයක් කරා රැගෙන යන්නේ ය. එසේ වන්නේ නම්, එහි පැමිණීම බෙහෙවින් ආශා කළ යුත්තකි. තවත් විය හැකි දෙයක් නැත. එසේ නම් මරණයෙන් පසුව එක්කො මට අසන්තෝෂය නැත්තටම නැතිව යනු ඇත. නොඑසේ නම්, නියත වශයෙන්ම මා තුෂ්ටි සම්පන්න වනු ඇත. මට බියවීමට කිසිදු හේතුවක් නැත.”

 

සිවු දශකයක පත්තර මතක

කෘතිය - දශක හතරක පත්තර මතක

කර්තෘ - කොත්මලේ සිරිසේන.

මිල රුපියල් 500/=

කර්තෘ ප්‍රකාශනයකි.

දුරකථනය - 072 423 4530

 

කොත්මලේ සිරිසේන පුවත්පත් කලාවට පිවිසෙන්නේ මෙරට පුවත්පත් කලාවේ පෙරළිකාර සමයක් වූ 80 දශකයේ මුලදීමය. එතැන් සිට මෙම වසර මුලදි සිය වෘත්තීය ජීවිතයට සමුදෙන තුරු ඔහු විසින් අත්පත් කරගත් අත්දැකීම් සමූහය “දශක හතරක පත්තර මතක” නමින් ප්‍රකාශයට පත්වී තිබේ. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයෙන් පසුව පුහුණු වන පුවත් පත් කලාවේදියකු හැටියට දවස පුවත්පත් ආයතනයට බැඳී මාණ්ඩලික වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කොට උප කතුවරයකු දක්වා ඔහු ආ ඒ ගමනේදී මෙරට පුවත්පත් ඉතිහාසයේ ලයිනෝ, කොම්පියුටර් සහ ඩිජිටල් යන යුග තුනම නියෝජනය කොට තිබේ.

 

“අවුරුදුු තුනයි මාස නමයක් වැඩ කළ දවස ප්‍රවෘත්ති අංශයෙන් මම සමුගතිමි. ඒ වන විට දවස නැමැති වැඩ බිමෙන් මම බොහෝ දෑ ඉගෙන ගෙන සිටියෙමි.” ඔහු ඉතා නිවැරැදිව ප්‍රකාශ කොට ඇති අන්දමට පුවත්පත් කලාවේ මූලික වූත්, වැදගත් වූත් හැදෑරීම වන ප්‍රවෘත්ති සම්පාදනයට අදාළව දවස පුවත් පත ඔහුට වැඩබිමක් වී තිබේ. ඒ මෙරට පුවත්පත් කලා ඉතිහාසයේ ලයිනෝ යුගයයි.

“සති මැද ලංකාදීපයට පැමිණි මට පළමු වතාවට සමතල (ඕෆ්සෙට්) මුද්‍රණ ක්‍රමය අත්දකින්නට ලැබීම මහත් භාග්‍යයක් විය. ලයිනෝ ඊයම් අකුරුවලින් වසර 10ක් තිස්සේ දවස පත්‍රයේ කටයුතු කළ මට මෙම මුද්‍රණ රටාව අලුුත් දෙයක් විය. කොම්පියුටර් අකුරු, නවතම පිටු සංස්කරණ කටයුතු මෙන්ම සිරස් තල යෙදීම ද නව මඟක් ගත් අතර අකුරු ගණන් කර සිරස් තල යෙදීම ඩමි සැකසීම මෙහිදි සිදු නොවී ය. රූ රටා යොදමින් පිටු සැකසීම නිසා පිටු හැඩ වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. ඊයම් අකුරින් හැදූ දවසේ පිටු මැන්ගල් කිරීම වෙනුවට ඕප්සෙට් ක්‍රමය අනුව සිදුවූයේ හැදූ පිටුව පොසිටිව් ෂීට් එකකට ගෙන (ප්ලේට්) තහඩුවකට ගැනීම ය.

මෙවැනි දැනුමක් සහිත පුවත්පත් කලාවේදියකුගේ කතාව වර්තමාන පුවත්පත් කලාවේදීන් හමුවේ ඇතැම් විට පුරා වෘත්තයක් වැනි හැගීමක් මතු කරනු ඇත. එහෙත් ඔවුන් දැනගත යුතු කරුණක් තිබේ. ඒ වර්තමාන පුවත්පත් කලාව පොහොසත් වී ඇත්තේ හුදෙක් තාක්ෂණයෙන් පමණක් නොව මෙවැනි පුවත්පත් කලාවේදීන්ගේ දැනුම සහ අත්දැකීම්ද එකතුවීමෙන්ය යන්නයි. තවද කොත්මලේ සිරිසේන මෙන්ම මීට පෙරද මෙවැනි කෘති බිහි කල පුවත්පත් කලාවේ පෙරගමන්කරුවන්ගේ අත්දැකීම් සහ දැනුම සමාලෝචනය කිරීමටත් විශ්වවිද්‍යාලීය මට්ටමින් හැදෑරීමටත් අදට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කල යුතුව තිබේ. ඒ වෙනුවෙන් අවසානය දක්වාම ඔවුන්ට සමුදීමද නොකළ යුත්තක් වේ.

මක්නිසාදයත් අපේ ජාතික වටිනාකම් අප විසින්ම අත්හරින තරමටම අපට එරෙහි විජාතික බලවේග තහවුරු වන බැවිනි. මේ වරද 1948 සිට මේ වනතුරුම අප අතින් සිදුවී තිබේ.

ඉතිහාසය පුරා සිදුවු සෑම සමුගැනීමක් තුළම අලුත් ආරම්භයක් සටහන් වී ඇති බව අමතක නොකළ යුතුවේ.

---------------------

සංස්කෘතියක් නැතිව මිනිසකුට ජිවත් විය හැකි ද?

කෘතිය - වන්නිගේ කොලම

කර්තෘ - නයනසේන වන්නිනායක

කේ බුක්ස් ප්‍රකාශනයකි.

මිල රුපියල් 500/=

දුරකථනය 076 551 5400

 

නයනසේන වන්නිනායක විසින් ලියන ලද “වන්නිගේ කොලම” පළවූයේ සත්හඬ පුවත්පතේ ය. එවකට ඔහු අබුඩාබි හි වෙරළ බඩ කාන්තාර පෙදෙසක වාසය කළේය. එනිසාම වන්නියේ උපන් වන්නිනායක අරාබිකරයේ නව වෙළඳ සංස්කෘතිය විසින් වෙනස් කරන ලද පර්සියානු මෙන්ම ඊජිප්තියානු ඉතිහාසයේ නව හැඩතල දුටුවේ ය. ඒ බව මෙහි එන ඇතැම් තීරු ලිපිවල දැකිය හැක. එහෙත් වන්නිනායකගේ විශේෂත්වය වන්නේ සිය උපන් ගමේ මුල් සිඳගත් ඕපපාතිකයකුගේ තත්වයට ඇද නොවැටී මෙම ලිපි සරණිය ඉදිරිපත් කිරීමයි.

“විල්පත්තු කැලයට මායිම් වූ කටු පඳුරු පිරි ළඳු, කනකු, හේන් හා මූකලාන්වලින් වටවූ මේ ඝර්ම කලාපීය කොලනියේ අහල ගම් එකනෙක යා කරන කුඩා ගුරු පාරවල් පවා තිබුණේ බයිසිකල් කරත්තවලට හා පයින් යාමට පමණකි. එහෙම නැත්නම් අලි ඇතුන් හා වන සතුන්ට එහා මෙහා මාරුවීමට ය. බයිසිකලයක් හෝ අහිමි අපට එදා කැලේ මැදින් දිවා කාලයටත් රැහැයි හඩ මැද්දේ ගමන් යද්දී ඇතැම් විට මහ වැසි වැටී හදිසියේම බඩිං වෙන මෝදරගම් ආරු ඔය පීනා එතෙර වන්නට සිදු විය. පීනන්නට පෙර ඔය ඉවුරේ විරාජමානව වැඩ සිටින පුල්ලෙයාර් දෙවියන් වන්දනා කරන අප්පච්චි එම ගහේ අමු කොල අත්තක් එල්ලා යාමට අමතක නොකළේ උග්‍ර වාමාංශිකයකු වුණත් ඔහුද අභාවයට යන ඉපැරණි ගැමි සංස්කෘතියේ මෙන්ම වාමාංශයේ ද නෂ්ටාවශේෂයක් බව කියාපාමිනි.”

නාරම්පනාවේ උපන් කොළඹ යුගයේ කවියෙකු වන විමලරත්න කුමාරගමගේ “අයියනායක” වැනි කාව්‍ය පංති කියවූ අයෙකුට වන්නිනායකගේ ඉහත ලිවීමේ එන සියුම් උපහාසයෙන් යුත් මානව දයාවෙන් පිරිපුන් ඒ බස් වහර සිහිපත් කරන්නට අමුතු උත්සාහයක් ගත යුතු නැත. එමෙන්ම මායා රන්ජන්ගේ කෘති කියවා ඇති අයෙකුට එසේ අභාවයට යන පුරාණ ගැමි සංස්කෘතීන්හි හුදෙකලා ශෝකී බවද සෙවණැලි මෙන් අතුරුදහන්ව ගිය සමාජ චරිත ද නැවත සිහිපත් කරදීමට වන්නිනායකගේ ඇතැම් තීරු ලිපි සමත් වේ. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ මහනුවර, නාරම්පනාවේ සිට වන්නියට ගිය විමලරත්න කුමාරගම හෝ කොළඹ සිට දිගාමඬුල්ලට ගිය මායා රන්ජන් ඒ පුරාණ ගම් හඳුනා ගත් ආකාරයට වඩා එහිම හැදී වැඩී පසුව කොළඹට ආ වන්නිනායක තමන්ට පමණක් නොව රටටම අහිමි වී ගිය ඒ ඉපැරණි ගැමි සංස්කෘතිය තමන් තුළින්ම දකින්නට සමත් වීමයි.

“මේ කිව්වේ එදා මා දුටු නොස්වැල්ජියානු අතීතය යි. කමන්න, අද තත්වය ගැන නොකියා මට මෙය අවසන් කළ නොහැක. අර අපි පුංචි කාලයේ වගේ ගඩා ගෙඩි කන්නට අපට අද නොහැක. මේ කාලයට එකදිගට පෙරහැරේ ගිය, වන්දනාවේ යන සමනලුන් අද අතුරුදහන් වෙලා ය. වක්කඩ ළඟ උඩ පැන පැන නැටූ තිත්ත පැටව් මැහි තෙල් බී උඩුකුරු වෙලා ය. කෙසේ වෙතත් මේ වන්නිකොරේ සුවඳට මම අදත් පෙම් කරමි.”

 

------------------

සමාජ පීඩනයක උත්ප්‍රාසය

කෘතිය - මැහුම්කාරි

පරිවර්තනය - තිලකසිරි ඒකනායක

අපූරු පොත් ප්‍රකාශනයකි.

මිල රුපියල් 750/=

දුරකථනය - 071 657 7581

 

1955 ඔස්ට්‍රේලියාවේ පිටිසර බද ගමක ගොවි පවුලක උපත ලද රොසලි හැම්ගේ මැහුම්කාරි නමින් අර්ථ ගැන්වෙන මෙම කෘතිය එක් අතකින් ඒ ගැමි සෞන්ධර්යයත් අනික් අතින් සමාජ පීඩනයත් විටෙක නාටකීය ස්වරූපයෙන් ද තවත් විටෙක සිනමාරූපි බවකින් ද යුතුව ඉදිරිපත් කෙරෙන අපූරු නවකතාවක් වේ.

 

ඩන්ගටාර් නමින් එන කල්පිත පිටිසර ගම්මානයක් තුළ සිදුවන මෙම සමාජ සංසිද්ධි සහිත කතාව රොසලි හැම් ලියා අවසන් කරන්නේ 2000 වසරේදීය. 2015 දී මෙය සිනමාවට නැගුණ අතර නවකතාව හා සමානවම චිත්‍රපටය ද ජනප්‍රියත්වයට පත්ව තිබේ.

ටිලි නම් එහි එන ප්‍රධාන චරිතය කාලය, පරිසරය හා සමාජ ජීවිතය සියුම්ව ප්‍රතිනිර්මාණය කරන්නියක බවට පත්වේ. ඒ අනුව ගතානුගතික පසුගාමි වූ ඒ සමාජයට සමානාත්මතාවය, මානව දයාව නම් නව්‍ය සමාජ සිතුවිලි පිටතින් ගෙන ආ යුතු බවක් ඇගෙන් ප්‍රකාශයට පත්වේ. කුප්‍රකට නගරාධිපතිවරයාට දාව උපන්නද අවජාතක දරුවෙකු ලෙසින් සමාජ ගත වන ඇය අවිවාහක මව්වරුන්ට, අවජාතක දරුවන්ට මෙන්ම හීන සමාජ පාන්තිකයන්ට අත්වන ඉරණම වඩාත් සංවේදීව දකියි. කතුවරිය ඇගේ ඒ දැකීම උත්ප්‍රාසයකින් යුතුව ඉදිරිපත් කරයි. එවැනි පසුගාමී නගරයක් ගිනි තබා විනාශ කල යුතුය යන තැනට කරුණු ඉදිරිපත් වන්නේ ඒ අනුවය.

මෙම කෘතිය රොසලි හැම්ගේ පළමු නවකතාවයි. උසස් සාහිත්‍ය දැනුමකින් යුතු ඇය වේදිකා නාට්‍ය රචනා කරන්නියක ද වේ. එම නිසාම සම්මත නවකතා ආකෘතියටම ගොදුරු නොවෙමින් මිනිස් සිතුවිලි වෙනස්වීම්වලට සමගාමීව පාරිසරික සංසිද්ධීන් සියුම්ව ඉදිරිපත් කරන තත්වයක් ද දැකිය හැක.

ගොතික් ශානරයට අයත් වූ ශෝකාන්තයන්ගෙන් තොර නොවූ ගරා වැටෙන නිවෙස්වල කතා උත්ප්‍රාසයෙන් යුතුව මානව දයාව හා සියුම් නිර්මාණශීලිත්වයෙන් යුතුව ලියවී ඇති මෙම කෘතිය ප්‍රවේශමෙන් වටහා ගත යුත්තකි. මන්ද එහි පැටලිලි සහගත ස්වභාවයක් බැලූ බැල්මටම දැකිය හැකි හෙයිනි. චරිත රාශියක් සිටීමත්, එකම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටීමත් නිසා යම් ව්‍යාකූලත්වයක් ඇතිවීමට පුළුවන. නමුත් මෙම සාහිත්‍ය උපක්‍රම භාවිතාව නිවැරැදිව වටහා ගන්නා පාඨකයා සියුම් රසවින්දනයක් අත්පත් කරගන්නවාට සැක නැත.

සමාජ හා මනෝ විද්‍යාත්මක වශයෙන් පුළුල් හැදෑරීමක් තුළ ලියවුණ මෙම කෘතිය තුළ ටිලි ද ඇගේ පෙම්වතා වන ටෙඩි ද ප්‍රාදේශීය පොලිසියේ එකම නිලධාරියා වන ෆරාට් ද ඒ බව පැහැදිලි කරන චරිත වශයෙන් හඳුන්වා දිය හැක. පරිවර්තනයක් වශයෙන් ගත් කල මෙවැන්නක් සිදු කළ හැක්කේ පුළුල් සමාජ සාහිත්‍ය අවබෝධයක් ඇත්තකුටය. තිලකසිරි ඒකනායකගේ මෙම කෘතිය අපගේ අවධානයට ලක්වූයේ ඒ නිසාය.

Comments