අසිරිමත්ව නිමා වුණු ශ්‍රී සංඛ­පාල පෙරහැර | සිළුමිණ

අසිරිමත්ව නිමා වුණු ශ්‍රී සංඛ­පාල පෙරහැර

සංඛ­පාල රාජ­මහා විහා­ර­ස්ථා­නය

 

ඓතිහාසික ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථ වාර්ෂික පෙරහැර පසුගිය 21 වැනිදා නිමාවට පත් කළ බව විහාරභාරකාර පූජ්‍ය කොකාවල කෝසල හිමිපාණන් වහන්සේ පවසති. පසුගිය දහතුන් වැනිදා කප් සිටුවීම සිදු වූ අතර 15 සිට තිස්පැයේ පිරිත් දේශනාව හා 16 දා දහවල් දානමය පිංකම පැවැත්වුණි. එදිනම රාත්‍රී කුඹල් පෙරහැරත් 17 සළු පෙරහැර, 18 රන්දෝලී පෙරහැර 19 ගිනිසිළු පෙරහැත් පවත්වා 20 රාත්‍රී අවසන් මහා පෙරහැර පැවැත්විණි. 21 දා දියකැපීමේ චාරිත්‍ර ඉටුකිරීමෙන් මෙවර ⁣සංඛපාල පෙරහැර නිමාවට පත්විය. වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍යය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර පෙරහැර පැවැත්වූයේ ජනතා සහභාගිත්වයෙන් තොරවය. එහෙත් ඉතිහාසයේ සිට පැවත එන පුද සිරිත් වත් පිළිවෙත් නොබිඳ අලි ඇතුන් හා සකලවිධ නර්තනාංගයන්ගෙන් සමන්විත ව අත්‍යාලංකාර අන්දමින් මෙවර පෙරහැර පැවැත්වීමට හැකි වූ බව විහාරභාරකාර හිමියෝ පවසති.

ප්‍රවාහන ඇමති පවිත්‍රා වන්නිආරච්චි, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයින් මෙන්ම වර්තමාන විහාරස්ථානයේ බස්නායක නිලමේ රංග මානගොඩ ඇතුළු දායක දායිකාවන්ගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල අනුග්‍රහය මේ සඳහා හිමි විය.

ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථ වාර්ෂික පෙරහැර සබරගමුවේ පැවැත්වෙන ප්‍රධානතම පෙරහැර මංගල්‍යයන්ගෙන් එකකි. ශ්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානය සබරගමුව පළාතේ රුහුණට මායිම් ව පිහිටා ඇති ප්‍රාග් ඓතිහාසික පුරාවෘතයන්ගෙන් පෝෂිත වූ පින්බිමකි. රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන්කෝරලයේ තඹගමුපත්තුවේ පල්ලෙබැද්ද ගම්වරය හරහා දිවෙන හම්බන්තොට මහා මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව අසල මෙම පින්බිම පිහිටා තිබේ. දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතරින් ඵුස්සදේව සෙන්පතියා සිය රාජ සේනාවේ ප්‍රබලයෙකු ලෙස ක්‍රියා කර ඇත. හෙතෙම දුනු ශිල්පයෙන් හා සක් පිඹීමෙන් සේනාව හැසිර වූ අතර දුටුගැමුණු රජතුමා සිය යුද ජයග්‍රහණය සඳහා ලබා දුන් ශක්තිය උදෙසා අක්කර දොළොස්දහසක් පමණ වන පල්ලෙබැද්ද ගම්වරය පිරිනමා ඇත.

එකල යුද කෝලහලවල දී දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත ඝාතනය වීම් හා ලේ වැගිරීම් සියැසින් දුටු ඵුස්සදේව යෝධයා සිය ජීවිතය පිළිබඳව කලකිරීමෙන් සිටි බවත් පසුව වර්තමානයේ සංඛපාල විහාරය පිහිටි කඳු සමීපයේ ගල්ලෙනක වාසය කළ බවට සාක්ෂි පවතී. එමෙන්ම තමා සතු රාජාභරණ හා ජය සංඛය කඳු මස්තකයෙහි පිහිටි ගලක නිදන්කොට ඵුස්සදේව සෙන්පතියා තමන් ට ලැබුණු ගම්වරය මහා සංඝයා වෙත පූජාකළ බව ට ශිලා ලේඛන සාක්ෂි දරයි." පුත වුශ දේව ලෙනය සගස දිනේ" පුත්‍ර වූ ඵුස්සදේව ගේ ලෙන සතර දිගින් වඩින මහා සංඝයා වහන්සේ උදෙසා පුජා කළාය යන්න එහි අර්ථයයි. අවසානයේ සසුන්ගත ව රහත්භාවය ට පත් වූ බව සංඛපාල ඉතිහාසයේ සඳහන් වේ.

අනුරාධපුර යුගයෙන් පසුව කෙටි කලක් වල්බිහිවී තිබූ මෙම ස්ථානය රාජාධිරාජසිංහ රාජ්‍ය සමයේ වැඩ සිටි කරතොට ධම්මාරාම හිමිපාණන් වහන්සේ ට නැවත පූජා කළ බව දැක්වේ. කරතොටහිමියන් කාව්‍යකරණයේ පරතෙරට ගිය පිඬිරුවනකි. අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමාගෙන් ශිල්ප හැදෑරූ ධම්මාරාම හිමියන් යටතේ කාව්‍ය ශ්‍රාස්ත්‍රය හැදෑරූ ගජමන් නෝනා වැනි කවි කිවිඳියන් බිහිවිය. රාජාධිරාජසිංහ රජතුමා සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් තිබුණ ද පසුව එම විශ්වාසය පළුදු වීම හේතුවෙන් කරතොට හිමියන් නිවාස අඩස්සියේ තැබීමට ද රජු නියෝග කළේය. එහිදී තම උගත්කමත්, තමන් වහන්සේ කෙබඳු අයෙක් දැයි හුවා දැක්වීමක් වශයෙන් සිර අඩස්සියේ සිට ලියන ලද බර, නම, ගබ, සක නම් ගර්භනාම චක්‍රය හෙවත් භාරසකාව්‍ය රචනා කරන ලදී. එක කවියකින් කවි දොළසක් වක්‍රානුකාරව සකසා ඇත. පාලි භාෂාවෙන් ලියූ මෙම කවිය සතර පැත්තට ම කියවිය හැකිය. මෙය බුදුන් වහන්සේ ගේ ගුණ වර්ණනා කිරීමකි. එය තල්පතක ලියා රාජ ධූතයෙකු අත රාජ සභාව වෙත යවන ලදී. කවිකාර මඬුව වෙත ඉදිරිපත් කළද එවක සිටි බ්‍රාහ්මණ පඬිවරු හා විවිධ විද්වතුන් මගින් මෙම කවිය කියවා විස්තර කර දෙන ලෙස දැන්වුවද එය පහසු කාර්යයක් නොවිණි. පසුව කරතොට හිමියන් හිරෙන් නිදහස් කර පෙරහැරකින් රජවාසලට වඩම්මා සිංහාසනයෙහි හිඳුවා එම කවිය තේරුම් කර ගන්නා ලදුව සතුටට පත් රජු පල්ලෙබැද්ද ගම්වරයත්, ශ්‍රී පාද පදවියත් පහතරට නායක පදවියත් සමඟ පළාත් කොඩිය, රාජකීය ව⁣ටාපත, දඹරන් පිළිමය ඇත් දත් පිළිම හා තඹ සන්නස තල්පතෙහි ලියන ලද තුඩ පතකින් ද පූජා කළ බව සඳහන් වෙයි.

බස්නා­යක නිලමේ රංග මාන­ගොඩට විහා­ර­භා­ර­කාර පූජ්‍ය කොකාවල කෝසල ස්වාමීණ් වහන්සේගෙන් ආශී­ර්වා­දය ලබා දුන් අව­ස්ථා­වක්

 

පුරාතනයේ සිට භාවනානුයෝගීව වැඩ විසූ සිල්වත් භික්ෂූන් වහන්සේලා ගේ පා පහසින් පාරිශුද්ධ වූ තපෝවන අරණක් වූ මහා ගිරිශිඛර කඳු පාමුල සංඛපාල රාජමහා විහාරය පිහිටා ඇත.

මෙම ස්වර්ණමය ඉතිහාසයේ සංඛපාල රාජමහා විහාරස්ථ­ානයේ නායකත්වය උසුලනු ලැබූ අත්තුඩාවේ ශ්‍රී ගුණරතන මාහිමිපාණන් වහන්සේ විසින් පෙරහැර මංගල්‍යය ආරම්භ කරන ලද්දේ 1960 දශකයේ ය. එවක ජලය විදුලිය ආදී කිසිදු පහසුකමක් නොමැති ව අසීරුතා රැසක් මධ්‍යයේ ආරම්භ කළ සංඛපාල පෙරහැර මංගල්‍යය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගනිමින් සිදු කළ බව පැහැදිලි වන කරුණකි. ලක්දිව බැතිමතුන්ගේ හා පළාතේ ගොවිජනතාවගේ ආගමික ප්‍රබෝධය ඇතිකොට ජාතියට උරුම වූ සංස්කෘතික දායාදයන් ට ජීවයක් ලබා දෙමින් මේ වන තෙක්ම සංඛපාල පෙරහැර පවත්වනු ලබයි.එමෙන් ම රත්නපුරය ආශ්‍රිතව පොළොවෙන් මතුවෙන මැණික් සම්පත නෙළා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන, අගනා මැණික් මතුවන වාසනා ගුණයක් සංඛපාල පෙරහැර හා පවතින බවටද ජනයා අතර පවතින්නේ දැඩි විශ්වාසයකි.⁣ අපවත් වී වදාල මාතර සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක අත්තුඩාවේ ශ්‍රී චන්ද්‍රසිරි නායක මාහිමිපාණන් වහන්සේ ගේ අවවාද මත අපවත් වී වදාළ සංඛපාල රාජමහා විහාරාධිපති මිරිස්වැල්පොත රතනසිරි මාහිමිපාණන් වහන්සේ විසින් අති උත්කර්ෂවත් ලෙස පවත්වා ගෙන ආ සංඛපාල පෙරහැර වත්මන් විහාරගණයේ අධිපති මාතර වටගෙදර සුධර්මාරාම පොත්ගුල් විහාරය ඇතුළු විහාර ගණයෙහි අධිපති මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටගෙදර රේවත මාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි වත්මන් විහාරාධිපති අත්තුඩාවේ ධම්මාරාම හිමිපාණන් වහන්සේ ගේ අවවාද අනුශාසනා මත විහාරභාරකාර උඩවලව ගුණරතන පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී කොකාවල කෝසල හිමිපාණන් වහන්සේ ගේ කැපවීමෙන් මෙහෙයවීමෙන් කැපවීම මත සංඛපාල විහාරවාසී මහාසංඝරත්නයේ සහයෝගයෙන් ඇසළ පෙරහැර නිමාවට පත්විය

Comments