අමතක නොවන විස්සේ මතක | සිළුමිණ

අමතක නොවන විස්සේ මතක

 

'මතක අලුත්වෙයි. ඒ එකී මතකයන් යළි යළිත් අනුස්මරණය කරන විට ය. ක්‍රීඩා

වේ දී එය සාමාන්‍ය තත්ත්වයකි. එය එසේ වන්නේ ක්‍රීඩා තරගාවලි වාර්ෂිකව, ද්විවාර්ෂිකව හෝ සිව්වාර්ෂිකව යළි යළිත් සංවිධානය කෙරෙන බැවිණි. මේ විස්සයි විස්සේ ලෝක කුසලානයේ එවැනි යළි යළිත් සිහිපත් කළහැකි සුවිශේෂී මතක කීපයකි.'

අජන්තගේ ලකුණු අටයි කඩුලු හයයි

අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව බිහිකළ අපූරු දඟ පන්දුයවන්නෙකි. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය එතරම් දිගු නොවූවත් ඒ කෙටි කාල සමය තුළ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යැවීමේ වාර්තා බොහෝමයකම තම නම සටහන් කරගැනීමට ඔහු සුදක්ෂවී තිබේ.

අජන්ත 2012 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගයක දී ලකුණු 8 ක ට කඩුලු 6 ක් බිඳ හෙලුවේ ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරවමිනි. අදටත් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වන්නේ අජන්තගේ මෙම හපන්කමයි.

පංජාබ් සිංහයාගේ හයේ හය

විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ පන්දුවාරයක් තුළ හයේ පහර 6 ක් එල්ල කළ එකම ක්‍රීඩකයා යුවරාජ් සිං ය. 2007 පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී එංලන්ත සුපිරි පන්දු යවන්නෙක් වන ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව යුවරාජ් මෙම දස්කම ප්‍රදර්ශනය කළේ ය.

ස්ටොක්ස්ගේ ගුටි කෑම

2016 වසරේ ලොව විස්සයි20 ලෝක ශූරයින් වූයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. නමුත් තරගයේ අවසාන පන්දුවාරය ආරම්භ වන විට බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයන් ද ලෝක කුසලාන බලාපොරොත්තුව අත්හැර දමා සිටිය හ. ඒ විසි වැනි පන්දුවාරය ආරම්භ වන විට ජයග්‍රහණය උදෙසා කොදව්වන්ට ලකුණු 19ක් ලබා ගත යුතුව තිබූ හෙයිනි.

එංගලන්ත පන්දු යවන්නා බෙන් ස්ටෝක්ස් අවසන් පන්දුවාරය යොමු කිරීම සඳහා පන්දුව සියතට ගන්නා විටත් ඔහුගේ අනික් ‍අතේ රැඳී තිබුණේ ලෝක කුසලානයකි. එංගලන්ත ක්‍රිකට් ලෝලියෝද ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂාකළේ ලෝක කුසලාන තම මව්බිමට රැගෙන යෑමේ සුබ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

ස්ටෝක්ගේ පන්දුවවට පහර දීමේ අභියෝගය පැවරී තිබුණේ කාලොස් බ්‍රාත්වයිට් ට ය. මියෙම්වා හෝ රැකෙම්වා යන තීන්දුව මත සිට ස්ටොක්ස්ට මුහුණදීමට ඔහු තීරණය කර තිබිණි. පන්දුවාරයේ පළමු පන්දුවටම දැවැන්ත හයේ පහරක් එල්ල කළ බ්‍රාත්වයිට් කොදෙව්වන්ගේ හැකිළී ගිය අපේක්ෂාවලට සුවඳ පැන් ඉස්සේ ය. එහෙත් සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැක. පන්දු පහක් තුළ ලකුණු දහතුනක් රැස්කිරීමට තිබේ. එය ලෙහෙසිත් නැත.

ස්ටෝක්ස් යළි දිවැවිත් බ්‍රාත්වයිට්ට පන්දුවක් යොමුකළේ ය. පුදුමයකි, කොදෙව්වා එයද හතරේ සීමාවට ඉහළින් පිටියෙන් ඉවතට යැවීමට සමත් විය. එයින් එංගලන්තයත් ස්ටෝක්ස් පවා දැඩි අසීරුතාවයකට පත්විය. මෙයින් බියෙන් තොරව විශ්වාසයෙන් ඉදිරියට ආ බ්‍රාත්වයිට් කළේ ස්ටෝක්ස්ගේ ඊළඟ පන්දු දෙකකටත් පිට පිට හයේ පහර දෙකක් එල්ල කිරීම ය. එය එංගලන්තය අත රැඳුණ ලෝක කුසලානය සියතට උදුරා ගැනීමක් විණි.

දත් දොස්තර මොකට ද -ඩිල්ෂාන් කියයි

2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අනූශූරයන් වූයේ ශ්‍රී ලංකාව යි. එම තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමිණි. එ් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ය. ඩිල්ෂාන් තරගාවලිය පුරාවට ලකුණු 317 ක් රැස් කිරීමට සමත් වූ අතර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ද විය.

එම තරගාවලියේ දී ක්‍රිකට් ලෝකයට අලුත් පහරක් එක්කරන්නට ඩිල්ෂාන්ට හැකිවිණි. එය ස්කූප් පහරක් වූ අතර 2009 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙහි කැපී පෙනුණු අංගයක් විය. තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ඩිල්ෂාන් වෙත පැමිණි මාධ්‍යවේදීයෙක්, දැන් හොඳ දත් දොස්තර කෙනෙක් එහෙම ඉන්නවාදැයි ඩිල්ෂාන්ගෙන් විමසා තිබිණි. එවිට ඩිල්ෂාන් කියා තිබුණේ, ඒ ගැන බය වෙන්න එපා. මට මගේ පහර ගැන සියයට සියයක් විශ්වාසයි කියා ය.

 

කොදෙව් නැටුම්

2016 විස්සයි20 ලෝක කුසලානය ජයගත් බටහිර ඉන්දිය කොදෙව් පිල තරගාවලියෙහි කැපී පෙනුණේ දක්ෂතා තුළින් පමණක් නොවේ. ඔවුන් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ප්‍රසාදයක් දිනාගත්තේ කඩුල්ලක් ලබා ගැනීම, තරගයක් ජය ගැනීම වැනි විවිධ ජයග්‍රාහී අවස්ථාවන් උදෙසා වෙනම නර්තනයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි.

ඔවුහු සැමවිටම තම ජයග්‍රහණය සැමරුවේ එකී අපූරු නර්තනයේ යෙදෙමිනි. එය ක්‍රීඩා ලෝලීන්ගේ ද නොමඳ සතුටට හේතුවිණි. 2016 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙහි පමණක් නොව ඊට පෙර පැවති ලෝක කුසලාන තරගාවලිවලදී මෙන්ම ඇතැම් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පවා කොදෙව්වෝ සිය ප්‍රීතිය ප්‍රේක්ෂකයන් හා බෙදාගත්තේ මෙලෙස අපූරු නර්තන ඉරියව් පළකරමිනි.

 

 

පසිඳු මිහිරාන් රැටියල

Comments