විශ්‍රා­ම­ වයස 55 සිට 60 වන හැටි | සිළුමිණ

විශ්‍රා­ම­ වයස 55 සිට 60 වන හැටි

 

 

රාජ්‍ය සේවයට අවම වැටුපක් මෙන්ම විශ්‍රාම ගැන්වීමේ අවම වයසක් තිබුණ ද, පෞද්ගලික අංශයට අවම වැටුපක් හෝ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවක් තිබුණේ නැත. මේ සේවකයන්ගේ ඉරණම තීරණය වූයේ ඒ ඒ හාම්පුතුන්ට, ආයතන පරිපාලනයට ඇවැසි පරිදීය. මෙතෙක් කාලයක් පැවති අවුරුදු 55 විශ්‍රාම ගැනීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබූ හැකියාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට අදාළව දැනට පවත්නා වයස් සීමාව සංශෝධනය කර සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණේ පසුගිය මාර්තු 23 වැනිදාය.

සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් අවුරුදු 55 පසුව විශ්‍රාම ගැන්වීමත්, ඔවුන්ට සේවක අර්ථ සාධක හා ඊට අදාළ අරමුදල් විශ්‍රාම ගැනීමෙන් පසුව ලබාගත හැකිව තිබිණි.

පිරිමින් නම් වයස අවුරුදු 55 ද කාන්තාවන් නම් අවුරුදු 50 දිද සේවක අර්ථ සාධක ලබා ගැනීමේ හැකියාව පැවතිණි. නමුත් ඉදිරියේදි පෞද්ගලික අංශයේ අයටත් අවුරුදු 60 දක්වා සේවය කළ හැකිවෙයි.

ලොව බොහෝ රටවල පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ට වැඩිය. ප්‍රංශයේ අවුරුදු 66 ක්ද, ග්‍රීසියේ, ඉතාලියේ හා ඩෙන්මාර්කයේ අවුරුදු 67 ක්ද, බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ අවුරුදු 65 ක්ද, නෙදර්ලන්තයේ අවුරුදු 66 ක්ද, ස්වීඩනයේ අවුරුදු 62-68 දක්වාද, කැනඩාවේ අවුරුදු 65 ක්ද, ජපානයේ අවුරුදු 63 ක්ද, ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 66 ක්ද ආදි වශයෙන් පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ ඉහළ වයස් සීමාවක් නීතිගතය. මෙසේ වූයේ වර්තමානයේ මිනිසුන්ගේ ආයු කාලය වැඩිවීමට සමගාමීවය.

නමුත් ලංකාවේ පෞද්ගලික සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමට කිසිදු නෛතික පදනමක් නොතිබූ අතර එය තීරණය වූයේ ආයතන ප්‍රධානියා මතය. මේ හේතුවෙන් පසුගිය කාලයේ බොහෝ වෘත්තිය සංගම් මේ පිළිබඳ විටින් විට ඉල්ලීම්ද කර තිබුණි.

“ලංකාවේ සාමාන්‍ය ජීවත්වීමේ කාලය අවුරුදු 76 ක්. එනිසාම විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීම කළ යුතු බවට අවස්ථා ගණනාවකදිම අපි කරුණු ඉදිරිපත් කළා. වෙනත් රටවල වැඩිහිටියන් විශ්‍රාම ගිය පසු ඔවුන්ට සමාජ රක්ෂණ ක්‍රම හෝ සෞඛ්‍යාරක්ෂණ ක්‍රම ඇති නිසා විශ්‍රාම සුවෙන් සිටිනවා. නමුත් මෙරට එවැනි ක්‍රමවේදයක් නැහැ.

මේ නිසා ඔවුන් දරුවන්ට බරක් වෙනවා. අවුරුදු 55 වයසේ විශ්‍රාම යායුතු යැයි පුද්ගලික ආයතනවල සාමාන්‍ය පිළිගැනීමයි. ඒ අනුව ජීවත්වීමේ කාලය වැඩිවී ඇති නිසා වයස 55 න් හෝ 60 න් විශ්‍රාම යාමෙන් පසු තවත් වසර 10 ක්, 15 ක් ජීවිතේ පවත්වාගෙන යෑමේ ප්‍රශ්නයට ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා. අර්ථසාධක පනතට අනුව, කාන්තාවන්ට වයස අවුරුදු 50 දී විශ්‍රාම ගැනීමටත් වයස අවුරුදු 50 දී අර්ථසාධක ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ිරිමින්ට අර්ථසාධක ලබා ගත හැක්කේ වයස අවුරුදු 55 න් පසුව පමණි. නමුත් කාන්තාවන්ට අවුරුදු 50 දී අර්ථසාධක ලබා ගත්විට, වයස අවුරුදු 55 දක්වා නැවත සේවයේ යෙදීමට සේවා යෝජකයන් ඔවුන්ට ඉඩ ලබා නොදෙනවා. අර්ථසාධක ලබා ගත් පසු සමහර සේවායෝජකයන් නැවත සේවයේ යොදන්නේ අනියම්, තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනම මත හා අඩු සේවා කොන්දේසි මතයි. සමහර සේවකයින්ට අවුරුදු 55 දී අර්ථසාධක ලබා ගැනීමට අවශ්‍ය විය හැකිය.

එමනිසා තමන් කැමැති නම් අවුරුදු 55 දි විශ්‍රාම යාමට අවසර දිය යුතු අතර කැමැතිම් 60 දක්වා සිටීමට අවසර ලබා දිය යුතුයි“ ඒ වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩිය.

විශ්‍රාම වැටුපක් නොලබන එහෙත් සේවක අර්ථ සාධක අරමුදලට හිමිකම් කියන පෞද්ගලික අර්ධ රාජ්‍ය යන සැමටම මේ වයස් සීමාව අදාළ වෙයි. මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පුර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා 52 -55 සේවකයින් සහ වයස අවුරුදු 59 දක්වා සහ 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා වෙනස් වෙයි.

“පෞද්ගලික අංශයෙට විශ්‍රාම ගැන්වීමේ නීතියක් මීට පෙර තිබුණේ නැහැ. පිරිමින් අය අවුරුදු 55 න්ද, කාන්තාවන් අවුරුදු 50 න්ද සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීමට විශ්‍රාම යා හැකියි.

නැවතත් ඔවුන්ට ආයතන ප්‍රධානියාගේ කැමැත්ත ලැබේනම් ඇතුළු විය හැක්කේ අලුත් සේවකයකු ලෙසයි. මේ වන විට ජ්‍යෙෂ්ඨ පුරවැසි සංඛ්‍යාව වගේම ආයු කාලය දිගු වෙලා. නමුත් යමෙකු අවුරුදු 55 න් පසු විශ්‍රාම ගියොත් ඔහුට ජීවිතේ ඉතුරු කාලය ගත කිරීමට තවත් රැකියාවක් සොයා ගත යුතු වෙනවා.

මෙවැනි කරුණු සැලකිල්ලට ගනිමින් තමයි, අවුරුදු 60 දක්වා වූ යෝජනාව අපිත් ඉදිරිපත් කළේ. නමුත් සේවක අර්ථ සාධක අරමුදල් ගැනීමේ කරුණ නිසා ඒ සේවකයින්ට නිදහස තිබිය යුතුයි, ඔවුන් අවුරුදු 55 න් විශ්‍රාම යනවද, නැතිනම් අවුරුදු 60 න් විශ්‍රාම යනවද කියා.

තවමත් මේ පනත් කෙටුම්පත අපට එවා නැහැ. එහි මේ කරුණත් අන්තර්ගත විය යුතුයි. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා පැවැතීම නීතියක් ලෙස සම්මත විය යුතුයි.

අවුරුදු 55 න් පසු යමෙකු විශ්‍රාම යනවා නම් ඔහුට අලුත් සේවකයකු ලෙස සේවයට එක් වීමේ අවස්ථාව ලබා දිය යුතුයි.“ ඒ නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස්ය.

ලොව සෑම රටකම තිබෙන්නාක් සේ පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 60 දක්වා දීර්ඝ කිරීම ඇත්තෙන්ම සාධනීය පියවරකි.

“ ලංකාව ඇතුළු රටවල් කිහිපයක තමයි, පෞද්ගලික අංශයට විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවක් නැත්තේ. ඒ සඳහා පනතක්වත් නැහැ. නමුත් 90% ක්ම විශ්‍රාම ගැන්වීමේ වයස් සිමාව වන්නේ අවුරුදු 50 හෝ 55. ඉන්පසු සේවය දිගු කරන්නේ කොන්ත්‍රාත් පදනම මතයි. නමුත් අවුරුදු 50-55 සීමාවේදි ආයු අපේක්ෂාව තිබුණේ අවුරුදු 60-62. නමුත් මේ වන විට ආයු කාලය අවුරුදු 74-75ක් වෙලා. මේ සියලු කරුණා කාරණා සමඟ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සිදුවිය යුතුය යන්න පිළිබඳ අප දීර්ඝ කාලයක් සාකච්ඡා කළා. 2020 අයවැය යෝජනාවේදි මෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි මේ කරුණ ඇතුළත් කළා. මෙම කරුණ සම්බන්ධයෙන් අගමැති ප්‍රමුඛ කමිටුවේ එකඟත්වය ලබා ගත්තා. ඒ අනුව තමයි පනත් කෙටුම්පත සකස් වුණේ. ඉදිරියේදි මෙය නීතියක් ලෙස සම්මත කරනවා.“ ඒ කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්තිය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන අන්දමට මෙය නීතියක් බවට පත් වී ක්‍රියාත්මක කරන මොහොත වන විට වයස අවුරුදු 55 පිරි ඇත්නම් අවුරුදු 57 දක්වාද, වයස අවුරුදු 54 ක් වී ඇත්නම් නම් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 58 දක්වාද, වයස අවුරුදු 52 හා 53 නම් වයස අවුරුදු 59 න්ද , අවුරුදු 52 ට අඩුනම් වයස අවුරුදු 60 දක්වාද සේවය කළ හැකිවෙයි.

නමුත් පිරිමි සේවකයකු සේවක අර්ථ සාධක ලබා ගැනීමට අවුරුදු 55 න්ද, කාන්තාවකට නම් අවුරදු 50 න්ද විශ්‍රාම යාමේ අවස්ථාව හිමි වෙයි.

නමුත් ඔහු විශ්‍රාම ගිය පසු යළි සේවකයකු ලෙස එක් වන්නේ නම් ආයතන ප්‍රධානියාගේ කැමැත්ත මත අලුත් සේවකයකු ලෙස එක්විය හැකිය.

කෙසේ වෙතත් මෙය නීතිගත වූ පසු පෞද්ගලික හා අර්ධ රාජ්‍යයන්හි සේවක සියලු දෙනාටම අලුත් ප්‍රබෝධයක් හා සහනයක් සැලසෙනු නියතයි.

 

Comments