පිටි-සිමෙන්ති මිල වැඩි වූ හේතු මෙන්න | සිළුමිණ

පිටි-සිමෙන්ති මිල වැඩි වූ හේතු මෙන්න

 

ගෙවුණු සතියේ අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගියේ, කොවිඩ් වසංගතය නිසා ආර්ථිකය කඩා වැටී ආදායම් මාර්ග අහිමි වී ජනතාව අගහිඟකමින් බැට කමින් සිටින පසුබිමකය. එකවර භාණ්ඩ කිහිපයක මිල ඉහළ දරාගත නොහැකි බවට ජනතාව චෝදනා කළද ඊට අදාළ අනෙකුත් පාර්ශ්ව පවසන්නේ එසේ මිල ඉහළ දැමීමට බලපෑ හේතු සාධක සාධාරණ බවයි.

 

මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරයක් බවට පත්ව තිබෙන පාන් මිල ඉහළ යෑම පිළිබඳ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්.කේ. ජයවර්ධන කියා සිටියේ බේකරි හිමියන් දැන් පාන් නිෂ්පාදනය කරන්නේ නොකර බැරිකමට බවයි.

"අපේ රටේ පාන් බේකරි 7,000ක් තිබෙනවා. මේ බහුතරයක පිටි මිටි 100ක් වැඩ කළොත්, 90කින්ම හදන්නේ පාන්. ඉතිරි 10% තමයි, අනෙක් කෑම හදන්නේ. බේකරි හිමියා යම් කිසි ලාභයක් ලබන්නේ මේ 10% කෑම ප්‍රමාණයෙන් පමණයි. 80ට තිබූ සීනි රුපියල් 200 නැඟලා. අපේ ප්‍රශ්නය පිටි ම නෙවෙයි. බේකරි නිෂ්පාදනවලට අත්‍යවශ්‍ය සීනි, මාගරින්, බටර් වැනි අත්‍යවශ්‍ය හැම අමුද්‍රව්‍යයක්ම ගෙන්වන්නේ, පිටරටින්. මේ අමුද්‍රව්‍ය සියල්ලේම ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගිහින්. බිත්තර මිලත් අහස උසට නැඟලා.

බේකරියක ඩීසල් හෝ ගෑස් වැඩි පුරම වැය වෙන්නෙත් පාන් නිෂ්පාදනයට. මේ සේරම කරලා පාන් ගෙඩියක් තවදුරටත් පාඩුවට දීලා බැහැ. රුපියල් 5කින් පාන් මිල වැඩි කළේ 2019න් පස්සේ.

රජය මෙපමණ කලක් මේ මිල වැඩි කිරීමට ඉඩ නොදීපු එකයි වැරැද්ද. මේ විදියට තව සුමාන දෙකක් ගියා නම්, පාන් පෝලිමකුත් ඇති වෙනවා. සමහර පළාත්වල බර ග්‍රෑම් 450ට වඩා අඩු කරලා, රුපියල් 50ට පාන් ගෙඩිය අලෙවි කරනවා. අපි මේ වැරැද්ද අනුමත කරන්නේ නැහැ. මේවාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි..."

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ, ආහාරපාන මිල යම් පමණකින් වැඩි කරන්නට සිදු වූයේ නොකරම බැරි කමට බවත් එය රජය හෝ ව්‍යාපාරිකයන් කළාට වඩා පාරිභෝගිකයාගේ පැත්තෙන් සිතා කළ ඉතා අඩු මිල ඉහළ දැමීමක් බවයි. "බත් පැකට් එක, කොත්තුව, කිරි තේ එක රුපියල් 10 කින් වැඩි කළාට අනෙකුත් පිටි කෑම වන, ආප්ප බිත්තර රොටී, පාරාටා, රෝල්ස් වැනි කෙටි කෑම කිසිවක අපි මිල වැඩි කළේ නැහැ. මේ රටේ පැය 24 ම ක්‍රියාත්මක, ජනතාවගේ බඩගින්න ගැන හිතන එකම කර්මාන්තය ආපනශාලා. නමුත් රජය සංචාරක හෝටල් කර්මාන්තය ගැන කතා කළාට, සහන දුන්නාට, රෑ මැදියම වන තුරු ජනතාවට කහට උගුරක් හරි බොන්න ඇරලා තියෙන ආපන ශාලාවලට කිසිම සහනයක් දුන්නේ නැහැ. එක රාජ්‍ය නායකයෙක් මේ අවුරුදු නවයට අපිට සාකච්ඡාවක් දීලා නැහැ. අපේ ප්‍රශ්න අහලා නැහැ. හරි විදියට නම් රුපියල් 30 කින් වත් බත් පැකට් එක වැඩි වෙන්න ඕනේ. නමුත් අපි ජනතාව ගේ පැත්තෙන් හිතලා, එය රුපියල් දහයකට සීමා කළා.

මෙරට දැවැන්තම පිටි සමාගම් දෙකෙන් එකක් වන, සෙරන්ඩිබ් සමාගමේ අලෙවි සහ සන්නිවේදන ප්‍රධානී, කාලිංග විජේසේකර පිටි නිෂ්පාදක පාර්ශ්වය නියෝජනය කරමින් පැවසූයේ මෙවැනි අදහසකි.

"අද වෙනකොට රටේ ආහාර පෝලිම් කීයක් තිබෙනවාද? නමුත් පාන් ගෙඩියක් ගන්න කවුරුත් පෝලිමේ හිටියේ නැහැ. හේතුව අපි පාඩු පිට හරි, වෙළෙඳපොළට පිටි නිකුත් කළ නිසයි.

රු.185 ට තිබූ ඩොලර් එක නිල වශයෙන්ම 205 වෙලා. නමුත් වෙළෙඳපොළේ 225 යි, 230 යි. ඒත් අපි තිරිඟු ඇට ආනයනය කර, අඹරා, පිටි හදා පාරිභෝගිකයන්ට දුන්නා. තිරිඟු ඇටවල ජාත්‍යන්තර මිල, ටොන් එක 100%ක් වැඩි වුණා. නැව් ගාස්තු 50% කින් ඉහළ ගියා. මේ සේරම බැලුවත් රුපියල් 15-20ක් මිල වැඩි කළ යුතුයි. නමුත් අපි රුපියල් 10 සීමාවේ හිටියා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැළෙන බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක්ව ඇති සිමෙන්ති මිල වැඩි කිරීම පිළිබඳව ද අපි ඊට අදාළ පාර්ශ්ව කිහිපයකින් විමසුවෙමු.

මේ රටේ දැවැන්ත සමාගම් අතළොස්ස නියෝජනය කරන, මාග කන්ස්ට්‍රක්ෂන් සමාගමේ සභාපති, කපිතාන්, එම්.ජී. කුලරත්න ඒ පිළිබඳ මෙසේ කීවේය.

"දැවැන්ත සමාගම් හැටියට අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ව්‍යාපෘති බාර ගත්තට පස්සේ ඒවායේ අමුද්‍රව්‍ය මිල ඉහළ ගියාට, ගිවිසුම් අත්සන් කළ මිල ගණන්වලටම ඒවා නිම කර බාර දෙන්න සිද්ධ වීම. අපි නාගරික සංවර්ධන අධිකාරියෙන් ඔරුගොඩවත්තේ ඉදිකරන නිවාස සංකීර්ණය බාර ගත්තට පස්සේ, යකඩ ටොන් එක, රුපියල් අසූ දාහකින් වැඩි වුණා. මේ වගේ ව්‍යාපෘතියකට යකඩ ටොන් පන්දාහකට වඩා යනවා. එහෙම වුණා කියලා මේ වගේ විශාල ව්‍යාපෘතිවලදී අපිට මිල වැඩි කරන්න බැහැ. විශාල වශයෙන් පාඩු ලබන්න වෙනවා. නමුත් අමාරුම තැන, අපි ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම් දහයක් විතර එකතු වෙලා ජනාධිපති තුමාට මේ බව ලිපියකින් දැනුම් දුන්නා. සිදු වන හානිය අවම කරගෙන බොහොම පරෙස්සමෙන් ඉස්සරහට යෑම විතරයි කරන්න පුළුවන්"

මේ පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති, සුසන්ත ලියනආරච්චි පැවැසුවේ මෙවැන්නකි.

සිමෙන්ති ගැන විතරක් කතා කළාට, යකඩ, ගල්, වැලි, නාන කාමර කට්ටල, ආදී නිමැවුම් අාදිය සියලුම දේ 100%කින් වැඩි වෙලා. ඉදිකිරීම්වලට අදාළ දොරගුළු ඉඳලා ගේන්නේ පිටරටින්. නමුත් මේවායේ කිසිම මිල පාලනයක් නැහැ. බලන්න කෙනෙකුත් නැහැ. මේ කර්මාන්තය කඩා වැටුණොත් විදේශීය ඉදිකිරීම් සමාගම් ඇවිත් ඔවුන්ගේම මිනිසුන් ඒ රටවලින් ගෙනැත් දිගටම ලංකාවේ ඉදිකිරීම් කරාවි.

දේශීය කර්මාන්තකරුවන්ට දරාගන්න බැරි තැනට ආ විට ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තය ඔවුන් අත්හැර දමාව්. ලංකාවේ මිනිස්සුන්ට මේ ක්ෂේත්‍රයේ රැකියා නැති වේවි.

නොවැම්බර් 12 වැනිදා ඊළඟ වර්ෂයට අදාළ අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මින් පෙර මේවා ඉදිරිපත් කළේ කර්මාන්තකරුවන් වන අපේ ගැටලු ප්‍රශ්න පිළිබඳ විමසලා. නමුත් දැන් කිසිම සාකච්ඡාවක් නැහැ. මේ කර්මාන්තය පිළිබඳ කතාවක්වත් නැහැ. ඇතැම් නිලධාරින් කරන වැරැදි වැඩ නිසා අපකීර්තියට පත් වෙන්නේ ජනාධිපතිතුමා. පිරිහෙන්නේ දේශීය කර්මාන්තයක්

සිමෙන්ති නිෂ්පාදකයන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඉන්සි සිමෙන්ති සමාගමේ සභාපති, නන්දන ඒකනායක මෙසේ පැවසීය.

"සිමෙන්ති මිල ඉදිකිරීම් ක්ෂේත්‍රයට අහිතකර ලෙස බලපානවා කියන වැරැදි කතාව බොහෝ දෙනා සමාජගත කරනවා. නමුත් ඇත්ත කතාව, ගෙයක් හදන්න යන අමුද්‍රව්‍යවලින් සිමෙන්ති සඳහා යන්නේ 5% ක වියදමක් පමණයි. ඉතිරි සියල්ල යකඩ, වැලි, කොන්ක්‍රීට් ගල් සහ කම්කරු ශ්‍රමය සඳහායි. දැවැන්ත ව්‍යාපෘතිවල දී වුණත්, සිමෙන්ති යන්නේ 12% ක ප්‍රමාණයක් විතරයි. නමුත්, අත්‍යවශ්‍ය ඉහත කී කිසි දෙයක මිල පාලනයක් නැහැ. බිල්ඩිමක අඩුම වියදම යන්නේ, සිමෙන්තිවලට. සීනි මිල 300%කින් වැඩි වෙද්දී, ගෑස් මිල100% කින් වැඩිකර තිබෙද්දි, සිමෙන්ති මිල වැඩි කර තිබෙන්නේ 9%කින් පමණයි.

අවුරුදු දෙකහමාරක් අපි කිසිම මිල වැඩිවීමක් කළේ නැහැ. නමුත් සිමෙන්ති සඳහා රුපියල් 210 ක නිෂ්පාදන වියදමක් අප දරනවා. තවදුරටත් ලාභයක් නැතිව මේ විදියට සිමෙන්ති හදලා විකුණන එකේ තේරුමක් නැහැ.

 

Comments