කොළඹ නගර සභාවේ ‘කුණු බෝම්බ’ ඇවිළේ | සිළුමිණ

කොළඹ නගර සභාවේ ‘කුණු බෝම්බ’ ඇවිළේ

 

ළුයට ඇති ගිනි පුපුරු මෙන් කොළඹ නගර සභාවේ උණුසුම පිටවූයේ ගිනි කන්දක් පිපුරුවාක් මෙන් එක්වරමය.

එහිදී අපට හෙළිවූයේ වර්තමානයේ ඇතිව තිබෙන අර්බුදය නාගරික මන්ත්‍රීවරුන් හා නාගරික කොමසාරිස්වරියත් නාගරික භාණ්ඩාගාරිකවරියත් අතර මුදල් ප්‍රතිපාදන නිර්දේශ කිරීම සම්බන්ධව හටගෙන තිබෙන අර්බුදයක් බවයි. බැලූ බැල්මට නම් පෙනී ගියේ කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවට සහන මල්ලක් ලබාදීම වෙනුවෙන් සභාව සම්මත කර ගන්නා ලද ප්‍රතිපාදන අනුමත නොකිරීම නිසා මේ අර්බුදය හටගෙන තිබෙන බව වුවද ඒ පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේදී නගර සභාවේ කුණු යට පවා සැඟවුණු කරුණු බොහොමයක් තිබෙන බව අනාවරණය වුණි.

පසුගිය සැප්තැම්බර් 27 වැනිදා පෙරවරුවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් නගර සභ භූමියේ විරෝධතාවක නියැළුණේ අඩුආදායම්ලාභී ජනතාවට සහන මල්ලක් ලබාදීමට සභාව ගත් තීරණයකට නාගරික කොමසාරිස්වරිය විසින් නිර්දේශය ලබා නොදුන් බව පවසමිනි. ජනතාව වෙනුවෙන් ඔවුහු දුක්වූහ; හඬ නැඟුහ.

එහිදී අපට අනාවරණය වූයේ මිලියන 372ක අතිවිශාල මුදලක් කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සහන මලු ලබාදීමට යෝජනා කරගෙන ඇති බවත් එම මුදල් ලබා ගැනීමට යෝජිත වැය ශීර්ෂයක් පවා නොමැති බවයි. කොළඹ මලාපවාහන පද්ධතිය නඩත්තු කිරීම්, වැසි ජලය බැහැර කිරීම් නඩත්තුව ඇතුළු විවිධ කටයුතු සඳහා වෙන් කර ඇති වැය ශීර්ෂ 23ක් යටතේ අදාළ මුදල් ලබා ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව අපට අනාවරණය විය. එමෙන්ම අදාළ මිලියන 372ක් තරම් වූ අතිවිශාල ගනුදෙනුවට අදාළ භාණ්ඩ මිලදී ගැනීම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරව ලබා දෙන්නට තීරණය කර ඇති බව අනාවරණය විය.

එය බලවත් මුදල් අක්‍රමිකතාවක් බව පැහැදිලිව පෙනී ගියේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙවන් කාර්යයක් සිදු කරන්නට පළාත්පාලන ආයතනයකට බලයක් නොමැති නිසාය.

එයට නාගරික කොමසාරිස්වරිය අකුල් හෙළන බව මන්ත්‍රීවරුන් පිරිසක් පැවසුවත් සිදුවන්නට ගොස් ඇති දූෂණය නිසා අපි මේ කරුණු ගැඹුරින් විමසා බැලුවෙමු. එහිදී අනාවරණය වූයේ සහන මලු කතාව එකක් පමණක් බවත් පෙර කී පරිදි කුණු යට පවා විශාල කතා ගොඩක් සිරව ඇති බවයි.

පළාත් පාලන ආඥා පනතට අනුව කොළඹ නගර සභාව විසින් හෝ මුදල් කමිටුව විසින් ගනු ලබන තීරණයන්ට නාගරික කොමසාරිස්වරයා හා නාගරික භාණ්ඩාගාරිකවරයා විසින් අදාළ කටයුතු සඳහා නිර්දේශ ලබා දිය යුතුය. එහෙත් ඒ නිර්දේශ හරහා ඇතැම් නාගරික මන්ත්‍රීවරුන්ගේ විවිධ ව්‍යාපාරයන්ට පහර වදින විට ඔවුන් අදාළ නිලධාරීන් සමඟ ගැටුම්වලට මැදිවන බව පෙනී ගියේය.

විශේෂයෙන්ම නගර සභාව හා වෙනත් ආයතන සමඟ අත්සන් කරනු ලබන ගිවිසුම්වලදී වැඩි වාසිය සැමවිටම අදාළ කොන්ත්‍රාත් ආයතනයට හෝ සමාගමට සැලසෙන පරිදි ගිවිසුම් අත්සන් කෙරෙන බව අනාවරණය විය.

එවන් ගිවිසුම් වෙනුවෙන් බාහිර ආයතනවලට වාසි සැලසෙන වගන්ති සංශෝධනයට හෝ ඒවා ඉවත් කිරීමට නාගරික කොමසාරිස්වරිය විසින් කරනු ලබන නිර්දේශයන්ට නාගරික මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ලබන බලපෑම් හමුවේ මේ ගැටුම් දිනපතාම වර්ධනය වන බවක්ද අපට පෙනී ගියේය. මෙවන් ඇතැම් ගිවිසුම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම දක්වා ගොස් ඇති අතර තවත් ඒවා වෙනුවෙන් විශේෂ විමර්ශනද සිදු කෙරේ.

එවන් එක් ගිවිසුමක් ලෙස අපට පෙන්වා දිය හැක්කේ කැළිකසළ කළමනාකරණ ගිවිසුමයි.

එය පසුගිය වසරේ ජූනි මස එළැඹි ගිවිසුමකි. ඒ ගැන විමර්ශනාත්මකව බැලූ විට පෙනී යන්නේ විශාල දූෂණයක් හෙවත් අතයට ගනුදෙනුවක් සිදුව ඇති බවයි. ඒ සම්බන්ධව ස්වාමීන් වහන්සේ නමක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලක් අනුව මේ වන විට විමර්ශන සිදු කෙරේ.

ගිවිසුම් අලුත් කිරීමේදී පෙර වසරට වඩා 105%ක් වැඩි කර කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ. එයට පදනම් වූ පැහැදිලි කරුණු කිසිවක්ද නැත. කොළඹ නගර සභාවට ලැබෙන වරිපනම් ආදායම් ඇතුළු සියලු ආදායම්වලින් 55%ක් එනම් අඩකටත් වඩා වැය වන්නේ කැළිකසළ ඉවත් කිරීමටය. ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් වන ‘ක්ලීන් ටෙක් හා කෙයාක්ලීන් ‘ හරහා එම කැළිකසළ ඉවත් කරන නමුත් එම සමාගම් දෙක හරහා සිදු කෙරෙන්නේ කැළිකසළ 50%ක් පමණක් ඉවත් කිරීමය. ඉතිරි 50%ක ප්‍රමාණය නගර සභාව විසින් ඉවත් කළ යුතුය. සාමාන්‍ය වශයෙන් බිලියන 2.2ක් මේ සඳහා වැය කරන්නට සිදු වේ.

එසේ වුවත් මේ වසරේ පෙබරවාරි 17 වැනිදා කෙරවලපිටිය කසළ අංගණය අගමැතිවරයා විවෘත කිරීමත් සමඟ ඒ අංගණයට ගෙන එන කැළිකසළ ප්‍රමාණය කරන ලදී. එහිදී ටොන් 475ක් පමණක් දිනකට කැළිකසළ එන බව අනාවරණය වුවත් ඊට පෙර ටොන් 1500ක් පමණ ප්‍රමාණයට දිනපතා මුදල් ගෙවා ඇති බව අනාවරණය වී ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ මේ ගැන විමර්ශනය කෙරෙන හෙයින් අප ඒ ගැන වඩාත් වඩාත් නැඹුරු නොවිය යුතුය. කෙසේ වුවත් මේ වන විටත් විගණකාධිපතිවරයා විසින්ද කමිටුවක් මඟින් ඒ ගැන විමර්ශනයක් සිදු කෙරේ.

සාමාන්‍ය වශයෙන් කොළඹ නගර සභාවට ඇස්තමේන්තු බදු ආදායම රුපියල් බිලියන 15කි. වාර්ෂික වශයෙන් සාමාන්‍යයෙන් ලැබෙන්නේ බිලියන 10ක පමණ මුදල් ප්‍රමාණයකි. කෙසේ වෙතත් නගර සභාවේ සියලු සේවක වැටුප් හා මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනා ගෙවීම් සිදු කරන්නේද මහා භාණ්ඩාගාරයෙන් හෙවත් මුදල් අමාත්‍යාංශය හරහාය.

එවන් තත්ත්වයක් තිබියදී මේ වසරේ අගෝස්තු මස 17 වැනිදා කොළඹ නගර සභාවේදී තීන්දුවක් ලබා ගන්නේ මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති හෝ ලබා දෙන නිර්දේශ සභාව විසින් නොසැලකිය යුතු බවයි. එසේ එම නිර්දේශ නොසලකා සභාවට රිසි සේ රජයේ බදුමුදල් පරිහරණය කළ හැකි බවට සභාව විසින් ගනු ලබන තීන්දුවට නාගරික කොමසාරිස්වරිය නිර්දේශය ලබා නොදෙන්නේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමිනි. නගර සභාවේ සියලු වැටුප් මුදල් අමාත්‍යාංශයෙන් ගෙවන හා මන්ත්‍රී දීමනා (වැටුප්) මුදල් අමාත්‍යාංශයෙන් ගෙවනු ලබන අවස්ථාවක් මෙන් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුදල් අමාත්‍යවරයාට හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරී ඇති බලතල අභිභවා යන්නෙ කෙසේද යන්න අපටද ප්‍රශ්නයකි.

නාගරික කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා හා විගණකාධිපතිවරයාගේ අදහස් ඉල්ලා ඇති අතර විගණකාධිපතිවරයා විසින් පසුගිය අගෝස්තු 02 දින AGS/CMC/2021/68 දරන ලිපිය මඟින් සිය මතය දන්වා එවන්නේ කිසිදු ලෙසකින් මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛ හෝ දැනුම් දීම් නොසලකා හරින්නට සභාවට බලයක් නොමැති බව පවසමිනි. එය නීති විරෝධී බව එයින් ගම්‍ය කර තිබේ.

එම ලිපියේ මෙසේද දක්වා තිබේ.

‘ආයතන සංග්‍රහයේ විධිවිධාන, මුදල් රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ රජය විසින් එකී කාරණා සම්බන්ධයෙන් කලින් කල නිකුත් කරන නියෝග සහ චක්‍රලේඛවල උපදෙස් අනුව ද කටයුතු කළ යුතුය‘ යන්න මාගේ මතය වේ.

ආණ්ඩුකාරවරයාද උපදෙස් ලබා දී ඇත්තේ එලෙසිනි. ආණ්ඩුකාරවරයා දන්වා ඇත්තේ ‘මහ නගර සභා ආඥා පනතේ 21(1) උප වගන්තිය කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළ යුතු බවත් යම් තීරණයක් පරිපාලනමය වශයෙන් නීති රාමුව තුළ ඉටු කළ නොහැකි නම් නගරාධිපතිනිය හරහා මහ සභාව දැනුම්වත් කිරීමට කොමසාරිස් වෙත පරිපාලන වගකීමක් පැවරී ඇති බව දැන ගත යුතුය.‘ යනුවෙනි.

වර්තමානයේ මතුව ඇති වියළි ආහාර පාර්සල් ගැටලුවේද අපි සුලමුල සොයා බැලුවෙමු. එහිදී අනාවරණය වූයේ පසුගිය වසරේ අප්‍රේල් මස රට වසා තිබියදී අඩුආදායම්ලාභීන් වෙනුවෙන් මිලියන 100ක වියළි ආහාර ලබා දී ඇති බවයි. එය නගර සභා විෂය පථයෙන් බැහැර කාර්යයක් වුවත් ඒ අවස්ථාවේදී මතුව ඇති තත්ත්වය මත හා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් නොවූ හෙයින් ඒ සඳහා නාගරික කොමසාරිස්වරිය විසින් අදාළ නිර්දේශ ලබා දී තිබෙන බව දැන ගන්නට ඇත.

එයින් පසුව එම වසරේම නොවැම්බර් මාසයේදීද මිලියන 300ක වියළි ආහාර ලබා දීමට නිර්දේශ කර ඇති අතර එවරද නීති ප්‍රතිපාදන අනුව කටයුතු කර තිබෙන බව දැනගන්නට ඇත. එමෛන්ම මේ වසරේද ජූලි මාසයේ මිලියන 173ක වියළි ආහාර ලබා දෙන්නට කටයුතු කර තිබේ. ඒ සියලු අවස්ථාවන්හි වැය ශීර්ෂ හරහා කටයුතු කිරීම මෙන්ම අවස්ථා 3 හිදීම නිසි පරිදි ටෙන්ඩර් කැඳවා මේ වියළි ආහාර මිල දී ගැනීමි සිදු කර තිබේ.

එසේ මිලියන 573ක් වටිනා වියළි ආහාර අවස්ථා 3කදී කොළඹ මහ නගර සභාව විසින් ජනතාව වෙනුවෙන් සපයා දී ඇති අතර පසුගිය සැප්තැම්බර් 6 වැනිදා සභාව විසින් යෝජනාවක් සම්මත කර ගන්නේ මිලියන 372ක වියළි ආහාර ප්‍රදානයන් පසුදින සිට එනම් සැප්තැම්බර් 7 වැනිදා සිටම ජනතාවට ලබා දිය යුතු බව පවසමිනි.

ඒ වෙනුවෙන් වැය ශීර්ෂයක්ද ඉදිරිපත් කර නැත. එමෙන්ම 6 වැනිදා සම්මත කරගත් යෝජනාව වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම් හෝ කිසිදු නීත්‍යානුකූල කටයුත්තක්ද සිදු කර නොමැත. ඒ සඳහා වන මුදල් යොදා ගැනීමට සකස් කර ඇත්තේ මලාපවාහන කටයුතු වලට මෙන්ම වැසි ජලය කළමනාකරය ඇතුළු නාගරික ජනතා අත්‍යවශ්‍ය කටයුත් සඳහා වෙන් කර ඇති මුදලෙනි.

ඊටත් වඩා ගැටලුව වී ඇත්තේ මේ වන විට කොළඹ නගර සභා ගිණුමේ මිලියන 1145ක බැංකු අයිරාවක් තිබීමයි. එවන් තත්ත්වයක් තුළ එසේ යෝජනාවක් සම්මත කර ගෙන ඇත්තේ කෙසේද යන්න විමතියට කරුණකි. එම කරුණු අනුව නාගරික කොමසාරිස්වරිය මේ යෝජනාවට නිර්දේශ ලබා දී නොමැත. විශේෂයෙන්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ මිලදී ගැනිම් වෙනුවෙන් ඇය අනුමතිය ලබා දී නොමැත.

ඒ හා සම්බන්ධව තවත් කතාවක් දිග හැරෙන්නේ පසුගිය සැප්තැම්බර් 24 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක විසින් නීති නිලධාරි, මිලදී ගැනීම් නිලධාරි‍, නාගරික භාණ්ඩාගාරික ඇතුළු සියලු නිලධාරීන් ගෙන්වා නගර සභාවේ කටයුතු සම්බන්ධව හා මුදල් තත්ත්වය සම්බන්ධව කළ සාකච්ඡාවකින් පසුවය. එහිදී ආණ්ඩුකාරවරයා කළ විමසීමකදී නාගරික භාණ්ඩාගාරිකවරිය වන ශිරෝමා නන්දනී විසින් සභාවේ මුදල් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කර තිබේ.

සාකච්ඡාව අවසන්ව නගර සභාවට පැමිණි පසු නාගරික භාණ්ඩාගාරිකවරියගේ කාමරයට ගොස් නාගරික මන්ත්‍රී රම්සි ටෝනි විසින් ඇයට බැණ තර්ජනය කර ඇත්තේ ‘ගිනි තියා ගන්නා බවත් ඇයගේ කාමරය වටලන බවත් කියමිනි. ඒ වෙනත් කිසිවක් නිසා නොව සභාවේ සැබෑ මූල්‍ය තත්තවය ආණ්ඩුකාරයට හෙළි කිරීම නිසාය.

ඇය ඒ සම්බන්ධව නාගරික කොමසාරිස්වරිය ඒ අවස්ථාවේම දන්වා ඇති අතර පසු දින එනම් 25 වැනිදා කුරුඳුවත්ත පොලිසියට නාගරික භාණ්ඩාගාරිකවරිය විසින් සිද්ධිය පැමිණිලි කර තිබේ. පොලිසිය එදිනම නාගරික කොමසාරිස්වරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති නමුත් අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධව එදින නීතිමය කටයුත්තක් සිදු කර නොමැත. කෙසේහෝ 27 වැනිදා සඳුදා සේවයට පැමිණි පසු අදාළ අංශවල සේවක සේවිකාවන් තම රාජකාරින්ගේන් බැහැරව සභාව තුළම සිට පවසා ඇත්තේ නාගරික භාණ්ඩාගාරිකවරියට වූ අසාධාරණය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ අවස්ථාවේදීම නාගරික කොමසාරිස්වරිය පොලිසියට ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ අදාළ නීතිය ක්‍රියාත්මක කර ඇති අතර පසුව නාගරික මන්ත්‍රීවරුන් සුළු පිරිසක් නගර සභාවේ තණතිල්ලේ අසුන් ගෙන විරෝධතාවක් පවත්වන ලද්දේ ජනතාවට සහන ලබාදීමට නාගරික කොමසාරිස්වරිය විසින් මුදල් ලබා නොදෙන බවට හඬ නඟමිනි.

එයින් පසුව නිලධාරීන්ද එයට විරුද්ධව නගර සභා භූමියේ විරෝධතාවක් පවත්වන ලද්දේ සැබෑ සිදුවීම යටපත් කරන්නට නාගරික මන්ත්‍රීවරුන් කටයුතු කරන බව පවසමිනි.

ඒ අතර නාගරික භාණ්ඩාගාරිකවරියට තර්ජනය කළ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර ඇත්තේ අධිකරණ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට පසුබිම සකසමිනි.

අදාළ නාගරික මන්ත්‍රිවරුන් ඉල්ලා සිටින්නේ මිලයන 372ම එකවර ගෙවා සහන ලබා දිය යුතු බවයි. එහෙත් පසුගිය 24 වැනිදා ආණ්ඩුකාරවරයා සමඟ පැවැති රැස්වීමේදී ආණ්ඩුකාරවරයා විසින් ඒ සඳහා මිලියන 200ක මුදලක් අනුමත කර ලබා ගත හැකි ක්‍රමවේදද සකස් කර තිබේ.

එය නාගරික කොමසාරිස්වරිය විසින් සභාවටද දැනුම් දී ඇති නමුත් ඔවුනට අවශ්‍ය වන්නේ මිලියන 372ම එකවර අනුමත කර ගැන්මටය. ඒ සඳහා ලොකු අවශ්‍යතාවයක් තිබෙන බව පැහැදිලිය. මිලියන 200කින් සහන මලු 38,000ක් සපයා ගත හැකිය. එය දිනකින් හෝ දෙකකින් අවසන් කළ හැකි ප්‍රමාණයක්ද නොවේ. එවිට ලැබෙන පිළිවෙළට ඉතිරි මුදල් සපයා ගත හැකි බව ආණ්ඩුකාරවරයාද දන්වා ඇත.

මේ පිළිබඳව වාර්තා වීමෙන් පසුව කළ විමර්ශනයකින් පසුව බස්නාහිර පළාතේ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ඒ.ඩී.එස්. සදීකාගේ අත්සනින් යුක්තව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.ඩී.ඒ. කීර්තිරත්න විසින් නගරාධිපතිනියට ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ සභිකයන් (මන්ත්‍රීවරුන්) විසින් නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන්ට රාජකාරිමය වශයෙන් හා පෞද්ගලික වශයෙන් දෝෂ දර්ශනයට ලක් කරන බව තහවුරු වී ඇති බවයි. එය නිරීක්ෂණය වී ඇති බවත් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ට පැවරී ඇති වපසරිය තුළ හෙයින් ඒ සම්බන්ධව මැදිමත්වී එවැනි සිදුවීම් නොවන්නට වගබලා ගන්නා මෙන් ආණ්ඩුකාරවරයාගේ නියෝග පිට දන්වනු ලබන බවයි.

මේ පිළිබඳව කරුණු විමසන්නට සිළුමිණ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායකගෙන් කරුණු විමසුවෙමු.

‘‘රාජකාරි ගැටලු තියෙනවා. මාධ්‍යයට ඒ තොරතුරු හෙළි කිරීම් සුදුසු නැහැ. රාජ්‍ය නිලධාරින් ලෙස අපට කළ හැක්කේ ආණ්ඩුකාරවරයාට කරුණු වාර්තා කිරීමයි. මම ආණ්ඩුකාරතුමාට ලිඛිතව දැනුවත් කර තියෙනවා‘‘ ඇය පැවසුවේ එපමණකි.

එසේම කොළඹ මහ නගර සභාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපි කොළඹ නගරාධිපතිනිය අවස්ථා කිහිපයකදී සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවෙමු. අවසානයේ ඇයගේ මාධ්‍ය ලේකම් තාරක වීරසූරියට පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දෙදිනම ඇමතුම් ගන්නා ලදී. ඔහු පැවසුවේ ඇය කාර්යබහුල බවත් විමසා බලන්නම් යනුවෙනි. එයින් පසුවද නගරාධිපතිනිය ඇමතූ නමුත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

 

Comments