කොවිඩ් පරදා රට යළි පෙරට | සිළුමිණ

කොවිඩ් පරදා රට යළි පෙරට

 

ශ්‍රී ලංකාව මනා සංවිධානාත්මක හා කළමනාකරණයකින් යුතුව කොවිඩ් වසංගතය පාලනය කර ඇති බව යුනිසෙෆ් සංවිධානයේ පිළිගැනීමට ලක්ව ඇත. එම සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශ කළේය.

 

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ඒ සඳහා විශාල රුකුලක් වූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මේ වන විට මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 99%ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර එම අගය සමස්ත ජනගහනයෙන් 67.2% ක ප්‍රතිශතයකි. එම වයස් කාණ්ඩයේ 85%ක් දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන ඇත. පසුගිය බ්‍රහස්පතින්දා(14දා) වන විට සමස්ත ජනගහනයෙන් 14,754,334ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර 12,657,989ක් දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කර තිබිණි. ඒ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස සමස්ත ජනගහනයෙන් සියයට 57.5ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලින් හෙළිවේ.

 

 

 

 

 

 

 

විශ්වවිද්‍යාල සිසුන්ගේ එන්නත්කරණ වැඩසටහන සිකුරාදා අවසන් වූ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන එදින ආරම්භ විය. ඒ යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමුවර සහ දෙවනවර අපේක්ෂකයන් සඳහා එන්නත ලබාදුන් අතර කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 24,000ක් සඳහා එන්නත්කරණය සිදුකිරීමට නියමිතව තිබිණි. කොළඹ අධ්‍යාපන කලාපයට අයත් විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් සහ විවේකානන්ද විද්‍යාලය යන පාසල් 4 තුළ එම වැඩසටහන ක්‍රියාත්මක විය.

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසීය. ම(ර්)ක් නම් ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ් රෝගය සඳහා මොල්නුපිරවියා නම් ඖෂධ කරලක් නිෂ්පාදනය කර ඇති අතර මේ වන විට ලෝකයේ රටවල් ගණනාවක් මෙම කරල භාවිත කිරීම පිළිබඳ සඳහා අවධානය යොමුකර ඇත.

මේ වනවිට එය පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් විශේෂඥයන් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවය.

සීමා අතර ලිහිල් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ

එන්නත්කරණයේ ප්‍රගතිය තුළ මේ වන විට මෙරටින් වාර්තා වන දෛනික නව කොවිඩ් ආසාදිතයන් සහ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙන අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවේ යම් ලිහිල් කිරීම් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව යම් සීමාවන්ට යටත්ව ලබන 16 වැනිදා සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවෙන් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයන් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදී ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා අවසර ලැබී තිබුණේ විවාහ ලියාපදිංචි කිරීම්වලට පමණකි. එමෙන්ම අවමංගල්‍ය අවස්ථාවක් සඳහා එක් වරකදී සහභාගි විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව ද 10 සිට 15 දක්වා ඉහළ නංවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා ද අවසර ලබා දී ඇත. අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමට ද අවසර දී ඇතත් මත්පැන් භාවිතය තහනම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් වේ. රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පැවැත්විය යුත්තේ පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන සේ වන අතර සහභාගි කරගත හැකි උපරිම සංඛ්‍යාව 50 කි.

මංගල උත්සව පැවැත්වීමට අවසර ලැබුණද ඒවා පැවැත්වීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා පවත්වන්නේද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. විශේෂයෙන් මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතු අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය යොමුවන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ පවතින කඨින චීවර පූජාව පවත්වන ලෙසයි. ඒ අනුව කඨින චීවර රැගත් පෙරහැර සඳහා මෙම අවස්ථාවේ අවසර ලබාදිය නොහැකි බවත් කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගි කරගන්නා ලෙසත් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීමට සහභාගි කරගත හැකි උපරිම සැදැහැවතුන් සංඛ්‍යාව 20කි.

රට යළි සාමාන්‍යකරණයට ලක්වීමත් සමඟ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන ඉකුත් 14 වැනිදා සිට සංචාරකයන් සඳහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කළේය. ඒ අනුව, සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාළ චක්‍රලේඛවලට අනුගතව විවෘත කෙරේ.

එමෙන්ම ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය, දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය, අභයගිරිය සීගිරිය, මහනුවර, පොළොන්නරුව, කතරගම, යාපහුව, රත්නපුර, මොනරාගල, නාමල් උයන, ත්‍රිකුණාමලය, දඹදෙණිය, රිදී විහාරය, යාපනය, රම්බා විහාරය යන ස්ථානවල පිහිටි සියලුම කෞතුකාගාර විවෘත කෙරෙන බවද මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.

ඡායාරූප සුදත් මලවීර

Comments