රට ජනතාවට එදිනෙදා සිය ආහාර පිළියෙල කර ගැනීම සඳහා අවශ්‍ය බලශක්ති ප්රභවය ලෙස මේ වන විට අත්‍යාවශ්‍යම වී ඇති ගෑස් සැපයුම සපුරාලීම සඳහා සමාගම් දෙකකට අවස්ථාව ලැබී ඇත. එම සමාගම් වන්නේ ලිට්රෝ සමාගම හා ලාෆ් සමාගමයි.
ඒ අතරින් ලිට්රෝ සමාගම රාජ්‍ය අංශය යටතේ පාලනය වන සමාගමක් වන අතර ලාෆ් සමාගම අයත් වන්නේ පෞද්ගලික අංශයටයි. මෙරට ජනතාවගේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය කෙරෙන ගෑස් මෙට්‍රික් ටොන් 1600 අතරින් ගෑස් මෙට්‍රික් ටොන් 1250 ක් ලිට්රෝ සමාගම මඟින් සපයන අතර ලාෆ් ගෑස් සමාගම මඟින් සපුරාලන ගෑස් ප්‍රමාණය දළ වශයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 350ක් පමණ වේ.
කෙසේ වුවත් පසුගිය කාල සීමාව තුළ ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණි. මෙලෙස ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ යාම සඳහා සෘජු බලපෑම් එල්ල කළ බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
මෙලෙස ගෑස් සැපයුම අඩාළ වීම නිසා හා ගෑස් මිල ඉහළ යාම නිසා මෙරට ගෑස් සමාගම් වන ලිට්රෝ හා ලාෆ් යන ගෑස් සමාගම්ද අර්බුදකාරී තත්ත්වයක් වෙත ගමන් කළ අතර එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සැලකිය යුතු මිල වැඩි කිරීමකට ඉඩ දෙන්නැයි එකී සමාගම් පසුගිය දෙවසර පුරා අවස්ථා කීපයකදීම රජයෙන් ඉල්ලා සිටින ලදී. එහෙත් එම සෑම අවස්ථාවකදීම ගෑස් සමාගම් කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර දැමුවේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ බැට කමින්, දුෂ්කරතාවයන් රැසකට මුහුණ දී සිටි ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොකළ යුතුය යන ස්ථාවරය ප්‍රකාශ කරමිනි.
අවස්ථා කීපයකදීම මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් ඒ සඳහා ඉඩ නොලැබුණු නිසා ගෑස් වෙළෙඳාමෙන් ඉවත් වීමට ලාෆ් සමාගම තීරණයක්ද ගත්තේ ය. මිල වැඩි කිරීමට ඉඩ නොලැබුණු නිසා ලාෆ් සමාගමේ වෙළෙඳ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ වී ගිය අතර වෙළෙඳපොළ තුළ ලාෆ් ගෑස් හිඟයක්ද නිර්මාණය විය.
ගෑස් මිල ඉහළ යෑම වැනි කරුණක් ජනතාවට ඉතාම සංවේදී වන කරුණක් නිසා කිසිදු රජයක් ගෑස් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව ඉතාම පැහැදිලිය.
සමාගම් කෙතරම් ඉල්ලීම් සිදු කළත් 2020 වසරේ සිට ගතවුණු වසර දෙකකට ආසන්න කාලය තුළ ගෑස් මිල වැඩිවීමකට අවස්ථාවක් නොලැබුණේද ඒ නිසාය. එහෙත් ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හමුවේ අකමැත්තෙන් වුවද මිල වැඩි වීමකට පසුගිය ඔක්තෝබර් 11 වැනිදා රජය ඉඩ ලබා දුන් අතර එහි ප්‍රධාන අරමුණු වූයේ වෙළෙඳපොළ තුළ ගෑස් හිගයක් ඇති වීමට කිසිදු ඉඩක් නොදෙමින් අඛණ්ඩව ගෑස් සැපයුම සිදු කිරීම, ගෑස් වෙළෙඳාමේ නිරත ලිට්රෝ හා ලාෆ් යන සමාගම් කඩා වැටීමකට ඉඩ නොදීම වැනි කාරණා වේ.
2003 අංක 9 දරන පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර තිබුණි. එම නිසාම 12.5 Kg හා 5 Kg බර යටතේ වූ ගෑස් සිලින්ඩරයන් හි මිල වැඩි කිරීමට නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවට නියම කර තිබුණත් මෙම අවස්ථාවේදී ගෑස් මිල තීරණය කරන ලද්දේ ලිට්රෝ හා ලාෆ් යන ගෑස් වෙළෙඳාමේ නිරත මෙම සමාගම් දෙක විසිනි. මේ පිළිබඳව අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් විමසා සිටි අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මිල පාලනයෙන් ඈත් වීමට රජය තීරණය කළ නිසා ඊට අනුව ගෑස් මිල තීරණය කිරීම සඳහා තම අධිකාරියට මේ වන විට බලයක් ලැබී නොමැති බවය. මේ වන විට ප්‍රකාශ වී ඇති මිල ගණන් අනුව ලිට්රෝ සමාගම මඟින් වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන 12.5 Kg ගෑස් සිලින්ඩරයක නව මිල රු.2675/-ක් වන අතර ලාෆ් සමාගම මඟින් අලෙවි කරනු ලබන එම ප්‍රමාණයේම ගෑස් සිලින්ඩරයක නව මිල රු.2840/- කි. සමාගම් දෙක මඟින්ම මීට පෙර මෙම ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලැබුවේ රු.1493/ක මිලට වන අතර 2019 වසරේ සිටම එම මිල ගණන් අනුව ගෑස් අලෙවි වීම විශේෂත්වයක් විය. පැවැති මිලට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් ඇති මිල ගණන් සංසන්දනයේදී ලිට්රෝ මිල වැඩි වීම ප්‍රතිශතයක් ලෙස 79.1% ක් වී තිබෙන අතර ලාෆ් ගෑස් හි මිල වැඩි වීම ප්‍රතිශතයක් ලෙස 90.22% ක් වී තිබේ.12.5 Kg ගෑස් සිලින්ඩරයේ මිල පමණක් නොව 2.5 Kg හා 5 Kg ගෑස් සිලින්ඩර මිලද මීට ආසන්න ප්‍රතිශතයන්ගෙන් ඉහළ ගොස් තිබේ.
කුමන හේතු බලපෑවද එක් වරම මෙවැනි විශාල අගයකින් ගෑස් මිල ඉහළ යාම මෙරට ජනතාවට කිසිදු ලෙසකින් වත් දරා ගත හැකි කාරණාවක් නොවේ. මේ හමුවේ සිය ආහාර පිළියෙල කර ගැනීම වැනි කාර්යයන් සඳහා දර හා භූමිතෙල් වැනි විකල්ප ප්‍රභව වෙත ඔවුහු දැනටමත් යොමු වෙමින් සිටිති.
රටේ ආර්ථිකය ද යම් පසුබෑමකට මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක පැවති මිලට සාපේක්ෂව දෙගුණයකට ආසන්න අගයකින් මෙලෙස ගෑස් මිල වැඩි කිරීමට තීරණය කළේ ඇයි? මේ පිළිබඳව අදාළ ගෑස් සමාගම් හි ප්‍රධානීන්ගෙන් අප අදහස් විමසූ අතර එහිදී ලිට්රෝ ආයතනයේ සභාපති තෙෂාර ජයසිංහ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම මිල වැඩි කිරීම මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබුණු තීන්දුවක් වූ බවයි.
ගෑස් මිල වැඩි වීම සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබීමද හේතුවක් වී ඇති බව පැහැදිලි කළ ඔහු පාරිභෝගික සේවා අධිකාරිය විසින් 2019 වසරේදී ගෑස් මිල ගණන් තීරණය කිරීමේදී ගෑස් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 363 ක් වූ නමුත් මේ වන විට සමස්ත ලෝකයම මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ගෑස් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 796- 800 ත් අතර මිල ගණනක් දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙළිදරව් කර සිටියේය.
එසේම 2019 වසර වන විට ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් ගෙවූ මිල රු.177/- ක් වූ නමුත් මේ වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා රු.203/- ක් ගෙවීමට සිදුව ඇති බවද එම හේතු සාධක පිළිබඳව බුද්ධිමත්ව හා ගැඹුරින් විමර්ෂණය කර හා විශ්ලේෂණය කර බලන ඕනෑම අයෙකුට දැනට ලබාදී ඇති මිල වැඩි වීම හෝ ලබා නොදී මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යා නොහැකි බව තහවුරු වන බවද සඳහන් කරන ලදී.
කෙසේ වුවත් නව මිල ගණන් යටතේද තවමත් තම සමාගම ගෑස් සිලින්ඩරයකින් රු.180/- ක පමණ පාඩුවක් ලබන බවද ලිට්රෝ සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
ගෑස් මිල වැඩි වීම ජනතාවට ප්‍රශ්නයක් වන බව දන්නා නමුත් පාඩු ලබමින් ගෑස් අලෙවි කිරීමට නොහැකි බව ලිට්රෝ සභාපතිවරයාගේ අදහසයි.
ලාෆ් සමාගමේ සභාපති ඩබ්. කේ. එච් වෑගපිටියද ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහට සමාන අදහසක් දැක්වූ අතර ඔහුද ප්‍රකාශ කර සිටියේ ඉදිරි කාලය තුළ ගෑස් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සැපයුම් ජාලය අඩපණ වීම, එලෙස එම සැපයුම් ජාලය අඩපණ වීමත් සමඟ ඇති වී ඇති ලෝක ආර්ථික අර්බුදය, ආනයන පිරිවැය වැඩිවීම සහ රුපියල අව ප්‍රමාණය වීම වැනි සාධක මෙම මිල ගණන් තීරණය වීම සඳහා එක එල්ලේම බලපෑම් එල්ල කරන බව සඳහන් කළ හෙතෙම ගෑස් අලෙවියේදී ජනතාව අනවශ්‍ය පීඩාවකට ලක් නොකර සාධාරණ ලාභයක් තබා ගෙන ඉදිරියට මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යන බවද සඳහන් කළේය.