සොඳුරු මුහුණ අඳුරු කරන පිග්මන්ටේෂන්වලට මෙන්න ප්‍රතිකාර | සිළුමිණ

සොඳුරු මුහුණ අඳුරු කරන පිග්මන්ටේෂන්වලට මෙන්න ප්‍රතිකාර

 

ලප කැළැල් වලින් තොර මුහුණක් පවත්වා ගැනීම බොහෝ දෙනෙකු ආසාවෙන් සිටියත් එය කොටසකට සිහිනයක්. විවිධ හේතු නිසා සමහි ඇතිවන මෙම පීඩාකාරි තත්ත්වයන් හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වන තරුණ තරුණියන් බොහොමයක් සමාජයේ දකින්නට ලැබෙනවා. ඒ වගෙම මනාලියක් වීමට පෙරුම් පුරන යුවතියකට පවා සමේ අඳුරු පැහැ පැල්ලම් ආදිය ඇතිවීම පීඩාකාරී තත්ත්වයක්. ඉතින් කාන්තා පාර්ශ්වයට බහුලව පවතින පිග්මන්ටේෂන් නැතිනම් සමේ අඳුරු පැහැ ලප පිළිබඳ සහ ඒවාට නිවසේදී ම සිදු කළ හැකි ප්‍රතිකර්ම පිළිබඳ මේ ලිපිය මඟින් ඔබට තොරතුරු ගෙන එන්නට සුදානම්. ඒ සඳහා ඔබව දැනුම්වත් කරන්නේ ඩුබායි, නෙදර්ලන්තය, සිංගප්පුරුව සහ මාලදිවයිනෙහි මෙන්ම ශ්‍රි ලංකාවෙහිද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.

 

වර්තමානයේ බොහෝ විට වයස අවුරුදු තිහ පසුවුණු පසු ගැහැනු පිරිමි දෙපාර්ශ්වයට වැඩි වශයෙන් ඇතිවන ගැටලු සහගත තත්ත්වයක් තමයි පිග්මන්ටේෂන් යනුවෙන් හඳුන්වන්නේ. මොකක්ද මේ පිග්මන්ටේෂන් කියන්නෙ කියලා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. පිග්මන්ටේෂන් කියන්නෙ සම අවපැහැ ගැන්වීම නැතිනම් කම්මුල් දෙපස තිත් ආකාරයෙන් ඇතිවන ලප ලෙස සරලවම හඳුන්වන්නට පුළුවන්. වෙනත් ආකාරයකට පැවසුවහොත් සම මතුපිට තැන් තැන්වල තිත් ආකාරයට අඳුරු පැහැයෙන් ඇතිවන ලප කැළැල් තමයි පිග්මන්ටේෂන් කියන්නේ.

 

පිග්මන්ටේෂන් ඇති වන්නට බලපාන ප්‍රධානම හේතුවක් ලෙස සම හිරු එළියට නිරාවරණය වීම දැක්විය හැකියි. සන් ක්‍රීම් එකක් භාවිත නොකිරීම මෙයට බලපානවා.ඒවගේම හෝමෝනවල අසමතුලිතාවයද දක්වන්නට පුළුවන්. තවත් උදාහරණයක් ලෙස ගර්භණී අවදිය, සමහර කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, මානසික ආතතිය වගේම වයසට යෑම සමඟත් පිග්මන්ටේෂන් ඇති විය හැකිය. පිග්මන්ටේෂන් ඇති වීමට බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

 

1. අභ්‍යන්තර හේතු

2. බාහිර හේතු

 

අභ්‍යන්තර හේතු ලෙස ජානමය බලපෑම් සහ හෝමෝනවල බලපෑම් දක්වන්න පුළුවන්. ජානමය බලපෑම් බොහෝවිට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දෙයක් නිසා එය කිසි විටෙක වෙනස් කිරීමට නොහැකිය. පිග්මන්ටේෂන් බොහෝ විට ගැහැනු පාර්ශ්වයට බලපානු ලබයි. පිරිමි පාර්ශ්වයට එයින් සිදුවන බලපෑම අවමය. හේතුව ගැහැනු පිරිසගේ හෝමෝන නිතරම වෙනස්කම්වලට ලක්වෙනු ලබන නිසාවෙනි. පිරිමි පාර්ශ්වයට පිග්මන්ටේෂන් බලපානු ලබන්නේ බොහෝවිට ඔවුන් හෙයා ජෙල් උදෑසන සිට සවස් වන තුරු ආලේප කර සිටීම නිසයි. එවිට එය නළලට බේරී නළල කළු පැහැයට ලක්වෙනු ලබයි. තද දුඹුරු පැහැති පැල්ලම් දකින්නට ලැබෙන්නෙ ගැහැනු පාර්ශ්වයේ ය. පිරිමි පාර්ශ්වයට මෙය හට ගැනීමට තවත් කාරණාවක් ලෙස මත්ද්‍රව්‍ය සහ සිගරට් ආදිය භාවිත කිරීම පෙන්වා දිය හැකියි.

 

පිග්මන්ටේෂන් ඇතිවීමට බලපානු ලබන බාහිර බලපෑම් ගණනාවක් තිබෙන අතර මේවාට ප්‍රතිකර්ම නිවසේදීම සිදුකර ගත හැකිය.

 

දැඩි හිරු එළියෙන් ආරක්ෂා වීම අනිවාර්යයෙන් කළ යුතුය. හිරු එළිය සමට දැඩිවම හානි සිදු කරයි. ඒ නිසාම ඔබ හිරු එළියේ ගමන් කරන විට හිරු ආවරණ ආලේපනයක් භාවිත කළ යුතුය. එය SPF තිහට වඩා වැඩි විය යුතුය.

ශරීරයට ඇතිවන විවිධ අපද්‍රව්‍ය මඟින් ශරීරයට සිදුවන හානිය අවම කරන්නේ ප්‍රතිඔක්සිකාරක මඟින්. ඒ පිළිබඳ අපි පසුගිය ලිපිවල කතා කර තිබෙනවා. ඉතින් අපි ප්‍රතිඔක්සිජන් සහිත ආහාර වැඩිපුර ගන්නට අවශ්‍යයි. ප්‍රතිඔක්සිජන් බහුල ආහාර යනු විවිධ වර්ණයෙන් යුතු එළවළු සහ පලතුරුය. ඇන්ටිඔක්සිජන් බහුල ආහාර ලෙස ගස්ලබු, බතල වැනි ආහාර දක්වන්නට හැකියි. ඒ වගේම පසුගිය ලිපියක මම සඳහන් කළා උදෑසන පිබිදුණු විගස මී පැණි දෙහි වතුර සමඟ මිශ්‍ර කර පානය කරන්න යනුවෙන්. එයින් සම පැහැපත් වෙනවා සේම සමේ හට ගන්නා ලප කැළැල් ආදිය මේ පානය මඟින් ඉවත් වෙයි. අපි මසකට වතාවක් පේෂල් එකක් කරනවා, විවිධ ආලේපන භාවිත කරනවා වගේම ශරීරයේ අභ්‍යන්තරයටත් ප්‍රතිකර්ම අනිවාර්යයෙන් අවශ්‍යයි.

ජලය අනිවාර්යයෙන් පානය කරන්න. කෘත්‍රිම පාන වලින් වැළකි සිටින්න. පැණි බීම ජාති පානය කිරීම මඟින්ද සම අඳුරු පැහැයට ලක්වනු ලබයි.

රූපලාවණ්‍යය සත්කාරවලදි නිතරම ස්ක්‍රිබ් ආදිය සිදු නොකරන්න. බොහෝවිට ෆේෂ්වොෂ් එක සමඟම ස්ක්‍රිබ් එක මිලදී ගන්නට තිබෙනවා. ඔබ එවැනි දෙයක් භාවිතා කරනව නම් නිතරම ස්ක්‍රිබ් කිරීමෙන් වළකින්න. එය සමට අහිතකරයි. සමේ සෛලවලට අනතුරු ඇති වේ.

සැර සබන් වර්ග භාවිත කිරීමෙන් වළකින්න. බොහෝදෙනකු අතට හසුවන ඕනෑම සබන් වර්ගයක් මුහුණෙහි ආලේප කරනු ලබයි. එයින් සමේ PHඅගය වෙනස් වී සමට හානියක් ඇති වෙයි. එම නිසා රූපලාවණ්‍යය ශිල්පිනියක් මුණ ගැසී ස්ක්‍රින් ඇනලයිස් එකක් සිදු කර ඔබේ සම කුමන ආකාරයේ සමක්ද යනුවෙන් හඳුනා ගන්න. අනිත් කරුණ නම් ඔබ සමට භාවිත කරන ෆේෂ්වොෂ් එක ටික කලක් යනවිට ඔබේ සමට නොගැළපෙයි. උදාහරණයක් විදියට ඔබ ඔයිල් ස්කින් එකකට භාවිත කරන ෆේෂ්වොෂ් එක මඟින් සමේ ඔයිල් ගතිය කලක් යනවිට පහව ගිය පසු එය භාවිත කර පලක් නැහැ. ඔබ එතැන් සිට සමට ගැළපෙන ෆේෂ්වොෂ් එකක් භාවිත කළ යුතුය.

සාමාන්‍යයෙන් දවසට දෙපාරක් සම පිරිසුදු කරන්න. ඊළඟට අපි ක්ලෙන්සර් එකක් හෝ ෆේෂ්වොෂ් එකක් භාවිත කළ පසු ටෝන එකක් භාවිත කළ යුතුයි. නැතිනම් අයිස් වතුර භාවිත කළ යුතුය.

අනිවාර්යයෙන් හොඳ නින්දක් ලබා ගත යුතුය. පාඩම් කරන කාලයේදී ළමුන්ගේ මුහුණ ඔබ මඳක් නිරීක්ෂණය කරන්න. නිදිවර්ජිතව සිටිය පසු සමේ අලුත් සෛල නිපදවීම පමා කරයි. සාමාන්‍යයෙන් සමේ සෛල නිපදවෙනු ලබන්නෙ රාත්‍රී දොළහේ සිට පාන්දර දෙක දක්වා කාලය තුළයි. ඒ අවදියේදී අප නිදිවර්ජිතව සිටියහොත් එම ක්‍රියාවලිය හරිහැටි සිදුවන්නේ නැහැ. ඒ වගේම මනස නිදහස් විය යුතුය.

 

මේ සඳහා නිවසේදීම සිදු කළ හැකි ප්‍රතිකර්ම ලෙස

 

*අල ගෙඩියක් ග්‍රේට් කර එහි ඉස්ම ලබා ගන්න. නැතිනම් අල ගෙඩියක් වේලා කුඩු කර ගන්න. පසුව එයට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා මී පැණි මිශ්‍ර කර තලපයක් සේ සාදා මුහුණෙ ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න.

*ඇස් වටා සහ කට වටා කළු අයට ද මෙම අර්තාපල් සත්කාරය සුදුසුය.

 

ඉතින් බොහෝ අය අපල ලපයක් යනුවෙන් සිතා පිග්මන්ටේෂන් ගණන් නොගෙන සිටින අතර මෙම ලිපිය කියවූ පසු ඔබට වැටහේවි මෙය අපලයකට එන ලපයක් නොව සමේ ඇතිවන අඳුරු පැහැ ලපයක් බව. ඉතින් හැකිවිටම තමාගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

Comments