සුන්දර සීතා­වක සීත උයනේ සොඳුරු නිවා­ඩු­වක් | Page 2 | සිළුමිණ

සුන්දර සීතා­වක සීත උයනේ සොඳුරු නිවා­ඩු­වක්

 

 

සති 6ක් පුරාවට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සාමාන්‍යකරණයට ලක්වෙමින් තිබෙන රට ආයෙමත් හුස්ම ගන්න පටන් අරගෙන. කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් තවදුරටත් පළාත් අතර සංවරණ සීමා බල පැවැත්වෙන නිසා ඉස්සර වගේ රට පුරාම නිදහසේ විනෝද ගමන් යන්න, සැරිසරන්න අපට අවසර නැහැ. එහෙත් කුඩා දරුවන් ඇතුළු පවුලේ හැමෝටම නිදහසේ ගිහින් එන්න පුළුවන් සුන්දර ඉසව් අපේ රටේ ඕනෑතරම් තිබෙනවා. රසඳුන ´සොඳුරු සැරිසර´ තුළින් මෙවර අපේ සංචාරය, කොළඹ අවට වෙසෙන කාර්ය බහුල ඔබට සතිඅන්තය විවේකයෙන් ගත කරන්නට හැකි සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයටයි.

 

ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන 5 අතරට අලුතින්ම එකතු වූ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත වූයේ 2014 වසරේදී. ලංකාවේ පළමු වැනි තෙත් කලාපීය උද්‍යානය මෙයයි. මේ උද්‍යානය ආරම්භ කර ඇත්තේ අභියෝගයට ලක්වී තිබෙන පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඇති වෘක්ෂලතා අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අරමුණින්. ඒ නිසා විනෝදය, සතුට වෙනුවෙන් මෙහි පැමිණෙන ඔබ ඒ අරමුණට හානි පමුණුවන ක්‍රියාකාරකම්වලින් වැළකී සිටිය යුතු බව මතක් කළ යුතුමයි.

මේ උද්භිද උද්‍යානය පිහිටා තිබෙන්නේ පුවක්පිටිය - තුම්මෝදර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල නගරයට කිලෝමීටර 10ක පමණ දුරින් පිහිටි සුන්දර ග්‍රාමයක. හයිලෙවල් මාර්ගයේ පැමිණ පුවක්පිටිය හන්දියෙන් හැරී ලබුගම දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ පැමිණි විට උද්‍යානයට පිවිසිය හැකියි. ඉංගිරිය පැත්තෙන් එනවා නම් බෝපෙ රාජසිංහ විද්‍යාලය අසලින් දකුණට හැරී ඒමටත් හැකියි. පෞද්ගලික වාහනයක් නොමැතිව පොදු ප්‍රවාහන බස්රථයක පැමිණෙනවා නම් පුවක්පිටිය හන්දිය දක්වා පැමිණ එතැන් සිට ත්‍රිරෝද රථයකින් උද්‍යානය වෙත පැමිණිය හැකියි. ඇතැම් තරුණයන් කණ්ඩායම් පිටින් යතුරුපැදිවල නැඟී මෙම උද්‍යානය වෙත පැමිණෙන්නේ වටපිටාවේ සුන්දරත්වය රිසි සේ විඳිමින් ගැමි අසිරිය විඳගැනීමට සුදුසුම වාහනය එය වන නිසාමයි.

ශ්‍රී ලංකා ඉඩම් කොමිසම විසින් නඩත්තු කරන අක්කර 105ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු සීතාවක උද්භිද උද්‍යානය සති අන්තයේ මෙන්ම පෝය දිනවලත් උදෑසන 7.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතයි. කලින් වෙන්කරවා ගැනීමකින් තොරව ඕනෑතරම් පිරිසකට මෙම උද්‍යානය නැරඹීමේ පහසුකම් තිබෙනවා. මංගල අවස්ථා ඡායාරූපකරණයට සහ පෙර රූගතකිරීම් (ප්‍රී ෂූට්) සඳහා පැමිණෙන අයට උදෑසන 6 සිටම උද්‍යානයට ඇතුළු වීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා රූගත කිරීමේ ස්වාභාවය අනුව රුපියල් 5000 සිට ඉහළට සාධාරණ මුදලක් අයකරනු ලබනවා. උද්‍යානයට ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු දේශීය වැඩිහිටියකු සඳහා රුපියල් 100ක්, ළමුන් සඳහා රුපියල් 20ක් වන අතර විදේශීය වැඩිහිටි ප්‍රවේශපත්‍රයන මිල රුපියල් 2,000ක්. උද්‍යානය සතු එකවර බස් රථ 10ක් පමණ නවතා තැබිය හැකි තරම් විශාල රථගාල දෙස් විදෙස් සංචාරකයන්ට අමතර පහසුවක්.

රට විවෘත කිරීමත් සමඟ සුපුරුදු ලෙස ජනතාව උද්‍යානය වෙත පැමිණෙන්නට පටන්ගෙන ඇති බවත් විශේෂයෙන් සතිඅන්තයේදී විශාල පිරිසක් පැමිණෙන බවත් උද්‍යාන පාලනාධිකාරිය අපට පැවසුවා. කොවිඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව උද්‍යානයට ඇතුළුවීමේදී දෑත් සේදීම අනිවාර්ය වන අතර මුඛ ආවරණ පැලඳ සිටීම ද අත්‍යවශ්‍යයි.

උද්‍යානය තුළට ඇතුළු වන ඔබට පළමුව දක්නට ලැබෙන්නේ මනරම් ජල පොකුණක් වටා සුන්දරව ගොඩනඟා ඇති කොටසයි. එහි තැනින් තැන විසිතුරු මල් සහ ශාකවලින් අලංකාර කර තිබෙනවා. මේ උද්භිද උද්‍යානයේ ඇති විශේෂත්වය වන්නේ ඒ තුළ විශේෂ පරිසර කලාප කිහිපයක්ම දැකගත හැකි වීමයි. තෙත් කලාපීය වනාන්තරවල ලක්ෂණ මොනවාදැයි දැන හඳුනා ගැනීමට හැකි ආකාරයට ස්වාභාවික වනාන්තරයක් හරහා කිලෝමීටර දෙක තුනක දුරක් උද්‍යානයේ ඉහළට ඇවිද යෑමට ඔබට අවස්ථාව ලැබෙනවා. මේ උද්‍යානය, මීවන උයනක්, මුඳුන් උයනක්, කුඹුක් උයනක්, රුක් උයනක් සහ තාල ශාක උයනක් ලෙස කොටස් කිහිපයකට බෙදා වෙන්කර තිබීම විශේෂත්වයක්. සුන්දරව සහ ක්‍රමානුකූලව සකසා ඇති මංතීරු ඔස්සේ ඔබට පහසුවෙන් එම උයන් තුළ ඇවිද යා හැකියි. එහෙත් ඒ සියලු උද්‍යානවල සිත් සේ සැරිසරන්නට නම් ඔබට පැය කිහිපයක්ම අවැසි වේවි.. උද්‍යානයේ ජල පොකුණ පසෙක පිහිටුවා ඇති කුඹුක නමින් හඳුන්වන දැවැන්ත කුඹුක් ගස් සෙවණ ඔබේ විඩාව නිමා දමන්නටම සැදී පැහැදී සිටිනවා. එපමණක් නොවෙයි කුරුල්ලන් බලන්නට කැමති ඔබේ කුඩා දූදරුවන්ට ඒ පිළිබඳ කදිම අත්දැකීමක් ලබා දෙන්නට කැමති නම් ඔබ උදෑසනින්ම මේ උද්‍යානයට පැමිණිය යුතුයි. කුඩා දරුවන් ප්‍රිියකරන හංස බෝට්ටු සේවයත් මෙහි ක්‍රියාත්මකයි. රන්මුදු ඇල්ල පිහිටා තිබෙන්නෙත් මේ උද්‍යානය ළඟපාතම නිසා දියඇල්ලකින් ස්නානය කිරීමට කැමති අයට මේ ගමනේදී ඒ සඳහාත් අවස්ථාව සලසාගත හැකියි.

ඉහළ සනීපාරක්ෂක පහසුකම් සහිතව ඉතා ක්‍රමානුකූලව නඩත්තු කරන මේ උද්‍යානය පිරිසුදු බවින් අනූනයි. පාලනාධිකාරියේ නීතිරීති අනුව උද්‍යානය තුළට මත්පැන් ගෙන ඒමට අවසර නැහැ. වසංගත තත්ත්වය හමුවේ කඩවලින් කෑම සෞඛ්‍යයට එතරම් හිතකර නොවන නිසා ආහාරපාන නිවෙසින් පිළියෙල කරගෙන ඒම වඩාත් සුදුසුයි. ඉතින්, පවුලේ සැම සමඟ සතිඅන්තයේ සුන්දර අත්දැකීමක් විඳගන්න ඔබත් කැමති නම් සීතාවක උද්භිද උද්‍යානයේ 036 3795295 අංකයට අමතා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

 

පිහිටි ස්ථානය - පුවක්පිටිය - තුම්මෝදර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල නගරයට කිලෝමීටර 10ක පමණ දුරින් පිහිටි ඉලුකෝවිට

ගමන් මාර්ගය - හයිලෙවල් මාර්ගයේ පැමිණ පුවක්පිටිය හන්දියෙන් හැරී ලබුගම දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ පැමිණෙන්න. ඉංගිරිය පැත්තෙන් එනවා නම් බෝපෙ රාජසිංහ විද්‍යාලය අසලින් දකුණට හැරී එන්න. පොදු ප්‍රවාහන බස්රථයක පැමිණෙනවා නම් පුවක්පිටිය හන්දිය දක්වා පැමිණ එතැන් සිට ත්‍රිරෝද රථයකින් උද්‍යානය වෙත පැමිණිය හැකියි.

පෝය දිනද ඇතුළුව දිනපතා උදෑසන 7.30 සිට පස්වරු 5.00 දක්වා විවෘතයි.

ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර ගාස්තු දේශීය වැඩිහිටියකු සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක්

පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වන නිසා මේ දිනවල උද්‍යානයට ඇතුළු විය හැක්කේ බස්නාහිර පළාතේ අයට පමණයි

 

 

Comments