සිළුමිණ - රසඳුන නියෝජ්‍ය පොලිස්පතිනියන් තිදෙනා හමුවෙයි | සිළුමිණ

සිළුමිණ - රසඳුන නියෝජ්‍ය පොලිස්පතිනියන් තිදෙනා හමුවෙයි

නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිළුමිණ රසඳුන සමඟ සාකච්ඡාවට එක්වෙමින්

 

අභි­යෝග ජය­ගෙන අභි­මා­නය රැක­ගන්න  පුළු­වන් බව අපි ඔප්පු කළා  නියෝජ්‍ය පොලි­ස්ප­තිනි නිශානි සෙනෙ­වි­රත්න

 

 

 

එදා මෙදාතුර පොලිස් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු කරුණකි. එකවර නියෝජ්‍ය පොලිස්පතිනියන් තිදෙනෙකු පත්කෙරුණු අතර අටදහසක් පමණ වන කාන්තා පොලිස් නිලධාරිනියන්ට ඉන් ලැබුණේ නිසි තැනයි. නිශානි සෙනෙවිරත්න, ජයන්තා පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර යන නියෝජ්‍ය නව පොලිස්පතිනියන් සමඟ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය බිම්ෂානි ජාසිංආරච්චිත් එක්වූ විට මේ වන විට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පතිනියන් සිවු දෙනෛක් බිහිව ඇත. ඉන් ඉඳුරා පවසන්නේ 85,000 සිටින පොලිස් සේවයේ, පොලිස්පති තනතුරටත් කාන්තාවක පත්වීමේ දිනය වැඩි ඈතක නොවන බවයි.

 

බම්බලපිටිය කැප්පෙටිපොල මාවතේ ඇතුළට වන්නට අලංකාර උද්‍යානයකින් යුත් වළව් පන්නයේ ලස්සන නිවසකි. සැබවින්ම එය නිවසක් නොව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයයි. අපි එහි යනවිටත් ඇය අභිමානවත් පොලිස් ඇඳුම හැඳ තේජස්ව වාඩිවී සිටියා ය. නිශානී සෙනෙවිරත්න සිය සේවා කාලය බුද්ධි සේවයේ කටයුතු කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වූවා ය. වැඩ බාර ගත්තේ පොලිස් පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව බාර ප්‍රධානියා ලෙසය. පොලිස්ම පවුලක උපන් නිශානිට පොලිසිය හරියට තමන්ගේ ගෙදර වගේය. කොටින්ම කිවහොත් ඇය ජීවිතයේ බාල සන්දිය ගත කළේ පොලිසියේ නිවහනේමය. ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වූ දෙමව්පියන් සමඟ බොරැල්ල පොලිස් නිල නිවාසවල. ඇය කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නගේ ආදරණීය බිරියයි.

 

කාන්තාවක් ලෙස, වෘත්තීය ජීවිතය හා විවාහ ජීවිතය මැනවින් තුලනය කර ගනිමින් සියල්ලකින් ම ජයගත් නිශානී සෙනෙවිරත්න රසඳුන හමුවේ හඬ අවදි කළේ මෙහෙමයි.

“මගේ පවුලේ සහෝදරියෝ 4යි. මායි පහයි. අක්කා කස්ටම් එකේ. නංගිත් පොලිසියේ. මගේ නිවුන් සොයුරිය දීපානි සෙනෙවිරත්න නවසීලන්තේ. බාල නංගි මනුෂාන්ති. උසස්පෙළ කරලා ඉද්දි ලංකා ඉතිහාසයේ පළමුවරට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් බඳවා ගන්න ඉල්ලුම්පත් කැඳෙව්වා. පරිගණක ඩිප්ලෝමාවක් ඉල්ලලා තිබුණා. ඒ කාලේ පරිගණක දැනුම තියන අය සීමිතයි. මම පරිගණක ඩිප්ලෝමාවක් හදාරල තිබුණා. රාජ්‍ය බුද්ධි සේවාවට (ජාතික ආරක්ෂක තොරතුරු කාර්යාංශයට) තෝර ගත්තා. සාමාන්‍ය පොලිසිය වගේ අපට යුනිෆෝම් නැහැ. විශේෂ පුහුණු පාඨමාලා, දත්ත හා තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය, ගබඩා කිරීම, රජයට ඉදිරිපත් කිරීම මගේ රාජකාරි පරාසයයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියන සෑම තොරතුරක් ම සෙවීම, අනතුරකට පෙර අවදානම කලින් දැන රජයට තොරතුරු ලබා දෙන්න මම කෙතරම් දක්ෂ ලෙස සූක්ෂමව කටයුතු කළා ද දැනෙන්නේ දැනුයි.“

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කිරීම ගැන ඇය තුති පුදන්නීය.

ආදර සබඳතාවයකින් මහින්ද ගුණරත්න හා විවාහ වූ නිශානි; දෙදෙනාම එකම ක්ෂේත්‍රයක නිසා රාජකාරියේ ස්වභාවය හා වගකීම පිළිබඳ ඔවුනොවුන් තුළ මනා වැටහීමක් තිබූ බවත්, ඒ නිසාම ගැටුමකින් තොරව පවුලේ ඥාතීන්ගේ උපරිම සහායෙන් දියණියන් හදාවඩා ගත් බවත් කීවා ය.

“සැමියගෙන් ලැබුණු සහාය විශිෂ්ටයි. අම්මා කෙනෙක් ලෙස දරුවන්ගේ යුතුකම් නොඅඩුව ඉටු කළා. මගේ අම්මා නන්දා සෙනෙවිරත්නත් තාත්තා ඒ.ජී. සෙනෙවිරත්නත් පොලිසියේ සේවය කිරීමත් මට විශාල දිරියක් වුණා.

ඒ වගේම අපි දෙන්නගේ දෙමාපියෝ ඥාතීන් දරුවන්ව හොඳින් බලා ගත්තා. මම රැකියාවෙදි නිවාඩු අරන් තියෙන්නෙ අඩුවෙන්. නිවාඩු ඉල්ලන්න ලැජ්ජයි. ඒත් දරුවන්ට කිසිම අඩුපාඩුවක් කළේ නෑ. රාජකාරි කරන ගමන් දරුවෝ එක්ක විදෙස් සංචාරත් ගියා. අපි රැකියාවට කැපවුණා වගේම අපිට, දරුවන්ට පොලිසියෙන් රජයෙන් ඉහළම සැලකිලි දීමනා සියලු පහසුකම් ලැබුණා.“

නිශානිගේ ලොකු දුව පමති ගුණරත්න කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමට ඉගෙන ගනී. බාල දුව ජනිති ගුණරත්න විදුර විද්‍යාලයේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්නේ වෛද්‍යවරියක වී පොලිස් සේවයට බැඳීමටය.

තමන්ගේ උත්සාහය උනන්දුව කැපවීම ඇත්නම් ඍජුව කටයුතු කරමින් චරිතයත් රැකගෙන පොලිස් වෘත්තීයේ ඉහළටම යා හැකි බව නිශානි කීවාය.

“අනිත් රැකියා වගේම පොලිසියත් කාන්තාවට සුදුසු තැනක්. අභියෝග ජයගෙන අභිමානය රැකගන්න පුළුවන් බව අපි ඔප්පු කරලා තියනවා. මම නිල ඇඳුම ඇන්දෙත්, මාධ්‍යයට මුලින්ම කථා කරන්නෙත් අද ඔයාලා වෙනුවෙන්.

 

 

 

අභියෝග හමුවේ නොසැලෙන ශක්තියක් තිබිය යුතුයි

 

නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර

 

 

 

 

නව නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස තේරී පත්වූ ඇය රේණුකා ජයසුන්දරයි. කෑගල්ල, දැදිගම, මැණික්කඩවර ජන්ම දායාදය ලැබූ ඇය ළමා වියේ සිටම සුවහසක් අභියෝගවලට මුහුණ දුන්නාය. මැණික්දිවෙල කනිෂ්ඨ විද්‍යාලයෙන් තෙවැන්න දක්වා අධ්‍යාපනය ලැබූ ඇය දැදිගම පැරකුම්බා විද්‍යාලයෙන් 5 ශිෂ්‍යත්වය සමත්ව තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකව උගත්තීය. කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර, රේණුකාගේ දයාබර සැමියා ජීවිතයේ හැමදාමත් ඇගේ ජීවිතයට අත්වැලක්ම විය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති අංශයේ ඉගෙනුම ලබන රුවන්දි නිලක්නා, මියුසියස් විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබන නෙවින්දි රුමෙත්යා ඇගේ දියණියන්ය.

 

“මම ජීවිතයේ ලොකු හැල හැප්පීම් තුළින් අති දුෂ්කර ගමනක් ආපු කෙනෙක්. මට සහෝදර සහෝදරියන් කවුරුත් නැහැ. මගේ ජීවිතයේ පාසල් සමය මුළුමනින්ම ගෙවුණේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නේවාසිකාගාරයේ. හුඟාක් අභියෝග, කම්කටොලු වලට මුහුණ දෙන්න සිදුවුණා. ‘මම‘ කියන චරිතය ගොඩනඟා ගත්තේ මා විසින්මයි“

පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස විනයක් ඇතිව ජීවිතය ගොඩනඟා ගැනීමට වෙහෙසුණු ඇය විඳි දුක්ඛ දෝමනස්සයන් මහ ගොඩාක් අප හමුවේ තැබුවාය. වැටුණු සෑම අවස්ථාවකම නැඟී සිටින්නට මනා ආත්ම ශක්තියක් ඇතිව දුකට ඔරොත්තු දී ජයටැඹ කරා ජීවිතය මෙහෙයවා ගත් රේණුකා එදා මෙදාතුර විඳි අනේකවිධ ගැටලු රාශියක් හෙළිදරව් කළාය. 1994 වසරේ උසස් පෙළින් පසු විවිධ රැකියා කරමින් හා විවිධ රැකියාවලට අයදුම් කරමින් පොලිසියට ද අයදුම්පතක් යැව්වාය. රේණුකා සම්මුඛ පරීක්ෂණයට ද තනිවම ගියාය. රැකියාවට තෝරා ගැනීම ද අභියෝගාත්මක කරුණක් විය. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අතිශය රසවත් විය. ඇය පෙළපාළි පුහුණු පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබා ගනිමින් හොඳම පෙළපාළි අණ දෙන්නිය වූවාය.

“මම පෙළපාළිය හසුරුවන ආකාරය දැකලා මගේ පුහුණුකරු කීවා මිස්ට කවදහරි ඉක්මනින්ම සහකාර පොලිස්පතිනියක් වෙන්න පුළුවන් කියලා. ඒ පුහුණුවෙදි මම හොඳම වෙඩික්කාරිය පමණක් නෙමෙයි; best allrounder වුණා. ජීවිතේට අනේක විධ බාධා හැලහැප්පීම් එනවා වුණත් අප තුළම අප හිතනවට වඩා ශක්තියක් තියනවා. වවුනියාව යුද කලාපෙදිත් අත්විඳින්න වුණේ හරිම කටුක අත්දැකීම්. නාන්න වතුර නෑ. 100 දෙනෙක් එකම ටැංකියෙන් නාන්නේ. තව ගැටලු එමටයි. ඒත් රස්සාව දාලා ගියේ නෑ. යුද පරිසරයේ ආරක්ෂා වෙලා ජීවිතය ජය ලැබුවා.“

රේණුකාට නාලක මුලින්ම හමුවන්නේ 1998 වවුනියාව යුද සේවයේ යෙදෙද්දීය. වසර 2000 දීය. ඇහැට කනට පෙනෙන ළඳක් ලෙස විරුද්ධ පාර්ශ්වයේ බලපෑම්වලට ලක්වීමට තිබුණු ඉඩහසර ගැන මම ඇගෙන් විමසීමි.

“බලපෑම් එල්ලවෙන පළමු අවස්ථාවෙදිම ඒ පුද්ගලයාව මෙහෙයවන්න අපිට පුළුවන් විය යුතුයි. කාන්තාව මලක් වගේ වුණාට මලක් වගේ ඉක්මනට තැළිලා පොඩිවෙලා යන්න හොඳ නෑ. පිපිලා පරවෙලා යන්න ඕනේ නෑ. ගලක් වගේ හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දෙන්න ඕනෑ.“

“අපිට සේවකයින් නැහැ. මම පාන්දර නැගිටිනවා. හැමදේම කාලසටහනකට අනුව යොදා ගන්නවා. දරුවන්ගේ පාසලේ රැස්වීම්වලට පවා අපි දෙන්නා මාරුවෙන් මාරුවට යනවා. සමාජ සේවා වැඩ ටිකක් කළත් අපේ ලෝකය බරපතළ නෑ. අපිට පාටි නෑ. ෂෝවලට යන්නෙ නෑ. අපිට තියෙන්නේ රැකියාවයි විවාහ ජීවිතයයි පමණයි. අපේ ජීවිත හරිම ලිමිටඩ්. ඒ නිසා තුලනය කරගෙන යන්න ලොකු අපහසුවක් නෑ. දරුවොත් එක්ක සමගියෙන් සහයෝගයෙන් හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා. සැමියගෙන් ලැබෙන පිටිවහල මහමෙරක් තරම්. එනිසයි මෙච්චර දුරක් ආවේ.

රාජකාරි ජීවිතයෙත් රේණුකා පොලිස් කාන්තා නිලධාරිනියන්ගේ උසස්වීම් පිළිබඳ බොහෝ කැපවීම් කළාය. එසේම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස පවුල් ආරවුල්, ගණිකා වැටලීම්, කසිප්පු කුඩු ජාවාරම්, පාසල් නොයන ළමුන් සෙවීමේ විමර්ශනවල රසවත්, ත්‍රාසජනක අත්දැකීම් දීර්ඝ ලෙස පැහැදිලි කළාය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට බෝම්බ එල්ල කළ මරාගෙන මැරුණු බෝම්බකාරිය හඳුනා ගැනීමේ විමර්ශන සිදුකළ අයුරුත් අපූරුවට විස්තර කළාය. දේශ දේශාන්තරවල සංචාරවලින් ලත් අත්දැකීම් ද බොහෝ සේ විස්තර කළාය. සහකාර පොලිස් අධිකාරි විභාගයෙන් කාන්තා අංශයේ පළමුවැනියා වූයේ ඇයයි.

 

උනන්දුව හා කැපවීම

තියෙනවා නම් ඉදිරියට යන්න අපහසු නැහැ

නියෝජ්‍ය පොලිස්පතිනි ජයන්තා පද්මිණී වීරසූරිය

 

 

 

ඇය ජයන්තා පද්මිණී වීරසූරියයි. ඈත පිටිසර රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්නේ සිට ගෙන ආ ගැමි සුන්දර සිනහවෙන් මුව සරසාගත් මේ නියෝජ්‍ය පොලිස්පතිනිය මෙතෙක් සේවය කළ පොලිස් සුබසාධන සේවය බාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙසම පත්වූවාය. 2019දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිටියදීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අතර එම තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව ද ඇයයි.

 

ගුරු වෘත්තියෙන් පොලිස් සේවයට එක්වූ පද්මිණී රැකියාව වෙනුවෙන් ජීවිතයේ බොහෝ කැපවීම් කළා ය. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන විහඳු විරුජිත හා දුලිත මෙත්සර පුතණුවන් දෙදෙනාගේ ආදරණීය අම්මා ලෙස නිවසේ භූමිකාවත්, රාජකාරියත් හරි අපූරුවට කළමනාකරණය කරන්නීය. මේ ඇගේ කතාවයි.

සහෝදර සහෝදරියන් නම දෙනෙකුගෙන් යුත් පවුලක ඇය පවුලේ බාලයාය. නෙට්බෝල්, වොලිබෝල්, මලල ක්‍රීඩා තරගවලින් ද හපන්කම් පෑ ඇය උසස් පෙළ ජීව විද්‍යාව හැදෑරූයේ රත්නපුර සුමන බාලිකාවෙනි. නිවසේ විදුලි බිල ගෙවීමට තැපැල් කාර්යාලයට ගිය ඇය ගැසට් එක කියවා S.I තනතුරට ඉල්ලුම්පත් යැව්වේ ළඟ කඩයකින් හාෆ්ෂීට් කොළ දෙකක් ඉල්ලාගෙනය. මේ ඇගේ හඬයි.

“ඉන්ටවීව් ආවෙ අයියා එක්ක. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඉන්ටවිව් ගියා. ගෑනු ළමයි 125 පොලිස් ඉතිහාසයේ එතරම් විශාල පිරිසක් එකවර බඳවා ගත්තේ එදයි. පුහුණුවෙන් පස්සේ යාපනේ දැම්මා. තාත්තා අකමැති වුණා. එයා කීවෙ ගමේ ගුරුවරියක් වුණා නම් හොඳයි කියලා. ආධුනික උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පත්වුණා. මගේ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් කීපදෙනෙකුගෙන් ලද සහාය මගේ රැකියාවෙ ඉදිරි ගමනට විශාල පිටිවහලක් වුණා. හොඳ නායකත්වයක් මට ලැබුණා.

පද්මිණී විවාහ වීමට තීරණය කර සිටියේ පොලිසියේදී දැන හඳුනාගත් මේජර් එස්.ඒ.ජී.අයි. කුමාර සමඟ. ඒ 2008 ජනවාරි 15 දිනය. එහෙත් 2007 දෙසැම්බර් 31 දින ඇයට විදේශ ගමනක් යෙදුණි. ඒ නැඟෙනහිර ටිමෝරයටයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයටයි.

එහිදී මෙන්ම වවුනියාවේදී ඈ විඳි දුක් කම්කටොලු පද්මිණීට ජීවිතයේ වෙස්වළාගත් ආශිර්වාදම විය. පද්මිණී රසඳුන හමුවේ පැවසූ කතාවයි මේ.

“මගේ ජීවිතයේ බොහෝ වෙලාවන්හිදී කටුක අමිහිරි පීඩාකාරී අවස්ථාවන්ට මුහුණපාන්න සිදුවෙලා තියනවා. වවුනියාවේ ඉද්දි යුද්දේ කර්කශ අත්දැකීම්වලින් පිරුණු එකක්. ටිමෝරයේදි කැලයක් මැද අවම පහසුකම් මැද ගැටුම් අර්බුද බොහොමයක් මධ්‍යයේ රටවල් 190 ගණනක නිලධාරීන් සමඟ මම වැඩ කළා. සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සීමිත තරග විභාගෙට මට සටහන් එව්වෙ පෙම්වතා කුමාර. ඉටිපන්දම් එළියෙන් පාඩම් කළේ. ලයිට් හා අනෙකුත් පහසුකම් තියන තැන් තිබුණා. ඒවා මිල අධිකයි. අපි එහෙම දුක් වින්දේ කීයක් හරි සල්ලි ඉතුරු කරගන්නයි.“

“දරුවොත් අපේ රාජකාරිවල ස්වභාවය තේරුම් ගත්තා. එයාලත් අපේ ජීවිත හා බද්ධ වෙන අතරේ එයාලගේ කටයුතු තනිවම කරගන්න අපූරුවට හුරුපුරුදු වුණා. පාසලේ වැඩවලට මගේ සහෝදරියෝ යනවා. දරුවෙක් කුසට පැමිණි දිනයේ ඉඳලා මම කැපවීම් කළා. දරුවා ලැබුණාමත් දුර පළාත්වල සේවය කරන්න සිදුවුණා. ඒත් පැමිණි දුක් පැණි රසයි කියා හැමදේටම මුහුණ දුන්නා. මගේ සැමියා හා පවුලේ අය මගේ ජීවිතයට සෙවණැල්ල වගේ හිටියා.“

පොලිසිය යනු ජීවිතයේ හැම පැත්තක්ම දියුණු කරගතහැකි තමන්ගේ උත්සාහය, කැපවීම, උනන්දුව ඇත්නම් ඉදිරියට යා හැකි යහපත් තැනක් බව ඇය පවසන්නීය.

“අපිව විතරක් නෙමෙයි අපේ දෙමව්පියන්ව පවා රැකබලාගත හැකි හොඳ තැනක් තමයි පොලිසිය කියන්නේ. මට මෙපමණ දුරක් එන්න හැකිවුණේ පොලිසියට සම්බන්ධ වූ නිසයි. ඒ නිසා මා තරුණ පිරිමි ළමුන්ට මෙන්ම තරුණ ගැහැනු ළමුන්ටත් ආරාධනා කරනවා පොලිසියට බැඳිලා දුර ගමනක් යන්න එන්න කියලා. තමන් යහපත් නම්, අවංක නම් කැපවීම, උනන්දුව තියෙනව නම් පොලිසියේ ඉදිරි පුටුවලට එන්න පුළුවන්.“

 

 

 

Comments