සටන අත නොහරින දෙවියන්ගේ දියණියෝ | සිළුමිණ

සටන අත නොහරින දෙවියන්ගේ දියණියෝ

 

මිනිසුන් යනු දෙවියන්ගේ දරුවෝය. මිනිසුන් කණ්ඩායම් වශයෙන් නොයෙක් දෙවියන් ඇදහූවද ඒ සෑම දෙවිකෙනෙක්ම මිනිසුන්ගේ යහපත ම දේශනා කර ඇති බැවින් ඔවුන් සැම දෙවියන්මය. මේ දෙවියන් තම දරුවන් වර්ග කර නැත. එහෙත් මිනිසුන් තම තමන් වර්ග කර ඇත්තේය. දෙවියන්වද වර්ග කර ඇත්තේය. ඒ අතර එකම ලෙයින් මසින් සැදි එකම සත්ත්ව කොට්ඨාසයක් වුවද දෙවියන්ගේ දරුවන් පිරිමින් සහ කාන්තාවන් ලෙස වර්ග ගනිමින් දෙවියන්ගේ ආශිර්වාදය අසමබර ලෙස ඔවුන් අතර බෙදා ඇත්තේය.

 

මේ දිනවල ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් අරගල කරමින් සිටින්නේ අන් කිසිවක් වෙනුවෙන් නොව දෙවියන් ඉදිරියේ සම අයිතිය ඉල්ලමින්ය. දෙවියන්ගේ දියණියන්ට එම අයිතිය ලබා නොදෙන්නේ දෙවියන්ගේම පුතුන්ය. කනගාටුව එතනය.

ඇෆ්ගන් කාන්තාවන් ඉතිහාසය පුරා පුරුෂයන් හා සම අයිතිය ලැබුවා නම් ඒ වසර කිහිපයක් පමණය. ඒද වරින් වරය. ඔවුන් මත බලහත්කාරයෙන් පනවනු ලැබූ ආගම් මූලික ආණ්ඩු ඔවුන්ට මූලික මිනිස් අයිතිවාසිකම්ද අහිමි කළහ.

මේ දෙවියන්ගේ පුතුන්ගේ ආණ්ඩු දෙවියන්ගේම දියණියන් සලකනු ලැබුවේ දරුවන් බිහිකිරීම යොදා ගන්නා පණ ඇති යන්ත්‍ර යනුවෙන් පමණක්මය. ඔවුන්ට අධ්‍යාපනය අහිමිය. විලාසිතා අහිමිය. සංගීත, නැටුම් ඇතුළු විනෝදාස්වාදය අහිමිය. මුළු සිරුරම ආවරණය කර ගැනීමෙන් තොරව නිවසෙන් ඉවතට පැමිණීමට පවා නොහැකිය. ඉතින් මේ පොළෝතලය තුළ මෙතරම් අසාධාරණයට ලක් වූ තවත් මිනිසුන් කොටසක් සිටිනවාද යන්න සැක සහිතය.

පසුගියදා ඇමරිකානු පාලන තන්ත්‍රය අහෝසි වීමත් සමඟම තලේබාන් පාලනය ඇෆ්ගනිස්ථානය තුළ යළිත් වරක් ඉස්මතු වූ අතර වසර විස්සක ඇමරිකානු පාලනයට හුරු වී සිටි ඇෆ්ගන් ජනතාවට යළිත් වරක් තලේබාන් නීති රිතිවලට අනුගත වීම එතරම් පහසු වූයේ නැත. එහි ප්‍රථම අතුරු ප්‍රතිඵලය වූයේ දහස් ගණනින් ඇෆ්ගන් ජනතාව ඇෆ්ගනිස්තානය අත් හැර විදේශගත වීමය. දැන් සටන ඇරඹී ඇත්තේ ඉතිරි වූ ජනතාව අතරය.

මුස්ලිම් පාලන තන්ත්‍රයන්හි කාන්තාවන්ට සැමදා ලැබුණේ දුක්ඛිත ස්ථානයකි. එවැනි වාතාවරණයක් යටතේ මහාමාර්ගය පැමිණ උද්ඝෝෂණවල නිරතවීම යනු ඉතා අසීරු ක්‍රියාවකි. ඔවුන්ගේ පළමු කඩඉම වන්නේ එසේ උද්ඝෝෂණවල නිතර විම තරම් ධෛර්යයක් සහිත කාන්තාවන් සොයා ගැනීමය. එතැන් සිට ඇත්තේ ජිවිතයත් මරණයත් අතර කඹ ඇදීමකි.

එහෙත් මේ වන විට මරණයට වුවද බියක් නොදක්වන, ඒ හැර නිදහස අහිමිව පීඩනයෙන් යුක්තව ජිවත් වීම ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් කාන්තාවන් තම නිදහස මෙන්ම අවම වශයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය හෝ ඉල්ලා ඇෆ්ගන් මහාමාර්ගවලට පැමිණ උද්ඝෝෂණය කරමින් සිටිති. ඔවුන් අත ඇත්තේ කුඩා කොළවල පරිගණක ආධාරයෙන් මුද්‍රණය කරගත් සටන් පාඨ පමණක්ය. මේ විරෝධතාවක් සඳහා සහභාගී වන උපරිම කාන්තාවන් සංඛ්‍යාව සෑම විටම දහයකට අඩුය. ඔවුන් මාර්ගවලට පැමිණ විනාඩි කිහිපයක් ඉක්ම යන්ම ඔවුන් වෙත පැමිණෙන්නේ අවි ගත් පිරිමින්ය. අහසට වෙඩි තබන මේ නිවට පිරිමින් කාන්තාවන් බියපත් කරමින් පවසන්නේ විරෝධතා නවත්වන ලෙසටය.

ඒ හැර ඔවුන්ගේ අදහසට කන් දීමට හෝ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට හෝ කිසිවකු සිතන්නේ හෝ නැත. නීතිය නම් නීතියමය. ඔවුන්ට අනුව කාන්තාවන්ට නිදහස යනුවෙන් කිසිවක් අවශ්‍ය නැත. ඔවුන් හුදෙක් භාවිතය වෙනුවෙන් නිර්මිත ජීවීන් පමණක්මය. ඔවුන් දෙවියන්ගේ දියණියන් නොවේය.

තත්ත්වය එතරම් භයානක වුවද ඇෆ්ගන් භූමියේ සිටින දෙවියන්ගේ දියණියෝ තම සටන අත්නොහරින්නෝය. ඔවුන් දැඩිව විශ්වාස කරනු ඇත්තේ දෙවියන්ගේ සහය තමන් වෙත ලැබෙනු ඇති බවය. තමන්ට පෙර මෙන් අධ්‍යාපනය ලැබීමේ නිදහස ලැබෙනු ඇති බවය. සෙසු රටවල කාන්තාවන් වෙනුවෙන් සුන්දර ජීවිතයක් ගෙවීමට තමන්ටද අවස්ථාව සැලසෙනු ඇති බවය. ඒ සඳහා දෙවියන්ගේ සහය තමන් වෙත ලැබෙනු ඇති බවය.

එහෙත් සතුට තව බොහෝ දුරය.

කිව යුතු වන්නේ එසේ වුවද සටන අත නොහරින තාක් කල් ඔවුන් දෙවියන්ගේ දියණියන්ම වන බවය.

Comments