මට වාසනාව ගෙනාවේ ‘ඔබ මා නොවන තුරු’ නවකතාවයි ජනප්‍රිය ලේඛිකා දිනූෂා වීරරත්න | සිළුමිණ

මට වාසනාව ගෙනාවේ ‘ඔබ මා නොවන තුරු’ නවකතාවයි ජනප්‍රිය ලේඛිකා දිනූෂා වීරරත්න

‍පාසල් වියේ සිට පොත්පත් කියවීම විනෝදාංශයක් කරගත් දිනූෂා වීරරත්න උසස්පෙළ හදාරන්නේ වාණිජ විෂය ධාරාවෙනි. උසස්පෙළ දෙවැනි වසරේදී කේවල ව්‍යාපෘතියට ඉදිරිපත් කිරීම සඳහා ලියූ ´සංජුලා´ ඇයගේ පළමු නවකතාවයි. එම නවකතාව නිසා දොළොස් වසරක පාසල් ජීවිතය තුළ තමා එක්වරම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ බවත් ඒ සමඟම ලිවීමට දැඩි ආශාවක් ඇතිවූ බවත් දිනූෂා වීරරත්න පවසන්නීය.

 

ඒ අනුව යොවුන් පුවත්පත්වලට සහ රූපවාහිනි වැඩසටහන්වලට කවි, කෙටිකතා සහ නිසඳැස් ආදී නිර්මාණ යොමුකළ ඇය 2003 වසරේදී ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ජන්සන්නිවේදන ඩිප්ලෝමාව හදාරන්නීය. එහි අවසන් ව්‍යාපෘතිය සඳහා ඇය විසින් ඉදිරිපත් කළ ´සිඳංගනා´ නවකතාවට විශිෂ්ට සම්මානයක් හිමිවිය. එතැන් සිට දිගින් දිගටම යොවුන් පුවත්පත් සඳහා නිර්මාණ යොමුකළ දිනූෂා වීරරත්න, 2006 වසරේදී ´සිඳංගනා´ නවකතාව එළි දක්වන්නේ කර්තෘ ප්‍රකාශනයක් ලෙසටය. 2009 වසරේදී දෙවැනි නවකතාව ´හීනයක් වී ඔබ ඇවිත්´ වෙනත් ප්‍රකාශන ආයතනයක් යටතේ එළිදැක්වුවද පෞද්ගලික ජීවිතයේ සහ කුඩා ව්‍යාපාරයේ ඇතිවූ හැලහැප්පීම් හේතු‍වෙන් ලේඛන දිවියෙන් බැහැර වූවාය.

දස වසරක නිහැඬියාව බිඳ දමමින් 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ මුහුණුපොතට ඇය විසින් ලියූ සංවේදී සටහන් කිහිපයක් සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාර මත ´එකම කතාවක් එකම වතාවක් ´ සහ ‘ඔබ මා නොවනතුරු´ නවකතා ද්විත්වය කර්තෘ ප්‍රකාශන ලෙස එළිදක්වන්නීය. ඒ සමඟම ´දෙව්මිණි ප්‍රකාශන´ නමින් ප්‍රකාශන ආයතනයක් ද ආරම්භ කළ දිනූෂා වීරරත්න, මේ වන විට එම ප්‍රකාශන ආයතනය යටතේ ස්වත්‍රන්ත නවකතා 9ක් සහ වෙනත් ලේඛකයන්ගේ නවකතා කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇත.

 

1. මා වඩාත් කැමති මගේ නවකතාව හා එය ලිවීමට මුල් වූ හේතුව

 

මා අතින් ලියැවුණු නවකතාවලින් මම වඩාත් කැමති සහ සංවේදීම කතාව 2019දී ලියූ ´ඔබ මා නොවන තුරු´ නවකතාවයි. එහි ´මන්තක´ නම් චරිතය පිළිබඳ මා තුළ සුවිශේෂී කැමැත්තක් තිබෙනවා. එම නවකතාවේ එන මන්තක, තමන්නා හා අශ්වින් යන චරිත තුනම විකාශනය වන්නේ ප්‍රේමය යනු පරිත්‍යාගයක් යන තේමාව යටතේයි. ඒ නවකතාව මට තවත් සුවිශේෂී වන්නේ දස වසරක නිහැඬියාවකින් පසුව නැවත ලේඛන කලාවට අවතීර්ණ වූ මට ඒ වන විට ක්ෂේත්‍රයේ පැවති තරගකාරීත්වය තුළ පවා එම නවකතාවට ඉහළ පාඨක ප්‍රතිචාර ලැබුණු නිසයි. ඒ නිසාම මට වාසනාව ගෙනා කෘතිය ´ඔබ මා නොවන තුරු´ නවකතාව බව මගේ විශ්වාසයයි. ඒ ලැබුණු ප්‍රතිචාර එදා වගේම අදත් හෙටත් මගේ ලේඛන ජීවිතයට විශාල ශක්තියක්.

 

 

2. ඒ නවකතාවේ මා වඩාත් සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව

 

එහි එන ´තමන්නා ´ වෙනස් නොවන අවංක හදවත් දෙකකින් එක හා සමානව ප්‍රේමය විඳි යුවතියක්. අශ්වින් හා මන්තකගේ ප්‍රේමය තරාදියක දැම්මොත් දෙපැත්තම එක හා සමාන වෙද්දී ඉන් එක් අයෙක් තෝරාගත නොහැකිව ඇය අසරණ වෙනවා . එහිදී ඇයව වටහා ගන්නා අශ්වින් කුඩා දරුවකු වෙනුවෙන් තම ප්‍රේමය පරිත්‍යාග කරනවා.

"මන්තක කියන්නේ ඔයාගේ අතීතේ.. ඒ තරම් කැපකිරීමක් කරන්න බෑ අවංක ආදරේකට මිසක් වෙන කිසිම හැඟීමකට.. අද එයා තනිවෙලා... ඒ ඔයා නිසා.. ඔයාට බෑ ආත්මාර්ථකාමි වෙන්න.. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්...මන්තක ඔයා වෙනුවෙන් එයාගේ ආදරේ පරිත්‍යාග කළා. ඔයත් මං වෙනුවෙන් ඒ දේම කළා නම් ඇයි මටත් බැරි එහෙම කරන්න.. ඔයාලා වෙනුවෙන් නැතත් අර දරුවා වෙනුවෙන් පුළුවන්.." ඒ වදන් පෙළ අදටත් මගේ හිතේ නොමැකෙන අකුරු සටහනක්.

 

 

3. මා වඩාත්ම සංවේදී කළ පාඨක ප්‍රතිචාරය

 

හැම පාඨක ප්‍රතිචාරයක්ම මට එක වගේ වටිනවා. ඒ තුළින් ලැබෙන සතුට මිල කරන්න බැහැ. ´බෝයිස්´ කියන්නේ මගේ සියලුම නවකතා අතර වෙනස්ම ආරකට ලියවුණු කතාවක්. එය යොවුන් වියේ පසුවන සමීපතම මිතුරන් තිදෙනකු ගැන ලියවුණු ආදර කතාවක්. 70 හැවිරිදි මහත්මයෙක් දුරකතන ඇමතුමක් දීලා ඒ පොත ගැන කරපු විග්‍රහය තමයි මෙතෙක් මට ලැබුණු හොඳම සහ මා වඩාත්ම සංවේදී කළ ප්‍රතිචාරය. ඊට හේතුව කෙළිලොල් තරුණයන් තිදෙනෙක් වටා ගෙතුණු ඒ ආදර කතාවට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරවලට වඩා වැඩි වයසක පසුවන ඒ පාඨකයාගේ ප්‍රතිචාරය මගේ සිතට තදින්ම දැනීමයි. සතුට වැඩිකමටම ඒ මහත්මයා තමන්ගේ වයස කියපු ගමන් මම ඒ දුරකතන ඇමතුම රෙකෝඩ් කරගත්‍තා.

 

 

4. මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

 

නිර්මාණකරුවෙක් එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ගුණාත්මක නිර්මාණ බිහිකරන තුරු පාඨකයන් අතර රැඳී සිටිය හැකි බව මගේ විශ්වාසයයි. මා අතින් ලියැවෙන හැම නවකතාවකින්ම මම උත්සාහ කරන්නේ රසවත් නිර්මාණයක් ඉදිරිපත් කරන අතරම වෙනස් විෂය ක්ෂේත්‍රයක් ගැන පාඨකයාගේ දැනුම පුළුල් කිරීමටයි. මෙතෙක් මා ප්‍රකාශයට පත්කළ කෘති සංඛ්‍යාව 9ක් වුවත් කෙටි කාලයක් තුළ මා මුහුණුපොතට නවකතා කිහිපයක්ම ලියා තිබෙනවා. ඒ අතරින් ´බොල් පිනි`, ´ඔබ ගාව මම ඉන්නෙමි´ ඇතුළු නවකතා කිහිපයක් කෘති ලෙස ඉදිරියේදී ප්‍රකාශයට පත්වනවා. ඒ වගේම වෙනස් ආරක් ගත් මගේ ´ක්‍රෂ්´ නවකතාව ළඟදීම මුද්‍රණයෙන් එළිදැකීමට නියමිතයි.

 

 

 

Comments