ජීවි­ත­ය ම හීන­ය­කැයි කියා හිතෙ­නවා | සිළුමිණ

ජීවි­ත­ය ම හීන­ය­කැයි කියා හිතෙ­නවා

ජීවිතය හරිම පුදුමයි. හිමිවීම් අහිමිවීම්, ලැබීම් නොලැබීම් ජීවිතයට බද්ධ වෙලා තිබෙනවා. ඔබ ඔබේ පපුවට තට්ටු කරලා බලන්න. ඔබටම සුවිශේෂ ගහක් කොළක්, නගරයක් එහෙමත් නැතිනම් වෙනත් සුවිශේෂ තැනක් මිහිපිට නැතිද?

 

මට නම් එහෙම සුවිශේෂ තැන් තියෙනවා. ඒ ගැන කියලම දැන් එපා වෙලා. ඔබ ඔබේ පාසල් සමය මතක් කරන්න. මොනතරම් ලස්සන මතක සටහන් ඒ එක්කලා බැඳිලා තියෙනවද? ඒ මතක මිහිරි වෙන්න පුළුවන් අමිහිරි වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ල අද රසයක්. මට වජිරා චිත්‍රපටියට කුලරත්න ආරියවංශයන් ලියපු ගීතයක් මතක් වෙනවා. පාසලකින් සමුගත් කෙනකු නිවාඩු කාලෙ හරි ආයෙමත් තමන් ඉගෙනගත් පාසලට ගියොත් මොනතරම් මතක සටහන් අවදි වෙයිද?

ඒ වගෙම මොනතරම් පාළුවක් තනිකමක් දැනේවිද?

 

දෙනෝ දාහක් නුවන් අතරේ

කවුරු දෝ මා

තනිකළේ

පාසල් බිමේ....

 

පිරිමි ඉස්කෝලෙකට ගියත් ගෑනු ඉස්කෝලෙකට ගියත්, ටියුෂන් පන්තියක හරි ඔබට මතක සටහන් ඇති. ඒ තුළ විරහවක් තිබෙනවා නම් ඔබ හදවත ආයෙ ආයෙත් පෑරෙයි.

 

සිනා කෙළිලොල් තෙපුල් රහසේ

දෙඩූ තැන් අද ගොළුවෙලා

සොඳුරු පාසල් පියස කඳුළෙන් බොඳවෙලා

කැදැල්ලෙන් ඔබ වෙන්වෙලා...

 

මුළු ස්වභාවධර්මය පුරාම මේ සංවේදනාවන් විසිරිලා යනවා. ගස් ගල්වලටත් දුක හිතෙනවා.

 

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්

සෙවණ දුන් ගහකොළ අරා

බිමට බරවුණ කැකුළු අතු ඉති මැලවිලා

දුකින් හදවත ගොළුවෙලා....

මං මතක් කළේ වෙන්න පුළුවන් දේවල්. ඒත් “මේ නගරය“ කියන ගීතය ඊටත් වඩා සංකීර්ණයි. ඒත් මතුපිටින් සරලයි. ඔබටත් මේ වගේ අමතක නොවන නගරයක් තියෙන්න පුළුවන්.

“මේ නගරය මා ඔබ මුණ ගැසුණු

නගරයයි

මේ නගරය මා ඔබ

වෙන් කෙරුණු නගරයයි....“

 

මහනුවරටත්, පේරාදෙණියටත් නෑ කමක් තියෙනවා. පේරාදෙණි සරසවිය කියන්නෙ භෞතික වගේම ස්වාභාවිකත්වයේ ආශ්චර්යයක්.

මේ ගොඩනැඟිලිවලට කතා කරන්න පුළුවන් නම් මොනතරම් දේවල් කියයි ද? ඇයි හන්තානට? මහවැලි ගඟට? නුවර වැවට! හැබැයි මේ සියල්ල හෙමින් වෙනස් වෙද්දි සමහර දේවල් ඉක්මනට වෙනස් වෙනවා.

 

“වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා

නුග ගස් පෙළ අප නැතිවට තව දලු ලනවා....“

ස්වභාවධර්මය මේ වෙනස්වීම් නොදැක්කා වගේ ඉන්නවා. ඒත් ඒ වෙනස්වීම්වලට මූණ දුන්න අයට ඒවා දරාගන්න අමාරුයි.

 

“සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පේනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....“

 

කවුද මේ ඔබ. එකල මේ සරසවි මානවකයාගෙ පෙම්වතිය තමයි ඔබ. ඒත් ඔහුට ඇය අහිමි වූ බව නම් දැනෙනවා.

ප්‍රථම ප්‍රේමය කියන්නෙ පුදුම දෙයක්. කාලාන්තරයක් ගියත් අමතක කරන්න අමාරුයි. හුඟදෙනෙකුට එහෙමයි. කාලය කියන්නෙ පුදුම දෙයක්. සමහර දේවල් කාලය අපෙන් උදුරාගෙන යනවා. සමන්ත හේරත් ගේ පද මාලාවක් මට මතක් වෙනවා.

 

“සොඳුරිය කාලය කෙතරම් නපුරුද

දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන

රැකගත් ආලය උදුරාගෙන ගිය

කාලය කෙතරම් නපුරුද සොඳුරිය....“

 

කාලය ගොඩක් දේවල් වෙනස් කරලා. අපේ කතා නායකයා මහනුවර නගරයට එන්නෙ කාලෙකට පස්සෙ. කාලය විසින් ඇතිකරපු වෙනස්කම් ගැන ඔහුටම පුදුමයි.

 

ඔබ අතගෙන ගිය වීදියෙ ඇය හා යනවා

සිඟිති පුතා අතැඟිල්ලේ එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා

ජීවිතයම හීනයකැයි කියා හිතෙනවා

 

ඔහු දැන් එක්දරු පියෙක්. “ඔබ“ කියන තැනැත්තිය වෙනුවට අලුත් කෙනෙක්. ඒ මොනව වුණත් අතීත මතකයන්ගෙන් වහන් වෙන්න අමාරුයි. නුවර වැව, හත්තාන කන්ද, සරසවිය ඔහුව අතීතයට ගෙනියනවා. අමරණීය රිදුමක් හදවත අස්සෙන් මතු වෙනවා. ප්‍රේමකීර්ති මහත්තයාගෙ ගීත රචනා කලාව හරිම අරුම පුදුමයි. ආරම්භක පේළි දෙකෙන්ම රසිකයාගෙ කුතුහලය අවුස්සනවා. ඒ කුතුහලය දිගේ අපි ඒ කතාව අහනවා.

චිත්‍රපටියක් වගේ අපට රූප මවාගන්න පුළුවන්. කාලෙකින් බිරියයි පුංචි දරුපැටියයි එක්ක මහනුවරට ආපු අතීත පෙම්වතා අපට පේනවා. ඔවුන් දළදා වීදියෙන් ඇවිදගෙන ඇවිත් වලාකුළු බැම්ම අසලින් පොඩි එකාට වැව පෙන්වමින් ඇවිදින හැටි අපට පේනවා. හන්තාන කඳු දකින විට ඔහු තිගැස්සෙනවා. අතීතය විදුලියක් වගේ ඇස් ඉදිරිපිට මැවෙනවා. සමහරවිට පුංචි කඳුළු බිංදුවක් ඔහු හංගා ගන්න ඇති. ඒ කඳුළු බිංදුව වලාකුළු බැම්ම ළඟ තවමත් පොළවට එකතුවෙලා නැතිව ඇති.

 

 

 

 

 

 

 

 

 

 

 

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

 

වැව් ඉවුරේ දියරළ පෙර සේම බිඳෙනවා

නුගගස් පෙළ අප නැතිවට තව දලු ලනවා

සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

 

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා

සිඟිති පුතා අතැඟිල්ලේ එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා

ජීවිතයම හීනයකැයි කියා හිතෙනවා

 

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය හා ගායනය - මර්වින් පෙරේරා

 

Comments