කොරෝනා කාලෙ මම අලුත් වැඩකට අතගැහුවා | සිළුමිණ

කොරෝනා කාලෙ මම අලුත් වැඩකට අතගැහුවා

 

 

කලා ක්ෂේත්‍රයට දිනෙන් දින නව මුහුණු රැසක් එකතු වුණත් එදා ප්‍රේක්ෂක හදවත්හි ලැගුම් ගත් සොඳුරු නිහතමානී කලා තරු අදටත් එදා මෙන්ම අදත් රසික ආදරය ලබමින් සිය රංගන දායකත්වය ප්‍රේක්ෂකයා වෙනුවෙන් ලබා දෙනවා. ඔවුන් නිතරම දකින්නට නොලැබුණත් ලැබෙන චරිත ඔස්සේ වසර ගණනාවක් හදවත් තුළ රැදෙනවා. ඉතින් අද සිළුමිණ රසඳුන කතාබහට එකතු වෙන්නෙත් එහෙම තරුවක්. නැඟ බැස යන තරු අතරෙ ඔහු සැමදා පෑයූ තරුවක්. ඔහු ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු වන බුද්ධික ජයරත්නයි. මේ දිනවල ඔහු අලුත් වැඩ කටයුත්තක් පටන් ගන්න යන ආරංචියත් එක්ක ඒ පිළිබඳ බුද්ධික අප හා කතාබහට එකතු වුණෙ මේ විදියටයි.

 

මේ දිනවල අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න සුදානම් වෙනවා කියලා ආරංචියි. කොහොමද ඒ වැඩකටයුතු ?

කොරෝනා ප්‍රශ්නය එක්ක අපි හැමෝම අර්ථ ශූන්‍ය වෙලා ඉන්නෙ. තවම මොකද කරන්නෙ කියලා අපිට හිතා ගන්න බැහැ. ඒ දේවල් එක්ක මම හිතුවා මගේම කියලා අලුත් වෙනස් දෙයක් පටන් ගන්න. පාසල් යන කාලයේ මට පොඩි කලා පසුබිමක් තියනවා. මගෙ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. ලයනල් රණවීර තමයි මගෙ චිත්‍ර ගුරුතුමා. මම චිත්‍ර ශිල්පය යම් ප්‍රමාණයකට හදාරනවා. එහි ප්‍රතිඵල ලෙස මට ජපානයෙන් පවා පදක්කම් ලැබී තිබෙනවා. මම එය මෙතනදි යම්තාක් දුරට උපයෝගි කර ගන්නවා. මම හිතුවා ලී ආශ්‍රිත ගෘහ භාණ්ඩ වලට පොඩි අර්ථකථනයක් දෙන්න. මෙහි විශේෂත්වය තමයි අවුරුදු සිය ගණනක් ස්වභාවික පදම් වුණු දැව තියෙනවානෙ. මේවා උළුවහු වෙන්න පුළුවන්, බාල්ක වෙන්න පුළුවන් පුටුවක් මේසයක් වෙන්න පුළුවන්; විවිධ ඒවා තියෙනවා. බොහෝවිට මේවා වැඩක් නෑ කියල ඉවත් කරනවා. ඒවා ඉවත් නොකර එයට යළි ජීවිතයක් ලබා දෙන එක තමයි මගෙ අරමුණ. අවසන් ප්‍රතිඵලය විදියට බාල්ක වල තියන ලී වලින් පුටුවක් මේසයක් හැදෙන්න පුළුවන්. එහෙම දේවල් නිර්මාණය වෙමින් පවතිනවා. මෙහි තවත් විශේෂත්වය තමයි අපි මේ පරණ දේවල් නව නිර්මාණයන් සඳහා යොදා ගන්නා නිසා දැව කපන එක අවම වෙනවා. අනිත් කරුණ පරම්පරා ගණනාවකින් එන නිසා කල් පැවැත්මත් වැඩියි. මම බොහෝවිට එකකින් එක නිර්මාණයයි කරන්නෙ. මට කෝටියක් දුන්නත් එම නිර්මාණය නැවත හැදෙන්නෙ නැහැ. එම නිර්මාණය ඔහු හෝ ඇය ළඟ පමණමයි තියෙන්නෙ. ඒ නිසාම ගන්න කෙනාට ලොකු අර්ථයක් තිබෙනවා. ඒ නිසාම මම මගේ නව ව්‍යාපාරය නම් කළේ 'අර්ථ by Buddhika Jayarathne' කියලා.

ව්‍යාපාරයට අමතරව කලා ක්ෂේත්‍රයේ වැඩකටයුතු පිළිබඳවත් මතක කරමු.

මම ටෙලිවිෂන් එකේ දකින්නට ලැබෙනවා ප්‍රමාණාත්මකව අඩුයි. නමුත් ටෙලිනාට්‍ය පැත්තට යොමු වෙන්න සිද්ධ වුණා. පළමු කාරණය ජීවත් වෙන්න. දෙවැනි කරුණ රංගනය අභ්‍යාසයක් නිසා සහ තුන් වැනි කරුණ අපි ක්ෂේත්‍රය තුළ සිටින බව ඇඟවීමට ටෙලිනාට්‍ය වෙත වැඩි නැඹුරුවක් දැක්වූවා. චිත්‍රපට හතරක් තිරගත වීමට නියමිතයි. ඒ සියල්ලක්ම හොඳ චිත්‍රපට. විශේෂයෙන්ම මිදුණු විශ්වය චිත්‍රපටය මට හිතෙන විදියට මගෙ රංගන ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.

 

ඔබ හිතන විදියට රංගනය කියන්නෙ අභ්‍යාසයක්ද?

මම රංගනයක් ඉදිරිපත් කරනවා කියලා මම දකින්නෙ මම මගෙ සැබැ චරිතයෙන් ඈත් වෙලා තිර රචකයාට අවශ්‍ය පරිදි මම කොච්චර ඒ චරිතයට හැඩ ගැහෙනවද කියන එක. එයට සෑම වෙලාවකම අභ්‍යාසය හරි වටිනවා. න්‍යා‍යාත්මක දේවල් පමණක් නොවෙයි; හැම තත්පරයකම තත්පරයකින් කොටසකින් ම රංගනය ගැන ඉගෙන ගන්න පුළුවන්. එය මම දැඩි ලෙස පිළිගන්න දෙයක් සහ දැඩි ලෙස කරන කෙනෙක්. ගහ කොළ සතා සිවුපාවා සහ ඔබ සමඟ කතා කරන මේ මොහොත පවා මට රංගන අභ්‍යාසයක්.

 

රඟපෑමට ප්‍රතිභාව පමණක් ප්‍රමාණවත්ද?

මම විශ්වාස කරන්නෙ හැම දේකටම වඩා තියෙන්නට අවශ්‍යයි වුවමනාව. රඟපෑම කියන දෙය ජානමය වශයෙන් උරුම වුණු පිරිසකුත් සිටිනවා. නමුත් මගෙ කිසිම ජානමය බලපෑමක් නැහැ. මට අවශ්‍ය වෙලා තිබුණෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න. මට රඟපාන්න ලොකු ආසාවක් තිබුණා. මම ඉස්සර සිංහල චිත්‍රපට ගොඩක් බැලුවා. මට උදයකාන්ත මහත්මයා රෝස වසන්තය චරිතය දෙනකොට කිසිම හැදැරීමක් තිබුණෙ නැහැ. මම හිතන්නෙ එය මගෙ වාසනාවක් කියලා. ඉල්ලීමක් කරන්නෙ නැතුව එම චරිතය මට ලැබෙනවා කියන්නෙ එය හරිම වාසනාවක්. අභ්‍යාසය, කුසලතාව විතරක් නෙමේ රංගනයට උනන්දුවත් වාසනාවත් තිබිය යුතුමයි. ඒ වගේම අධ්‍යයනයත් හරිම වැදගත්.

 

ඔබ බොහෝවිට සමාජයේ සිටින මිනිසුන් අතර බොහෝ ආදරණීය චරිතයක්. කලාකරුවෙක් ලෙස සමාජ නිරීක්ෂණය කොයිතරම් දුරට වැදගත් ද?

එය තමයි වැදගත්ම දේ. මම ඒ ස්වභාවය ආයාසයකින් ඇති කර ගත්තු දෙයක් නෙමෙයි. රංගන ශිල්පියා කියන දෙය මම අදාළ කර ගන්නෙ වෘත්තීය වශයෙන් කැමරාව ඉදිරියෙ පමණමයි. සාමාන්‍ය ජිවිතේ මම ඉතාම සරල කෙනෙක්. ඒ සරල බව තමයි මගෙ පහසුව. එය තමයි මගෙ තෘප්තිය. මම පාසල් යන කාලයේ සිටම මනුෂ්‍ය ආශ්‍රය කියන දෙය දැඩි ලෙස කරපු කෙනෙක්. කොච්චර ලොකු කෙනෙක් වුණත් ඒ කෙනා තුළ මනුෂ්‍යයා කියන චරිතය නැත්තම් මට එයා එක්ක ඇසුරක් තියා ගන්න අපහසුයි. ඒ නිසා මට මිනිස්සු දැනෙනවා.

 

කල්ලිවාදය කියන දෙය අද ක්ෂේත්‍රය තුළ බොහෝ වශයෙන් දකින්නට ලැබෙන දෙයක්. ඔබත් එහි පුරුකක්ද?

මම දැඩි ලෙස විවේචනය කරන තැනක් තමයි ඔය. කල්ලිවාදය නිර්මාණය වෙන්නෙ හීනමානයෙ ප්‍රතිඵලයක් ලෙස. ඇයි කල්ලියක් හදා ගන්නෙ, ඇයි පොදු කුලකයේ කෙනෙක් වෙන්න බැරි කියන ප්‍රශ්නය මට තියෙනවා. පොදු තැනක ඉන්න බැරුව පොඩි තැන් හදා ගන්නවා. මේක තමා මෙතනදි වෙන්නෙ. ඒ පොදු තැන්වල ඉන්න බැරි හීනමානය. පොදු තැනක ඉන්න අවශ්‍ය වීමේදි අනෙකාට අනෙකාගේ විදියට ගරු කරන්න පුළුවන් වෙන්න අවශ්‍යයි. තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න මැළි වෙන්න එපා.

 

රංගන ශිල්පියෙක් විදියට රංගනයෙදි පැන නඟින බාධා කතා කළොත්?

වෘත්තීමය වශයෙන් රංගන ශිල්පියකු ලෙස ජීවත් වීම අපහසුයි. බහුතරය මෙය විනෝදාංශයකට කරන්නෙ. එය ඇත්ත. මොකද මෙය වෘත්තිය කරගෙන කොහොමද ජීවත් වෙන්නෙ. අපිට කිසිම දෙයක් නෑ. නමුත් අපි පිකටින් කරන්නෙත් නැහැ.අපි සැදි පැහැදි ඉන්නවා ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ වින්දනය උදෙසා අපේ රැකියාව කරන්න.

Comments