කිසිම නිර්මාණයක් ප්‍රේක්ෂකයා උදෙසා ය කියලා නිර්මාණය වෙන්නේ නෑ | සිළුමිණ

කිසිම නිර්මාණයක් ප්‍රේක්ෂකයා උදෙසා ය කියලා නිර්මාණය වෙන්නේ නෑ

 

 

ළඟට ගිහින් හිට ගත්තා ම හදවතටත් වඩා උඩින් තිබුණු වේදිකා රංගය ප්‍රේක්ෂකයාගේ හුස්ම පොදට ළං කළ ඔහු නාට්‍ය හා රංග කලාවේ ජාත්‍යන්තරය දිනූ එම්. සෆීර් ය. ඔහු වේදිකා නාට්‍ය රංග කලාවේ රංග වින්‍යාසය, පසුතල නිර්මාණය හා වේදිකා කළමනාකරණය යන අංශවලින් පමණක් නොව, පර්යේෂණාත්මක අත්හදාබැලීම් ඔස්සේ සාම්ප්‍රදායික වේදිකාව උඩු යටිකුරු කරමින් නවමු මානයකට යොමු කළේය.

 

"මම 90 දශකයේ නාට්‍ය කලාවට ඇවිල්ල "කඳවුරක්" කියන කෙටි නාට්‍යයෙන් පටන් අරගෙන, එහිම දිගු නාට්‍යයක් කරලා ඊට පස්සේ "දෘෂ්ටාන්තය" නාට්‍ය කරනවා. එක නළුවෙක්, 70ක පමණ වාද්‍ය වෘන්දයක්, සුවිශේෂ අංග රචනයක්, දැවැන්ත වේදිකා පසුතල නිර්මාණය, අතිවිශාල රංගාලෝක පද්ධතියක්, ඉහළ තාක්ෂණයක් යොදා ගනිමින් 1996 දී මම "පශ්චත්තාප" නාට්‍ය ලුම්බිණි රඟහලේ වේදිකා ගත කරනවා. මගේ නාට්‍ය කලාවේ විශේෂ කඩඉමක් බවට එය පත් වෙනවා. එදා ඒ තරම් සුවිසල් නිර්මාණයක් මම කළේ කොහොමද කියලා අදටත් මට හිතා ගන්න බෑ. ඊට පස්සේ "මේ දොර අරින්න" නාට්‍ය මම 2000 දි කරනවා. මේ රටේ සභ්‍යත්වයට සදාචාරයට නොගැළපෙන දෙයක් මම කළා කියලා පහර පිට පහර වදින්න පටන් ගන්නවා. අභියෝග රැසක් මැද රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට ඒ නාට්‍ය ඉදිරිපත් කරනවා. එහිදී ප්‍රධාන සම්මාන හතරක් මේ නාට්‍යයට ලැබෙනවා. "මම ඉපදුනේ ඊයේ නෙවෙයි", "සැහැසි දනව්ව", "ඔය අතේ තියෙන ටික", "විනීතට ඇත්තෙන් ම ඕනෙ", "හිස් අවකාශය" වගේ නිර්මාණ බිහිවෙන්නේ ඉන්පසුවයි."

එක ම නාට්‍යයක් ඇතුළේ භාෂා දෙකක් යොදා ගනිමින් නිර්මාණය කළ "කරුණාවෙන් සවන් දෙන්න" නාට්‍ය ඔහුගේ පර්යේෂණාත්මක අත්හදාබැලීමකි. එසේ ම එකිනෙකට වෙනස් වූ සමාජ සංස්කෘතියකින් යුතු ප්‍රදේශ දෙකක් එකට එකතු කරමින් ඔහු කළ නාට්‍ය හරහා ජාතික සංහිදියාවට මහඟු මෙහෙවරක් ඉටු කළේය. ඒ අනුව හම්බන්තොට, නුවරඑළිය, පුත්තලම එකිනෙක යා කරමින් තරුණ තරුණියන් එකතු කර කුඩා නාට්‍ය වැඩමුළු සහ නාට්‍ය නිර්මාණ කරන්නට විය.

"මේ සංහිඳියාවේ ගමන්මඟට ආලෝකයක් එකතු කරමින් මහා සමාජ සංස්කෘතික බැඳීමක් ඇති කරන්නට මට මෙයින් හැකියාවක් ලැබුණා. මේ වෙනකොට පුංචි පුංචි නාට්‍ය කණ්ඩායම් ඇති කරමින් රටේ විවිධ ප්‍රදේශවල පුහුණුවීම් කරනවා. තරුණ තරුණියෝ පහළොස් දාහක් විසිදාහක් විතර පිරිසක් මාත් එක්ක ඉන්නවා. ඒ වගේ ම ලංකා ඉතිහාසය බිහි වෙච්ච දා ඉඳලා ජාත්‍යන්තර වේදිකා නාට්‍ය උළෙලක් මෙරට නොතිබුණු බවයි මගේ මතකය වන්නේ. ඒ නිසා ම මම කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල ආරම්භ කළා. මෙයින් ලංකාවේ නාට්‍ය කලාවේ සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදු වුණා. ජාත්‍යන්තර නාට්‍යකරුවෝ ලංකාවට ආවා. ඔවුන් ලංකාවේ නාට්‍යකරුවන් ව හඳුනගත්තා. අපේ නාට්‍යකරුවන්ට ජාත්‍යන්තර වේදිකාව විවර වුණා. විදේශීය නාට්‍යකරුවන් මෙහෙය වූ නාට්‍ය හා රංග කලා වැඩමුළු, ජාත්‍යන්තර නාට්‍ය සම්මේලනයවලට අපේ තරුණ තරුණියන්ට සහභාගි වෙන්න හැකියාව ලැබුණා.”

අපට හුරු නොවූ ‘‘බ්ලැක් බොක්ස්” නාට්‍ය සංකල්පය ද සෆීර් මෙරට නාට්‍ය කලාවට ගෙනාවේ ය.

‘‘ඇත්තට ම බ්ලැක් බොක්ස් සංකල්පය අපිට අලුත් දෙයක් වුණාට 1931 වගේ ඉඳලා යුරෝපයේ ඇතිවෙලා පසුව එක්දහස් නවසිය හැට ගණන්වල ඇමරිකාව මුල් කරගෙන ඇති වුණා. ප්‍රධාන ධාරාවේ නාට්‍යවලට යන්න බැරි තරුණ නාට්‍යකරුවන්ට පුංචි ඉඩක තමන්ට ඕනේ විදියට නාට්‍යයක් පෙන්නන්න මේ ක්‍රමය යටතේ හැකි වුණා. රංග භූමියට ඕනෙ විදියට නාට්‍ය හැදීමක් නොව නාට්‍යයට ඕනෙ විදිහට රංගභූමිය සැදීම මෙහි විශේෂත්වය යි."

සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් (Inter Act Art) මඟින් නොවැම්බර් මාසයේ ඊජිප්තුවේ ශාම් එල් ෂේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ මොනෝ නාට්‍ය තරග අංශය නියෝජනය කරමින් "අන්ටච්ඩ්" (Untuched) නාට්‍යය ඉදිරිපත් කර ඇත. මේ උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් නාට්‍යයක් ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඒ පිළිබඳ ව අපට විස්තර කළේ එම නාට්‍යයේ පිටපත ලියා නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුජීව පතිනිසේකර විසිනි.

‘‘මේ මුළු නාට්‍ය පුරා ම රඟපාන්නේ එක්කෙනයි. පැය එකහමාරක් පමණ නාට්‍ය එකදිගට තියෙනවා. සුබුද්ධි ලක්මාලි තමයි ඒ එක ම චරිතය රඟපාන්නේ. මම වසන්ත කුමාර සමග රංගාලෝක කාර්යයටත් සම්බන්ධ වුණා. සාගර විජේසිංහ සංගීතය නිර්මාණය කළා. එම්. සෆීර් මේ නිර්මාණයේ රංග වින්‍යාසය, පසුතල නිර්මාණය, වේදිකා කළමනාකරණය (එම්. ශාරෆ් හා නිරෝෂ් කවිරත්න සමඟ) කරමින් ඔහුගේ "ඉන්ටර් ඇක්ට් ආර්ට්" නාට්‍යයක් ලෙස නිෂ්පාදනය කළා. මේක නර්තනය හා සංගීතය මිශ්‍ර වුණු පර්යේෂණාත්මක නාට්‍යයක්." සුජීව එසේ කියද්දි සෆීර් ද ඊට එක් විය. "ජාත්‍යන්තර ව බැලුවම නාට්‍ය කියන්නේ කනට ඇහෙන එක නෙවෙයි. නළුවා කියන කෙනාට ගයන්න වයන්න රඟන්න විතරක් නෙවෙයි ශරීරයේ රිද්මය හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන්නත් වේදිකාවෙ අවකාශ සැලසී තියෙනවා. අන්න ඒ අත්දැකීම තමයි අපි මේ පර්යේෂණාත්මකව ඉදිරිපත් කළේ. කිසි ම නිර්මාණයක් ප්‍රේක්ෂකයා උදෙසා ය කියලා නිර්මාණය වෙන්නේ නෑ. නිර්මාණයක් කළාට පස්සේ තමයි ප්‍රේක්ෂකයා කියන අය ඇති වෙන්නේ. නාට්‍ය කලාව ඇතුළේ යම් යම් මානයන් සොයා යද්දි භාෂාව නාට්‍ය කලාවේ අනාගතයට ගෝලීය වශයෙන් වැදගත් නොවන බව පෙනී ගියා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා." සෆීර් කීවේ ය.

Comments