කාන්තා­වනි පිය­යුරු පිළි­කා­ව­ලින් වැළ­කෙන්නේ මෙහෙමයි | සිළුමිණ

කාන්තා­වනි පිය­යුරු පිළි­කා­ව­ලින් වැළ­කෙන්නේ මෙහෙමයි

 

 

ඔක්තෝබරය කියන්නේ ලෝකයේ සෘතුමය වෙනස්කම්වලට ලක්වන සුන්දර මාසයක්. ඒවගේම ඔක්තෝබරය පියයුරු ගැන වැඩියෙන් කතා කරන පියයුරු පිළිකා නිවාරණ මාසය ලෙසත් නම් කර ඇත. පියයුරු පිළිකාවක් ඇති වනුයේ සෛලවල ජානමය විකෘතියක් වූ විට ය. එනම් ජෙනටින් නියුට්‍රේෂන් සෛල කිහිපයක් ගුලියක ආකාරයට එකතු වී ඒවා ගැටිති වර්ධනය වීමෙන් ය. මෙහි පැතිරීමේ ස්වභාවය වන්නේ වසා පද්ධතිය දක්වා ගමන්කර වර්ධනය වීමට ඇති හැකියාවයි.

පියයුරු පිළිකා ඇති වීමට බලපාන ප්‍රධාන හේතු සාධක අතර වෙනස් කළ නොහැකි සාධක පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. ඒ අතර ප්‍රධානතම හේතුව කාන්තාවක වීමයි. කාන්තාවන් 99% කට සෑදුණොත් 1% ක් පිරිමි පාර්ශ්වයට ද සෑදීමේ ඉඩකඩ පවතී. අනෙක් හේතු සාධකය තම පවුලේ ළඟම ඥාතියකුට සෑදී ඇතිනම් ඔබටද ඇති විය හැකිය. එමෙන්ම ඔබගේ ශරීරයේ Braca ජාන ඇතිනම් එවැනි කාන්තාවන්ටද පිළිකා ඇති වීමට අවදානමක් ඇත. එය හැරුණු කොට වෙනත් රෝග සඳහා පපු ප්‍රදේශයට විකිරණ ප්‍රතිකාර සිදු කිරීම, ඔසප්වීම අඩු වයසින් ආරම්භ වී වයස අවුරුදු 55 දක්වා දීර්ඝ කාලයක් සිදුවන කාන්තාවන්ට මෙම අවදානම පවතී.

පියයුරු පිළිකා ලක්ෂණ හඳුනා ගැනීමට ඒ රෝග ලක්ෂණ පෙර තියා දැන සිටීම වැදගත්. ඒ අතුරින් බහුලතම රෝග ලක්ෂණයක් ලෙස බොහෝ කාන්තාවන්ට පියයුරුවල යම් තද ගතියක් දැනීම ගැටිත්තක් ආකාරයට හසුවීම, කිහිලි යට ගෙඩි ඇතිවීම, සාමාන්‍ය පියයුරුවලට වඩා අධික ලෙස විශාල වීම, හැඩය වෙනස් විම, පැහැය වෙනස්වීම, ඉදිමීම (දොඩම්ගෙඩියක ලෙල්ලක ස්වභාවය ගැනීම)තනපුඬුවල වෙනස්කම්, ඇතුළත ගිලා බැසීම ඒ ආශ්‍රිත තුවාල ලේ පැහැති ශ්‍රාවයක් පිටවීම ආදී රෝග ලක්ෂණ රැසක් පියයුරු පිළිකා ආශ්‍රිතව හඳුනා ගැනීමට හැකිිය. මෙම රෝග ලක්ෂණ පිළිබඳ කාන්තාවන් නිතර අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

රෝග ලක්ෂණවල වෙනස්කම් ඇති නම් ඒ පිළිබඳ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී එය පිළිකාවක්ද යන්න නිශ්චිත කරගැනීම රෝගය පැතිර යාමට පෙර හඳුනා ගැනීම තුළින් පියයුරු පිළිකා ශරීරයට වන හානියන් අවම කරගත හැකිය. එහිදී වෛද්‍යවරුන් විද්‍යාත්මකව හඳුනා ගැනීමේ ක්‍රම ලෙස වෛද්‍යවරයා පියයුරු හොඳින් පරික්ෂා කිරීම, ඡායාරූපගත කරගැනීම ලෙස ක්‍රම්වේද කිහිපයක් ඔස්සේ වඩා පැහැදිලිව මෙම පිළිකා ස්වභාවය නිශ්චිත කර ගැනීමට හැකිය. මෙහි ඡායාරූප පරීක්ෂණ මඟින් සිදුවන්නේ එම පියයුරුවල සියුම් තැන් පවා පරික්ෂාවට ලක්කර ගැඹුරින් පියයුරු පරික්ෂා කිරීමයි. මෙය වයස අවුරුදු 40ට අඩු තරුණ කාන්තාවන්ට අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂාව ලෙස පරික්ෂා කටයුතු සුදුසු පරිදි වෛද්‍යවරුන් විසින් සිදු කරයි.

ඒ පරික්ෂණයෙදී සිදු කරනා එස්ට්‍රේ එකෙන් වඩාත් පැහැදිලිව මුල්ම අවස්ථාවෙදී පිළිකාවක රෝග ලක්ෂණ පවා හඳුනා ගැනීමට හැකිය. පියයුරු තෙරපීමක් සිදු කළ ද එයට බියවිය යුතු නැත. මෙම පරීක්ෂණ කල්තියාම සිදුකළ විට පිළිකාවේ මූල බීජය තුළින්ම එය පැතිර යාම වළක්වා රෝග නිවාරණයට ප්‍රතිකාර සිදු කිරීම පහසු ය.

එහිදී පරීක්ෂණ ඔස්සේ තහවුරු වූ රෝගියකුට ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන වශයෙන් 4ක් මඟින් සිදුකරනු ලබයි. එය රෝගියාගේ රෝග පැතිර යාම, පිළිකා වර්ගය අනුව ප්‍රතිකාර සිදු කරයි. පළමුවැන්න ලෙස ශෛල්‍යකර්ම ප්‍රතිකාර හඳුනාගත හැක. එමෙන්ම පිළිකා නාශක ඖෂධ මඟින් ශරීරයෙහි අනෙක් අවයවවලට පිළිකාව පැතිර ඇත්නම් ඒවා විනාශ කර පැතිරීම අවධානම අඩුකර ගැනීමට හැකිය. අනෙක් ක්‍රමය ලෙස හෝර්මෝන තෙරපි /හෝර්මෝන ටැබ්ලට් ක්‍රමය හඳුනාගත හැකිය. එමඟින් ඊස්ට්‍රජන් සෛල තුළට පිළිකා සෛල ඇතුළුවීමට ඇති අවස්ථා මාර්ගයන් වසා දමයි. සිවුවැනි ක්‍රමය ලෙස රේඩියෝ තෙරපි විකිරණශීලී තෙරපි ක්‍රමය හැඳින්විය හැකි අතර මෙමඟින් ඇසට නොපෙනෙන කුඩා සෛලපවා විනාශකර දමයි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ පියයුරු සහමුලින් ඉවත් නොකර ප්‍රතිකාර සිදුකිරීමට හැකියාව අද වනවිට හැකියාව පවතී.

ඒ වගේම පියයුරු පිළිකා සඳහා ගන්නා ප්‍රතිකාර හේතුවෙන් ඇතැම් විට විවිධ සංකූලතා ඇතිවීමේ අවධානමක්ද පවතී. කොණ්ඩය හැලීම බොහෝ කාන්තාවන්ට ඇති ගැටලුවකි. එහෙත් එය කාලයත් සමඟ යථා තත්ත්වයට පත්වන බවත් අනෙකුත් සංකූලතාවලටද වෛද්‍ය ප්‍රතිකාර ඇති නිසා එම සංකූලතා වලට අනිසි ලෙස බියවී රෝගයට ප්‍රතිකාර නොකර සිටිය යුතු නැති බව පවසයි. එනම් අප සැමවිට පියයුරු පිළිකා ඇති නොවීමට වගබලා ගත යුතුය. ඒ සඳහා නිරෝගිමත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම, ස්ථුලතාවය අවම කරගැනීම, මත්පැන් දුම්වැටි පානය නොකිරීම, හෝර්මෝන ටැබ්ලට් අනවශ්‍ය ලෙස නොගැනීමට වගබලා ගැනීම ආදී ක්‍රියා අනුගමනය කිරීමෙන් පියයුරු පිළිකා ඇති වීමේ අවදානම අවම කරගත හැකිය. එම නිසා කාන්තාවක ලෙස ඔබේ පියයුරු මසකට සැරයක් හෝ ස්වයං පරික්ෂාවට ලක් කරන්න. එහිදී යම් වෙනසක් ඇතිනම් වහාම වෛද්‍යවරයකු හමු වන්න. 40ට වැඩි කාන්තාවක් නම් නැනෝග්‍රෑම් පරික්ෂණය කිරීම වඩා සුදුසුය. එවිට ඔබට කලින් රෝගය හඳුනාගෙන පිළිකා අවදානම හා ජීවිත හානි අවම කර ගැනීමට පහසුය.

 

උපදෙස්

පියයුරු රෝග පිළිබඳව

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

තත්‍යා ද සිල්වා

Comments