අපේ හැකියාව ලෝකෙට පෙන්වන එක මගේ බලාපොරොත්තුවයි | සිළුමිණ

අපේ හැකියාව ලෝකෙට පෙන්වන එක මගේ බලාපොරොත්තුවයි

 

 

පසුගිය දා නිමාව දුටු 9 වන අන්තර්ජාතික තායිවාන විලාසිතා සම්මාන උළෙලේ පළමු තැන දිනූ ශ්‍රී ලාංකික විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන රුවන්ති පවිත්‍රා ගජධීරගේ විලාසිතා නිර්මාණ සමත් වුණා. 1987 දී තායිවානයේ ප්‍රදේශීය තරගයක් ලෙස ආරම්භ කර ලද මේ විලාසිතා නිර්මාණ සම්මාන ලබාදීම මෙවර පැවැත්වුෙණ් (2021 වසරේ සැප්තැම්බර්) 35 වන වරටයි.

 

ප්‍රදේශීය තරගයක් ලෙස ආරම්භ වූ එය ජාත්‍යන්තර තරගයක් ලෙස විවෘත වී ඇත්තේ 2013 වර්ෂයේදී. ඒ අනුව මෙවර තායිවාන විලාසිතා සම්මාන උළෙල පැවැත්වුණේ 9 වන අන්තර්ජාතික තරගය ලෙසින්.

එහිදී ඇමරිකානු, යුරෝපා සහ ආසියානු රටවල් 18ක 450ට අධික විලාසිතා නිර්මාණ ශිල්පීන් අතරින් රුවන්තිගේ “කෑලි - තිරසාර එකතුවක්” ( "kli–A Sustainable Collection") යන එකතුවට ප්‍රථම ස්ථානය දිනා ගත් අතර ඒ සඳහා ඇෙමරිකන් ඩොලර් 10,000ක් වටිනා මුදල් ත්‍යාගයක් හිමි හිමි වුණා.⁣

ඇය මේ සම්මානය ජයග්‍රහණය කර ඇති පළමු දකුණු ආසියාතික තරුණිය ද ෙවනවා.

ඒ නිසාම රසඳුන අපි රුවන්ති පවිත්‍රා ගජධීරගේ නිර්මාණ ජිවිතේ ආරම්භය සේම ඉදිරි අනාගත බලාපොරොත්තු ගැන ඇය සමඟ කතා කළා.

මගේ උපන් ගම කොළඹ. නමුත් මගේ ළමා කාලය ගත වෙන්නේ අම්පාර පදියතලාව කියන ගමේ. මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ පදියතලාව මධ්‍ය මහා විද්‍යාලයෙන්. පසුව කොළඹ කාන්තා විද්‍යාලයට ඇතුළු වෙනවා. ඊට පස්සේ මම මොරටුව විශ්වවිද්‍යාලයේ AOD වෙනුවෙන් තේරුණා. එතැනදී ෆැෂන් පැත්තට මගේ තියෙන ආසාව එක්ක මම තීරණය කළා ඒ පැත්තෙන් හදාරන්න. මගේ උපාධිය තියෙන්නේ BA (Hons) Fashion Design & Textile.

ඩෙනිම් ගැන මම වැඩි කැමැත්තක් දක්වපු කෙනෙක්. ඒ නිසා මගේ උපාධියට මම ඉදරිපත් කරේ ඩෙනිම් ගැන පර්ෙය්ෂණ කරමින් ඒවා කොහොමද පරිසර හිතකාමී විදියට නිර්මාණය කරගන්නේ සහ ඒ දේවල් වලට අපේ දේශීය සංස්කෘතියට අයත් අත්කම්, බීරලු, සහ ස්වාභාවික සායම් වැනි දෑ එකතු කරගන්නේ කොහොමද කියන දේ ගැන හොයලා ඒ ආශිත්‍ර නිර්මාණ එකතුවක්.

ඒ කාලේ මගේ ලෙක්චර් කෙනෙක් හිටියා karen Macleod කියලා. එයා බ්‍රිතාන්‍ය ජාතික ලෙක්චර් කෙනෙක්. ඔහු තමා හයිඩ්‍රමනි ආයතනයට කතා කරලා මට ස්පොන්සර් එකක් අරන් දුන්නේ.

ඒ අනුව දැනට හයිඩ්‍රමනි ඩිස්කවරි ලැබ්ස් කියන ආයතනයේ හෙඩ් ඔෆ් ඩිසයිනර් ඉන්නේ පියුමි පෙරේරා කැමති වුණා මට ස්පොන්සර්ෂිප් එක ලබා දෙන්න.

ඊට පස්සේ මම දැනට තියෙන අලුත්ම ඩෙනිම් එක කොහොමද පරිසර හිතකාමී කරගන්න කියල බැලුවා. ඒ කියන්නේ ලේසර් ප්‍රින්ටින්. ඒකට වතුර ගොඩක් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. තව වොෂින් ටෙක්නික් සියල්ලටම මට එයා නිදහස ලබා දුන්නා; ඒ ලැබ් එකේ ඕනේ දෙයක් පාවිච්චි කරලා මගේ අලුත් නිර්මාණ කරන්න.

මගේ මුලික අදහස වුණේ ඉවත ලන රෙදි කෑලි නැවත ප්‍රයෝජනයට ගන්නේ ෙකාෙහාමද කියන එකයි. කලින් ඒ සියල්ල හයිඩ්‍රමනි ආයතනය අයින් කරපු රෙදි. ඒ නිසා ඒ ඉවතලන දේවල් ගිහින් බලලා අර ගන්න මට නිදහස දුන්නා. ඒ වගේම මගේ නිර්මාණ තායිවාන රටට යවන එක පවා ඒ අයගේ අනුග්‍රහය යටතේ සිදු කළේ. ඒ නිසා මගේ මේ නිර්මාණ එකතුවට ලොකු සහයෝගයක් ලබා දුන්නේ හයිඩ්‍රමනි ආයතනය. ඒ නිසා ඒ ආයතනයට ස්තුතිවන්ත වෙන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.

මම කැමති ලංකාවට ආවේණික අත්කම් නිර්මාණ බීරලු කියන්නේ අවුරුදු සිය ගණනක් පරණ නිර්මාණ ක්‍රම. මේ ක්‍රම දැන් ගිලිහිලා යනවා. විදෙස් සංචාරකයන්ට පෙන්නන්න තමා පොඩ්ඩක් හරි කරන්නේ. නමුත් ඇත්තටම ගත්තම ඒ දේවල් පොඩ්ඩක් වෙනස් කරලා නව විදියට ඇඳුමකට එකතු කරනවා කියන්නේ, ඒ ඇඳුමට ලොකු වටිනාකමක් එකතු වෙනවා. ඒ නිසා මම තීරණය කළා අලුත් විදියට හිතලා ඇඳුම්වල‍ට ඒ දේවල් එකතු කර ගන්න.

මෙතැනදී මගේ මුලික පරමාර්ථය අපේ රටේ නිර්මාණ ඉදිරියටත් අන්තර්ජාතිකතලයට අරගෙන ඇවිත් අපේ රටේ නිර්මාණකරුවන්ගේ හැකියාවන් ලෝකයට පෙන්වන එක.

අත්කම්, බීරලු, වගේ දේවල් අද ක්‍රමයෙන් ගිලිහි යන්නේ ඒ අයගේ නිෂ්පාදන වලට හොඳ වෙළෙඳපළක් නැති වීමත් සමඟ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීලා ඉන්න නිසා. ඒ නිසා අලුත් දේවල් යොදාගෙන මේ අත්කම්, බීරළු, සහ ස්වාභාවික සායම් වැනි දෑ එක්ක නිර්මාණ කරන නිර්මාණකරුවන්ට හොඳ වෙ‍ෙළඳපළක් නිර්මාණය කර දෙන්න ඕනේ කියන අදහස මට තියෙනවා.

මේ තරග ජයග්‍රහණය එක්ක මට ලොකු ශක්තියක් සහ ධෛර්යක් ලැබිලා තියෙනවා. මොකද මේ හරහා අපිට පුළුවන් කියන එක ලෝකය පිළිඅරන් තියෙනවා. ඒ නිසා මේ නිර්මාණකරුවන් වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ගොඩක් කැමතියි ඒ වෙනුවෙන් කැප වෙන්න. අද මගේ මේ ජයග්‍රහණය ගැන අම්පාර පදියතලාව ගමේ මිනිස්සුත් ගොඩක් සතුටු වෙනවා.

 

Comments