වෙළෙ­ඳ­පොළ තර­ග­කා­රී­ත්වය වැඩි කිරීම බඩු මිල ඉහළ යෑම පාල­නය කිරී­මට ඇති හොඳම මාර්ග­යයි | සිළුමිණ

වෙළෙ­ඳ­පොළ තර­ග­කා­රී­ත්වය වැඩි කිරීම බඩු මිල ඉහළ යෑම පාල­නය කිරී­මට ඇති හොඳම මාර්ග­යයි

 

ලෝක වෙළෙඳපොළේ ගෑස් හා තිරිඟුපිටි යන පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත. එවැනි තත්ත්වයන් අපේ වැනි රටවලට ඍජුව බලපානු ලැබුවත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමට අප වැනි දිළිඳු රටවල්වලට හැකියාවක් නැත. විශේෂයෙන් ගෑස් සහ ඉන්ධන සඳහා බලපාන බොර තෙල් සම්බන්ධයෙන් ගත්විට ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචන අප වැනි දිළිඳු රටවලට ඍජුවම බලපානු ලබයි. භාණ්ඩ බෙදා හැරීමට ඉදිරිපත් වී ඇති දියුණු රටවල ඇතැම් කොම්පැනි සඳහා පසුගිය කාලයේ මේ මිල පාලනයට යම් මැදිහත්වීමට හැකියාවක් තිබුණි. අද විට එයද කළ නොහැකි තත්ත්වයකි. විශේෂයෙන් ඔපෙක් වැනි සංවිධානවලට තෙල් මිල යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමේ හැකියාවක් තිබුණි. පසුගිය කාලවකවානුවේ කොවිඩ් හරහා ඇතිවූ ආර්ථික අර්බුදයක් තිබියදීත් තෙල් මිල විශාල වශයෙන් පහත වැටීමක් සිදු විය.

එසේ වීමට හේතුව තෙල් පරිභෝජනය කිරීමේ ඇතිවූ යම් කිසි අඩුවක් විය හැකිය. තෙල් විකිණීමේ තිබු අඩුව නිසා විශාල ලෙස මිල පහත වැටීමක් එම අවස්ථාවේදී සිදු විය. එවැනි අවස්ථාවලදී අප වැනි රටවල්වලට යම් වාසියක් අත් කර ගැනීමේ හැකියාවක් තිබුණි.

එනම්, යම් ප්‍රමාණයකට හෝ තොග රැස්කර ගැනීමක් සිදු කළේ නම් එහි වාසිය ලබා ගැනීමට හැකියාවක් තිබුණි. අපේ රටට තොග රැස්කර ගැනීමට හැකියාවක් නැත. ඒ හෙයින් මිල ඉහළ යන විට එයට මුහුණ දීමට අපිට සිදුවෙයි. මේ සියලු වෙනස්වීම්වලට හේතු කාරණාව නම් තෙල් නිෂ්පාදනය හා සම්බන්ධ ඇතිවන වෙනස්කම්ය. එනම් තාක්ෂණිකව ඇති වන වෙනස්කම් සහ මේ අවස්ථාවේදී කොවිඩ් නිසා ඇතිවූ ගැටලුවත් සමඟ මේ අර්බුදය නිර්මාණය වී ඇත.

එමෙන්ම ලෝකයේ රටවල්වල අර්බුදය ද මේ සඳහා බලපෑම් කරයි. විශේෂයෙන් එන්නත්කරණයත් සමඟ කොවිඩ් ගැටලුව යම් දුරකට පහව යන තත්ත්වයක් ඇතිවී ඇත. කොවිඩ් වසංගතයට එන්නත් ලබාදීමත් සමඟ මෙතෙක් අකර්මණ්‍යව පැවැති ආර්ථික කටයුතු නැවත යථා තත්ත්වයට පත් වීමත් නැවත බොහෝ රටවල තෙල් සහ ගෑස් ඉල්ලුම වැඩි වීමේ ප්‍රවණතාවයක් ඇතිවී ඇත. එන්නත්කරණයත් සමඟ මෙතෙක් ලෝකයේ රටවල්වල විවෘත නොකර තිබූ ආර්ථික කටයුතු නැවත ආරම්භයත් සමඟ රටවල්වල ආර්ථික අර්බුදය නැවත යථා තත්ත්වයට පත්වීම ආරම්භ විය.

මේ නිසා මෑතකාලීන තෙල් මිල වැඩිවීම සහ ඊට සාපේක්ෂව ගෑස් ආහාර සහ අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යෑමට හේතුව බිඳ වැටී තිබු ආර්ථික සාධක යථා තත්ත්වයට පත්වෙමින් ඇති කාලවකවානුවක් වීමයි. චීනය හා ඉන්දියාව වැනි රටවල් වේගයෙන් දියුණු වෙමින් පවතින නිසා තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවිය හැකිය. ඉදිරි කාලයේදී මේ සාධකයන්ට සාපේක්ෂව තෙල් මිල ඉහළ යෑමත් සමඟ ආහාර මිලත් ඉහළ යා හැකි වෙයි. සියලු භාණ්ඩ සඳහා මේ තත්ත්වය බලපානු ලබයි. නිෂ්පාදනය ව්‍යාප්තියට තෙල් විශාල ලෙස බලපාන හේතු සාධකයක් වන නිසා ඊට සාපෙක්ෂව ගෑස් සහ ආහාර මිල වැඩි වීමට හේතුව මේ සියලු ආර්ථික සාධකයන් එකම දිශානතියක් කරා ගමන් කරන නිසාවෙනි. කෘෂිකර්මයට අවශ්‍ය කරන කෘෂි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයට තෙල් අවශ්‍ය වනවිට ඒ සඳහා යෙදවුම් මිල වැඩි වෙයි. එහෙයින් කෘෂි රසායන ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සිදුවෙයි. ඒ අනුව ආහාර මිල ඉහළ යෑම සිදුවෙයි.

එමෙන්ම ලෝකයේ කාලයක් පුරා තෙල් මිල රටවල්වලට සාපෙක්ෂව දරා ගැනීමට නොහැකි තරම් උච්චාවචනය වේ. ඇතැම් රටවල් ජෛව වායු නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත. ඇමරිකාව වැනි රටවල් විශාල වශයෙන් කෘෂි ආහාර නිෂ්පාදනයන් කරන රටක් වෙයි. එම රටවල්ද ජෛව වායු නිපදවීම කෙරෙහි කෘෂි ඉඩම් වැඩි වැඩියෙන් භාවිත කරයි.

ඉන්දියාවේ අවශ්‍ය තෙල් නිෂ්පාදනයෙන් 6%ක් ජෛව වායු වන අතර 30% දක්වා වැඩි කරගැනීම අපේක්ෂාවයි. ගෑස් මිල වැඩිවීමෙන් ආහාර මිල වැඩිවීමත් සමඟ ඒවාට ආදේශක හෝ අනුපූරක වශයෙන් ඇති අනෙකුත් ආහාරපානවලත් මිල වැඩිවීමක් සිදුවෙයි. මෙය ගෝලීය වශයෙන් ඇති අර්බුදයයි. ලෝක වෙළෙඳපොළේ ඇති වන මේ මිල ඉහළ යෑම් දිළිඳු රටවල්වලට විශාල වශයෙන් බලපානු ලබයි.

ලංකාව ආහාර ද්‍රව්‍ය ආනයනය මෙන්ම තෙල් ගෑස් වැනි ආයාථ මත පවතින රටක් ලෙස හැඳින්විය හැකියි. ඒ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඇති වී තිබෙන මිල උච්චාවචනයන් අපේ රටට ඍජුව බලපානු ලබයි. ගෘහස්ථ මට්ටමේ සිට ගෑස්, තිරිඟඟු පිටි අත්‍යවශ්‍ය දේ බවට පත්ව ඇත. මේ ඉල්ලුමට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්වීම ද මිල වැඩිවීමට බලපානු ලබන හේතු සාධකයකි. දිළිඳු රටක් ලෙස අප ලෝක වෙළෙඳපොළේ මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්නෙ කෙසේද යන කරුණ විශාල ලෙස බලපායි. මෙවැනි සාධකයන්ට මුහුණ දීමට නොහැකි වීමට හේතුව මෙරටේ ඇති දිළිඳු භාවයයි. ඉදිරි කාලවලදී ආහාර මිල සහ ඉන්ධන මිල වැඩි විය හැකියි.

භාණ්ඩ මිල ලෝක වෙළෙඳපොළේ අඩු හෝ වැඩි වීම නොව ගැටලුව පවතින්නේ අපේ රටවල ඇති දිළිඳු භාවයයි. ඒ ගැටලුව විසඳාගත හැකි නම් මෙවැනි සාධකවලදී සාර්ථකව මුහුණදිය හැකියි. රජය මේ වනවිට අනුගමනය කරන විකල්ප ක්‍රමවේදයක් නම් මිල පාලනයන් ගෙන ඒමයි. මේ විකල්පය ක්‍රමවේදයන් අනුගමනය කරමින් බලාපොරොත්තු වන අරමුණ නම් අඩු මිලකට ඉන්ධන ලබාදීමයි. පවතින විකල්ප සාර්ථක නොවන නිසා ඒ ගැනම කතා කරමින් නොසිට විකල්ප සෙවීමට උත්සාහ කළ යුතුයි. එය එතරම් පහසු කාර්යයක් නොවෙයි.

රජය විකල්ප ලෙස පසුගිය කාලයේ මේ ගැටලුවලින් ජනතාවට සහන ලබාදීමට භාණ්ඩ මිල පාලනයක් ඇති කළත් ඒ හරහා ප්‍රමිතියෙන් තොර ගුණාත්මකභාවය අඩු භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් විය. පාලන මිලට ගුණාත්මක තත්ත්වයට භාණ්ඩ වෙළෙඳපොළේ හිඟවෙයි. එමෙන්ම මිල පාලනය නිසා කළුකඩ බිහිවීමත් වෙළෙඳපොළ තරගකාරීත්වය නොමැති වීමත් භාණ්ඩ සඟවා තබා ගැනීමත් සිදුවෙයි. ඒ නිසා මිල පාලනය නිසා විශේෂ යහපතක් නොවෙයි. මේ වනවිට ආයාත මත පැනවූ බදු මුදල් ද රජයට අහිමි වී ඇත. වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ද වෙයි. එයට හේතුවක් ආයාත පාලනය කිරීම සහ භාණ්ඩ මිල පාලනයයි. එමෙන්ම මේ පාලන මිල ඉවත් කිරීම ද තවත් ආකාරයක ගැටලුවක් ලෙස හැඳින්විය හැකිය.

අපේ රටේ ආර්ථීක ක්‍රමවේදය සකස් කර මේ මිල පාලනය ඉවත් නොකිරීම සාර්ථක ක්‍රමවේදයක් නොවෙයි. සමස්ත ආර්ථීකය ගමන් කරන නියම දිශානතිය තෝරාගෙන එය සිදු කළ යුතුයි. ආර්ථික ප්‍රගතිය කෙසේ ඇති කරගන්නේද යන කාරණාව තෝරා ගෙන මේ පාලන මිල ඉවත් කළ යුතුය.

සමස්ත ආර්ථිකයේම එක් ප්‍රතිපත්තියක් සකසා එහි කොටසක් ලෙස පාලන මිල ඉවත් කළ යුතුය. එහෙත් මේ පාලන මිල ඉවත් කර ඇත්තේ ඇතැම් පුද්ගලයන්ගේ පටු දේශපාලනික අරමුණු උදෙසාය.

මේ පාලන මිල ඉවත් කිරිම සාර්ථක ක්‍රමවේදයක් නොවේ. වැඩිවන මිල ගණන්වලට මුහුණ දීමට අපහසු වෙයි. එමෙන්ම ගුණාත්මක තත්ත්වයකින් යුතු පරිභෝජන භාණ්ඩවල මිල ඉහළ මට්ටමකට යෑම අපට දරාගත නොහැකිවෙයි. ඒනිසා ඇතැම්විට ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනය කිරීට සිදුවී ඇත.

මිල පාලනය තවදුරටත් රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මිල පාලනය ඉවත් කිරීම හරහා භාණ්ඩ මිල ඉහළ යෑම සිදුවෙමින් පවතී. එහෙත් වෙළෙඳ ආර්ථීකයකට ද නිදහස් ආර්ථිකයකට ද ගමන් කරනු ලබන්නේ යන නිවැරදි දිශානතියක් තෝරාගෙන මේ විකල්ප අනුගමනය කිරීම සාර්ථක නොවෙයි. අපේ ආර්ථීකය මෙහෙය වන ගමන් දිශාව පාරිභෝගිකයන්ට, ආයෝජකයන්ට හා ව්‍යවසායකයන්ට පෙන්වීමට ගත් පැහැදිලි තීරණයක් ලෙස මෙය හැඳින්විය නොහැකිය.

විශේෂයෙන් ගෑස් මිල පාලනයට යොදා ගත් මිල සූත්‍රය කලක් ක්‍රියාත්මක විය. නමුත් එය සාර්ථක විසඳුමක් නොවේ. මිල සූත්‍රයක් වුවත් එය හොඳින් සකස් නොකළ සරල ක්‍රමවේදයකි.

ලෝකයේ රටවල්වල තෙල් මිල දිනපතා හෝ සතිපතා උච්චාවචනය වේ. එහෙත් අපේ රටේ ඇතිවී තිබෙන ප්‍රශ්නය නම් ලෝක වෙළෙඳපොළේ මිල කෙසේ වෙතත් තෙල් මිල ආණ්ඩු විසින් පාලනය කිරීමයි. ඒ නිසා මිල උච්චාවචනය වීම සිදු නොවෙයි.

ඇතැම් විට වැඩි මිලට තෙල් ආනයනය කර අඩු මිලට විකිණීමට සිදු වෙයි. පෙට්‍රල් සහ ඩීසල් අතර ලොකු මිල පරතරයක් තිබීම තවත් ගැටලුවකි. දියුණු රටවල්වල ඒ ආකාරයට විශාල මිල පරතරයක් දක්නට නැත. ආණ්ඩුවේ මැදිහත් වීම මේ මිල පරතරයට හේතුවයි. පෙට්‍රල් සඳහා බදු ගෙවීමක් ද ඩීසල් සඳහා සහනාධාර ලබා දීමකට ද ආණ්ඩුව පියවර ගෙන ඇත. ආණ්ඩුව ඉන්ධන මිලට මැදිහත් වීම එක් ගැටලුවකි. ආණ්ඩුව මේ මැදිහත් වීමෙන් ඉවත් වී මිල සූත්‍රයක් අනුව දේශීය වෙළෙඳපොළට මිල තීරණය වීමට ඉඩ හැරීම යම් සාර්ථකත්වයකට යා හැකි ක්‍රමවේදයකි.

ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් තෙල් නිෂ්පාදනය කරනු ලබයි. මේ තෙල් නිෂ්පාදනයේ ඇති පිරිවැය තෙල් නිෂ්පාදනයේ ලාභය එකතු කර වෙළෙඳපොළේ තෙල් මිල තීරණය කරනු ලබන්නේ ඉල්ලුම සැපයුම අනුව තරගකාරී ආකාරයටයි.

මෙමඟින් මිල උච්චාවචනය වීම සිදුවෙයි. එම රටවල්වලම දිගුකාලීන තෙල් සඳහා විකල්ප මුලාශ්‍ර බලශක්ති පිළිබඳව ද පර්යේෂණ කරමින් පවතී. තෙල්වලට වෙනත් විකල්ප බලශක්ති මුලාශ්‍රයන් වැඩි වන නිසා; ඒ අනුව තෙල් සඳහා ඇති වැදගත්කම දිගුකාලීන වශයෙන් අඩුවීමක් ඇති විය හැකියි. නමුත් මේ අවස්ථාවේදී තෙල්වලට ඇති ඉල්ලුම වැඩිවන එක් හේතුවක් නම් සංවර්ධනය පසුබෑමක සිට යළි නඟාසිටුවීමට ගන්නා ප්‍රයත්නයන් සමඟ ලෝකයේ රටවලවල තෙල් ඉල්ලුම වැඩි වී ඇත.

එම හේතු සාධකය අතරම ඒ සඳහා ඇතිවන බලපෑම් අඩු කර ගැනීමට තෙල් සඳහා විකල්ප මූලාශ්‍රයන්ට යොමුවන බවක් ද දක්නට ලැබෙයි. තෙල් වැනි ද්‍රව්‍ය අප රට තුළ නිෂ්පාදනය නොකිරීම ගැටලුවක් කර නොගත යුතුය. විශේෂයෙන් සිංගප්පුරුවේ තෙල් නොතිබුණත් අද වනවිට ලෝකයේ තෙල් වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන මධ්‍යස්ථාන තුනෙන් එකක් සිංගප්පුරුව වෙයි. එවැනි කුඩා රටක් ප්‍රධාන තෙල් වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් ව තිබියදී අපේ රට හැමදාමත් තෙල්වලින් දැවි දැවී ඇත. අපි තෙල් අපේ සංවර්ධනයට යොදා නොගැනීම තවත් පසුබෑමකට කරුණකි. අපේ රටේ තෙල් ආයතන දෙකක් තෙල් සම්බන්ධයෙන් විශාල ඒකාධිකාරියක් ආරක්ෂා කරගෙන ඇත.‍ එය තවත් ගැටලුවකි.

තෙල් , තිරිඟු, ගෑස් මිල වැඩිවන විට එයට මුහුණ දීමට අපේ දුප්පත්කම නැති කරගැනීමට උත්සාහ නොකිරීමත් එක් හේතුවකි. එසේම තෙල් අපේ විශාල ආර්ථික භාණ්ඩයක් බවට පත් කරගත හැකි අතරම තිරිඟු සඳහා විකල්ප සෙවිය යුතුය. සිංගප්පූරුව අපට ආදර්ශ සපයයි. 1962 වන විට තෙල් සමාගම් කිහිපයක් මෙරට ද විය. තෙල් ජනසතු කළ පසුව ඒ සමාගම් වෙනත් රටවල ආයෝජනය කිරීම සිදු විය. තරගකාරී ලෙස තෙල් සමාගම් කිහිපයක් ක්‍රියාත්මක විය යුතුය. ඉන්ධන, ගෑස් සඳහා සමාගම් කිහිපයක් ඇතිවිය යුතුය.

ඒමඟින් තරගකාරීත්වය වැඩි දියුණුවෙයි. මේ රටේ ආර්ථිකමය සම්පතක් බවට පත් කර ගැනීමට පරිසරය බිහි කළ යුතුය.

මේ වෙළෙඳපොළ තරඟකාරීත්වය ඇති කිරීමෙන් මේ රටේ ආර්ථිකයට දැවෙන ගැටලුවක් වන අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු ඉන්ධන සහ ගෑස් මිල පාලනය කර ගැනීමට හැකියාවක් ඇති වෙයි.

ලෝකයේ අනෙක් රටවල ආයෝජනය කරන ලද සමාගම්වලට මෙරටට පැමිණ ආයෝජනය කිරීම තරමක් අසීරු කාර්යක් වන්නේ දේශපාලනික අධිකාරියේ මැදිහත් වීම නිසයි.

මේ සමාගම්වලට ආයෝජනය කළ හැකි දේශපාලනික පසුබිමක් මේ රටේ ඉක්මනින් ඇතිවිය යුතුය.

Comments