2021 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ ලේඛකයා මහාචාර්ය අබ්දූල් රසාක් | සිළුමිණ

2021 නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ ලේඛකයා මහාචාර්ය අබ්දූල් රසාක්

 

මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිවූයේ අප්‍රිකානු කලාපයේ සින්බාර්හිදී උපත ලබා සරණාගතයකු ලෙසින් එංගලන්තයට පැමිණ පසුව ඉංග්‍රීසි භාෂාව සහ පශ්චාත් යටත්විජිත සාහිත්‍ය පිළිබඳව මහාචාර්ය ධූරයට පත්වූ අබ්දූල්රසාක් ගර්නාහටය. නවකතා කරුවකු වශයෙන් ලෝක සාහිත්‍ය ක්ෂේ්‍ත්‍රයට එකතු වන ඔහුගේ නිර්මාණ භාවිතාව ගැන මෙසේ සඳහන් වී තිබේ. ඊට අනුව ඔහු පොදුවේ ගත් කළ එළිය සහ අඳුර මැනවින් ප්‍රතිනිර්මාණය කළ ලේඛකයකු වන්නේ ය. “ඒ පිටු මත දී අන්ධකාරයේ වේදනාව අත් විඳිය නොහැක. ගර්නා විසින් සිදු කරනුයේ එකිනෙකට මුසුවන අයුරින් ඒ එළිය සහ අඳුරෙහි සැබෑ යථාර්ථය මතු කරදීමයි.” ඒ අනුව අලංකාර වනාන්තර, බිහිසුණු මිදි රසය, පසුබිමේ බිඳුණු සමාජ කැඩපතක ප්‍රතිනිරූපණය වන මධ්‍යකාලීන යුගයක සමාජ හැසිරීම් ඔහුගේ නවකතාවල ප්‍රස්තුථ බවට පත්වේ. ගර්නා මතු වන්නේ එවැනි සාහිත්‍යයික කාර්යභාරයක් සමඟය.

නොබෙල් සාහිත්‍ය සම්මානය ඔහුට ලබාදීමට හේතුවූ ප්‍රධාන කරුණ වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ ඔහු යටත්විජිත කාල වකවානුවක අනුකම්පා විරහිතව පැවැති සමාජ සංස්කෘතියක ඇතුළාන්තය දයාන්විතව මෙන්ම විනිවිද දකින සුලු පෙළ ගැස්මක් තුළ සිය සාහිත්‍ය නිර්මාණ බිහිකොට ඇති නිසා ය. ඒ අනුව ඒ සමාජ කාලවකවානුවේ විසූ අවතැන්වූ මිනිසුන්ගේ අනුකම්පා විරහිත ඉරණම සියුම් මෙන්ම තියුණු ලෙසින් තවද මානුෂීය විවරණයකින් යුතුව පැවසීමට ඔහු දක්වා ඇති සාමාර්ථය මෙම සම්මානනීයත්වයට හේතු වී ඇති බව පැහැදිලි වේ.

එංගලනතයේ වාසය කළද ටැන්සානියානූ නවකතා කරුවකු වශයෙන් ගැනෙන අබ්දූල්රසාක් ගර්නා නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබුණු බව දැන ගත් අවස්ථාවේ දී තමාට ලැබුණු හැගීම මුල් කොට ගත් ඒ මානසිකත්වය විස්තර කරන්නේ විස්මය සහ නිහතමානීත්වය යන විශේෂණයන් ඊට එකතු කර ගනිමිනි. ස්වීඩන් ඇකඩමිය තමන් විසින් දෙනු ලබන මෙම සම්මානයට සම්බන්ධ හේතු පාඨය වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ යටත්විජිතවාදි පැවැත්මක් තුළ පවත්නා අනුකම්පා විරහිත බව දයාන්විත ලෙසත් විනිවිද පෙනෙන සුලු අයුරිනුත් සිය සාහිත්‍යකරණය තුළින් ඉදිරිපත් කිරීමට ඔහු දක්වා ඇති සමත් බව යන්නයි. ඒ වෙනුවෙන් මෙම සම්මානය පිදෙන බවයි. තවද ඊට තම උණුසුම් ප්‍රශංසාව ද හිමිවන බවයි. ඒ අනුව නොබෙල් සම්මානය ලබා දෙන ස්වීඩන් ඇකඩමිය ඊට හිමි ත්‍යාග මුදල වන ස්වීඩන් ක්‍රවුන් මිලියන දහයක් ගර්නාහට ලබා දී ඇත. අද දවසේ හැත්තෑ තුන් හැවිරිදි වියේ පසුවන ඔහු “පාරාදීසය” සහ “කාන්තාරකරණය” යන නවකතා දෙකද ඇතුළුව මේ වනවිට නවකතා දහයක් පළකොට තිබේ. එවැනි පසුබිමක සිටියදී ස්වීඩන් ඇකඩමිය විසින් තමන්ගේ ජීවිතයට සිදුකරන ලද මෙම එකතු කිරීම විශිෂ්ඨ වටිනාකමක් වන්නේ යැයි ඔහු පවසයි.

මෙහි ඇති විශිෂ්ටත්වය වන්නේ ඊට හිමි මුදල් ත්‍යාගය මෙන්ම ලොව අපූරු ලේඛකයින්ගේ ලැයිස්තුව තුළට තමන්ගේ නාමයද එකතුවීමය යන්නද ඔහු විසින්ම කියූවක් වේ. එය මොනතරම් වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අංග සම්පූර්ණ විස්මයක් ද? සැබෑ ලෙසින්ම ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව සිටියත් ත්‍යාගය ලැබීමෙන් අනතුරුව විශ්වාස කළ නොහැකි විස්මයක් තමන් හමුවේ නිර්මාණය වූයේ යැයිද ඔහු විසින් පෙන්වාදී තිබේ.

ඉහතින් පෙන්වා දුන් ඔහුගේ පාරාදීසය නම් නව කතාව 1994 දී ප්‍රකාශයට පත්වූ විසිවන සියවස මුල් කාලයේදී ටැන්සානියාවේ ඒ සමාජ අත්දැකීම් මැද හැදී වැඩෙන දරුවකුගේ ජිවිතය ගැන කියා පාන්නකි. ඒ අනුව එය සමාජිය වශයෙන් විස්තරාත්මක හෙළිදරව්වක්ද වෙයි. මෙම නවකතාවේ විශේෂත්වක් වන්නේ එය බුකර් සම්මානයටද නිර්දේශ වීමයි. මක්නිසාද යත් ඒ නිසා ඔහුට ලෝක නවකතාකරුවන් අතර ස්ථානීය වටිනාකමක් ද හිමි වූ හෙයිනි. අබ්දූල්රසාක් ගර්නා සාහිත්‍ය කරුවකු වශයෙන් දක්වා ඇති කැපවීම මෙසේ ද පැහැදිලි කොට තිබේ. ඒ අනුව විනාශකාරී වූ පැවැත්මක් අත්හැර දැමීමක් වෙනුවෙන් සිදු කෙරෙන්නා වූ චිකිත්සාවක් වැනි සාහිත්‍යයික නිර්මාණකරණයක ඔහු යෙදී සිටී. භාවිතාවක් වශයෙන් ගත් කල එය සරලය. ඒ තරමටම ප්‍රහාරාත්මකය. නොබෙල් සාහිත්‍ය සම්මාන කමිටුවේ නිර්දේශය පහත දැක්වේ.

“ඔහුගේ නවකතා ගත් කල එහි දැකිය හැකි ලාක්ෂණික තත්වය වන්නේ පිළිකුලෙන් එසේ නැත්නම් සන්ත්‍රාසයෙන් යමකින් ගැලවෙන්නට මෙන් පසුපසට පනින්නාක් වැනි ආකෘතියකි.” තවද ලෝකයේ බොහෝ පාර්ශ්වයන්ට තවමත් ආගන්තුක වන නැගෙනහිර අප්‍රිකාව හා සම්බන්ධ සංස්කෘතික විවිධත්වය මෙසේ යැයි පෙන්වීමට දොරටු හැර දැමීමක් හා සමාන කාර්යයක් එම සාහිත්‍ය කෘතිවලින් සිදුවන්නේ යැයිද ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. එම කතාවල එන චරිත ඔවුන් අතරෙහිම පවත්නා සංස්කෘතික බිඳීයෑම් සහ ඒ ඇතුළාන්තයන්හි සිදුවන කඩා වැටීම් සොයා යන ආකාරයත් ද දැකිය හැක. එමෙන්ම ඒ අතරෙහිම පවත්නා ජීවන සම්බන්ධතා හෙළිදරව් කිරීමක් ද සිදුවේ. ඒ වෙනුවෙන් විසඳුම් ලබාදීමට ඇතැම් විට ආරක්ෂාව ඇති වෙනත් දේශයක වුව හැකියාවක් නැත.

1948 දී සැන්සිබාර්හි උපත ලබන ගර්නා සරණාගතයකු ලෙසින් එංගලන්තයට පැමිණෙන්නේ 1960 ගණන්වල අවසානයේදී ය. පසුව කැන්ටබරියේ කෙන්ට් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව හා පශ්චාත් යටත් විජිතවාදී සාහිත්‍ය මහාචාර්යවරයා බවට පත්වන ඔහු 1986 දී වෝල් සෙයින්කා ගෙන් පසු නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ ප්‍රථම කළු අප්‍රිකානු ජාතික ලේඛකයා බවට පත්වේ. ගර්නාම පවසන අන්දමට යටත් විජිතවාදී ඒ කාලවකවානුවේ සරණාගතයන්ගේ අර්බුදය සිය අත්දැකීමෙන්ම සාකච්ඡා කිරීමට තමන්ගේ මෙම ඉදිරිපත්වීම නොබෙල් සාහිත්‍ය සම්මානය ඔහු වෙත ප්‍රදානය කිරීමට හේතු වී තිබේ. “ඒ වනාහි සෑම දිනකම මා සමඟ පැවැති දෑ වූයේ ය. බොහෝ මිනිස්සු මිය ගියහ. ලොව පුරා විසූ ඒ මිනිසුන් විඳින ලද පීඩාව ඉමහත් ය. බොහෝ තැන්වලදී අපි ඒ තත්ත්ව සමඟ ගනුදෙනු කළෙමු.”

තමන් එංගලන්තයට පැමිණියේ සමාජ අවතැන්වීමක් වූ පසුබිමක රැකවරණය සොයා යන්නකු හැටියට යැයි ඔහු පවසයි. බොහෝ මිනිසුන් ත්‍රස්ත භයෙන් ඇලළුන සිය රටවලින් පැනයන්නට විය. ඔවුහු ඒ වෙනුවෙන් අරගල කරමින්ද සිටියෝ ය. 60 දශකය යනු ලොව පුරාම පාහේ බොහෝ අපරාධ සිදුවූ කාල වකවානුවක් වේ. සෑම තැනකම වාගේ හිංසනය හා ත්‍රස්ත භය දැකිය හැකි වූයේ ය. ඉදින් ආරක්ෂාව ඇති රටවලට එය මහත් පිඩාවක් වූ පසුබිමක බොහෝ ව්‍යාකූලතා ඇති විය. ඒ ව්‍යාකූලතා තුළම අපරාධ හා හිංසනය නොවැළක්විය හැකි ලෙසින් මතු වුණේ ය. අබ්දූල්රසාක් ගර්නා අත් වින්දේ සහ පසුව ඔහු සිය සාහිත්‍ය නිර්මාණ අතරට එකතු කර ගත්තේත් ඒ සමාජ සංස්කෘතික විනාශකාරීත්වය යි.

Comments