‘පැලෑනෙන් වෙන් කළ ඉඩම්’ හැර ගිය උපරතන හාමුදුරුවෝ | සිළුමිණ

‘පැලෑනෙන් වෙන් කළ ඉඩම්’ හැර ගිය උපරතන හාමුදුරුවෝ

 

මුදලිහාමි යන උඩරට ඉඩම් අහිමි ගොවියා ජනපදකරණය යටතේ පොළොන්නරුවට ගොස් තරමක ධනවතකු වන අයුරු රසවත් කතන්දරයක් ලෙස කියැවෙන 1990 වසරේ රාජ්‍ය සම්මානය දිනූ ”පැලෑනෙන් වෙන්කළ ඉඩම්” නවකතාව හෝ ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාව තුළ ක්‍රමානුකූලව සිංහල වෛද්‍ය විද්‍යාව දියවී යන අයුරු අපූරු වස්තුබීජයක් හරහා අප මත චිත්‍රණය කොට තැබූ 1993 වසරේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද “ජීවක කුලයක්” නවකතාව සමහර විට ඔබට මතක ඇතිවාට සැකයක් නැත.

එමපණක් නොව තවත් අගනා කෘති කීපයක් අපට දායාද කොට ඒ කෘති පිළිබඳව මතකයන් බොහෝ පාඨක හදවත් මත තබා අවුරුදු හැත්තෑපහක පමණ දිවිගමන නිමා කරමින් හදීසි රිය අනතුරකට ඔක්තෝබර් 9දා ලක්ව අප අතරින් රහසේම නික්ම ගිය වීරපොකුණේ උපරතන හිමිපාණන්ගේ ආදාහනය පසුගිය 11 වැනි දින අපරභාගයේදී කුලි/ වැල්ලරාව මහාවිද්‍යාලයීය භූමියේදී සිදුකරන ලදී.

අපවත් වනවිට උන් වහන්සේ බිංගිරිය කලුගම ශ්‍රී විමලධර්මාරාමාස්ථ රත්නාලෝක පිරිවෙන් මූලමහා විහාරාධිපතිව වැඩ උන්හ.

මේ සටහන තබන්නේ උන්වහන්සේට උපහාරයක් පිණිසත් උන්වහන්සේගේ කෘතිවලට බෙහෙවින් ආදරය කරන ලංකාවේ සතර දිග්භාගයේ විසිරී සිටින පාඨක ඔබට උන්වහන්සේ ගැන යමක් දැනගැනීමට අවස්ථාවක් උදාකර දීමත් පිණිසය. මේ සටහනට තබන්නේ, ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත හලාවත ශාන්තානන්ද හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද වීරපොකුණේ උපරතානාභිධාන මහා ස්වාමින්ද්‍ර අපදානයේ තොරතුරු ද පදනම් කරගෙනය.

උන්වහන්සේ උපත ලබන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල හත්පත්තුවේ මානලේම්බුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරපොකුණ ග්‍රාමයේය. ඒ උපත සිදුවන්නේ, එච් සොපිහාමි සහ එම්. කිරිහාමි යන දම්පතීන්ගේ සිවුවැනි පුත්‍රයා ලෙස 1947 නොවැම්බර් මස 05 වන දිනයි.

ඩේවිඩ් යන නාමය ගත් මේ දරුවා වීරපොකුණ මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව සසුන් ලැදි ව 1959-10-21 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුගම වැල්ලරාව ශ්‍රී රත්නාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී වීරපොකුණේ උපරතන නමින් පැවිදි දිවියට පත් විය. එවක් පටන් මූලික අධ්‍යාපනය රත්නාලෝක පිරිවෙනින්ම ලබාගන්නා උන්වහන්සේ ද්විතීයක සහ උසස් අධ්‍යාපනය පේරාදෙණිය ශ්‍රී සාරානන්ද විශ්වවිද්‍යාලයීය පිරිවෙනින් ලබා ගත්හ.

එහිදී ප්‍රාචීන මධ්‍යම විභාගය තෙක් අධ්‍යාපනය ලබා ගන්නා උන්වහන්සේ වයස් පූර්ණය වීමෙන් අනතුරුව උපදම්පදා ශීලයට පත්වන්නේ 1972 වසරේදීය. 1973 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා උන්වහන්සේ තමා අත්පත් කරගත් අධ්‍යාපනික දැනුම බෙදා දෙන්නට පටන්ගන්නේ 1976 වසරේදී පොළොන්නරුව සිරිපැරකුම්බා පිරිවෙනේ පරිවෙණාධිපතීන්වහන්සේ ලෙස පත්වීම ලබාගෙනය.

එවක් පටන් උගන්වමින් ඉගෙන ගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව විශිෂ්ට සාමාර්ථ සහිතව සමත් වෙති. උන්වහන්සේ 1993 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්හ. ඒ විශ්වවිද්‍යාලයෙන්ම 1997 වසරේදී ආචාර්ය උපාධිය දිනාගත්තේ “ලක්දිව විහාරාරම වර්ගීකරණය සහ පාලනය” යන මාතෘකාව ඔස්සේ කරන ලද පර්යේෂණ නිබන්ධය තුළිනි.

උන්වහන්සේ සාහිත්‍යකරණයට පිවිසෙන්නේ අධ්‍යාපනය ලබා දෙමින් අධ්‍යාපනය ලබාගනිමින් සිටිනා අතරතුරමය. එනම් 1989 වසරේ පැලෑනෙන් වෙන්කළ ඉඩම්“ නම් නවකතාව හරහාය. එයටම උන්වහන්සේට 1990 වසරේදී රාජ්‍ය සම්මානය ලැබෙයි. ඉන්පසුව 1992 වසරේදී “ජීවක කුලයක් ” නවකතාව ලියන අතර ඒ නවකතාව 1993 වසරේදී වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනා ගනී. 1994 වසරේදී ”මං” නවකතාව ලියා පළ කරන අතර එයට ද සංස්කෘතික අමාත්‍යංශයේ පැවැත්වූ නවකතා තරගයෙන් ප්‍රථමස්ථානය ලැබෙයි. 1992 වසරේදී උන්වහන්සේ “වපුළ බිජුවට” නමින් කෙටිකතා සංග්‍රහයක්ද පාඨක ලෝකයට දායාද කරයි.

තුඹරුප් උන්වහන්සේගේ අවසන් සාහිත්‍ය කෘතියයි. එය 1999 වසරේදී පාඨක ලෝකයට ලැබෙයි. උන්වහන්සේ ඉන් පසුව 2011 වසරේදී “මූර්තියෙන් මූර්තිමත් බුද්ධ” ශාස්ත්‍රීය කෘතිය ජනගත කළ අතර ඉන් පසුව උන්වහන්සේ විසින් කිසි කෘතියක් ලියා පළකොට නැත.

අප පොත පතින් පමණක් දැන හඳුනාගෙන සිටි වීරපොකුණේ උපරතන හිමිපාණන් සම්මුඛ වී කතාබහ කිරීමට අප තුළ දැඩි කැමැත්තක් තිබුණි. එහෙත් උන්වහන්සේගේ නිහඬ ජීවිතය අපට ඊට ඉඩ නොදෙන්නට ඇත. අවසානයේ අපට සිදුවූයේ උන්වහන්සේගේ ආදාහනයට සම්බන්ධ වීමටයි. එහිදී අපට පෙනුණේ උන්වහන්සේගේ ඒ නිහඬ දිවිය පළාතට අර්ථපූර්ණව ගලා ගිය එකක් බවයි.

වීරපොකුණේ උපරතන හිමියන් පළාතේ මහා සංඝරත්නයේත් සියලු ගිහි ජනතාවගේත් නිබඳ ගෞරවයට ආදරයට බඳුන් වූ හිමිනමක්ව කටයුතු සිදු කොට ඇත. ඉතා අනතිමානී චරිතයකට උරුමකම් කියා ඇති උන්වහන්සේ සියලු දෙනාට මිත්‍රශීලී ළෙන්ගතු චරිතයක් වී සිටි බව අපට පැහැදිලි විය.

සියලු ආගම් කෙරෙහිද ජාතීන් කෙරෙහිද පැවතියේ මිත්‍රශීලී මධ්‍යස්ථ හැඟීමකි. ආදාහනයේදී උන්වහන්සේගේ මිත්‍ර කතෝලික පියතුමකු බොහෝ සංවේගයෙන් කඳුළු සලමින් කළ කතාව අපට මේ මොහොතේ ද සිහි වේ.

සරල දිවි පැවැත්මකින් ජීවිතය ගෙන ගිය උන්වහන්සේ මරණානුස්මෘතිය වැඩූ ඒ පිළිබඳව සිහි කරමින් තම ජීවිතයෙන් සිදුවිය යුතු යුතුකම් ශක්ති පමණින් ඉටු කළ යතිවරයකු බව අපට පැහැදිලි විය. තම ආදාහනය කළ යුතු ආකාරය පවා උන්වහන්සේ තම සහෝදර හිමියන්ට කලින් දැනුම් දී ඇත.

ඒ අනුව පැය විසිහතරක් යන්නට පෙර හැකි නම් ආදාහනය කරන ලෙසත් සංකේතයක් ලෙස පමණක් එක කහ කොඩියක් එල්ලා තබන දැනුම්වත් කොට තිබිණ. කෙසේ හෝ උන්වහන්සේ හදිසි රිය අනතුරකට ලක් නොවන්නට තවත් චිරාත් කාලයක් අප අතර සිටිමින් ලාංකීය පාඨක ප්‍රජාවට තව අගනා නිර්මාණ හෝ ශාස්ත්‍රීය කෘති දායාද කරන්නට ඉඩ තිබිණ.

උන්වහන්සේ ලියූ කෘති ගණන සීමා සහිත වූවත් ඒ සෑම කෘතියකින් ම ජන හදවත් ආකර්ෂණය කරගන්නට උන්වහන්සේ සමත්වූ බව නම් පැහැදිලිය.

Comments