සිංහල අනාථයන් රැකීමට ගොස් ඩැනියෙල් සිර කූඩුවට | සිළුමිණ

සිංහල අනාථයන් රැකීමට ගොස් ඩැනියෙල් සිර කූඩුවට

 

ඌව වෙල්ලස්ස ගොවි ජනතාව සතු ඉඩම් විදේශ සමාගමකට විකිණීම එ.ජා.ප. රජය ගත් තීරණයට ‍එරෙහිව ගොවි සම්මේලනය තවත් සටනක් ඇරැඹීය. ඊට එරෙහිව භූමි පුත්‍රයන්ගේ, දේශ ප්‍රේමීන්ගේ අත්සන් එකතු කිරීමේ මහා ව්‍යාපාරයක් රට පුරා ඇරැඹිණි. ඩැනියෙල් මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කුඩා රැස්වීම් පැවැත්වීය. ඔහුට එ. ජා. ප. මැරයන්ගේ තර්ජනවලට මුහුණපෑමට ද සිදුවිය.

 

කම්කරු අරගලවල දී ද ගොවි සම්මේලනය සිය සහාය පළ කළ යුතු විය. දොඩංගස්ලන්ද මැතිවරණ කොට්ඨාසයේ කහටගහ, කොළොන්ගහ, පතල්වල කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා කළ අරගලයේ දී ඔවුන්ට සහාය දැක්වීමට ගොවීන් සමඟ ඩැනියෙල් ද ගියේය. එහිදී කම්කරුවන්ට ප්‍රාණවායුව පිඹිමින් ඩැනියෙල් කතා කළේ ය. ජය ලබන තුරු ඔවුහු සටන අත් නොහළහ. කම්කරු පවුල්වලට කෑම බීම ගොවීන්ගෙන් ලැබිණ.

1983 - 84 ආ කුරිරු සුළි සුළඟ පොළොන්නරුව දෙවනත් කොට හමා ගියේය. දහස් ගණන් ජීවිත ළිපට වැටිණ. ඔවුනට කෑම බීම - වහලට අතු, ඇඟට වස්ත්‍ර, රැගෙන ඩැනියෙල් සිය සහෝදරවරු සමඟ දකුණේ සිට පොළොන්නරුවට ගියේය.

1978 රත්මලාන, දුම්රිය කම්කරු වර්ජනය දිනවල ආහාර හිඟයෙන් පෙළුණු කම්කරු පිරිසට ආහාර පාන සැපයීමට මුල් වුණේ ඩැනියෙල් ය. 1980 මහ වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවූ දහස් ගණන් ජනතාවට සහන සැලසීමේ ව්‍යාපාරවල ඔහු නායකයෙක් විය. ජනතාව පීඩාවට පත්ව සිටියේ කොතැනද? ඩැනියෙල් එතැන සිටියේය. ‍

ගොවි සම්මේලනයේ “ගොවියා” පුවත්පතේ ලේඛකයකු වූ ඔහු ගොවියා පෙ‍ළන නිලධාරින්ට, දේශපාලනඥයන්ට, ඉඩම් හිමියන්ට වැටෙන තුරු බැට දුන්නේ ය. ඒ සමඟම සමාජවාදය පිළිබඳව සරල බසින් ලිපි ලීවේය.

කණ්ඩලම වැව් තාවුල්ලේ හෝටලයක් ඉදිකිරීමට ‍එරෙහිව ‘සොබාදහමෙහි දරුවෝ’ පරිසර සංවිධානයේ මෙහෙයවීමෙන් විරෝධතා ව්‍යාපාරයන් සඳහා දහස් ගණනක් ගොවීහු දඹුල්ලේ රැස්වූහ. පෙළපාළියෙන් කණ්ඩලම වැව් තාවුල්ලට යාමට නියමිත විය. ගමන ඇරැඹිණි.

ආයුධ සන්නද්ධව පොලිස් හමුදාව මඟ හරස් කරගත්තේය. “වැව් තාවුල්ලේ හෝටලය තැනීම නතර කරනු” පාඨය සහිත බැනරය පෙළපාළිය ඉදිරියේ විය. එය ගත් තරුණයන්ට පොලිසිය බාධා ක‍ළේය.

“නතර වෙනවා”

තරුණයෝ නතර වූහ. මේ අතර පසු පස සිට සුදු කොඩි සහිත කෙසඟ පුද්ගලයෙක් ඉදිරියට ආවේ ය. ඔහු පොලිසිය තල්ලු කරගෙන ඉදිරියට පැන්නේය.

“අපි ආවේ යුක්ති සහගත දෙයක් වෙනුවෙන්. අපි ආවේ යුක්තිය වෙනුවෙන්. අපි ආවේ නිරායුධව. අහිංසක නුඹලා ආවේ ආයුධ ඇතිව. නුඹලාට වුවමනා නම් ඔය ආයුධවලින්... ඔව් ඔය තුවක්කු බටයෙන් මෙන්න මෙතනට තියල අප මරා දමා පල්ලා.”

ඔහු පපුව පෙන්වමින් කීය.ඒ කෙසඟ මහල්ලා ඩැනියෙල් ය.ඒ හඬ වායුගෝලය විනිවිද දුරට ඇසුණේ ය. ජන ගඟ ඉදිරියට තල්ලු වී ආවේය.

පොලිසිය අඩියෙන් අඩිය පස්සට ගියේය. අන්තිමට පොලිසිය පාර අද්දරට වී ජනතාවට කණ්ඩලමට යන්නට ඉඩ දුන්නේය. වැව් තාවුල්ලේ සත්‍යග්‍රහය පැවැත්විණ.

1980 ගණන්වල බැංකු ණය ගෙන වගා කළ ගොවීහු වගා පාළු වී ගිය පසු ණය ගෙවීමට නොහැකිව අසරණ වූහ. බැංකු ඔවුන්ට නඩු පැවැරූහ. රජය නිහඬ විය. ගොවීන්ට සිරගෙවල් උරුම විය. මෙය දරා ගත නොහැකි පිරිසක් සිය දිවි නසා ගත්හ.

සමස්ත ලංකා ගොවි සම්මේලනය ණයකරුවන් නිදහස් කිරීමට ඉදිරිපත් වන මෙන් රජයට බල කෙළේ ය. රජ බීරි අලි විය. ගොවි ගම්මානවල මළ බෙර වැයිණ. ඩැනියෙල්ට ඒ හැම මළ ගෙයකටම යාමට සිදු විය. ඔහු සිය සහෝදරයන් සමඟ ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි පාසල් අභ්‍යාස පොත්, පැන්සල් ආදිය රැස් කරගෙන ඒ නිවෙස්වලට ගියේය. ඔහු සමඟ ගිය තරුණ ලේඛකයකු වූ සුජීව අක්කරවත්ත මෙසේ ලීවේය.

“ඩැනී මාමා ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, පාසල් පොත් බාරදී ආවේ නැහැ. ඒ ගෙවල් පිරිසිදු කළා. අතු පතු ගෑවා. ලෙඩ දුක් සොයා බැලුවා. කිලිටි කොට්ට උර පවා සෝදා දුන්නා. හැබෑ බෝසත් කෙනෙක් වගෙයි මට ඔහු හැසුරුණු හැටියෙන් පෙනුණේ.”‍

වැඩ කරන ජනතාවගේ ගැටලු සැබෑ දයාවෙන් යුතුව ලොවට හෙළි කළ ශ්‍රේෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ දයාසේන ගුණසිංහ රටේ ජනාධිපතිවරයාගේ වුවමනාවට පත්තර අයිතිකාරයන් විසින් ගෙදර යැවූ පුවත 1986 එක් දිනෙක ඇසූ ඩැනියෙල් මහත් කම්පාවට පත්වූයේය.

ඔහු වහා ම ගොවි පිරිසක් සමඟ ඒ කතුවරයා හමුවීමට ඔහුගේ නිවසට ගියේය. හාල් - එළවළු - කුළුබඩු පෙට්ටියක් ගෙන එතුමාගේ නිවසට ගොඩ වූ ඔහු මෙසේ කීය.

“ඔබතුමා ජීවත් කරවීමට මේ රටේ ගොවි ජනතාව සිටින බව කීමටයි අපි ආවේ. ජේ. ආර්. ලා ඔබතුමා පත්තරෙන් අයින් කළත් ඔබතුමා ජනතාවගෙන් අයින් කරන්න කාටවත් බැහැ. ගොවියාට වගේ ම වැඩ කරන සියලු ජන කොටස්වලට ඔබතුමා පසුගිය පස් වසරේ විශාල සේවයක් කළා. අපි ඔබතුමා ගේ ජීවිතය රැක බලා ගන්නවා.”

ඔහු මුදල් පරිත්‍යාගයක් ද කළේය. ගුණසිංහ මහතා මුදල් ගත්තේ නැත.

“සහෝදරයා ඔය වචන ටික මට අවුරුදු සීයක් ජීවත් වෙන්න ප්‍රමාණවත්. වෙන කිසිවක් එපා. මට ‍ඔබේ දයාව ප්‍රමාණවත්” ඔහු කඳුළු පිසිමින් කීය.

“මේ මුදල් අපේ ගොවි සහෝදරවරු එකතු කෙළේය.

“අනේ එපා සහෝදරයා.... මුදල් එපා. මට යම්තම් ජීවත්වෙන්න මගේ බිරිය ලබන පඩිය ප්‍රමාණවත්.”

මේ ලිපිය ලියන ලියුම්කරු කෙළින් ම සම්බන්ධවූ සිද්ධියකි මේ. එදා 1985 එක් දිනෙක මා සිටියේ මාතර උයන්වත්තේ මගේ නිවසේයි.

විසි දෙනකුට වැඩි පිරිසක් අවුල් කෙස් වැටි, විඩාපත් මැලවුණු මුහුණු, කිලිටි පොඩි වුණු ඇඳුම්. ඔවුහු ගෙමිදුලට කඩා වැදුණහ.

“මහත්තය ද දෙනගම සිරිවර්ධන?”

“ඔව්”

“අපි කන්තලේ ඉඳල කෝච්චියෙන් ආවෙ. අපට ඉන්න තැනක් නැහැ...”‍

“දැක්කනේ... මාත් ඉතින් මේ පොඩි ගේකනේ ඉන්නෙ”

“මහත්තය මෙතන අපි විස්සක් විතරයි ඉන්නේ. ස්ටේෂන් එකේ ඉන්නවා දෙසීයක් විතර කොටි ගහල අපි එහෙන් එළෙව්වා. දැන් අපට යන්න තැනක් නැහැ. ස්ටේෂමේ ලොකු මහත්තය කිව්ව. ඔය මහත්තයට කිව්වොත් උදව්වක් කරයි. කියල...”

මම ඔවුන් සමඟ මාතර දුම්රිය පොළට ගියෙමි. දුම්රිය ස්ථානාධිපතිවරයා මා දැක සිනා සුණේය.

“මා කීවා මේ පිරිසට පිහිටවීමට හැක්කේ ඔබට බව. ඔබ මේ වගේ අය ගැන පත්තරේට ලියනවනේ” ඔහු කීවේය.

මම දිවයින ඡායාරූප ශිල්පී සිරිසේන තුඩුවගේ ද සමඟ සිංහල ජාතිය ගැන නිතර කතා කරන දේශප්‍රේමීන් කීප දෙනෙකු හමුවීමි. ඔවුහු නිහඬ වූහ.

මට හදිසියේ අනාථයන්ට පිහිටවන ආරාමයක් ගැන සිහිවිය. එය පිහිටියේ තලල්ලේ ය. මේ පිරිස සමඟ තලල්ලට යා යුතු ය. ඒ සඳහා වාහන ලබා ගැනීමට මාතර නිල්මිණි ස්ටෝස් හිමි චන්ද්‍රසෝම මහතාත්, මාටින් හක්මනගේ මහතාත් හමුවීමු. ඔවුහු බස් රිය හතරක් ලබා දුන්හ. අපි තලල්ලට ගියෙමු. ආරාමය ඉදිරිපිට බස් රිය නවතා මම ආරාමයට ගොස් නායක හාමුදුරුවන්ට නැ‍ඟෙනහිර පළාතෙන් පැමිණි සිංහල අනාථ පිරිස ගැන කීවෙමි. ආරාමයේ දින කීපයක් නවාතැන් ලබාදෙන මෙන් ඉල්ලීමි.

“මෙතන අනාථයො නවත්තගන්න බැහැ. දැන් මේ වෙහෙර මළුවේ විහාර මළුවේ මළපහ කළාම ඕව අස් කරන්නෙ කවුද? වෙන දිහාවකට යන්න.

‍උන්වහන්සේ වදාළහ.

මම පාරට ආවෙමි. මට මේ පිරිසට ඊළඟ විසඳුම කුමක්ද? මාත් අනාථයෙක් වුණා නොවේද? මෙසේ සිතමින් සිටින අතර කතරගම කොළඹ බසය පන්සල ඉදිරිපිට නතර ‍කෙළේය. එයින් සුදු ජාතික ඇඳුම ඇඳගත් මහත්මයෙක් බැස්සේ ය. මේ මහ පිරිස දැක අප ඉදිරියට ඔහු ආවේය.

“ඇයි මහත්මයා?” ඔහු මගෙන් ඇසීය.

“මම ලොකු ගැටලුවකට මුහුණපාල ඉන්නෙ...” මම මගේ නම කීවෙමි.

“මා දන්නවා. මම ඇම්. ඩී. ඩැනියෙල්.”

“‍මා ඔබත් දන්නවා. ඔබ කවි ලියනවානේ...”

මම ඔහුට පන්සලේ නාහිමියන් ගේ පිළිතුර ගැන කීවේය.‍ ඔහු මා සමඟ පන්සලට ගියේය. නාහිමියෝ ඔහුට ද දුන්නේ මට දුන් පිළිතුරමය.

“හොඳයි හාමුදුරුවනේ, හිතා ගන්න මා පන්සලේ දායක සභාවෙන් අස්වුණා කියල.”

ඔහු අප ඔහුගේ නිවසට ගියේය.

තරමක් පැරණි ඒ නිවස පිහිටියේ පොල්වත්තකය.

“මේ හොඳට පායන කාලේ ඔය ගස් යට හෙවණේ ටිකක් ඇලවෙලා ඉන්න. මම ඉක්මනට කෑම ටිකක් හදන්නම්...

ඔහු අටුවට නැගී වී මලු බිමට දැම්මේය. කීප දෙනෙකු ඒවා වී මෝලට ගෙන ගියේය. ඒවා කොටා ගෙන එන්නට පෙර තලල්ල ගමේ මිනිස්සු ඔවුන්ගේ නිවෙස්වලින් හාල් ගෙනාහ. බත් උයා පොල් සම්බල් සහ මාළු හොඳි සමඟ ඔවුන්ට බඩ පු‍රා කන්නට දුන්හ. කෑමෙන් පසු ඔවුන් ගොරවමින්, කෙඳිරිගාමින් නිදන්නට වූහ.

ඩැනියෙල් සහෝදරයා මා හඳුනා ගත්තේ එදා ය. අනාථයන් ගෙදර සිටියදී ඔවුන් සඳහා කළ යුතුදේ ඔහු සෙවුයේය.

හම්බන්තොට ප්‍රධාන දේශපාලනඥයා අනාථයන්ට ඉඩම් ලබා දෙන බව ඔහුට අසන්නට ලැබිණ. එය සත්‍ය බව හම්බන්තොට කච්චේරියෙන් සහතික කර ගත්තේය.

ඔහු වාහන කීපයක් ලබාගෙන අනාථයන් අම්බලන්තොටට ගෙන ගියේය.

අම්බලන්තොට දී අනාථයන් බස් රියවලින් බසින විටම ඔවුන්ට පොලිසිය පහර දෙන්නට විය.

“බහින්න එපා. ආපහු කන්තලේට ම පලයල්ලා” පොලිසිය කීය.

“මේ මොකක්ද වුණේ. අපට කන්තලේ යන්න බැහැ. කොටින්ගෙන් බේරිලා මෙහේ ආවේ. මෙහේ වතු කාරයෝ ඉන්නවා.” මහල්ලෙක් කෑ ගැසීය.

පොලිස් නිලධාරියා ඔහු ඔසවා බස් රිය තුළට දැම්මේය. වැඩි දෙනෙක් බස් රියවලින් බිමට පැන පලා ගියහ. හිස හැරුණු අතේ ඔවුහු දිවූහ. පිරිසක් රිදියගම පාරේ දිව ගියහ. ඔවුන් විවෘත වී තිබූ ගේට්ටුවක් දැක වත්ත ඇතුළට පැන ගත්තේය. ඒ දික්වැල්ල පන්නා මහත්තයා හඳුන්වන එච්. ආර්. වි‍ජේසිරි මහතාගේ නිවසයි. ඒ මහතා ඔවුන්ට නවාතැන් ද ආහාර පාන ද දුන්හ. ගැබිනියක් පොලිසි පහරක් වැදී බිම වැටී කෑ ගැසුවාය. ඇය සැනින් රෝහලට ගෙන යනු ලැබීය. පැයකින් පමණ ඇයට දරුවකු ලැබිණ. ඩැනියෙල් පොලිස් අත්අඩංගුවට ගැනිණ. අනාථයන්ට නවාතැන් දුන් විජේසිරි මහතා අත්අඩංගුවට ගැනිණ. ඒ දෙදෙනා මාතර පොලිසියේ සිර කූඩුවේ රැඳවිණ. පසුව උසාවියට ඉදිරිපත් කොට නිදහස් කැරිණ. පොලිසියෙන් බේරී ‍පලා ගිය අනාථයෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින පිරිසක් බවට පත් වූහ.

2010 යුද්ධය හමාර වීමෙන් පසු ජීවත්ව සිටි අනාථයන්ගෙන් වැඩි දෙනෙක් නැගෙනහිර පළාතට ගියහ. ඩැනියෙල් සමඟ ලියුම් මඟින් සහ දුරකථන මඟින් සම්බන්ධතා පවත්වන කීප දෙනෙක් ද වූහ.

ඩැනියෙල් ඔවුන්ට පෙනුණේ දෙවියකු මෙනි.

මුර වතුර ටික හරියට වෙලාවට නොදෙන, ඇළ වේලි ටික හරි හැටි නඩත්තු කර නොදෙන, පගාවට වතුර දෙන කන්න රැස්වීම්වලදී දෙන පොරොන්දු ඉටු නොකරන, වාරිමාර්ග ලොක්කන්ට විරුද්ධ පැමිණිලිවලින් ඩැනියෙල් ගේ සවන් පිරිණ. මාතර හම්බන්තොට, පමණක් නොව රජ රටින් ද ඔහුට පැමිණිලි ලැබිණ. මේ නිසා ඔහු නිලධාරි සමඟ ගැටෙන්නට සිදුවිය.

ගොවිජන සේවා නීති සියල්ල ඔහුට කට පාඩම් ය. අඳ ගොවි අයිතිය වෙනුවෙන් ඔහු නීතිඥයන් සමඟ තර්ක කොට ජය ගනී. ගොවීහු ඔහු සිය ගැලවුම්කරු සේ සලකති.

1987 - 88 - 89 රටේ තත්ත්වය ඉතා බිහිසුණු තත්ත්වයකට ගමන් කරමින් පවතිනු ඩැනියෙල් දක්නට ලැබිණ. කොටි ත්‍රස්තවාදයේ කුරිරුකම් දිනෙන් දින උත්සන්න විය. පැරැණි රජය ඊට උදව් දෙනු විය.

එය ඉවත් කිරීමේ වැඩපිළිවෙළකට නොයන බව පෙනේ. දකුණේ ද තරුණ පිරිසක් ද එබඳු මඟකට වැටෙන බව ඔහුට පෙනිණ. (තව කොටසක් ලබන සතියේ)

 

Comments