ශාස්ත්‍රවන්තභාවයේ දුර්ලභ පරමාදර්ශය මහාචාර්ය විනී විතාරණ | සිළුමිණ

ශාස්ත්‍රවන්තභාවයේ දුර්ලභ පරමාදර්ශය මහාචාර්ය විනී විතාරණ

එකුන්විසි වන සියවසේ මුල් දශක දෙක තුනෙහි දකුණු ලක ගිරුවාපත්තුවේ ජන ජීවිතය පිළිබඳ යථාරූපී සිතුවමක් ලෙනාර්ඩ් වුල්ෆ් විසින් රචිත Village in the Jungle නවකතාවේ නිරූපිතය. එදා වුල්ෆ් නිරූපණය කළ වනාන්තරයේ එක් ඉමක් තංගල්ල නමැති කුඩා නගරයේ ආසන්නය තෙක් විහිදිණි. හම්බන්තොට පරිපාලන නගරය වුව ද වෙරළ බඩ තීරය ඔස්සේ ගලා ගිය අපරදිග ශිෂ්ටාචාරයේ සංස්කෘතික ආලෝකය තංගලු නගරයෙන් ඈතට නොවිහිදිණි. එසමයෙහි ස්වභාෂා පාඨශාලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම් දනව් පුරා ආරම්භ වී තිබුණද නවීන ලෝකය හා සම්බන්ධ කෙරෙන විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුණ් මිශනාරි ඉංග්‍රීසි පාඨශාලාවලින් සහ පරම විඥානාර්ථ සමාගම විසින් ස්ථාපනය කරන ලද බෞද්ධ පාඨශාලාවලින් පමණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවක පැවති පැරණිතම පාඨශාලාව වූ ක්‍රයිස්ට් චර්ච් ශාස්ත්‍රාලය පිහිටා තිබුණේ තංගල්ලේය.

තංගල්ල නගරයට ඉතා නුදුරු පල්ලික්කුඩාව නම් සමුද්‍රාසන්න පෙදෙසක විනී විතාරණගේ උපත සිදුවන්නේ 1928 වර්ෂයේ ජූනි මස 2 දින යට කී සමාජ සංස්කෘතික පරිසරයකය. මව, මුත්තණුවෝ හා මිත්තණියෝ කුඩා දරුවාට නොඅඩු රැකවරණ සැපයූහ. දරුවාට සිව් හැවිරිදි විය සපිරුණු කල තංගල්ල වනවාස විහාරයේ වැඩවාසය කළ පොළොම්මාරුවේ පියරතන නාහිමියන්ගෙන් සුභ මුහූර්තයෙන් අක්ෂර ශික්ෂාවට අත් පොත් තැබිණ.

පස් හැවිරිදි වියේදී තංගල්ල නගරයේ වාසය කළ විලියම්ස් නම් බර්ගර් ලියකගෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට යොමු කෙරිණ. සිව් හැවිරිදි වියේදී විනී විතාරණ සිංහල ඉංග්‍රීසි භාෂා ද්වයයෙහිම පරිචයක් ඇති දරුවකු බවට පත්ව සිටියේය. ක්‍රිස්තු ධර්ම ප්‍රචාරක සමාගමක් විසින් පවත්වාගෙන යනු ලැබූ සිංහල පාසලකට මූලික අධ්‍යාපනය ඇරඹූ විනි මාස කිහිපයක් ගත වන විට ශිෂ්‍යත්වයක් ලැබ තංගල්ල නගරයේ පිහිටි ක්‍රයිස්ට් චර්ච් විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබීය.

පාසල් කාලයේදී පූර්ණ වශයෙන්ම ඉංග්‍රීසි ක්‍රිස්තියානි පරිසරයකට හැඩ ගැසීමට සියලුම සිසුන්ට අනිවාර්යයෙන්ම සිදු විය. ආගමික අනන්‍යතා නොතකා සියලුම සිසුහු ගීතිකා කණ්ඩාමට බඳවා ගැනුණහ. බහුතරයක් වූ සිංහල බෞද්ධ දරුවෝ සිය නිවස සහ අවට පරිසරයේදී සිය පාරම්පරික සංස්කෘතික උරුමය සමඟ ඓන්ද්‍රීය සම්බන්ධතා පැවැත්වූහ. පාසලේදී ඉංග්‍රීසි භාෂාව සහ ක්‍රිස්තියානි සංස්කෘතික පරිසරයකට හුරු කෙරෙන දරුවෝ ඉන් බහැරවී නිවසට ගිය පසු තොවිල් පවිල්, සාම්ප්‍රදායික චාරිත්‍ර විධි, ජනකතා හා ජනප්‍රවාද, පන්සල් වෙහෙර විහාර ආදියෙන් විචිත්‍රවත් වූ ලෝකයකට පිවිසුණහ.

විනි විතාරණ නව යොවුන් වියට එළඹෙන්නේ දෙවන ලෝක සංග්‍රමයේ උණුසුම තදින්ම ලංකාවට දැනුණු කාලයකය. තංගල්ල ක්‍රයිස්ට්චර්ච් විද්‍යාලයෙන් නික්ම විශ්වවිද්‍යාල ප්‍රවේශ අධ්‍යාපනය ලැබීම සඳහා පරම විඥානාර්ථ සමාගම විසින් පිහිටුවන ලද ගාල්ල මහින්ද විද්‍යාලයට ඔහු ඇතුළත් වන්නේ මේ කාලයේදීය. මහින්දයේදී සිරි ගුනසිංහ හා එඩ්වින් ආරියදාස, විනී විතාරණ සමග එක පන්තියේ ශිල්ප හැදෑරූ සගයෝ වූහ. මහින්දයේදී ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය, ලතින් යන විෂයයන් මෙන්ද බුදු දහම, ලංකා ඉතිහාසය, පාලි, සංස්කෘත, සිංහල යන විෂයන්ද විෂය නිර්දේශවලට ඇතුළත්ව තිබිණ. මහින්දයේ සිසුන්ට පෙර’පර සංස්කෘතික අභිමුඛ වීමකට පසුබිම සකස් කළ ෆ්රෑන්ක් ලී වුඩ්වර්ඩ් විදුහල්පතිවරයාගේ දූරදර්ශි චින්තනයේ ප්‍රායෝගික සාර්ථකත්වය එසමයෙහි ඒ විදු සෙවණෙහි ශාස්ත්‍ර හදාරා පසු කලෙක ලංකාව බැබළවීමට සමත්වූ ශාස්ත්‍රඥයන්ගෙන් සනාථ වන්නේය.

මහින්ද විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වූ විනී විතාරණ 1945 වර්ෂයේ ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇතුළත් වූයේ දෙවන ලෝක සංග්‍රමයෙන් ලොව ඇළලී ගිය අවධියකය.

සන්ත්‍රාසය අරක් ගත් පරිසරයක සිට වුවද විශ්වවිද්‍යාලයීය අධ්‍යයන කටයුතු මෙන්ම විෂය පරිබාහිර කටයුතුද නොඅඩුව කරමින් අධ්‍යයන අරමුණු සපුරා ගැනීමට පරිසරයක් විශ්වවිද්‍යාලයෙහි තිබිණ. ස්වදේශිකත්වය පිළිබඳ සාධනීය ආකල්ප වර්ධනය වීමට මහාචාර්ය මලලසේකරගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වුණු මේලා සංස්කෘතික වැඩසටහන් උපකාරී විය. ඒ සඳහා ආනන්ද සමරකෝන්, ප්‍රේමකුමාර එපිටවෙල, සුනිල් සාන්ත වැනි කලාකරුවන්ගේ දායකත්වය ලැබිණ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කළ විනී විතාරණ තරුණ විද්‍යාර්ථියා 1949 වර්ෂයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ උප ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. සිව් වසරක් මහින්ද විද්‍යාලයේ සේවය කළ ඔහු අගනුවරට පැමිණිය හොත් ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතුවල නිරතවීමට වැඩි ඉඩක් සැලසෙන බැවින් 1953 වර්ශයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යායේ ගුරු මණ්ඩලයට බැඳිණ. වසර කිහිපයක් ඒ පාසලේ ‌සේවය කොට පේරාදෙණිය විශ්විද්‍යාල පරිශ්‍රයේ පිහිටුවා තිබුණු සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ සහාය කර්තෘ තනතුරක් ලැබ එහි සේවයට බැඳිණ. මේ කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ඔහු සමත් විය. 1960 වර්ෂයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳී වසර විස්සක් පමණ එහි සේවය කොට 1981 වර්ෂයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ මහාචාර්ය තනතුරට පත් වී 1992 වර්ෂයේ විශ්වවිද්‍යාල සේවයෙන් ඉසිඹු ලැබීය.

විශ්වවිද්‍යල සේවයෙන් ඉසිඹු ලැබුවද මහාචාර්ය විනි විතාරණ දිවි ගමන කෙළවර කරන තෙක්ම ශාස්ත්‍රීය කර්තව්‍යයන්ගෙන් කිසිදු ඉසිඹුවක් නොලැබූවෙකි. සැබැවින්ම එතුමන්ගෙන් ජාතියට ඉටු වූ විපුල මෙහෙය සිදුවන්නේ මේ කාලයේදීය.

විනි විතාරණ විද්වතාණන්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය කිහිප අතකට අතු විහිදුණු වෘක්ෂයක් බඳුය. එහි මුල්ම ශාඛාව වූයේ භූගෝල විද්‍යාවයි. සිතුවම් භූගෝලය - ලංකාව (1960), භූගෝල විද්‍යා ශබ්දකෝෂය (1961), සාහිත්‍යයෙන් භූගෝලය; ලංකාව (1974) යන කෘති මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන සූරී උපාධිය සඳහා (1966) සමර්පිත Sri Lanka – the Geographical Vision (1996) යන කෘති විනි විතාරණගේ භූගෝල විද්‍යා ශාස්ත්‍ර ඥානයට නිදසුන්ය. සංස්කෘතික මානව විද්‍යාව විෂයයෙහිද මහාචාර්ය විනි විතාරණ ප්‍රකට කළේ සුවිශද ඥානයකි. The Oru and the Yatra (1992), Sun and Moon in Sinhala Culture (1993) යන විශිෂ්ට කෘති ද්වයය මානව විද්‍යාව විෂයයෙහි මහාචාර්ය විනි විතාරණගේ විෂය ප්‍රාමාණිකත්වය විදහා පාන සාධකය.

ඔහුගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය නමැති වෘක්ෂයේ තවත් ශාඛාවක් වූයේ කාව්‍ය පරිවර්තනයයි. ආරම්භයේ දී ජගත් කාව්‍ය නිර්මාණ සිංහලයට පරිවර්තනය කිරීමෙන් ඇරඹුණු මේ ප්‍රයත්නය කුළුගැන්වුණේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමෙනි.

ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ්ගේ The Light of Asia කෘතිය ආසියා එළිය නමින් 1955 වර්ෂයේදී සිංහලයට පරිවර්තනය කරමින් ඇරඹෙන කාව්‍ය පරිවර්තනය ඉංග්‍රීසි රොමෑන්ටික් කවීන්ගේ කාව්‍ය නිර්මාණ කිහිපයක පරිවර්තනයක් වන ගොඩ මහනෙල (1977), පැරණි ග්‍රීක කවීන්ගේ නිර්මාණ කිහිපයක පරිවර්තනයක් වන මිදි විත (1978), ශ්‍රීමත් එඩ්වින් ආනල්ඩ්ගේ The Light of Asia කෘතිය විරිත් ගන්වා නැවතත් නව පරිවර්තනයක් ලෙස පළ කළ ආසියා පෙහෙළිය (2001), පර්සියානු ජාතික ඔමාර් ඛයියාම්ගේ රුබයියාට් කාව්‍යයේ පරිවර්තනය වන රුබයියාතය (2002), රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ගීතාඤ්ජලී කාව්‍යය ගීතාංජලිය (2004) යනුවෙන් සිංහලයට පරිවර්තනය කොට විශ්ව සාහිත්‍යයට අයත් කාව්‍ය නිර්මාණ සිංහල පාඨක ප්‍රජාව අතට පත් කිරීමෙන් විනි විතාරණ විසින් කරන ලද්දේ විපුල මෙහෙයකි.

සම්භාව්‍ය සිංහල කාව්‍ය නිර්මාණ විශ්ව සාහිත්‍යයට එක් කිරීමට නම් ඒවා පළමුව ඉංග්‍රීසියට පරිවර්තනය කළ යුතුය. ඒ අසීරු කර්තව්‍යයට බසින පුද්ගලයාට භාෂා ද්වයයෙහිම ප්‍රාමාණිකත්වයක් අවශ්‍ය වෙයි. ආසන්න කාල වකවානුවෙහි ඒ හැකියාව තිබුණු එකම පුද්ගලයා මහාචාර්ය විනි විතාරණ පමණි.

සිංහල සාහිත්‍යයේ කුමක් හෝ භාග්‍යයකට මහ­ාචාර්ය විනි විතාරණ මුවදෙව්දා වත (2007), සසදා වත (2012), කව් සිළුමිණ (2017) යන ගී කාව්‍ය නිර්මාණ තුනම ඉංග්‍රීසියට නැගීය. දෙවනුව සැලළිහිණි (2015), තිසර (2016), මයූර (2017), ගිරා (2018) යන සන්දේශ කාව්‍ය ද ඉංග්‍රීසියට නැගීය. වර්තමානයේ ලංකාවේ එකම විශ්වවිද්‍යාලයකවත් මේ කෘති ඉංග්‍රීසියට තබා වත්මන් නිවැරදි සිංහලයට නැගීමටවත් සමත් මහාචාර්යවරයකු හෝ කථිකාචාර්යවරයකු සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු බව පෙනේ.

අවසානයේ සද්ධර්ම රත්නාවලිය (2019) ඉංග්‍රීසියට පරිවර්තනය කොට මුද්‍රණ කටයුතු ද අවසන් කොට වසර කිහිපයක් ගතව ඇතත් ඒ ග්‍රන්ථය එළි දැක්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට තවමත් නොහැකි වීම මහත් අභාග්‍යයකි. සිය ජීවිත කාලයේ අවසානය තෙක්ම ශාස්‍ත්‍රීය කටයුතුවල නිමග්න වූ විනි විතාරණ මහාචාර්යතුමා අනූ එක් වසරක් ආයු විඳ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 02 දින දිවි සැරිය නිමා කළේ උපන් බිමට ණය නැති උදාර මිනිසකු ලෙසය.

Comments