වේදිකාවේ පෙරළි කළ ‘සොඳුරු ආඥාදායකයා’ | සිළුමිණ

වේදිකාවේ පෙරළි කළ ‘සොඳුරු ආඥාදායකයා’

 

දිවිමඟ සටහන්

 

නම - අවලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා

භාවිත නාමය - සුගතපාල ද සිල්වා

උපන් ස්ථානය- මිදිගම, දේනුවල වැලිගම

පියාගේ නම- අවලික්කාර ගලප්පත්තිගේ

චාල්ස් ද සිල්වා

මවගේ නම- මනික්කු බඩතුරුගේ කුසුමාවතී

පියාගේ රැකියාව- වෙළෙඳ ව්‍යාපාරික

පාසල් අධ්‍යාපනය - වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය, ගාල්ල උණවටුන විද්‍යාලය, ගම්පොළ ජිනරාජ විද්‍යාලය, කොළඹ පෙම්රොක් විද්‍යාලය

පළමු රැකියාව- ඉංග්‍රීසි උපගුරු- එගොඩඋයන

මිශ්‍ර පාසල, නිල්දණ්ඩාහින්න

විවාහය- 1970 අප්‍රේල් 10

බිරියගේ නම- ශීලා ද සිල්වා

දරුවන් - 4කි. දිමුතු ප්‍රසාද්, වනමලී කෞෂල්‍යා, සුදේශ් ප්‍රබුද්ධ, හරීන්ද්‍ර ප්‍රගීත්

පදිංචිය- ගල්කිස්ස මහල් නිවාස, රත්මලාන

මුනුපුරු මිනිබිරියන්- 6කි. කළිඳු අයෝමාල්, හසිනි උපේකා, ඕෂධ පබසර, කවිඳු පමෝදිත්‍ය, මෙවිඳු පූර්ණජිත්, කිනොලි යුවෙන්‍යා

නිෂ්පාදිත නාට්‍ය ප්‍රමාණය- 20 කට ආසන්නය

නවකතා ඇතුළු නිර්මාණ කෘති- 32 කි.

අභාවය- 2002 ඔක්තෝබර් 28

මොළ නෙළු එකෙක්

රාක්ක මොළවලින් පුරවා

පොත් ගුලක සිරවී

කාවන් සමඟ සටනක..

 

මොළ ගසා කෑ එකෙක්

සේප්පු කාසිවලින් පුරවා

රිදී යතුරු කැරැල්ල

විල්ලුද කොට්ටය යට සඟවා

නොමැරෙන බේත් සොයන සටනක...

 

 

අනේ දෙව්දත් නොදුටු මොක්පුර නම් කාව්‍ය සංග්‍රහයේ සඳහන් මේ කවියෙන් එදා සුගතපාල ද සිල්වා කියූ පරිදි අද තිබෙන්නේ මොළ ගසා කන්නන්ගෙන් ගහන කුණු වී ගිය සමාජයකි. මේ සමාජයේ නිල අල්ලා මොළ සූරා කන්නන් මිස මොළ පුරවන්නන් දක්නට නැත. ජීවිතයේ රිද්මය සිය කාව්‍ය නිමැවුම්වලින් විමැසූ හේ පුද්ගලයාගේ ධී ශක්තිය පිළිබඳ ව අනවතරයෙන් කතා කළේ ය. ගතානුගතික වැඩවසම් වහල් චින්තනයෙන් වියුක්ත වී සිය සාහිත්‍ය කලා කෙත සමාජ සංවාද සමඟ සම්මිශ්‍රනය කිරීමට ඔහු ගත් ප්‍රයත්නය ඔහුගේ නිර්මාණවලින් පළට වේ.

 

සුගතපාල ද සිල්වා යුගයක් නියෝජනය කරන සුවිශේෂී නිර්මාණවේදියෙකි. කලාකරුවෙකි; කවියෙකි; පුවත්පත් කලාවේදියෙකි; ශාස්ත්‍රීය පර්යේෂකයෙකි; නාට්‍ය නිෂ්පාදකවරයෙකි; පරිවර්තකයෙකි. සරච්චන්ද්‍රයන් දෙවොන්දරා සං වෙත ආරෝපණය කරන දයාර්ද්‍රභාවය, වික්‍රමසිංහයන් අරවින්ද වෙත හෙළන ගුප්ත භාවය, කේ. ජයතිලකයන් ඉසා වෙත ආරෝපණය කරන මානව දයාව ඊට නොඅඩුව සුගතපාල ද සිල්වා සේපාල, මාලා හෝ රතු මුදලාලි වෙත ආරෝපණය කරයි. එහෙත් විචාරකයන්ගේ විචාරයට ඒවා නිසි පරිදි හසු වූයේ නැත. මෙතෙක් ලාංකේය නිර්මාණකරණ ඉතිහාසයේ නොතිබූ ආඛ්‍යානයක් ඔහු නවකතා කලාවට හඳුන්වා දෙන්නේ ‘හිට්ලර් එල්ලා මරයි‘ ලියමිනි. සුගතපාල ද සිල්වා තමන්ට ම ආවේණික වූ ශෛලියකින් යුතුව නවකතාකරණයේ යෙදුණු, අනන්‍යතාවකින් යුතුව නාට්‍ය නිෂ්පාදනයේ නිරත වූ කලාකරුවෙකි. ඔහු සිය නිර්මාණකරණය භාවිත කළේ වැඩකරන ජනතාවගේ දුක් කඳුළු හා සෝ සුසුම් වෙනුවෙනි. වැඩකරන ජනතාවගේ මිනිසකු ලෙස මිස ඔහු කවර කලෙකවත් ධනපතියන්ගේ අතකොලුවක් වූයේ නැත. එහෙත් ඔහුගේ නිර්මාණ දේශපාලනික අර්ථයකින් පාට ගන්වා හංවඩු ගැසුණේ ය.

ඇල්බෙයා කැමූ කලාවේ පරමාර්ථය ගැන කියූ අදහස සුගතපාල ද සිල්වා ට පර්යාය ය. ‘ජීවිතයේ පරමාර්ථ මෙන්ම කලාවේ පරමාර්ථය ද ලෝකයේත්, සෑම මිනිසකුගේත් මනසේ පවත්නා නිදහසේ හා වගකීමේ අගය වර්ධනය කිරීමයි. කලාවේ පරමාර්ථය කවර හේතුවක් නිසා හෝ අර නිදහස තාවකාලික වශයෙන් හෝ අඩුකිරීම හෝ මැඬලීම විය නොහැකිය. ඇතැම් කෘති මිනිස් මනසේ ඇති හිංසාකාරීත්වය හෝ ද්වේශය දියුණු කරන ඒවා වේ. එබඳු නිර්මාණවල අගයක් නැත යනුවෙනි.

සුගතපාල ද සිල්වා මේ අදහස් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන සිටින්නට ඇත. ඔහු සමකාලීන නිර්මාණකරුවන් අතර සුවිසෙස් වන්නේ ඒ නිසා ය. මහපොළවේ බර මෙන්ම එහි පුසුඹ ද ඔහු මැනවින් හඳුනාගෙන සිටියේ ය. හේ නිරන්තර වේදිකාවේ අත්හදාබැලීම් කළේ ය. බිත්ති හතරෙන් පටන් ගත් නවකතාකරණය ඔස්සේ විවිධ සමාජ ප්‍රශ්න හා ආඛ්‍යාන විධි අත්හදා බැලුවේ ය. හිට්ලර් එල්ලා මරයි සිට පවර නිරිදෙක් වීය බඹදත් දක්වා වෙනස් ආඛ්‍යාන රටා ඔහු අත්හදා බලන්නේ ඒ නිසා ය. ඔහුට නව්‍ය ආඛ්‍යාන උපක්‍රම ආගන්තුක වූයේ නැත. බෝඩිංකාරයෝ සිට සාන්තුවර සෙබළාණෝ දක්වා ම නාට්‍ය ආඛ්‍යාන ක්ෂේත්‍රයේ අත්හදාබැලීම් කළ සුගතපාල ද සිල්වා නිර්මාණාත්මක නාට්‍යය කලාවේ නිම්වළලු පුළුල් කළේ ය.

අවලික්කාරගේ සුගතපාල ද සිල්වා උපත ලබන්නේ 1928 අගෝස්තු 4 වැනිදා ය. මාතර මිදිගම දේනුවල වැලිගමදී උපත ලබන ඔහුගේ පියා ව්‍යාපාරිකයකු වන අවලික්කාර ගලප්පත්තිගේ චාල්ස් ද සිල්වා වන අතර; මව මනික්තු බඩතුරුගේ කුසුමාවතී නම් වෙයි. වැලිගම සිද්ධාර්ථ මහා විද්‍යාලය, උණවටුන ගාල්ල විද්‍යාලය, ගම්පොළ ජිනරාජ විද්‍යාලය හා කොළඹ පෙම්රොක් විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලැබූ සුගතපාල ද සිල්වා ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨය දක්වා උගත්තෙකි. රැකියා ගණනාවක නිරත වූ ඔහු සිය වෘත්තීය දිවිය ආරම්භ කරන්නේ නිල්දණ්ඩාහින්න, එගොඩකන්ද මිශ්‍ර පාසලේ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස ය. අනතුරුව ගම්පොල රෝහණ මුද්‍රණාලයේ කළමනාකරු වශයෙන් ද සිංහල ජාතිය දිනපතා පත්‍රයේ පරිවර්තක හා උපකර්තෘ වශයෙන් ද කලක් සේවය කළේ ය. බම්බලපිටියේ කේ. වී. ජී. සිල්වා පොත් සමාගමේ වෙළෙඳ සේවක හා ගිණුම් ලිපිකරු වශයෙන් කලක් ගත කළ ඔහු, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ බ්‍රිතාන්‍ය පුවත් ප්‍රවෘත්ති පත්‍රයේ පරිවර්තක හා උපකර්තෘ වශයෙන් කටයුතු කළේ ය. විවිධ ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරතව සිට වෘත්තිය නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වන හේ 1968 දී නාට්‍ය නිෂ්පාදකවරයකු වශයෙන් ගුවන් විදුලි සංස්ථාවට බැඳේ. ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික තරුණ නාට්‍ය උළෙලේ ආරම්භයේ සිට ම එහි සමායෝජක සහ ජූරි සාමාජිකයකු ලෙස සුගතපාල ද සිල්වා සේවය කර තිබේ.

සුගතපාල ද සිල්වා ශීලා සමඟ විවාහ වෙන්නේ 1970 අප්‍රේල් 10 දා කොළඹ කුප්පියාවත්තේදී ය. ඔවුන්ට දරුවන් සිවුදෙනෙකි. දිමුතු ප්‍රසාද්, වනමලී කෞෂල්‍යා, සුදේෂ් ප්‍රබුද්ධ, හරින්ද්‍ර ප්‍රගති ඔවුහු වෙති.

සුගතපාල ද සිල්වා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1959 දී එක වල්ලේ පොල් නාට්‍ය පිටපත රචනා කරමිනි. 1962 දී බෝඩිංකාරයෝ නාට්‍ය පිටපත රචනා කරමින් හා ඒ නාට්‍ය නිෂ්පාදනය කරමින් සිංහල තාත්වික වේදිකා නාට්‍ය නව මඟකට යොමු කළ සුගතපාල ඒ අවුරුද්දේදී නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රඟපෑම යන අංශ ත්‍රිත්වයෙන් ම පළමු ස්ථානය දිනා ගනී. ඉන් අනතුරුව තට්ටු ගෙවල්, හරිම බඩු හයක්, හෙලේ නැග්ග ඩෝං පුතා, නිල් කට්රොල් මල්, හිත හොඳ අම්මණ්ඩි, දුන්න දුනු ගමුවේ, මුතුකුමාරි, තුරඟ සන්නිය, නන්දිවිසාල, දෑවැද්දෝ, සත සහ සත, ඇසල සඳ අවන්හල, මරාසාද් සහ සාන්තුවර සෙබළාණෝ ලෙස නාට්‍ය දහසයක් හේ නිෂ්පාදනය කර ඇති අතර ඒවා ප්‍රේක්ෂක ජනතාව ඉතා ආදරයෙන් වැලඳ ගත් නාට්‍ය වේ.

60 දශකයේදී නවකතාකරණයට පිවිසෙන සුගතපාල ද සිල්වා නවකතා හතක් රචනා කර තිබේ. ඒවා බිත්ති හතර, අසුර නිකාය, ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ, බල්ලෝ බත් කති, එසේ වී නම් මිනිසුනේ අසව්, හිට්ලර් එල්ලා මරයි හා පවර නිරිඳෙක් වීය බඹදත්. ඊට අමතර ව පරිවර්තන 6ක් ද ඔහු විසින් ඒකභාෂීය පාඨකයාට තිළිණ කරන ලද අතර එයින් පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම දැඩි අවධානයට ලක් වූයේ E.L.Voynich ගේ The Gadfly නම් නවකතාව ඇටමැස්සා නමින් කළ පරිවර්තනයයි. සුගතපාල ද සිල්වා විද්‍යාර්ථීන් අතර ජනප්‍රිය වූයේ ඔහු විසින් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ ද්විත්වය නිසා ය. ඒ සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදකයා සහ හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍ය යන කෘත්ද්වයයි. මේවා එකී ක්ෂේත්‍ර වෙනුවෙන් කළ ප්‍රායෝගිකත්වය හා න්‍යායාත්මක ප්‍රවේශය මැනවින් ග්‍රහණය කරගත් විමර්ශන ග්‍රන්ථ ය. ඊට අමතරව සුගතපාල ද සිල්වා ලියූ සයිබු නානා රස කතා කියැවීමට ම එකල සිංහල ජාතිය පුවත්පත මිලදී ගත් අය සිටි බව මා අසා තිබේ.

අද දිලෙන තරු හෙට දිනයේ නැති වී යන සමයෙක ඊට අවශ්‍ය කරන බාහිර ප්‍රතිසංස්කරණ ආදිය කලාවෙන් නිර්මාණය විය යුතුව තිබේ. එබැවින් සුගතපාල ද සිල්වා වැනි නිර්මාණාත්මක අත්හදාබැලීම් කරන්නට බිය නැති පුද්ගලයෝ මෙරටට අවශ්‍යයහ. ඔහු බිත්ති හතරෙන් පටන් ගත් තම නවකතා නිර්මාණ ඔස්සේ විවිධ සමාජ ප්‍රශ්න සේම ආඛ්‍යාන රටා ද සමාජගත කළේ ය. නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහු කළ විවිධ අත්හදාබැලීම් නිසා වේදිකාව අතැඹුලක් සේ සමීප මෙන්ම වේදිකාව ආගන්තුක වූ ප්‍රේක්ෂකයන් ද වේදිකාවට පෙම් බැන්දේ ය. ඒ බව සනාථ කරන කියමනක් මට හමු වූයේ ජැක්සන් ඇන්තනීගේ ‘පනාපුත්‍රගේ මතක වස්තුව‘ කෘතියේ ය.

‘ ඒ දිනවල සුගතපාල ද සිල්වා නිෂ්පාදනය කළ ගුවන් විදුලි රඟමඬල අපේ සිත් තදින් පැහැරගෙන තිබිණි. ප්‍රකට වේදිකා නාට්‍යකරුවකු වූ සුගතපාල ද සිල්වා වේදිකා රංග ශිල්පය හඬ නළුවන් බවට පත් කළේ ගුවන් විදුලි රඟ මඬෙලෙනි. බදාදා රාත්‍රී 8.30ට ප්‍රචාරය වූ ගුවන්විදුලි රඟමඬල යළි සඳුදා හවස 4 ට ද ප්‍රචාරය වෙයි. හිතට ඇල්ලූ නාට්‍යයක් බදාදා ඇසුණෙන් එය සඳුදා කෙසේ හෝ අසන්නට මම පුරුදු ව සිටියෙමි‘

එදා නවකයන්ට පාර පෙන්වූ සුගතපාල ද සිල්වා බිහි කළ පරම්පරාව අද ද මේ කලාව රැක ගැනීමේ ලා නිමග්න ව සිටිති. එය සන්තුෂ්ටියට කරුණකි. තමාගෙන් පසු පරම්පරාවක් බිහි කිරීමට වෙර දරන පෙර පරම්පරාවක පහස තරම් කලාකරුවකුට වෙන අන් යමක් වටින්නේ නැත.

සුගතපාල ද සිල්වා වර්ගීකරණය වූයේ දේශපාලනික නිර්මාණකරුවන්ගේ ගොඩට ය. එහෙත් ඔහු කතා කළේ සාමාන්‍ය මිනිසුන් ගැන ය. ලෝකය කෙතරම් වෙනසක් බලාපොරොත්තු වෙන්නේ ද ඒ ප්‍රමාණයට වෙනස්කම් ලබා දීමේ තරම් නිර්මාණකරුවන් අසමත් ය. සාමාන්‍යයෙන් එවන් වෙනස්කම් කිරීමට තැත් කරන්නෝ ද දුලබයහ. එහෙත් සුගතපාල ද සිල්වාට ඒ වෙනස්කම් කිරීමට දැඩි වුවමනාවක් තිබිණි. හේ මරාසාද් නාට්‍යයේ මරාගේ මුවට නංවන්නේ අමුතුම කතාවකි.

 

වැදගත්ම දේ මෙන්න මේකයි

තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද

කොට්ට උරයක් මෙන්

සිරුර කණපිට පෙරළා

අලුත් ඇහැකින් ලෝකය දෙස බලන එකයි

 

මනෝරාජික ලෝකයෙන් ඔබ්බට ගිය ඔහුගේ හඬ මානුෂීය ය. ගැඹුරු ය. මේ සඳහා ඔහු භාවිත කළ ඇතැම් ශිල්ප ක්‍රම ද අතිශය ගැඹුරු ය; සවිඥානික ය.

කලාකරුවා යනු ස්වභාවිකත්වයට යම් තරමකට කාල්පනිකත්වය බද්ධ කරන්නෙකි. කිසිවකුට සම්පූර්ණයෙන් ම ස්වභාවික විය නොහැකි ය. නමුත් පෞරුෂය ගොඩනැඟෙන්නේ අනුගාමීත්වයෙන් තොර අදීන කලාවක් ගොඩනඟන විට ය. ඒ අදීනත්වය දීන සහ පීඩිත යන දෙකොට්ඨාසයෙන් ම ඔප දමන ලද්දක් විය යුතුය. රෂොමාන් ද්වාරය හරහා මනමේ සාධාරණීකරණයට වඩා දුක්විඳින කම්කරුවන්ගේ පැත්තට සුගතපාල ද සිල්වා බර වෙන්නේ එ් නිසා ය.

සුගතපාල ද සිල්වා ලෝකය දෙස බැලුවේ පුළුල් අවබෝධයකින් යුතු ව ය. කලාව යනු ජීවිතයට ආදරය කිරීම යැයි ඔහු නිරතුරුව ම කීවේ ඒ නිසා ය. ඔහුගේ ජීවිතය සුවපහසු වූයේ නැත. ඔහු කිසිවකුට ද්වේශ කළේ ද නැත. ඔහුගේ ලෝකය කෙතරම් ලොකු ද යන්නට බිත්ති හතරේ වන මේ වැකිය පමණක් ප්‍රමාණවත් ය.

කොළඹ හරි පුංචියි නේද මචන්

සුගතපාල ද සිල්වා ජීවිතයෙන් සමුගත්තේ ය යන වදන නිවැරදි වන්නේ වියරණ වහරේදී පමණක් ය යනුවෙන් ලියා තබන්නට සිදු වෙන්නේ ඔහු කළ කාර්යභාරයේ දිග පළල ගැන සිතත්දී ය.

Comments