ල - ළ යෙදුමේ තවත් තොරතුරු | සිළුමිණ

ල - ළ යෙදුමේ තවත් තොරතුරු

ල - ළ යන අකුරු දෙක බස් වහරෙහි යෙදෙන සැටි අපි දිගු කලක් පුරා විමැසුවමු. එ ගැන ඇතැමුනට තුබූ ගැටලු ද විසැඳුවමු. දැන් ණ - න දෙ දෙන ද තමන් ගැන ද විමැසේ දෝ යි බලා සිටිති. එයට පෙර කළ යුත්තක් වෙයි. ඒ, ල - ළ අකුරු බසෙහි යෙදෙන සැටි හා අදාළ වූ රීති කිහිපයක් හරි වහර කියවන්නන් හට ඉදිරිපත් කිරීම යි. මේ රීති කලිනුදු වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇත. (දන්තජ) ‘ල‘ මුලින් ම ගනිමු.

මේ (දන්තජ) ‘ල‘ සිංහලයෙහි ස්වර වියුක්ත වැ (හල් ස්වරූපයෙන්) මෙන් ම ස්වර සංයුක්ත වැ ද යෙදේ. ගල්, කල්, අසල් ආදියේ ස්වර වියුක්ත වැ යෙදේ. ඇලි, කුලු, වලා ආදියේ ස්වර සංයුක්ත වැ (ස්වරයක් සහිත ව) යෙදේ.

සිංහලයෙහි යම් වදනෙක එක් බස (ඒක වචනය) ‘-ල්ල‘ යන අක්ෂර සංයෝගයෙන් කෙළවර වේ නම් ඒ වදනෙහි පියෙවිය (ප්‍රකෘතිය) (දන්තජ) ‘ලු/ලි‘ යනුවෙන් ම කෙළවර වේ.

නිදසුන් - ගලු > ගල්ල ඇලි > ඇල්ල

මලු > මල්ල තැලි > තැල්ල

තුරුලු > තුරුල්ල බිලි > බිල්ලා

කුරුලු > කුරුල්ලා බැලි > බැල්ල

මහලු > මහල්ලා කිසිලි > කිසිල්ල

ඇතැම්හු මේ නියර (විධිය, ක්‍රමය) ගුරු කොට ගෙන තල්ලා, දල්ල වැනි වදන් ද යොදති. කළු, දළු ආදි (මූර්ධජ) ‘ළු‘ යෙදෙන නාම ප්‍රකෘතිවලින් නිපැදෙන නාම එ සේ (ද්විත්ව ‘ල්‘ සහිත වැ) යෙදිය හැකි නො වේ. (මූර්ධජ) ‘ළ‘ (දන්තජ) ‘ල‘ වීමට එ තන්හි ඉඩක් නැති. වියත් වහරෙහි එ බඳු යෙදුම් නො යෙදේ. ‘ළු‘ යනු ‘ලු‘ බවට පත් වැ වියත් වහරෙහි යෙදෙන ‘ගුලු‘ වැනි නාම කිහිපයක් ගැන අපි කලින් විමැසුවමු.

සංස්කෘත භාෂාවෙහි ස්වරූප දෙකක් වේ. ඒ වෛදිත සංස්කෘතය, ලෞකික සංස්කෘතය යනුවෙනි. වේදය සඳහා භාවිත වූ පුරාතන භාෂාව වෛදිත සංස්කෘතය යි. (එ කල සංස්කෘත යන නාමය නොවූ බව සැලැකේ). ඒ වෛදිත භාෂාවෙහි (මූර්ධජ) ‘ළ ‘ හා සමාන අක්ෂරයක් යෙදුණු බව පිළිගැනේ. එහෙත් ලෞකික සංස්කෘතයේ (මූර්ධජ) ‘ළ‘ නො යෙදේ. එ හෙයින් සිංහලයේ තත්සම ව (ඒ වූ අයුරින් ම) යෙදෙන සංස්කෘත වචනවල ද (මූර්ධජ) ‘ළ‘ නො යෙදේ. එ වුව ද ඇතැම් විට එ වදන් ම පාලියේ යෙදෙන කල ‘ළ‘ යෙදේ. නිදසුන් කිහිපයක් බලමු.

සංස්කෘත පාලි

කෝමල කෝමළ

චූල චූළ

(චුල්ල යනු ද යෙදේ)

මූල මූළ

(මුළු යන අරුතෙනි)

කාල කාළ (කළු අරුතෙහි)

මාලක මාළක

ඇතැම් විට පුද්ගල නාමවල ද මේ වෙනස දක්නා ලැබේ. රාහුල, අනුලා වැනි නාම සංස්කෘතයෙහි යෙදුණ ද පාලියෙහි යෙදෙන්නේ රාහුළ, අනුළා යැයි ‘ළ‘ සහිත ව ය.

මෙ බඳු වදන් තනි ව යෙදීමේ දී ගැටලුවක් නො වේ. එහෙත් වෙනත් වදනක් සමඟ එක් කරන විට ඒ වදන සංස්කෘතයට අයත් නම් (දන්තජ) ‘ල‘ ද පාලියට අයත් නම් (මූර්ධජ) ‘ළ‘ ද යෙදීම වඩා මැනැවි. නිදසුනක් ලෙස ‘චූල‘ ගනිමු. එය වංශ යන සංස්කෘත තත්සමය සමඟ එකට යොදන කල එ ලෙසින් ම (චූල යැ යි) යෙදීම මැනැවි. එහෙත් වංස යන පාලි තත්සමය සමඟ යොදන කල ‘චූල වංස‘ යැයි යෙදීම මැනැවි. එ වුව ද කී දෙනෙක් නම් සංස්කෘත පාලි වචන වෙන වෙන ම දනිත් ද? හරි වහරට කැමැත්තෝ වෙහෙස ගෙන හෝ ඒ සොයා දැන යොදත් වා!

(මූර්ධජ) ‘ළ‘ ඇතැම් අතීත කාල ක්‍රියා රූපවල යෙදේ. ඒ ‘ර‘ කාරාන්ත (ර යන්නෙන් කෙළවර වන) ධාතුවලින් නිපැදෙන අතීත කාල රූප යි. නිදසුන් කිහිපයක් මෙසේ ය.

ධාතුව අතීත රූපය

කර කළ

අතුර අතුළ

මතුර මතුළ

හර හළ

හසර හසළ

මෙ බඳු රූප නාම ක්‍රියා (කෘදන්ත) ලෙස වර නැඟීමේ දී ද ‘ළ‘ යෙදිය යුතු ය. ‘කළ‘ යනු කෙළේ, කොළෝ, කෙළෙමි, කළමු ආදි වශයෙන් යෙදෙන්නාක් මෙනි.

දැන් ල - ළ යෙදුම පිළිබඳ බොහෝ කරුණු අපි දනිමු. එහෙත් ඇතැමුනට වඩාත් වැදැගත් වනුයේ ඒ කරුණු දැනුම නො ව, ඇවැසි විට නිවැරැදි යෙදුම බලා දැන ගන්නට වදන් මලෙකි (වචන මාලාවෙකි). එ බන්දක් කෙරෙහි ද ඉදිරියේ දී කුලුණැස යොමු කිරීම නොමැනැවි ද?

Comments