රජත පුස්තක සම්මානලාභීහු සිය ජීවිතය සහ සාහිත්‍ය ගැන කතා කරති | සිළුමිණ

රජත පුස්තක සම්මානලාභීහු සිය ජීවිතය සහ සාහිත්‍ය ගැන කතා කරති

 

රජත පුස්තක සාහිත්‍ය සම්මානය දිනූ සම්මානලාභීන් හා සාහිත්‍ය කෘති පසුගිය සතියේදී ප්‍රකාශයට පත් කරන්නට යෙදුණි. ඒ අනුව “අලුත් නගරාධිපති” ලියූ බටුවන්ගල රාහුල හිමි හොඳම කෙටි කතා සංග්‍රහයට හිමි සම්ම­ානයත්, “ ඒ ජෙට් එකෙන් ගියේ සමන්සිරිමයි.” ලියූ ටිම්රාන් කීර්ති හොඳම පද්‍ය සංග්‍රහයට හිමි සම්මානයත්, “අපොයියාව” ලියූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හොඳම යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානයත් දිනා ගෙන තිබුණි. ඒ අනුව යමින් ඔවුන්ගේ සාහිත්‍යකරණය හා ජීවිතය පිළිබඳව කරන ලද සංවාදයකි මේ.

මගේ මුල්ම නවකතාව ලියුවේ අභ්‍යාස පොතකයි

බටුවන්ගල රාහුල හිමි.

මගේ සාහිත්‍ය හා කලා ජීවිතය ආරම්භ වන්නේ මගේ ළමා කාලයෙන් යැයි කීවොත් එය නිවැරදි යි. මා ගිහි ළමයකුව සිටියදී මහදැන මුත්තා නාට්‍යයේ ඉඳිකටු පැංචාගේ චරිතය රඟපෑවේ මට අවුරුදු නමයක් තරම් වයසේදී. ඒ ගාල්ල උඩුගම මහා විද්‍යාලයේ තිබූ වාර්ෂික විවිධ ප්‍රසංගයේදී. මාත් මාගේ පන්තියේ මා ළඟින්ම ඇසුරු කළ අමරසිරිත් සිරිලුත් ඇතුළු අපි යාළුවො කීපදෙනෙක් අප ඉගෙන ගනු ලබන කතන්දරවල කොටස් පන්ති භාර ගුරුතුමියගේ අවසරය ඇතිව පන්තිය ඉදිරිපිට රඟපෑමේ පුරුද්දක් ඇති කරගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් ඉදිරිපිට මහදැනමුත්තා නාට්‍යයේ ඉඳිකටුපැංචාගේ චරිතය මට රඟපාන්නට ලැබුණා.

මා තුනවසරේ සිට බටුවන්ගල පාසලට ඇතුළත් වූ අතර එහිදීද වෙස්සන්තර නාට්‍යයේ ජාලිය කුමාරයාගේ චරිතය රඟපාන්නට ලැබුණා. බටුවන්ගල අපගේ නිවස අසල සිටින අප මිත්‍ර හේමචන්ද්‍රත් මාත් සිරිසිදුහත් ළමාසමාජයේ රැස්වීම්වලදී කුඩා නාට්‍ය කොටස් ඉදිරිපත් කොට ඒ සභාව විටින් විට සන්තෝෂයට පත්කළා. මා පැවිදි වීමට මඩවල පන්සලට ආ කාලයේ පැවිද්දට පෙර අවුරුද්දක පමණ වු කාලය පුරාවට දහම්පාසල් නාට්‍ය කණ්ඩායමේ පළාත් තරග දක්වා තේරුණු වෙස්සන්තර නාට්‍යයේද වෙස්සන්තර රජුගේ චරිතය රඟපෑ බවත් කිව යුතුයි. පැවිදි දිවියට ඇතුළත් වූ පසුව ඒ වෙනුවට ක්‍රමයෙන් කවිය කෙරෙහි ළෙන්ගතුවන්නට වීමක් සිදුවුණා. පන්සලේ සල්පිලක හිටිවන කවියන් කවි කියද්දී වයස දොළහක් තරමේ වූ කුඩා මම ඉතා කැමැත්තෙන් ඒ දෙස බලා සිටියා. හිටිවන කවියකුවීමේ කැමැත්තක් ඒ නිසාම මටත් ඇති වුණා. මා කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ අධ්‍යාපනය ලබද්දී එසේ පළමු වරට පද හතරක කවියක් ලියා අපේ යාලුවන්ගේ සමච්චලයටත් ලක්වුණා. එහෙත් මගේ අධිෂ්ඨානය අත්හැරුණේ නෑ. පසුව මම එක්වරම සභාවක් මැද හිටිවනම කවි කියමින් ඒ අභියෝගයට මුහුණ දුන්නා. මට පළමුව සම්මානයක් ලැබෙන්නේද හිටිවන කවිය වෙනුවෙනුයි. මට ලිවීමට හුරුවත් කැමැත්තත් වැඩිපුරම ඇති වන්නේ මගේ කවි පන්ති දෙකක් බුදුසරණ පත්තරයේ පළවීමත් සමඟයි. ඒවා අප ගුරුවරුන්ගේ අගය කිරීම්වලට ලක්වෙද්දී මම එයින් තව තවත් දිරිමත් වුණා. මගේ මුද්‍රණය නොකරන ලද පළමු නවකතාව ලියවුණේ මම සාමාන්‍ය පෙළ විභාගයවත් නොලියා තිබූ කාලයේයි. මම එය නම් කළේ “වසන්තය නිමාවිය“ නමිනුයි. ඒ අතින් ලියන ලද නවකතාව ඉතා සාමාන්‍ය කතාවක් වූවත් එය එවකට පාසල් ළමුන් අතර ජනප්‍රිය වුණා. කොපි පොතක ලියන ලද එම නවකතාව අවසානයේ හිස්ව තබා තිබූ පිටුවල ළමුන් විවිධ සටහන් තබා පොත මා වෙත එවද්දී මා ලැබුවේ අපමණ සතුටක්. මා “සුදු නැන්දා” නමින් තවත් කතාවක් අතින් ලියා අතින් අත යැව්වේ ඒ උත්තේජනය නිසාමයි. එයටත් ළමයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබුණා. එසේ වූවත් මා අතින් මුද්‍රණද්වාරයෙන් පළමු වතාවට ”උපන්ලපය” නමැති කෙටිකතා පොත ගුණසේන ප්‍රකාශනයක් ලෙස එළියට එන්නේ ඉහත සිදුවීම්වලින් බොහෝ කාලයකට පසුව යි. ඒ 2002 වසරේදීයි. මගේ ඒ පළමු කෙටිකතා සංග්‍රහයටම 2003 වසරේදී රාජ්‍ය සම්මානය ලැබුණා. එයින් පසු මගේ සාහිත්‍ය ලෝකය පුළුල්වී සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් දැන හඳුනාගන්නටත් අවස්ථාව ලැබුණු බවත් ඒත් සමඟම මේ ගමන හෙමින් හෙමින් පැමිණි බවත් සිහි කරන්නට කැමැතියි.

ඒ අපූරු අභිරහස තුළ සුන්දර වේදනාවක් මම විඳිනවා

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

මගේ ගම ගොඩකවෙල මස්ඉඹුල. ඒක හරිම දුෂ්කර ගම්මානයක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීම නිසා තමයි කොළඹට එන්න මට අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම ඇවිත් තමයි ලිවීමේ කටයුතුවලටත් යොමු වුණේ.

මගේ කියවීම මුලින්ම ආරම්භ වන්නේ චිත්‍රකතා වලිනුයි. අසීමිත විදිහට චිත්‍ර කතා කියවන්න මම ඇබ්බැහි වෙලා හිටියා. පසුව සිනමාව ගැන ඇතිවූ උනන්දුව නිසා සරසවිය පත්තරේ කට පාඩම් වන තරමටම කියෙව්වා. අදටත් චිත්‍රපට පිළිබඳ තොරතුරු මට කටපාඩමෙන් කියන්න පුළුවන්. එතකොට මගේ වයස අවුරුදු 15 ක් 16ක් විතර ඇති. ඒත් ඔය අතරේ මගේ මිතුරෙක් ලොකු උරයක දාලා පොත් පාර්සලයක් මට ගෙනත් දුන්නා. එහි තිබුණා මහගමසේකර, ජී. බී. සේනානායක වැනි ගත්කතුවරයින්ගේ පොත්. එතැන ඉඳල මගේ ජීවිතය වෙනස් වුණා.

මගේ කියවීම වෙනස් කරන්න සේකර වැනි පුරෝගාමී කවීන්ගේ පොත් හේතු වුණා. ඒ අනුව යමින් මම කවි ලියන්න පටන් ගත්තා. ඒත් මුලින්ම “සුවඳ” වැනි පුවත්පත්වල පළවූ ඒ කවිවලින් බොහෝ විට කියවුණේ තරුණ වියේ ආදරය බව මම පිළිගන්නවා. ඒත් අර වෙනස්වීමත් සමඟ සමාජය වඩාත් ගැඹුරින් ස්පර්ශ කරන්න මම උත්සාහ කරනවා. මිනිසුන් සමඟ පවත්වන ගනුදෙනු අපට සමාජ අවබෝධය ලබා දෙනවා. මානව සම්බන්ධතා ගැන ඇතිවන උනන්දුව නිසා මානවීය සංවේදිතාවයකින් යුතුව කවි ලියන්න මම යොමු වෙනවා. මිනිස් සංවේදිතාව ගැන කියන්න සුදුසුම මාධ්‍යයක් හැටියට “සාහිත්‍ය” මම දකිනවා.

කවිය හෝ නවකතාව හෝ වෙනත් දෙයක් හෝ ලියන නිර්මාණකරුවා ඒ මාධ්‍යයට පිවිසෙන්නේ තමන්ගේ ඇතුළාන්තයේ සිටයි. මම එය දකින්නේ මෙහෙමයි. ඒ සාහිත්‍ය නිර්මාණකරුවා අපේ සිත් අභ්‍යන්තරයට අපූරු අභිරහසක් අරගෙන එනවා. ඒ තුළ සුන්දර වේදනාවක් තිබෙනවා. මම උත්සාහ කරන්නේ ඒ අපූරු අභිරහස ඇතුළේ තියෙන මිනිසත්කම ස්පර්ශ කරන්නයි. උදාහරණයක් හැටියට මා ලියූ සෙංකොට්ටං නවකතාවට වස්තු වන්නේ පොදු සමාජ පීඩනයට හා හිංසනයට ලක්වූ පුද්ගල කොට්ඨාසයක්. රෙදි සෝදන කුලයට අයත් මේ මිනිසුන් ඒ වර්ගීකරණය නිසාම පොදු සමාජයේ හිංසනයටත්, පරිහාසයටත් ලක් වෙනවා. ඒ ගැන සොයා යමින් කළ ගවේෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කතාවේ එන චරිත ඒ මිනිසුන්ගේ ඉරණම මේ විදිහට මතු කරන්න මම සමත් වුණේ.

“අපොයියාව” නම් යොවුන් සාහිත්‍ය කෘතියට වස්තු වෙන්නේත් මේ රටේ පොදු අධ්‍යාපන සහතික රාමුවට අයත් නොවන ඒ නිසාම සම්මත උගත්කම විසින් නොපිළිගන්නා තත්ත්වයක පසුවන මිත්තණියක සහ දරුවකුගේ උගත්කම ගැන කියැවෙන උත්ප්‍රාසාත්මක ජයග්‍රහණයක්.

මා සිතනවා අපි තවදුරටත් පවත්වා ගෙන යන සාම්ප්‍රදායික සමාජ සීමාවන් ගැන ගැඹුරින් මෙන්ම නිර්මාණාත්මක අවබෝධයකින් සිතා බලා කටයුතු කරන්න ඕනය කියලා. ඒ විදිහට හිතන නිර්මාණ සාහිත්‍යකරණයක් අපට අද අවශ්‍ය යි. එහෙම නැතුව මතුපිටින් තීන්ත ගාන එකේ තේරුමක් නෑ.

මගේ කිරි අම්මා

කොළඹ යුගයේ කවි ලියපු, කවි කියපු කෙනෙක්.

ටිම්රාන් කීර්ති

මම මුලින්ම ගියේ ගමේ ඉස්කෝලෙටයි. වතු උඩින්, බඩවැටි උඩින් පැනගෙන ගිය ඒ පාසැල් ගමනේදී පරිසරයත් සමඟ බැදුණු හිතවත්කමක් තිබුණා. පසුව උසස් අධ්‍යාපනය සඳහා දඹදෙනිය මධ්‍යම මහා විද්‍යාලයට ගිය ඒ ගමනේදී අතීත පැරණි රාජධානියක මතකය සමඟ ප්‍රදේශයේ වූ උස් කඳුවැටි බිම් සහිත ඒ ස්වභාව සෞන්දර්යය හා සියුම් මානසික ගනුදෙනුවක් ද මම ඇති කර ගත්තා.

කවි ලිවීමේදී අප මුලින්ම යොමු වන්නේ ආත්ම ගත අත්දැකීම් වලටයි. මගේ ගෙදර, කිරි අම්මා, අම්ම තාත්තා ඇතුළු ඒ සංස්කෘතික පරිසරය තමයි මුලින්ම මට දැනීමක් ඇති කරන්නේ. තරුණ වියත් සමඟ ඇතිවන යොවුන් සබඳතා ද මුල්ම කවි හැගීම් ඇති කරන්නට හේතු වෙනවා. ඊට පසුව අප වයසින් වැඩෙන කොට සමාජ දේශපාලනය හා බැඳුණු මානව සම්බන්ධතා ගැනත් අපේ අවධානය යොමු වෙනවා. ඒ ගැන විවේචනයක් ද ඇති කර ගන්නවා. කවියකුගේ දෙවන අවස්ථාව වන්නේ ඒ සමාජගත අත්දැකීම් මුල් කරගත් ජීවිතයයි. සම්මානලාභි මේ කෘතියට පෙර එවැනි ආත්මගත සහ සමාජගත අත්දැකීම් මගේ කවිවලත් දකින්න පුළුවන්. මේ කාව්‍ය සංග්‍රහය ඒ කවිවලම දිගුවක් යැයි මට සිතෙනවා.

අපි අහල තියෙන විදිහට ලොව පුරා ලියවුණ කවිවලට වඩා වැඩි සංඛ්‍යාවක් කවි ගැන නිර්වචන ලියවිලා තියෙනවා. ඒත් මම හිතනවා කවියක් ලිවිමේදී නිදහස් විඳීම තමයි වැදගත් වෙන්නේ කියලා. ඒක තමයි අපිට දැනෙන්නේ. මම කවදාවත් කවියෙක් යැයි වෙනම ප්‍රතිරූපයක් මා වෙනුවෙන් ඉල්ලා සිටින්නේ නෑ. ඒත් මගේ ජීවිතයට අපේ පවුලේ කිරි අම්මා කාව්‍යමය බලපෑමක් කළා යැයි මම සිතනවා. ඇය කොළඹ යුගයේ කවි කොයිතරම් ඇසුරු කළාද කියනවා නම් කිරි අම්මාත් කොළඹ යුගයේ කවියක් යැයි මට සිතෙනවා. අපේ මාමා හිටිවන කවි කටපාඩම් කරගෙන කවි කියපු කෙනෙක්. අදටත් මම හිතනවා කොළඹ යුගයේ හිටිවන කවි පරිසරයෙන් අපි ගත්ත ප්‍රයෝජනය හරි අඩුයි කියලා.

90 දශකයේ පුවත්පත් පිටුවල කවි පළවුණේ යම් තරගකාරීත්වයක් ඇතුවයි. ඒ කාලයේ කවි ලියූ තරුණ කවීන් ඒ අයගේ වස්තු විෂය තෝරා ගැනීම සම්බන්ධයෙන් වටිනාකම් ඉස්මතු කළා. අද වනවිට සයිබර් අවකාශයේ විශාල නිදහසක් තුළ කවි ලියවෙනවා. ඒවා ගැන විවේචනත් තිබෙනවා. ඒත් ඉන්දික ගුණවර්ධන, රුවන් බන්දුජීව වැනි කවීන් ඒ නිදහස් අවකාශය හොඳින් ප්‍රයෝජනයට අරගෙන නිර්භීත මෙන්ම වෙනස්ම ආරයක කවි ආරක් ගොඩ නැඟුවා යැයි සිතන්න පුළුවන්. මෙතැන කියන්න තියෙන්නෙ පත්තරේක, කැළෑ පත්තරේක ඔය මොනම අවකාශයක හරි ලියවෙන කවිය, ඒක කවියක් වෙන්න ඕනෙ කියන එකයි. කවියක් ලියනවාය කියන්නේ විඳීමක් ඇති වටිනාකමක් සහිත කටයුත්තකටයි.

 

Comments