මා නොවන මම | සිළුමිණ

මා නොවන මම

 

හිමිදිරි උදේ හයට ආරම්භ වූ වැඩ මුරය සවස හයට අවසන්ව මම කම්හලෙන් පිටවීමි. දවස පුරා බීම බෝතල්, මැෂිමෙන් පිරවෙන අයුරුත් නිවැරදිව මූඩි තදවන අයුරුත් හිටගෙන දෙකට නැවී බලාගෙන සිටීමෙන් ඇතිවන තෝන්තුව කිසිවෙකුටත් අවබෝධ කළ නොහැකිය. දුවමින් ගිල දැමූ දවල් බත් ගෙඩියේ ලහදක් වත් කුසේ නැත. ඊයේ පෙරේදා දිනෙක බෙහෙත් ගන්නට ගිය විට ඩිස්පෙන්සරියේ දොස්තර මහතා කිව්වේ වෙලාවට ප්‍රමාණවත් ආහාරයක් ගන්නා ලෙසය. ප්‍රමාණය හා වේලාව එතුමා ද කිව්වේ නැත.

මම තෝන්තු වූ හිසින්ද කොර වූ කුසයෙන් ද රිදුම් දෙන කොන්දෙන් හා ඇට කැඩෙන දණහිස් යුගලයෙන් කම්හල් භූමියේ ගේට්ටුවට ළංවෙමි. තාමත් රාස්සිගේ අව්වය. සිකියුරිටි මලයා මහත් ගාම්භීරත්වයක් මවාගෙන සිටිය ද ඔහුගේ කුසයේ නැගෙන ගින්න හා හදවතේ ඇති ආතතිය මුහුණෙන් ඉස්මතු වේ. ඔහු සමඟ මඳ සිනාවක් පාමින් මම ගේට්ටුවෙන් පිටවීමි.

“අයියේ”

අස්ථාවර හඬකින් කව්දෝ අයෙකු මා අසලින්ම මට කතා කළේය. මම මඳක් විපිළිසර වීමි. මරාලයක් දෝයි සිතමින් ම මම හඬ ආ දෙසට නෙත් යොමු කළෙමි. දෙනෙතෙහි වූ ආත්මශක්තිය මේයැයි හැඟවෙන දීප්තිය හැරුණ විට, ඔහුගේ මුහුණ විද්‍යාමාන කරන්නේ පීඩනයයි. පරාජයයි. අත්මාභිමානය විනාශ වීමයි. නමුත් ඔහු පසු බට වීමට සූදානම් නැති බව ඊළඟ තත්පරයේදීම මට වැටහුණි.

“ඇයි මල්ලි”

පරණ මුත් පිරිසිදු කමිසයත්, කලිසමත් ගෙවී ගිය රබර් සෙරෙප්පු කුට්ටමත් මට අවබෝධ කළේ මගේ ම ප්‍රතිබිම්බයයි.

සන්ධ්‍යාව මුත් ඉරිතලාගිය පොළවෙන් නැ‌ෙඟන දාහය හා දූවිල්ල ඇති කරන්නේ දෙනෙත් හැර බැලීමට පවා අසීරු නොරිස්සුමකි. මම ත්‍රීවිල් පාක් එක අසල වූ කොට්ටම්බා ගස් සෙවණට ඔහු සමඟ පියවර මාරු කරමි. ඔහුට දිග කතාවක් කියන්නට ඇති බව හැඟෙයි.

“කියන්න මල්ලි”

“අයියේ,... මට මොකක් හරි රස්සාවක් හොයා දෙන්න බැරිද ?” මම මොහොතකට ගල් වී ගියෙමි. මේ නිදහස් වෙළඳ කලාපයේ රැකියා දුලබ නැත. ඕනෑ තරම්ය. නමුත් ශ්‍රමයට සරිලන වැටුප්, දීමනා හෝ පහසුකම් ගැන කතා කිරීම නොව සිතීම ද නිෂ්ඵලය. මේ කොලු ගැටයාට මේවා මම කෙසේ තේරුම් කරම්ද ?

මම ද මීට වසර දහයකට හෝ දොළහකට පෙර අහම්බයෙන් මේ භූමියට පැමිණි යාත්‍රිකයෙක්මි. එවකට වූ දෛනික පඩිය මෙයට වඩා බෙහෙවින් අඩු වූ නමුත් දෙවේලට කෙළ සමඟ පාන් ගිල දමමින් මම අල්ලා ගෙන සිටියෙමි. ඉන්පසු කම්හලේ ෆෝමන්වරයාට ගොටු අල්ලා මානව සම්පත් වෙළෙන්දාගෙන් ගැලවී කම්හලේ ස්ථිර කම්කරුවෙකු වීමි. කාලයාගේ ඇවෑමෙන් වෙනත් කම්හලක ලමිස්සියක් හා විවාහ වී අඹුසැමියන් ලෙස එළොවටත් නැති මෙලොවටත් නැති ජීවිතයක් ගත කරමින් මේ විලම්බීත නගරයට සින්න වෙමින් සිටිමි. මේ සියල්ල චිත්‍රපටියක් මෙන් මගේ හිස තුළ රඟන විටත් මම සන්සුන්ව සිටිමි.

“මල්ලි කොහෙද? ”

“බළංගොඩ අයියේ, මගෙ නම පියතිලක.”

“මල්ලි දවල්ට කාලද ?”

ගැටවරයාගේ මුහුණෙන් හැඟුනේ අද දවල්ට පමණක් නොව ඊයේ දවල්ටද බඩපිරෙන්නට කෑමක් නොකෑ හැඟීමකි.

මම ඔහු සමඟ කොට්ටම්බා ගසට නුදුරෙහි වූ දුවනගිරි ආපනශාලාවට යමි. මම කෑම එකක් සහ ප්ලේන්ටියක් ඇණවුම් කරමි. ප්ලේන්ටිය මටය.”

ස්ටූලය උඩ වාඩි වී තහඩු බිත්තියට කාවද්දන ලද තහඩු මේසය මත තබා ගත් ගද ගහන ලාබ සහලෙන් පිසින ලද බත් එක පියතිලක මලයා ගිජු ලෙස ගිල දමයි. මම නිහඬව ප්ලේන්ටිය තොල ගාමි.

මෙහි ඕනෑ තරම් රැකියා ඇති නමුත් පැය 12 හෝ 16 ඇතැම් විට පැය 24 හා තව අතිරේක කාලයක් වැඩ කොට යාම්තම් ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් ලබා ගැනීමට හැකිය. එතැනින් එහාට ජීවිතයක් ඇත්තේම නැති නමුත් මේ තත්පරයේ දී ජීවිතය ද අහිමි වී යනු ඇතැයි මට හැගෙන, මේ මනුෂ්‍ය ප්‍රාණියාට නව ජීවිතයක් ලබා දීම කළ යුතුය. එනිසා මේකා හුලුුගල්ල මහතාට මුණගස්වා දීම යහපත්ය. එවිට මොහුට යම්තම් ජීවිතය ලෙවකා ගැනීමට හැකි රැකියාවක් ඔහු සොයා දෙනු ඇත. මානව සම්පත් අලෙවි කරන යක්ෂයන්ට සාපේක්ෂව හුලුගල්ල මහතා දෙවියෙකි

හුලුුගල්ල මහතාගේ ව්‍යාපාරයේ එවැනි මගඩි නැත. නමුත් ඔහුද කම්කරුවාගේ ශ්‍රමයෙන් යමක් උපයා ගන්නා මුත් එයට වරදක් කිව නොහැක්කේ ඔහුද මේ ආහාර දාමයේ එක පුරුකක් වන නිසාය. ඔහුගේ පිහිටෙන් දුගී භාවයෙන් දුප්පත් කමට පා තැබුවෝ බොහෝ වෙති. දුගී භාවය හා දුප්පත්කම එකක් යැයි සිතන්නෝ බොහෝය. නමුත් එය නිවැරදි නැත. .

“මල්ලි ඉස්කෝලෙ ගියේ කොහෙද ?”

“රේවත විද්‍යාලයට. ඒක ටවුමෙන් කිලෝමීටර 15 විතර දුරට වෙන්න තිබුන ගමේ ඉස්කෝලයක්”

මෙතෙක් වෙලා ඔහුගේ උකුලේ තබා ගෙන සිටි හමගිය රෙදි බෑගය තම ඉඳුල් නැති අතින ගෙන ඔහු එය මට දිගු කළේය.

“අයියා බලන්න. මගෙ සහතික ඔක්කොම ඔතන තියෙනවා. ඒ වුණාට ඒවා එච්චර වැඩක් වෙන්නෙ නැතිව ඇති.”

මම බෑගය ගතිමි. අනුන්ගේ බෑග විවෘත කිරීම සදාචාර සම්පන්න නොවේ.

“මල්ලි කාල ඉවර කරන්නකො”

“නෑ, බෑග් එක ඇරල අයියා බලන්න. ඔතන මට හොරෙන් අයියට ගන්න දෙයක් නෑ.”

මම බෑගය විවෘත කර ෆයිල් කවරය එළියට ගෙන දිග හරිමි. ශාස්ත්‍රපති බාහිර උපාධි සහතිකය මගෙ දෙනෙත් අන්ද මන්ද කරවයි. මම කෙළ තලියක් ගිල්ලෙමි. තවත් තේ වඩියකින් උගුර සැහැල්ලු වෙයි.

“මල්ලි, මේ සහතිකේ පෙන්නල මල්ලිට මෙහෙන් රස්සා හොයාගන්න බෑ. මේක උපාධිදාරීන්ට ගැලපෙන රස්සා තියෙන පැත්තක් නොවේ. මේක කම්හල් පුරයක්. මල්ලි හොයන්ඩ බලන්න වෙන කොහේ හරි ගැළපෙන රස්සාවක්.”

ඔහු බත් කටක් ගිල්ලේ දැයි නැතහොත් කෙළ ගුලියක් ගිල්ලේ දැයි මම නොදනිමි. ඔහුගේ ඇස් දෙකම එකවර තෙත් වී ගියේය.

මම ඔහු දෙස බලා දුවනගිරියෙන් එහා තාර පාර දෙස බලමි. කාෂ්ඨක පොළොව, එයට ගැළපෙන්නා වූ නගරය හා මිනිසුන්. යන්ත්‍ර සමඟ කටයුතු කිරීමෙන්ම යාන්ත්‍රික වූ මිනිසුන්. රොබෝවරු මෙන් ඊළඟ වැඩ මුරය ගැන පමණක් සිහිතබා ගන්නා අවිනිශ්චිත මිනිසුන්. සාහිත්‍යවේදීන් ලියන දේශපාලකයන් කියන මනුෂ්‍යත්වය, තවදුරටත් මේ පුරවරයට වලංගු නැත.

“අයියේ” ඔහුගේ හඬ දුගී භාවයේ කෙඳිරියකි.

“මට උපාධියට ගැළපෙන රස්සා ඕන නෑ. මට දවස ඉවර වෙද්දි ජීවිතය ගැටගහ ගන්න මුදලක් ලැබෙන මොකක් හරි රස්සාවක් හොයා දෙන්න අයියේ”

එය ඉල්ලීමක් හෝ ආයාචනයක් නොව ජීවිතය උදෙසා ගැහෙන ඉකියකි.

“අයියා මට වැසිකිළි සෝදන්න හරි කමක් නෑ. තැනක් හොයලා දෙන්න.....”

මගේ අභ්‍යන්තරය මොහොතකට ශීතල වී ගියේය.

“හරි මල්ලි, මං මල්ලිව මහත්තයෙක් ගාවට එක්කරගෙන යන්නම්. හුලුගල්ල මහත්තයා හරිම රත්තරන් මනුස්සයෙක්. හැබැයි කැරට් 24 නොවී 22. කැරට් 8 මහත්තුරුන්ගේ ලෝකේ කැරට් 22 මහත්තුරු ඉන්න එකත් හොඳයි නෙ මල්ලි. ඒ මහත්තයා ඔයාට මොකක් හරි ජොබ් කට්ටක් හොයල දේවි. හැබැයි මල්ලියෝ කං කුං නං ගාන්න එපා.“

ඔහු වියළි යන කඳු­‌ෙළන් හිස වනයි.

“ආ අමතක වුණා. මල්ලි ඕලෙවල් වලට විතරයි ඉස්කෝලෙ ගිහින් තිබෙන්නෙ හොදේ. ඔයා උසස් පෙළ, උපාධි ගැන කියන්න එපා හරි”

“හරි අයියා”

“මල්ලි කාල ඉවරද ?”

“ඔව් අයියේ”

“එහෙනම් මං දැන් මහත්තයට කතා කරන්නම්.”

මම හුලුගල්ල මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගනිමි. ස්පීකරයෙන් පියතිලක මලයට ද හුලුගල්ල මහතාගේ හඬ ඇසේ.

“දැන් සමරේ මම නෑ. හෙට උදේ 6 ට එක්කගෙන එන්න. මාරි බිස්කට් කොම්පැණියට දාන්නම්. බර වැඩ නෑ. මැෂින් එකට. පැය 12 ක් නයිට් ෂිෆ්ට් එකකුත් තියෙනවා. උදේ 7 - රෑ 7, අනික රෑ 7 - උදේ 7, පඩිය එවෙලෙම හරි සතිපතා හරි. හෙට උදේ 6ට හාදයව එක්කගෙන එන්න සමරේ. හෙට ඉදන් ම වැඩ කරතැහැකි.”

පියතිලක මලයා අත මුදල් නොමැති බව වටහා ගැනීමට නොහැකි තරම් මන්ද බුද්ධිකයෙකු නොවෙමි මම. එවිට මේ කොළුවා දැන් කොහේ යන්නද? ඒ ගැන සිතීමත් විකාර අදහසකි.

මම දීර්ඝ සුසුමක් හෙළා ළය සැහැල්ලූ කර ගනිමි.

“මල්ලි අද මාත් එක්ක ඉමු. අපේ කාමරේට ගිහින් තියෙන දෙයක් රෑට කාල නිදාගෙන ඉදල හෙට උදේ මහත්තයව හම්බවෙමු.”

“හෙට මල්ලිට බෝඩිමක් හොයාගන්න පුළුවනි. මම අපේ බෝඩිමේ ඇන්ටිට කතා කරන්නං කො අදම. නිදාගන්න විතරක් නෙ, රුපියල් දෙදාහකට විතර ගමු. හැබැයි ඔයාටම නෙවේ හවුලේ”

අපි දෙදෙනා පෙට්ටි කඩයෙන් නැගිට්ටෙමු. සවස 6 වැඩ මුරය අවසන් කළ කම්කරුවෝ තවමත් වීදි වලය. කාන්තාවෝද ගැටිස්සියෝද නැත්තේම නැත. මම පියතිලක දෙස හැරී හොඳින් ඔහු නිරීක්ෂණය කරමි. ඔහුගේ දෙනෙතේ ඇත්තේ විශාල කම්පාවකි. ඔහු තාරුණ්‍යට ආයුබෝවන් කියමින් සිටින්නෙකි. අවුරුදු 34 - 35 අතර ඇතැයි මම විශ්වාස කළෙමි. නමුත් සමහරවිට ඊට වඩා අඩු වයසක් විය හැක. විදින ලද අතිමහත් දුක්ඛ දෝමනස්සයන් ඔහු පදම් කර ඇත. මුහුණෙහි වූයේ ගැඹුරු මානසික පීඩනයකින් යුක්ත වූ හැඟීමකි. රැවුල් කොට මුහුණ පුරා මතු වී තිබීමෙන් ඔහු දින කිහිපයකින් රැවුල කපා නැති බව අවබෝධ වේ. ඔහු වටපිට බැලුවේ නැත. මගේ සෙවණැල්ල සේ ඔහු එයි. ඇතැම්විට නිවස හැර ඒම නිසා ඇති වූ ශෝකයෙන් ද ඔහු පෙළෙනවා විය හැකිය. මෙහි අඩු මිල ශ්‍රමයට ඕනාවටත් වඩා ඉල්ලුම ඇත. කොතරම් අඩුපාඩු තිබුණද මිනිස් යන්ත්‍ර වලට වඩා කාර්යක්ෂම යන්ත්‍රයක් තවමත් බිහිවී නැති හෙයින් ප්‍රශ්න නොකර දෙන දේ අරගෙන තරගෙට වැඩකරන මිනිස් යන්ත්‍ර වලට මෙහි හොඳ ඉල්ලුමක් ඇත.

බෝඩිමට ළං වෙමින් සිටියෙමු. කඩ පේළි දෙකක් අතරින් ඇතුළට එබුණු දෙබුක්කාවක කෙළවර, උඩතට්ටුවක වූ ගෙයක අපි පදිංචි වී සිටියෙමු. ගෙයක් යැයි කිව්වාට එය ගෙයක්ම නොවේ. එකම එක කාමරයක් හා ආහාරපාන පිළියෙල කර ගැනීමට අඩි හතරයි හයේ කුස්සියක් ද ඉස්තෝප්පුවක් වශයෙන් භාවිතා කළ හැකි එකක් හෝ අමුත්තෙකුට නිදා ගැනීමට හැකි පැසේජයක් ද සහිත එම ගෙට මසකට රු. 3500 මුදලක් මහත් අමාරුවෙන් ගෙවා ගන්නෙමි. ලයිට් හා වතුර සඳහාද මසකට තවත් රුපියල් හත්සියයක් හිමිකාරියට ගෙවිය යුතුය. ඇය එන්නේ සෑම මසකම 21 වෙනිදාය. 20 වැටුප් ලබාගැනීමෙන් පසු ගෙවියයුතු පළමු ගෙවීම දේවාලයට ඔප්පු කරනවා සේ ඇයගේ කුලිය හා ජල විදුලි බිලපත්ය. බිල් කිව්වාට අපි දකින බිලක් නැත. කාමර කෑල්ල ගන්නාවිට ඇති කරගත් වාචික ගිවිසුම පමණි. එය ඕනෑම වේලාවක කැඩෙන බිදෙන සුළුය. එසැණින් බෝඩිං කරුට අයත් වන්නේ මහ පාරය.

“අයියේ.... ” මම නැවතී ඔහු දෙස බලමි.

“අපි යන්නෙ අයියලගෙ ගෙදරද ?”

“ඔව් මල්ලි ඇයි ?”

“අයියා මගේ ගැන මොකුත් දන්නෙ නැහැ.”

මට ඉබේටම පහළ වුණේ මඳ සිනහවකි.

මූ හොරෙකු නොවන අතිශය අහිංසක මුව පොව්වෙකු සේ වයස තරම් නොමේරූ හාදයෙකු බව මං තේරුම් නොගත්තේ නම් එය මගේ වරදකි.

මගේ ස්ථාවර සිනාව තුළ කැලඹීමට පත් තරුණයා ඇසිපිය සලමින් මා දෙස බලා සිට, දිග සුසුමක් ඉහළට ගෙන එය සෙමින් පහළට දමන්න වූයේය.

“අයියේ, මට කතා කරන්ඩ ඕනෑ.”

“අපි ගෙදර ගිහින් කතා කරමු.”

“අයියේ මං කසාද බැඳලා හිටියේ ”

“මං හිතුවා හරි එහෙනම්” මට ඉබේටම සිතුණි. මේ තරුණයා දුටු පමණින්ම මගේ සිතට නැගුනේ මේකා පවුල් ආරවුලක් හේතුවෙන් කැලේ පැන ආ එකකු ලෙසය.

අයියේ මං මහ විශාල කරදරේක.... ඔහුගේ හඬ හැඬුම් බරය.

මම නිහඬවම ඔහු සැනසීමට ඔහුගේ පිටට තට්ටු කළෙමි. කඳුළ ගිලගත් තරුණයා නැවත බිඳුණු හඬින් කතාව ඇරඹිණි.

මං බැඳල පදිංචි වෙලා හිටියේ මගෙ බිරිඳගෙ මහගෙදර. ඒ ගෙදර වෙන පිරිමි නෑ. මගේ බිරිඳයි එයාගෙ නංගියි විතරයි.

“මම ගමේ කොහු මෝලේ ලිපිකාර වැඩ කර කර හිටියෙ. දවසක් දා දවාලේ මට උණ වගේ දැණුනු නිසා මං ගෙදර ගියා. ඉස්සරහ දොර අඩවල් කරලා තිබුණෙ. මගේ හිතට මහ මොකද්දෝ නොසන්සුන් හැගීමක් දැනුණා. මම නිහඬවම දොර හෙමින් ඇරියා. ගේ ඇතුළෙන් හිනාවක් ආවා. ඒ මගේ බිරිඳගේ. අපේ කාමරේ පැත්තෙන් ආයෙමත් හිනාවක් ඇහුණා. ඒක මගේ බිරිඳගේ නෙවේ. වෙන කාන්තාවකගේ. මගෙ පපුව ඩිගි ඩිගි ගාල ගැහෙන්න පටන් ගත්තා. මම හුස්මක් නොගෙන හෙමින් ඒ දිහාවට ගියා නෙවේ ඇදුනා.”

උස මහත දිග කලිසමක් හැඳගත් හැඩි දැඩි කෙල්ලක්, හුරුබුහුටි පොඩි කෙල්ලකුගේ අතගෙන ලැසි ගමනින් මා ඉදිරියට එයි. ඔවුන් දෙදෙනගේ සිනා හඬ මගේ දෙසවන් පසාරු කරමින් යයි.

“ඒ දැක්ක දෙයින් මං උඩ ගියා අයියේ. මගේ බිරිඳයි ඒ නංගියි මාව දැක්ක ගමන් කලබල වුණ පාරට...... ”

හැඩි දැඩි කෙල්ල, අනිකියගේ අත සිපගනිමින් මා පසු කරයි.

මං ඒ වෙලේම ගෙයින් එළියට බැස්සා අයියේ අතට අහුවුණ ඇඳුමකුත් අරන්. එදා ඉදල ........”

ඔහු දිග සුසුමක් හෙළුවේය.

මේකා එදා හිසරදයට පැනඩොල් පෙති දෙකක් ගෙන කොහු මෝලේ රැදුනානම් කොතරම් අගේද? මට ඇතිවූ පළමු හැඟීම එයයි.

“මං ආවේ ඔළුව හැරුණු අතේ. හම්බුණ පළවෙනි බස් එකේ නැගල රත්නපුර ටවුමෙන් බැස්සා. මගෙ අතේ ඒහැටි මුදලක් තිබුණෙත් නෑ. පොල් මෝලෙ ලිපිකරු වැඩේට අමතරව ගොවිතැන් වැඩ කරගෙන හිටපු මට ඇගේ පතේ හයිය නම් යහමින් තිබුණා.”

මම පළමුවරට ඔහු දෙස දූරදර්ශනව බැලීමි. කතාව ඇත්තය. තලෙළු පැහැ දේහය වාත්තු කලාක් බඳුය. ඒකාන්තයෙන්ම මේකාට මෙහෙන් ගෑනියක් හමුවනු ඇත.

“මං රත්නපුර ටවුමේ හැමතැනම ඇවිද්දා රස්සාවක් සොයා ගන්න. ........ මුදලාලි කෙනෙක් මට කතා කළා රස්සාවකට. දවසට කෑම බීම දීලා පන්සීයක්. කැෂියර් වැඩක් කියලය කිව්වෙ. මං ඒක කරන්න කැමති වුණා. ඊට පස්සෙ එයා කාටද කෝල් එකක් අරගත්තා. ඊට පස්සෙ මුදලාලි මාව කඩේ ඇතුළෙන් වාඩි කරවල ඉදිආප්පයි, කුකුල් මසුයි කන්න දීලා ප්ලේන්ටියක් දුන්නා. කෑම ටික ඇගට වැටුණම මට හිතුන මෙතන ඉඳුල් පිඟන් හෝදගෙන හරි ජීවිතය ගතකරනව කියලා.”

මම විමසිලිමත්ව කතාවට සවන් දෙමි. අපේ ගමන සෙමින්ය. නමුත් අත්දැකීම් බහුලය.

“ටිකකින් වාහනයක ආවා හුරුබුහුටි කාන්තාවක්. මුදලාලි ඒ නෝනට මාව අඳුන්නලා දුන්නා. “අපේ අලුත් කැෂියර් කියලා.”

“ඒ නෝනා මං දිහා බැලුවෙ බොහොම රාජකාරි බැල්මක්. ඊට පස්සෙ මුදලාලි එක්කලා ටිකක් එහාට ගිහින් මොන මොනාද කුටු කුටු ගාලා කතා කරලා මට නම කියලා කතා කලා.”

“පියතිලක” මම ගැස්සිලා ගියා.

“නෝනා”

“නෝනා නෙමෙයි පියතිලක මැඩම්” කියල කතා කරන්න.

“ඔව් මැඩම්”

“අපි යමු එහෙනම්”

“අපි ආවේ ස්පා එකකට. මම ඒවා ගැන අහල තිබුණත් කවදාවත් ඇතුළකට ගිහිල්ලා තිබුණෙ නෑ. අන්තිමට මගෙ ජීවිතේ නැවැත්තුව ස්පා එකක මැනේජර් කරලා.”

මම තත්පර කීපයක් ඔහුගේ මුහුණ දෙස බලා හුනිමි. ඒ මුහුණ තුළ ඇති වී නැති වී යන හැඟීම් සමුදාය අවබෝධ කර ගන්නට යත්න දරමි.

“සංකීර්ණය. ජීවිතය සේම සංකීර්ණය”

“ඒක හරි කාලකණ්ණි රස්සාවක්. කවුරුහරි මිනිහෙක් ඒ කියන්නෙ කස්ටමර් කෙනෙක් ආපුවාම මට තියෙන්නෙ ඇතුළෙ වාඩි වෙලා ඉන්න ගෑනූ ළමයි ටික පෙන්නන්න. කස්ටමර් එක්කෙනෙක්ව පෙන්නුවාම එයාගෙ වටිනාකම අපි කියනවා. ඒක මට ගෙවපුවාම එයා ඒ ළමයත් එක්ක ඇතුළේ පොඩි කාමරයකට යනවා. කාමරයක් කියන්නෙ අයියේ ලොකු හෝල් එකක් හාඩ් බෝඩ් වලින් වෙන් කරපු පොඩි කොටසකට යනවා. වරින් වර මැඩම් එනවා. ඇවිල්ලා පොතක් අත්සන් කරලා මගෙන් සල්ලි ටික අරගෙන යනවා. ලොකු හෝල් එක බාගෙට තමයි කාඩ්බෝඩ් වලින් වෙන් කරලා කියෙන්නෙ. කෙල්ලගෙ කකුල් දෙකම පොළවෙ තියෙන්න ඕන කියල මැඩම් ඉතා තදින් අවවාද කරල තිබුණා. කොහොමත් මට මේ රස්සාව ගැළපෙන්නෙ නෑ කියල මට හිතුනා අයියෙ. දවසක් දෙකක් අමාරුවෙන් ඉදල පඩිය බේරගෙන මං එතනින් ආවා.”

ඔහුටද මට මෙන් කවදාවත් මනුස්සයෙක් නම් වීමට බැරිය. මේ ක්‍රමය අනුමත නොකරන අප වැනි උන්ගේ ජීවිත එකම අපායකි. සමහර විට පූජකයන් කියන පව මෙය විය හැකිය. ඔවුන් පින් කළ හෙයින් සැප විඳිති. අප පව් කළ හෙයින් අපේ හෘදය මාංශය ඔවුන්ගේ සුඛවිහරණයට පූජා කළ යුතුය.

“මං එතනින් ආයෙත් ආවේ පාරට. මට මගේ අම්මා අප්පච්චි මතක් වුණා. රස්සාවක් නැතුව පවුලත් කඩාගෙන මං කොහොමද අයියේ ගෙදරට තවත් බරක් වෙන්න යන්නෙ. මට හොඳට අතපය හයිය තියෙනවා. ඉතින් අයියේ ඔහොම එහාට මෙහාට වෙවී ඉන්න කොට, මට තේරුණා මාව පොඩි කඩේක මුදලාලි කෙනෙකුට නෝට් වෙනවා. ඉතින් මං මුදලාලිගෙන් කෙළින්ම ඇහුව රස්සාවක් හොයා ගන්න බැරිද කියලා. මුදලාලි අමුතු හිනාවක් දාල ඇහුව පතල් කපන්න පුළුවන්ද කියල. මං පුළුවන් කිව්වා. ඒ වෙලාවෙම මනුස්සයා මාව පතල් වාඩියකට අරගෙන ගියා. ඒක ලයිෂන් නැති හොර පතලක්.”

“මට තිබුණේ ඉල්ලම් කපන්ඩ. මමත් ඉතින් ඉල්ලම් කඩ කඩා පුරවලා දෙනවා. තව එකෙක් ඒවා අරගෙන ඉහළට යනවා. ඉල්ලම් ගරන්නෙ හවුල්කාරයො. අපි අනෙක් ඔක්කොම එකම පන්තියෙ කුලී ශ්‍රමිකයෝ.”

“එදා රෑ කෑම වාඩියෙන් දවල්ටත් එහෙම යහමින් කියලා කෑමක් නොතිබුණ හින්දත් ලොකු ඉල්ලම් ප්‍රමාණයක් කපාපු නිසාත් මටත් හරි බඩගිනියි. මං කෑවා. කාපු ගමන් නිදියෑවා. වාඩි වල, ඉන්න හුඟක්දෙනා වගේම මේ වාඩියෙත් උන් වැඩිදෙනෙක් ගංජා දුම උරන්න පුරුදු වෙලා හිටියා. මට දන්නෙම නැතිව නින්ද ගියා. ”

පියතිලක ළමයා ගංජා, අබිං, කන්සා, හෙරෝයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතා නොකරන අයකු බවට මා කලින් ගත් තීරණය කෙතරම් නිවැරදිද ?

“රෑ මැද කව්දෝ මාව අතගානවා. මට දැනුනා අයියේ. මුලින්ම මට දැනුනෙ හීනයක් වගේ. ඒත් එක පාරටම මම අවදිවුණා. තත්පරයක් යද්දි මට තේරුනා වැඩේ. ඒ එක්කම මට මහා පිළිකුලක් දැනෙන්න පටන් ගත්තා. ඒ එක්කලාම මට මාව වමනෙ කෙරුවා වගේ හැඟීමක් ඇති වුණා. මම ගැස්සිලා වගේ එකපාරට හිට ගත්තා. මගෙ ඇගම කේන්තියෙන් ගිනි ගන්නවා. මට එහායින් නිදාගෙන හිටපු හාදයා නින්දෙන් වගේ අනෙක් පැත්තට හැරුණා මං නිකම් ඡායාවට දැක්කා. මම මගේ කඩමලු දෙකත් ඔතාගෙන ඒ මහ රෑම වාඩිය අතෑරලා මහ පාරට එනකම් පයින් ඇවිත් පර්ස් එක ඇරල බැලුුව සල්ලි කීයක් තියෙනවද කියලා. මට එක පාරට මගෙ බිරිය මතක් වුණා. ”

මම කිසිවක් නොකියා හිස් කල්පනාවෙන් ම ඔහුගේ කතාවට සවන් දෙමි.

“කතා කරන්නට දෙයක් නැත. ඇත්තටම නැත. ”

“අයියට වාතයක් වගේද මාව ? නැත්නම් මගෙ කතාව ? ”

මම මහ හඬින් සිනා සීමි.

“මල්ලි අපිට හුගාක් දේවල් අහිමි වෙලා තියෙනවා. ඒත් තාමත් අපිට කතා කරන්න පුළුවන්. ඒත් මල්ලි කැමති නම් විතරයි. ”

උගුර පාදා මඳක් හරි බැරි ගැහුණ හේ නැවත තම කට හඬ අවදි කළේය.

“ඒ වෙලාව වෙනකොට අයියෙ මට මනුෂ්‍යත්වය ගැන මහ කලකිරීමක්, දුකක්, වේදනාවක් මට කියන්න බැරි තරම් සංකීර්ණ හැඟීම් සමුදායක් ඇති වෙමින් තිබුණෙ. එතකොටම බදුල්ල - කොළඹ බස් එකක් ඇවිල්ල නැවැත්තුව. මම හීනෙන් ඇවිදින මිනිහෙක් වගේ බස් එකට නැගල කොළඹට ටිකට් ගත්ත. බස් එක පිම්මේ එනකොට මට ටික ටික සිහිය මතුවෙන්න පටන් ගත්තා. මගේ ප්‍රතිපත්ති මගේ ජීවිත දර්ශනය, මගේ ජීවිතය ගොඩ නැගූ පරමාදර්ශ ඔක්කොම විකාරයක් වගේ.

අන්තිමට මගේ ප්‍රතිපත්තියි, මගේ ජීවන දර්ශනයයි, පරමාදර්ශයයි මාව ගෙනියන්නේ කුසගින්නේ මාව ඝාතනය කරන තැනකට නේද කියල හිතිලා මට ඇඬුම් යන්න ආවා. අපරාදේ ගෑනිගෙ ලිංගික නිදහස දීල මට ඒ ගෙදර අපූරුවට ඉන්න තිබුණා නේද කියාලා හැඟීමක් මට මගෙ හිත ඇතුළෙන් එබිල කිව්වා. ඒ වෙනකොට බස් එක කඩුවෙලට කිට්ටු වෙනවා. කොන්දොස්තර මලය කෑගහල කියනවා කඩුවෙල බහින්න කියලා එකපාරට මගෙ මොළේට වැදුණා කඩුවෙලින් බැහැල බියගම නිදහස් වෙළෙඳ කලාපෙට ආව හැකි නේද කියලා.”

 

Comments