පෝෂණයෙන් ප්‍රතිපෝෂණය සිදු වේද | සිළුමිණ

පෝෂණයෙන් ප්‍රතිපෝෂණය සිදු වේද

 

"මාධ්‍ය මෙහෙයවන්නන් දැන ගත යුතු වඩාත් වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි තමන් කරන කියන කාර්ය කෙතරම් දුරට ග්‍රාහක ස්ථානයෙන් (receiving end) ප්‍රතිචාර ලැබිල තිබෙනවාද කියල දැන ගැනීම."

මෙලෙස තම පැහැදිලි කිරීම පටන් ගත්තේ බීබීසී ලෝක සේවා ප්‍රථම අධ්‍යක්ෂකවරයා වන ජෝන් රීත් (John Reich) මහතා.

"මම ටිකක් මේ කාරණය පැහැදිලි කරන්නම්. අපි ගනිමු විකාශනය කරන කිසියම් ප්‍රවෘත්තියක් (news). මේ ප්‍රවෘත්තියේ ඇති වටිනාකමක් (news value) අසාගෙන සිටින ශ්‍රාවකයාට දැනෙනවාද? ඒ ශ්‍රාවකයා ඒ ප්‍රවෘත්තිය ගැන හිතන්නේ මොනවාද? ඒ විතරක් නොවේ. ඒ ප්‍රවෘත්තිය ගැන කොතැනක හෝ අසා සිටින ශ්‍රාවකයකුට යමක් ඒ ගැන සෘජුව හෝ වක්‍රව නිවේදක ස්ථානය ලබා ගැනීමට පුළුවන් වීද?

මෙසේ ග්‍රාහක ස්ථානයේ සිට නිවේදක ස්ථානය දක්වා ප්‍රතිචාරය (response) ලබා ගැනීමට මාර්ගයක් පෑදෙනවා නම් අපට ඒ ක්‍රියාදාමය හඳුන්වන්නට වෙන්නේ ශ්‍රාවක හෝ ග්‍රාහක ප්‍රතිපෝෂණය (audience feedback) යනුවෙනි. මෙය මූලික වශයෙන් කෙතරම් විද්‍යාත්මකද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්. ඒත් ඒ ප්‍රතිපෝෂණය දැන ගැනීමෙන් මොනවාද හඳුනා ගැනීමට පුළුවන් වුණේ?

රීත් මහතා තව තවත් පැහැදිලි කිරීමට පටන් ගත්තේ තව තවත් නිදසුන් සපයමිනි.

"අපි කියමු ඔබේ මුවින් නිකුත් වූ වචන තේරුම් ගැනීම අපහසු වුණා යැයි යමෙක් පවසවා නම් එය අපට ලැබෙන ප්‍රධාන පෙළේ ප්‍රතිපෝෂණයක්. ඒ එක පැත්තක්. තවත් වැදගත් පැත්තක් නම්, යමෙක් කියන්නට පුළුවන් වෙයි ප්‍රවෘත්තිය නැවුම් ප්‍රවෘත්තියක් නොවේ කියල. මීට කලින් අපි අහලත් තිබෙනවා. ඇයි ඔබට ඔය ප්‍රවෘත්තිය ඔය තරම් අපට ඇසෙන්නට සලස්වන්නේ? අපට ඔයිට වඩා වැදගත් නැවුම් ප්‍රවෘත්ති සැපයීමට ඔබට පුළුවන්කමක් නැද්ද?

මෙහෙම කතාබහ කරන අය අපේ මිතුරන් මිසක් සතුරන් නොවන බව ද අපට වටහා ගැනීමට සිදු වෙනවා. මේ හා සමඟම අපට වෙනත් සාධක සමූහයක් කෙරෙහි ද අවධානය යොමු කිරීමට සිදු වෙනවා.

ඒ තමයි අපට අපේ ග්‍රාහක ලෝකය පිළිබඳ ලබාගත හැකි පුළුල් අවබෝධය. සන්නිවේදකයින් වශයෙන් අප හිතන්නේ අපෙන් සිදුවන මෙහෙවර ඉතාමත්ම ඉහළ මට්ටමක පවතින බවක ි. එහෙත් සත්‍යය නම් එය එසේ නොවන බව යි. මම ඔබට වෙනත් නිදසුනක් සපයන්නම්. ගුවන්විදුලිය මඟින් අසන්නන්ගේ සිත් දිනා ගැනීම සඳහා විවිධාකාර ගීත අඩංගු තැටි හා පටි වාදනය කරන නිවේදනය හඳුන්වනු ලබන්නේ Disc Jockey යන තරමක් විකට නාමයකිනි.

මේ නිවේදකයින් පිළිබඳ පුදුමාකාර ප්‍රතිපෝෂණ ලැබෙන බව අමතක නොකළ යුතු යි. අපට අහවල් ඩිස්ක් ජොකියාවම දෙන්න. ඒ මන්ද කිවහොත් ගීත වාදනය කරන අතරතුර කතා බහ කරන දේවල් ගීත වලට වඩා අපට රසවත්. ගීතයක ඒ තරම් රසවත් නොවුණු වෙලාවලදීත් ඒවා ගැන පවසන දේවල් රසවත්. මේ නිසා ඔහු හෝ ඇය වෙනස් කරන්නට එපා."

මීටත් වඩා වෙනස් වර්ගයේ ප්‍රතිපෝෂණ වෙනත් වර්ග වල නාට්‍ය වලින් දැකගත හැකි වෙන අවස්ථා ද බහුල ය. පුවත්පත් වල පළ වෙන තීරු රචනා (columns) නිදසුන් වශයෙන් ගැනීමට පුළුවන්. එහෙත් පුවත්පතක පළවන අපූර්වතම රචනාවක් ඒ හැටියෙන්ම ශබ්ද මාධ්‍යයට යොමු කළ හොත් කිනම් වර්ගයක ප්‍රතිපෝෂණයක් ලැබේවිද? මෙය විටින් විට අත්හදා බලා ඇති බවද කිව යුතු ය. ඒ අනුව (radio column) ගුවන් විදුලි තීරු රචනා යන තරමක විවාදාත්මක වැඩසටහන් වර්ගයක් ද බිහි වූ බව අමතක නොවේ.

මේ කාරණයම තවත් වැදගත් ප්‍රතිපෝෂණ සාධකයක් හඳුනා ගැනීමට යොමු කළ හැකි ය. එය නම් එක් මාධ්‍යයකින් නිකුත් වන සන්දේශයක් (media message) තවත් මාධ්‍යයකින් වෙනස් විය හැකි ය. ශබ්ද මාධ්‍යය වෙනුවෙන් සැලසුම් කරන ලද සන්දේශය එලෙසින්ම ලිඛිත මාධ්‍යයට (print medium) හෝ දෘෂ්‍ය මාධ්‍යයට (visual medium) එලෙසින්ම සකස් කළ හොත් ලබන ප්‍රතිපෝෂණය ග්‍රාහක සංස්කෘතිය (recipient culture) මත ද රැඳී ඇති බව ද වටහා ගත යුතු ය.

ඒ සාධකය හඳුනාගන්නේ කෙසේ ද?

"කිනම් මාධ්‍යයකින් හෝ ග්‍රාහකයා වෙත යැවෙන සන්දේශය ග්‍රාහක සංස්කෘතියට ආගන්තුක (alien) නම් ලැබෙන ප්‍රතිපෝෂණය නිශ්චිත ය. එනම් එම සන්දේශය සමස්ත ග්‍රාහක සංස්කෘතියටම අහිතකර බව පළවීම යි.

මේ අහිතකර බව පවතින්නේ තමන්ට එම සන්දේශය එක්කෝ 'නිසරු' හෝ 'නිගරු' හෝ 'තහංචියට ලක් වූ' සන්දේශයක් වශයෙන් ප්‍රතිපෝෂණය කිරීම යි. එවිට සිදු වන්නේ සමස්ත මාධ්‍යයම ප්‍රතික්ෂේප කිරීම කි."

මෙය සිදු වේද? නොවේද?

යන්න විමසිය යුත්ත කි.

පෝෂණය යනු කැවීම යි.

ප්‍රතිපෝෂණය යනු ආපසු කැවීම යි.

Comments