නිර්මාණයේ අප්‍රමාණ බව අප්‍රමාණ ව විශ්වාස කළ නිර්මාණවේදයා | සිළුමිණ

නිර්මාණයේ අප්‍රමාණ බව අප්‍රමාණ ව විශ්වාස කළ නිර්මාණවේදයා

 

බොහෝ නිර්මාණකරුවන්ට සිය නිර්මාණ අනුභුතිය පහළ වෙන්නේ තද රිදුමෙනි. තමාට මෙන්ම තමා අවට සිටින්නන්ගේ ද වේදනාව අකුරු බවට පෙරළීමෙන් ලැබෙන සංවේදනාවෙන් ඔවුහු යම් සැනසීමකට පත් වෙති. සෑම කෙනකුට ම කිව යුතු කතාවක් තිබේ. එහෙත් තම සිතේ ඇති හා පෙළන කතාව හැමෝට ම ලියන්නට නොහැකි ය. ප්‍රකාශනයේ යම් හැකියාවක් ඇත්තෝ මේ කතා කියති; ලිවීමේ හැකියාව ඇත්තෝ මේ කතා ලියති. ප්‍රකාශන මාධ්‍යයක් හෝ කියන්නට ලියන්නට හැකියාව තිබූ පමණින් ද මේ කාර්යය ඉටු වූවා යැයි සිතිය නොහැකිය. එය කියවන පාඨකයාට හා අහන ශ්‍රාවකයාට වැදගත් විය යුතුය. ජීවන පරිඥානයක් එකතු කළ යුතුය. එසේ නැතිනම් සංහිඳියාවක් ඇතිවිය යුතුය.

සිය නිර්මාණකරණය ගැන සේ ම ජීවිතය ගැන ද නව හා වෙනස් මාන සහිත නිර්මාණකරුවකුගේ නිර්මාණ කියවන, බලන, අසන පාඨකයාට ජීවන පරිඥානය ඇති වෙන්නේ ය. එය හැමෝටම කළ හැක්කක් නොවේ. ඒ සඳහා ඉවසීම, සතතාභ්‍යාසය, ඇසූපිරූ තැන් බහුල වීම සේම සම සිතක් ද තිබිය යුතුය. චූලානන්ද සමරනායක නම් ලේඛකයා අපට හමු වෙන්නේ මෙකී කියැවීම ඔස්සේ ය. ඔහු ස්වකීය ජීවත් වීමේ අභිලාෂය කුමක්ද යන්නට මනා නිදර්ශන සැපයූවෙකි. ජීවත් ව සිට ජීවත් නොවුණා සේ සිට ජීවිතයෙන් සමු ගන්නා බහුතරයක් මිනිසුන් ට හේ ජීවමාන ව ස්වකීය වගකීම වගවීමෙන් පෙන්නුම් කරන්නෙකි.

ඔහු ජීවත්වීමේ අභිලාෂය අනෙකාට සේවය කිරීම බැව් තරයේ අදහන්නෙකි; මානව දයාව, ප්‍රේමය නැති තැන ජීවිතයක් නැතැයි තරයේ සිතන්නෙකි. ස්වකීය පැවැත්මෙන් ම අන් අයට ආදර්ශවත් වෙන හේ ස්වකීය නිර්මාණ කෘති ඔස්සේ ද එකී කරුණ විෂද කර ගැනීම සඳහා කැප වෙන්නෙකි.

නිර්මාණකරුවාට මනුෂ්‍ය ප්‍රේමයේදී ජාති ආගම් බේද නැත. කොහොමත් ලොව කොතැනකවත් මිනිසුන් වර්ග වන්නේ නැත. ප්‍රේමය යනු සියල්ල ය. ඒ සියල්ල ඇතුළේ අප්‍රමාණ බව මිස අන් යමක් නැත. චූලානන්ද සමරනායක සිය නිර්මාණ කාර්යය ඇතුළේ මේ අප්‍රමාණ බව පිළිබඳ බෙහෙවින් සවිඥානික ය. ඔහු නිර්මාණයක් කරන්නේත්; පරිවර්තනයක් කරන්නේත් යම්කිසි අපේක්ෂාවක් පෙරදැරිව ය. ඒ පාඨක ඥානණය යි.

පිල්ලෙයි නෝනත් නොවෙයි

පිල්ලෙයාන් මහත්තයත් නොවෙයි

මේ පිල්ලෙ කනපතිපිල්ලෙ..

සිංහල සින්දු නොකියපු

නළලේ විභූති නොතරවපු

නියම සිරි ලාංකිකයෙකි...

‘ලක්මවට වැඳ එතෙර ගිය දෙයියන්ගේ පුතා‘ කවිය මට ලියැවෙන්නේ යම්කිසි පශ්චාත්තාපයකින් පෙළෙන හදවතින් යුතුව දැහැමිද මේ දිවයින කාව්‍ය සංග්‍රහයට. 83 කළු ජූලිය වෙද්දි මම හොරණ තක්ෂිලා සෙන්ටර් කොලේජ් එකේ උසස්පෙළ හදාරනවා. ඒ වෙද්දි හොරණ රෝහලේ කනපතිපිල්ලේ හා ගනේෂන් කියලා වෛද්‍යවරු දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනාම මිනිසුන්ට ඉතා ම සේවයක් කළ අතිශය මානුෂීය මිනිස්සු දෙන්නෙක්. කනපතිපිල්ලෙ වෛද්‍යවරයා එවකට තිබුණු හොරණ දිස්ත්‍රික් රෝහලේ වැඩ කරනවා. ඔහුගේ වාට්ටුව බාර හෙදිය විදියට මගේ අම්මා කාලයක් වැඩ කළා. ඒ කාලෙ ඔහු තරුණයි; විවාහ වුණු අලුත; ඔහුට පුංචි දරුවෙක් හිටියා. ඔහු දරුවා අරන් පිට්ටනියට ඇවිත් ව්‍යායාම කරනවා. අපිත් පිට්ටනියේ සෙල්ලම් කරනවා. මේ වෛද්‍යවරයා හරි සුහඳයි. අම්මා නිසා ඔහු මාව හඳුනාගෙන සිටියා. ඔහු පුද්ගලික වෛද්‍ය සේවා කළත් කවදාවත් මුදල් මත යැපුණු කෙනෙක් නොවෙයි. ඔහුට හැම ලෙඩෙක්ම එකයි; ඒවගේම එයාව ඕන මොහොතක හමු වෙන්න පුළුවන්කම තිබුණා. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වෛද්‍යවරයෙක්. සිංහල සංස්කෘතියට බෙහෙවින් ගරු කළා. ඔහු දෙමළ බව අපි දැනන් හිටියා; ඒ වගේම හින්දු බවත් දැනන් හිටියා. ඒත් අපිට ඒක කිසිම වෙනසක් තිබුණෙ නෑ.

83 ජූලි කලබල ඇති වුණු වෙලාවෙ කනපතිපිල්ලෙ මහත්තයාගේ නිවෙස බලෙන් විවෘත කරලා එහි තිබුණු සියල්ල එකතු කරලා මහපාර අයිනෙ මේ මිනිස්සු ගිනි තිබ්බා. හොඳ වෙලාවට කනපතිපිල්ලෙ මහත්තයා ඒ වෙනකොට දරුවයි බිරියයි එක්ක පලා ගිහින් තිබුණා. එයා ප්‍රතිකාර කරපු අය තමයි වැඩියෙන් ම ඇවිත් හිටියෙ මේ දේපළ ගිනි තියන්න. මට හොඳට මතකයි; 80 තමයි මම ඉස්සෙල්ලම කණ්ණාඩි පලැඳින්න පටන් ගත්තේ. මගේ ඇස් ඉස්සෙල්ලම පරීක්ෂා කළේ කනපතිපිල්ලෙ මහත්තයාගේ ගෙදර සායනයේ. එතකොට මගේ ඇස් පරීක්ෂා කරන්න පාවිච්චි කරපු කාච මම දැක්කා අර ගිනි ගොඩේ ගිනි ගන්නවා. මට මේ ක තදට දැනුණා. කාලයක් එතුමා ගැන කිසිම ආරංචියක් නැතිව අපි ගත කරනවා.

කාලෙකට පස්සෙ සිළුමිණ පත්තරේ මට මතක විදියට පත්තර වාර්තාවක් පළ වෙනවා ‘ලක්මවට වැද එතෙර ගිය දෙයියන්ගේ පුතා‘ කියලා. ඒක ලියන්නෙ ප්‍රකට සිංහල ගුරුවරයෙක් හා කවියෙක් වෙන සුනිල් ගුණවර්ධන. ඒකෙ ලියලා තිබුණෙ කනකපිල්ලෙ මහත්තයා දරුවත් අරන් ගුවන්තොටුපළට ඇවිත් දණ ගහලා පොළොවට වැදලා තමයි රටෙන් පිට වුණේ කියලා. ඊට පස්සෙ ආයෙත් කිසිම ආරංචියක් නැතිව ගියා.

මගේ හිතට වද දුන්නා අපේ අතින් ඒ මනුස්සයට කොයිතරම් වැරැද්දක් වුණා ද කියලා. මම ඔය කාරණය තමයි මම මේ කවිය ලියන්න පාදක කර ගත්තෙ. ගෙවන්න බැරි වන්දියක් ගෙවන්න කළ මඳ උත්සාහයක් කියලා ඒක හඳුන්වන්න පුළුවන්. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් කවදහරි මේ මනුස්සයා හමු වෙලා එයාගෙන් සමාව ඉල්ලන්න; ඒ එදා වෙච්ච වැරැද්දට.

මම දේශන කරද්දි මේ සිද්ධිය කියනවා. දවසක් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දේශනයක් කරද්දි මම කිව්වා මේ සිද්ධිය ගැන. කනපතිපිල්ලෙ මහත්තයා ලංකාවෙන් ගියාට පස්සෙ නැවත ආවෙ නෑ කියලා මම කියපු දේ අහගෙන හිටිය එක්තරා මහත්තයෙක් දේශනය අවසන් වුණාට පස්සෙ කිව්වා කනපතිපිල්ලෙ මහත්තයා අප්‍රසිද්ධියේ වසරකට වරක් ලංකාවට ඇවිත් යන බව. මගේ අංශභාග රෝගෙන් මාව බේරුවෙත් එතුමා; එතුමා මනුස්සයෙක් නොවෙයි දෙයියෙක් කියලා. එයාව එදා බේර ගත්ත හොරණ බැල්ලපිටිය සිංහල ව්‍යාපාරික මහත්තයෙක් බලන්න අවුරුද්දකට සැරයක් ඇවිත් යනවා කියලත් කිව්වා. මීට පෙර ආව වෙලාවක දළදාව වඳින්තත් ගිහින් තිබුණා. ඔහු අන්‍ය ආගමික මත ඉවසන, ගරු කරන හරිම සංස්කෘතික මනුෂ්‍යයෙක්. මම කිව්වා කනකපිල්ලෙ මහත්තයා ආව වෙලාවක මාව මුණ ගස්සන්න කියලා. ඒත් ඒ අවස්ථාව තාම උදා වුණේ නෑ‘

තමාගේ සිතේ ඇතිවන පශ්චාත්තාප මුදා හැර යම් හෝ සහනයක් ලබා ගැනීමට නිර්මාණකරුවන් පෙලඹෙන්නේ ඒ ඔස්සේ යම් පරිඥානයක් පාඨක ප්‍රජාව වෙත ද ලබා දීමට ය. නිර්මාණ කරන්නේ පණිවිඩ ලබා දීමට නොවෙතත් ඒ මඟින් පාඨක විඥානයට කෙරෙන බලපෑම පණිවිඩවලට වඩා වැදගත් ය.

හොඳම දේ දරුවන් ට ය. මෙහෙම කියන්නේ ලෙනින් ය. එය සදාතනික සත්‍යයකි. දරුවන් කියන්නේ අනාගතය බාර ගැනීමට සිටින පිරිස ය. ‘ආමි බාප්පා කියලා මම ළමා කතාවක් නිර්මාණය කළා. යුද්ධයෙන් ආතුර වෙච්ච සමාජයක දරුවන් මානුෂිකත්වයට ළං කරන්න ඕන කියන හැඟීම මට තියෙනවා. ආබාධිත සොල්දාදුවෙක් හා කුඩා දරුවෙක් පිළිබඳ කතාවක් මෙහි තියෙන්නෙ. කතාව ඇතුළෙ මම දිගින් දිගටම කියන්න උත්සාහ කළේ දරුවන්ගෙ ලෝකෙට යුද්ධය අදාළ නෑ කියන එක. සෝවියට් දේශය ආක්‍රමණය කරගෙන ජර්මානු හමුදාව එනකොට මුලින් ම ඉවත් කළේ දරුවන් හා වයසක උදවිය. දරුවන්ට දිය යුත්තේ හොඳ ම දේ. හොඳ ම දේ කියන්නෙ ප්‍රේමය, කලාව හා ආදරය. අපි දරුවන් ව හදන්න ඕන වෛරයෙන් නොවෙයි, ප්‍රේමයෙන්‘

දරුවන්ට ප්‍රේමය, ආදරය දුරස් වෙන තරමට ඔවුන්ගේ ලෝකය මානව දයාර්ද්‍රවාදී වෙන්නේ නැත. ලේඛකයාගේ ආධ්‍යාශය වෙන්නේ දරුවන්ගේ ලොව සුපහන් කිරීම ය. චූලානන්ද ලේඛකයා ද ස්වකීය වගකීම මැනවින් ඉටු කරන්නේ සමාජයේ වඩාත් ඥානණය කළ යුතු පිරිස සේ සැලකෙන දරුවන් කෙරෙහි සිය ප්‍රේමය පතුරාවාලමිනි.

චූලානන්ද සමරනායක නාමය ලාංකේය නිර්මාණ සාහිත්‍ය ඇතුළත වැඩි ඉඩක් වෙන් කර ගන්නේ පරිවර්තන සාහිත්යික මෙහෙවර නිසා ය. ඔහු රුසියන් සාහිත්‍යය මෙරට පාඨකයන් අතර ජනප්‍රිය කරවීමේ ලා ප්‍රමුඛ ව හා වගකීමෙන් නිරත වූවෙකි. චිංගීස් අයිත්මාතව් නම් කිර්ගීසියේ අපූර්ව ලේඛකයා ලාංකේය පාඨකයන් අතර ජනප්‍රිය වන්නේ ඔහු නිසා ය. චිංගීස් අයිත්මාතව්ගේ අපූරුතම නිර්මාණය සේ ලොව පතළ මානව සත්ත්ව ප්‍රේමයේ අපූරුම කතාව චූලානන්ද පරිවර්තකයා පරිවර්තනය කරන්නේ ‘සමුගනිමු ගුල්සාරි‘ ලෙසිනි. සමුගනිමු ගුල්සාරි චිංගීස් අයිත්මාතව් ලේඛකයා අප අතර හදවතේ ලැගුම් ගත් ලේඛකයකු බවට පත් කළ ප්‍රමුඛතම කෘතියකි.

‘ 89 ඉදන් 1993 දක්වා මම වසර හතරක් අත්අඩංගුවේ සිටියා. හිර කුටිය ඇතුළේ ඉදන් තමයි මම මේ පරිවර්තනයට අත ගහන්නෙ. මේක පරිවර්තනය කරන එක මගේ සිහිනයක්, ආසාවක් වෙලා තිබුණෙ. අයිත්මාතව්ගෙත් අග්‍රගණ්‍ය කෘතිය විදියටනෙ මේක සැලකුණේ. මිනිසා හා සත්තු අතර තියෙන අතිශය අනුවේදනීය හා ආදරණීය සම්බන්ධතාව, මනුෂ්‍ය ප්‍රේමය, පරිසරය එකට ගැට ගැසූ රමණීය ගද්‍ය කාව්‍යයක් මෙය. මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා නිර්මාණය කරනු ලබන සමාජ ක්‍රමයක් නිලධාරීවාදී අතළොස්සකගේ ග්‍රහණයට නතු වීමත් සමඟ එයින් ප්‍රතිලාභ අහිමි වන ප්‍රජාවට එරෙහි වන ආකාරයත් මෙහි අපූරුවට චිත්‍රණය වෙනවා. ඒ එරෙහි වන අතරතුර විප්ලවයට අවංකව ම ආදරය කරන මනුෂ්‍යත්වයෙන් යුතුව ක්‍රියා කරන අවංක විප්ලවවාදියෙක් එහි කේන්ද්‍රීය චරිතය වෙනවා. ලෝකය වෙනස් කිරීමට සිහින දකින මිනිස්සු අනිවාර්යයෙන් කියැවිය යුතු පොතක් මේක.

ඒ දවස්වල හයවැනි මහල කියලා අප්‍රකට සිර කඳවුරක තමයි අපි රඳවා ගත්තෙ. ඉර එළිය නොවැටෙන, සතියකට සැරයක් පැයකට විතරක් එළියට ගන්න ලයිට් එළියෙන් විතරක් එළිය දකින තැනක අපි රඳවා සිටියෙ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම විවිධ හේතු මත අප රඳවා තිබුණා. මම එතැනින් දුටු දෙයක් තමයි මිනිස්සු වෙනස් වෙන්නෙ සමාජය නිසා බව. හැමෝම එකවගේ හිටියා. ඉංග්‍රීසි දන්නෙ නැති අය ඉංග්‍රීසි ඉගෙන ගත්තා. අපි පන්ති පැවැත්වුවා. කාලය ගෙවා ගැනීම තමයි මෙහි ලොකුම අර්බුදය විදියට තිබුණෙ. මම දෙමළ භාෂාව යම්තාක් දුරට ඉගෙන ගත්තෙ සිරකඳවුරේදී. මේ අතරේ අපි දෙන්නෙක් ලේඛන කටයුතුවලත් නිරත වුණා. එක්කෙනෙක් බාවා අබ්දුල් කාදර්. අනික් කෙනා මම. සමුගනිමු ගුල්සාරි පරිවර්තනය වෙන්නෙ ඒ කාලෙ. ක්‍රියාකාරි පුද්ගලයකු විදියට නැවත එළියට ඒමේ වුවමනාව මට තිබුණා. ඒකට මේ කෘතිය පිටුබලයක් වුණා‘

සාහිත්‍ය කියන්නේ සහිත බව ය; නැතිනම් පිරුණු බව ය. පිරෙන්නේ කුමකින් ද; මිනිස් වගෙහි නැණ ගුණෙනි; ගුණ නැණෙනි. එසේත් නැතිනම් මිනිසත් බවෙනි. ඒ මිනිසත් බව පාඨකයාට දැන්වීම පිණිස නිර්මාණකරුවෝ ස්වකීය නිර්මාණ බිහි කරති. චූලානන්ද සමරනායක කරමින් සිටින්නේ ද පාඨක ප්‍රජාව ගුණෙන් නැණෙන් හා ප්‍රේමයෙන් දයාවෙන් පිරවීම ය.

Comments