හැත්තෑ අටෙත් සටනට සූදානම් | සිළුමිණ

හැත්තෑ අටෙත් සටනට සූදානම්

 

මීනාක්ෂි අම්මා ජීවත් වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ය. බැලූ බැල්මට ඇයත් සාමාන්‍ය ඉන්දියානු ගැහැණියකුත් අතර ලොකු වෙනසක් පෙනෙන්නේ නැත. එහෙත් ඒ ඔබ ඇය ගැන නිවැරැදිව නොදන්නේ නම් එලෙස පෙනෙන්නට පිළිවන. නමුත් මීනාක්ෂි අම්මා යනු නිකම්ම නිකම් ඉන්දියානු ගැහැනියක නොවේ.

ඈ ඉන්දියාවේ සටන් හරඹ පාසලක ප්‍රධාන උපදේශිකාව ය. කාන්තාවක් සටන් සරඹ පාසලක උපදේශිකාවක් වීම මහා ලොකු විශේෂත්වයක් නොවතැයි සිතිය හැකි මුත් එහි ඇති විශේෂත්වය වනුයේ වර්තමානයේ ඉන්දියාවේ සිටින වයස්ගතම සටන් කලා උපදේශිකාව සේ සැලකෙන්නේ මීනාක්ෂි අම්මා වන හෙයිනි. ඇගේ දැන් වයස අවුරුදු හැත්තෑ අටකි. එහෙත් ඈ තවමත් ශක්තිමත් ය. ඕනෑම ගුස්ති කාරයෙක් සමඟ ගුස්ති ඇල්ලීමට තරම් සවිමත් ය.

මීනාක්ෂි අම්මා දැන් සටන් කලා පාසල (කලාරි සංගම් පාසල) පවත්වාගෙන යන්නේ තම නිවෙසේ ය. ඒ පුහුණු පාසලේ ඈ උගන්වන්නේ අතීතයේ ඉන්දියාවට උරුම වූ සටන් ක්‍රීඩාවක් සේ සැලකෙන කලාරිපායට්ටු නැතහොත් 'කලාරි' යනුවෙන් කෙටි නමින් හඳුන්වන සටන් ශිල්පය ය.

ඇයගෙන් සැලකිය යුතු කුඩා, නව යොවුන් දරුවන් සටන් කලාව පුහුණු වෙයි. ඒ සඳහා ඈ තම පුතුගේ සහාය ද ලබාගනිමින් සිටී. එහිදී සටන් කලාව සිදුකරන ආකාරය, පහරදීම, පහර වැළකීම, සිරුරේ සරඹ සිදුකරන ආකාරය ප්‍රදර්ශනය කරන්නේ මීනාක්ෂි අම්මා හා ඇගේ පුත්‍රයා ය. එවැනි පුහුණු සටන් දර්ශන ඉදිරිපත් කරද්දී ඔහු සැබැවින්ම තම මව සමඟ හරි හරියට ඔට්ටු වෙයි. ඇතැම්විට ඔහු උණ බම්බුවකින් පහර එල්ල කරන්නේ ය. එවිට මීනාක්ෂි අම්මා කලාරි සටන් ශිල්පීය ක්‍රම යොදා ගනිමින් එලෙස එල්ල කරන සෑම පහරක්ම වළක්වා ගන්නී ය.

එසේම ඈ එම ක්‍රීඩාවේ නියැළෙන්නට තරුණියන්ට ජීවිතයේ ඇති අවස්ථාව ගැන නිහඬව එහෙත් වඩා ප්‍රබල පණිවුඩයක් සමාජ ගත කරනු ලැබීම ද විශේෂත්වයකි. එමගින් ඈ කියන්නට උත්සාහ ගනුයේ සටන් ක්‍රීඩාව යනු පිරිමින්ට පමණක් උරුම වූ ක්‍රීඩාවක් නොවන බව ය. එසේම කාන්තාව හුදෙකලාව සමාජයට යාමේ දී විඳීමට සිදුව ඇති විවිධ අතවරයන්ගෙන් ආරක්ෂා වීමට සටන් කලාව උපයෝගී කරගත හැක්කේ කෙසේ ද යන්න ය. එකී කරුණුවලට සමගාමීව ඓතිහාසික දේශීය සටන් ක්‍රමයක් ආරක්ෂා කර අනාගත පරපුර අතරට රැගෙන යෑම ද ඈ අතින් සිදුවෙයි. එලෙස එම සටන් කලාව මිය යාමට නොදී ආරක්ෂා කරගැනීමට ඈ ගන්නා වෙහෙස සැබැවින්ම උත්තරීතර ය.

'මම කලාරි ඉගෙන ගන්න පටන් ගනිද්දී මගේ වයස අවුරුදු හතයි. දැනටත් මම මේ සටන් කලාව පුහුණු වෙනවා. ඒ වගේම තවත් අයට උගන්වනවා.' තම සටන් කලා උපදේශක ජීවිතය තුළ සිසුවෙක් හා ගුරුවරයෙක් යන චරිත දෙකම ජීවත්වන බව කියන්නේ මීනාක්ෂි අම්මා ය.

ඈ කලාරි සංගම් පාසලේ සටන් කලා උපදේශකවරිය බවට පත්වූයේ ඇගේ සැමියා මිය ගිය දා සිට ය. ඈ 1949 වසරේ සිට මෙම සටන් කලා ක්‍රීඩාව තුළ ජීවත්වීම එම වගකීම බාර ගැනීමට ප්‍රධාන වශයෙන් ඈට උපකාරී වී තිබිණි.

'ඔබ අද පුවත්පතක් පෙරැළුවොත් දකින්න තිබෙන්නේ කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැඩි වී ඇති බවයි. ඒකට හොඳම විසඳුම සටන් කලාවක් උගන්වන එක. සටන් ක්‍රීඩාව කාන්තාවන් උගත්තාම ඔවුන් තුළ දැඩි ආත්ම විශ්වාසයක් ඇතිවෙනවා. ඒ වගේම ඔවුන් මානසිකව හා ශාරීරිකව ශක්තිමත් වනවා. ඒ නිසා තනිවම රැකියාවට යන්න වගේම ඕනෑම තැනක සංචාරය කරන්න ගැටලුවක් වෙන්නේ නෑ.' මීනාක්ෂි අම්මා පවසයි.

කලාරි සටන් කලාව වසර තුන්දහසකට වඩා පැරැණි ඓතිහාසික සටන් කලාවකි. එය නිර්මාණය වී ඇත්තේ නැටුම් හා යෝගා ඉරියව් ද එක් කරමිනි. කඩු, පළිහ සහ යෂ්ටිය වැනි උපාංග ද මෙම සටන් කලාවේ දී උපයෝගී කරගනු ලැබේ.

එසේම කලාරි සටන් කලාව සම්බන්ධයෙන් වන බොහෝ ඓතිහාසික සාක්ෂි ඉපැරණි හින්දු ග්‍රන්ථවල ද සඳහන් ය. එහෙත් අධිරාජ්‍යවාදය ඉන්දියාව යටත් කරත්තාට පසු 1804 වසරේ සිට කලාරි සටන් ක්‍රීඩාව පුහුණුවීම තහනම් කෙරිණි. එහෙත් පාරම්පරික සටන් පවුල් තුළ එම ක්‍රීඩාව රහසිගතව පවත්වාගෙන ගියේ ය.

1947 දක්වා රහසිගතව පවත්වාගෙන ගිය මෙම කලාරි සටන් ශිල්පය යළි ප්‍රසිද්ධියේ පුහුණුවීමට පටන් ගත්තේ එංගලන්තයෙන් ඉන්දියාවට පූර්ණ නිදහස හිමිවීමෙන් අනතුරුව ය. දැන් එදා මෙම සටන් කලාව ආරක්ෂා කළ සටන් ගුරු කුල නියෝජනය කරන පවුල් ආශ්‍රිතව එවැනි සටන් කලා පාසල් දැකිය හැකි වේ. මීනාක්ෂි අම්මාගේ කලාරි සටන් කලා පාසල එවැන්නකි.

'මමත් කලාරි උගන්වන්න තීරණය කර තිබෙනවා. මගේ සහෝදරයාත් සමඟ ඒ වෙනුවෙන් කටයුතු කරන්න මම කැමතියි.' යැයි කියන්නේ අලාකා එස්. කුමාර් ය. ඇය විසිනව හැවිරිදි ය. ඇය වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරියකි. එසේම අලාකා යනු මීනාක්ෂි අම්මාගේ මිණිබිරිය ද වේ.

'අපිට එය ඉදිරියට රැගෙන යෑමේ වගකීම තිබෙනවා.' ඈ කියන්නී ය. මීනාක්ෂි අම්මා තවමත් සටන් කලා පුහුණු පාසලේ නව යොවුන් දරු දැරියන් පුහුණු කරන්නේ තමන්ගේ ඉංජිනේරු මිණිබිරිය මෙම සටන් කලා පාසල බාරගන්නා දවස වනතුරු ය. එතෙක් ඈ ගැන පුවත්පත් විශේෂාංග ලියැවෙනුයේ ඉන්දියාවේ වයස්ගතම සටන් කලා උපදේශිකාව ‘මීනාක්ෂි අම්මා’ කියා ය.

 

කාන්ති ජයසිංහ

Comments