ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යවන තීරණයක් | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට යවන තීරණයක්

 

පාකිස්තානය අමතක කළ නොහැකි අසල්වැසියෙකි. ඒ උපකාර අවැසිම මොහොතක ඉවත නොබැලූ මිතුරකු ලෙස ය. දැන් යළිත් පාකිස්තානය ශ්‍රී ලංකාවේ අත ඉල්ලා සිටිනුයේ නොගිලී සිටින්නට ය. මෙවර ඒ අභියෝගය බාර ගැනීමට සූදානම් වනුයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ය. අපි බලා සිටිමු.

දැනට වසරකට වැඩි කාලයක සිට ජාත්‍යන්තර තරගවලට සහභාගී නොවී සිටින මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම සංචාරය වඩාත් වැදගත් වීමට ඉඩ ඇත්තේ නොවැම්බර් මස 21 සිට දෙසැම්බර් මස 05 දින දක්වා සිම්බාබ්වේහි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් අත් කර ගැනීමේ වටය සඳහා එය හොඳ අවස්ථාවක් වන බැවිනි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්ෂතා දැක්වීමට අමතරව අසල්වැසි රාජ්‍යයක ක්‍රීඩාවේ අසීරු අවස්ථාවක උපකාරී කිරීමට ලැබීමක් ලෙස ද මෙම සංචාරය සැලකිය හැකි ය. ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලබා ගැනීම සඳහා දිගින් දිගට ම පාකිස්තානය ජගත් ක්‍රිකට් සමුළුව ඉදිරියේ දැවැන්ත හඬක් නැඟූ රටකි. 1987 සිට 1992 දක්වා කිසිම ජාත්‍යන්තර කණ්ඩායමක් මෙරට සංචාරය නොකළ අවධියේ පාකිස්තානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැක්වූයේ මිත්‍රශීලි ප්‍රතිපත්තියකි.

එවකට මෙරටට පැමිණි ඔස්ට්‍රේලියා කණ්ඩායම සාර්ථක තරගාවලියක් නිම කිරීමෙන් පසු සිය රට ගිය අතර, මාටින් ක්‍රෝගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම මෙහි සංචාරය කළ ද ඔවුන් නතරව සිටි හෝටලය ඉදිරියේ බෝම්බයක් පිපිරී එවකට නාවික හමුදාපතිවරයා ඝාතනය විණි. එම අවස්ථාවේ නවසීලන්තය යළි සියරට බලා පිටත්වීමට සූදනම් වූ අවස්ථාවේ එම තරගාවලිය අවලංගු වුවහොත් වහා පාකිස්තාන කණ්ඩායමක් මෙරටට එවීමට සූදානම් බව එවකට පාකිස්තාන් ක්‍රිකට් බලධාරීහු පවසා තිබුණේ ය. එමෙන් ම 1996 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා හා කොදෙව් කණ්ඩායම් මෙරටට නොපැමිණීම හේතුවෙන් ඉන්දිය හා පාකිස්තාන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කණ්ඩායමක් මෙරට සංචාරය කරමින් තරග වැදුණේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යෝග්‍ය ආරක්ෂක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පවතින බව ලොවට හඬගා කීමට ය. ඒ අනුව මෙම අසීරු අවස්ථාවේ දී පාකිස්තානයට සහය පළ කිරීම කෙරේ කිසිවකුටත් උරණ වීමට නොහැකි ය.

පාකිස්තාන ක්‍රිකට් බලධරයකු පවසා ඇති අන්දමට දෙරට ක්‍රිකට් බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බොහෝ දුරට මෙම මස 15 දින පාකිස්තානය බලා පිටත්ව යනු ඇත. දිගු කලෙකින් ජාත්‍යන්තර තරග නොතිබුණ ද කාන්තා ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න පවසා තිබුණේ කාන්තා කණ්ඩායමට වැඩිදුර පුහුණුවක් වශයෙන් ඔක්තෝබර් මස සිට වයස 17න් පහළ පිරිමි කණ්ඩායම සමග පුහුණු තරග කීපයක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටි බවයි. එමෙන්ම දඹුල්ලේ දී සති තුනක පුහුණු කාලයක් සාර්ථකව අවසන් කරන ලද බවත් ඔහු පවසා තිබිණි.

“අප පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ තරග වැදීමට කලින් බලාපොරොත්තු වුවත් දකුණු අප්‍රිකාව හා ඉන්දීය පිරිමි කණ්ඩායම් සමග වූ තරග මෙහි පැවැත්වීමට සිදුවුණා. ඒ වගේම කොවිඩ් තත්ත්වය මත ජෛව බුබුළු නිර්මාණය කරගත යුතු වුණා. එක ම අවස්තාවක් මෙසේ ජෛව බුබුලු විශාල ගණනක් නිර්මාණය කිරීම පහසු කාර්යයක් නොවෙයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලිද සිල්වා ප්‍රකාශ කළේ ය.

“ඇත්තටම අපිත් මේ සඳහා අවස්ථාවක් සොයමිනුයි සිටියේ. දැන් ඊට කවුළු විවර වී තිබෙනවා. ඒ ඔවුන්ගේ ආරාධනාව මත.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අදහස කාන්තා පිලේ පාකිස්තාන් සංචාරය සම්බන්ධයෙන් ධනාත්මක බව ය.

පසුගිය මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව ජගත් කාන්තා කණ්ඩායම් වර්ගීකරණයට අනුව නව වැනි ස්ථානයේ පසුවෙයි. පාකිස්තානය සිටිනුයේ හත් වැනි ස්ථානයේ ය. කෙසේ නමුත් දෙරට අතර පැවැති තරග තිහකින් විසි එකක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය. පාකිස්තානය ජයගෙන ඇත්තේ තරග 09 ක් පමණි.

ලෝක කුසලාන, ආසියා කුසලාන යන ප්‍රමුඛ තරගමාලාවන්හි දී දෙපිල මුණගැසී ඇති අතර මුල්වරට 1997-98 ශ්‍රී ලංකාවේ දී දෙපිල අතර තරගාවලියක් පැවැත්විණි. මෙම තරගමාලා ජයග්‍රහණය අත්වූවේ ශ්‍රී ලංකාවට ය. එමෙන්ම 2001-02 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 6-0 ලෙස

ශ්‍රී ලංකාවේ දී ලත් ජය අමතක කළ නොහකිය.

ක්‍රීඩිකාවන්ගේ දස්කම් දෙස බලන විට ජවෙරියා ඛාන් 2014-15 ශ්‍රී ලංකාවට එරෙහිව සාජාහි දී නොදැවී ලකුණු 133 ක් රැස්කර තිබේ. ඇය ශ්‍රී ලංකාවේ දී ද නොදැවී ලකුණු 113 ක් ලබා ගෙන ඇත්තේ 2017-18 තරග වාරයේ දී දඹුල්ලේ දී ය. එමෙන් ම දෙරට අතර තරගවල දී ශතක දෙකක් ලැබූ ක්‍රීඩිකාව ද ඇය ලෙස සැලකේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු 2014-15 සාජාහි දී ලැබූ ලකුණු 99 මෙරට ක්‍රීඩිකාවක ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.

පන්දු යැවීමේ දී සුතර්ශිනි සිවනන්තම් 2001-02 කොළඹ මැලේ ක්‍රීඩා පිටියේ දී පාකිස්තානයට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ ලකුණු 02 ක ට කඩුලු පහක් වශයෙනි. මෙය මෙරට පන්දු යවන්නියක එක්දින ජගත් තරගයක සටහන් කළ හොඳම පන්දු යැවීම ලෙස ද නම් කළ හැක.පාකිස්තානය වෙනුවෙන් සානා මිර් 27/04 ලෙස හා 32/04 ලෙස දඹුල්ලේ දී හොඳ පන්දු යැවීම් දෙකක් වාර්තා කර ඇත්තේ 2017-18 තරග වාරයේ දී ය. මීට අමතරව ශයිෂා ඛාන් 46/04 හා උරෝයි මුම්ටාස් 31/04 ලෙස ද පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව දස්කම් දක්වා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානය හමුවේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 2010-11 කොළඹ පී. සරවනමුත්තු පිටියේ දී ලකුණු 68 කට දැවීයාම ය. පාකිස්තානය ද 2001-02 තරග වාරයේ දී මහනුවර පැවැති තරගය දී ලකුණු 61 ක ට දැවී ගොස් ඇත.

අනිල් වීරසිංහ 

Comments