ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පස්සේ අපි තමයි රටේ ප්‍රබලම ක්‍රිකට් සංගමය | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පස්සේ අපි තමයි රටේ ප්‍රබලම ක්‍රිකට් සංගමය

 

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ම ක්‍රීඩා සංගමයකි වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය. එහි අභිනව සභාපතිවරයා නලීන් වික්‍රමසිංහ ය. විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ බැංකු පරිපාලන නිලධාරියෙකු ද වන ඔහු වර්තමානයේ මෙරට ප්‍රධානත ම ඉදිකිරීම් ඉංජිනේරු සමාගමක් වන මෝඩ් ගෲප් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා ය. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි ශිෂයකු වන ඔහු හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙකි. වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා වශයෙන් අපි ඔහු සමඟ මෙලෙස සංවාදයකට එළඹුණෙමු.

අපි ඔබගේ නව පත්වීමට සුබ පතන්න කැමතියි. ඔබ වෙළෙඳ සේවා සංගමයේ කී වැනි සභාපතිවරයා ද?

බොහෝම ස්තුතියි. ක්‍රීඩා පුවත්පත හැමදාමත් වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය එක්ක සිටියා. මම ප්‍රධාන ලේකම් ධුරය දරන අවස්ථාවේ දී ත් වෙළෙඳ සේවා ක්‍රිකට් තරග මාලාව පවත්වාගෙන යන්නට ප්‍රචාරණය පැත්තෙන් මට ඉතාමත් හොඳ සහායෝගයක් ක්‍රීඩා පුවත්පතෙන් ලැබුණා. අනාගතයේ දී ත් ඊට දෙවැනි නොවන සහයෝගයක් ලැබෙයි කියා මම උදෙක්ම බලාපොරොත්තු වනවා.

මම 42 වැනි සභාපතිවරයා යි. වසර දෙකක කාලයක් මෙහි සභාපති ධුරය හොබවනවා. මට කලින් සභාපතිවරයා ලෙස කටයුතු කළේ රෝහණ දිසා-නායක මහතායි. ඔහුත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයට ඔබ එක්වුණේ කොහොම ද?

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මම බැංකු ක්ෂේත්‍රය හා එක්වුණා. ඒ සමයේ මම බැංකු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. නායකයාත් වුණා. ඒ ඔස්සේ තමයි මම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සමාජිකයකු වන්නේ.

එතකොට එහි පරිපාලනයට එක්වන්නේ කෙසේ ද?

නායකත්වයෙන් සමුගත් පසුව මට අවශ්‍ය වුණා ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්න. ඒ ඔස්සේ මම වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සාමාජික රොෂාන් ඉද්දමල්ගොඩ මහතාව දැනුවත් කරනවා. ඔහු මට සාමාජිකත්ව ඇයැදුම්පතක් ලබා දුන්නා. 2007 වසරේ දී සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී එයින් සමත්ව 2007 වසරේ දී වෙළෙද සේවා ක්‍රිකට් සංගමයේ පරිපාලනයට එකතු වුණා. ඒ වසරේදී ම උප භාණ්ඩාගාරික තනතුර දරමින් ප්‍රධාන කමිටු සමාජිකත්වය දැරුවා. ඒ මම එවකට බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධකමක් තිබීම නිසයි.

එතකොට උප භාණ්ඩාගාර ධුරයෙන් පසුව සභාපති වරයා දක්වා ආ ගමන් මඟ කොහොම ද?

උප භාණ්ඩාගාරිකවරයා ලෙස මට පුළුවන් උපරිමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩා සංගමයට සේවය කළා. පසුව මම ප්‍රධාන ලේකම් ධුරයත්, ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත් වැඩකටයුතු කරමින් තමයි පසුගියදා පැවැති මහා සභා රැස්වීමේ දී සභාපතිවරයා ලෙස පත්වුණේ.

ඔබ ක්‍රියා කළේ මූල්‍ය ක්ෂේත්‍රයේ. නමුත් දැන් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වැඩකරනවා.

මම බැංකු කළමනාකරුවකු ලෙස දිර්ඝ කාලක් සේවය කළා. විශ්‍රාම යන විට කොළඹ බොරැල්ලේ හා රිඩ් මාවතේ බැංකු ශාඛාවන්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළා. මම නැවත රැකියාවක නිරත වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම නිසායි. ඒ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ක්‍රීයාකාරි සමාජිකයකු ලෙස කටයුතු කිරිම උදෙසා. දැන් මම මෝඩ් ඉංජිනියර් ඉදිකිරීම් ආයතනයට සම්බන්ධයි.

වෙළෙද සේවා ක්‍රිකට් සංගමය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කොතැනද දැන් තියෙන්නේ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසු ප්‍රධානත ම ක්‍රිකට් ආයතනය තමයි වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩා සංගමය. මේ වන විට සාමාජික ආයතන 225 ට වඩා වැඩි සමාජිකත්වයක් දරන සාමාජිකයන් 5000 සිටින ක්‍රීඩා සංගමයක් තමයි වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය.

අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රිඩාංගණ-යක් ගෘහස්ථ පුහුණුවීම් මධ්‍යස්ථා-නයක්, ක්‍රීඩා සමාජ ශාලා අංග-ණයක් ඇතුළත් පූර්ණ මධ්‍යස්-ථානයක් ලෙස වැඩිදියුණු කර තිබෙනවා. ඒ වගේම ස්නූකර් හා පැසිපන්දු වැනි ක්‍රීඩා ප්‍රවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ද සපුරා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන භූමිකාව උසුලන්නේ වෙළෙද සේවා ක්‍රිකට් සංගමය කියන්නේ ඇයි?

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසු සියලුම ක්‍රීඩකයන් අනිවාර්යයෙන් යම් කිසි වෘතියකට යොමු වෙනවා. වෙළෙඳ සේවාවට යෙමුවන ක්‍රීඩකයන් සියලුම දෙනා වෙළෙඳ සේවා ක්‍රිකට් හා සම්-බන්ධයි. මෙරට ගෞරවාදරයට පත්වන ප්‍රමුඛත ම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සිටින අර්ජුන රණතුංග පවා වෙළෙද සේවා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහුට ප්‍රථම බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් වැනි ක්‍රීඩකයන් ද වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය නියෝජනය කළවුන්. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පසුව අපි තමයි මෙරට ප්‍රබල ම ක්‍රිකට් සංගමය.

එතකොට ක්‍රිකට් වෙනුවෙන් දක්වන දායකත්වය පැත්තෙන් ඔබලා ඉදිරියට එන්නේ කොහොම ද?

අපි වාර්ෂික ව ක්‍රිකට් ක්‍රීඩා තරග මාලා 7 ක් සංවිධානය කරනවා. A – G දක්වා. ඒ තරග මාලා 7 ට වාර්ෂික ව තරග 700 -800 ක් පමණ ඇතුළත්. ඊට අමතර ව තරුණ ක්‍රීඩකයන් 250 කින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩා ඇකඩමියක් පවත්වාගෙන යනවා. වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දු වෙළෙඳ සේවා ක්‍රිකට් ඇකඩමියේ ශිෂ්‍යයෙක්. මෙම පුහුණු පාසල ඇරැඹුවේ ක්‍රිස් ඔබේසේකර හිටපු සභාපතිවරයා විසිනුයි.

ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ විනය වැඩිදියුණු කිරීමටත් මෙම ඇකඩමිය හරහා අපි උත්සාහ දරනවා. අපි තරගාවලියක හොඳම විනය ගරුක ක්‍රීඩකයාට ද කුසලාන පිරිනමන වැඩ-පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත්තේ ඒ අනුවයි.

කොවිඩ් නිසා සමස්ත ක්‍රීඩාවට අපල කාලයක් උදාවුණා. ඔබලා කටයුතු කළේ කොහොම ද?

රටේ රෙගුලාසි අනුව ක්‍රියා කළා. වාර්ෂික ව පවත්වන සියලු තරග නවතා දැම්මත් ක්‍රීඩා සංගමයක් ලෙස අපි වැඩකටයුතු කළා. ක්‍රීඩා සමාජ ශාලා අංගනය හා ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු කරන සේවකයන්, ආරක්ෂක අංශයේ සේවකයන් නඩත්තු කළා. හිටපු සභාපති රෝහණ දිසානායක මහතා විශේෂ වැඩපිළිවෙලක් සකසමින් ඒ සියලු සේවකයන්ට හිමි වේතනය ලබා දීමට කටයුතු කළා. ඒ වගේම ක්‍රීඩාව ආරම්භ කිරීමට දෙන මුල්ම අවස්ථාවේ දී අපට අපේ තරගාවලි ආරම්භ කළ හැකි බව ආඩම්බරෙයන් කිව යුතුයි.

ඹබ සභාපති වරයා ලෙස ඉදිරි වැඩපිලිවෙල ගැන කතාකරමු.

රෝහණ දිසානයක හිටපු සභාපති-වරයාට උවමනාවක් තිබුණා රාත්‍රි කාලයේ දී පුහුණුවීම්වල නිරත වන ක්‍රීඩකයන් උදෙසා යම් කිසි වැඩසටහනක් ක්‍රියාවට නංවන්න. එම වැඩපිළිවෙළ අංග සම්පූර්ණ කිරීම තමයි මගේ අරමුණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වෙළෙද සේවා ක්‍රිකට් සංගමයට ලැබේන දායක්වක කෙසේද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව විශාල අනුග්‍රාහකත්වයක් ලබා දෙනවා. පසුගිය වසරේ දී අපි මුහුණ දුන් මුල්‍යමය ගැටලුවලට විශාල ලෙස අනුග්‍රාහකත්වයක් ලබා දුන්නා.

වෙළෙද සේවා ක්‍රීඩා කළ ජාතික තලයේ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන දායකත්වය කෙසේද?

ජාතික තලයේ ක්‍රීඩා කළ සැම ක්‍රිඩකයෙකුම අපිට සහායෝගය දෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි අපේ ජාති සම්පතක් වූ මුත්තයියා මුරලිදරන් රට වසන්නට කලියෙන් අපේ ආරාධනයක් පිට මෙහි පැමිණ පුහුණු පාසලේ තරුණයන් උදෙසා වැඩමුළුවක් කළා. ඒ වගේම අන්කුත් ජාතික ක්‍රීඩකයන්ද අපි ආරාධනා කළ සෑම විටම පැමිණ ඹහුන්ගේ ශ්‍රම දායකත්වය සපයා දී තිබෙනවා.

වාර්ෂිකව තරගමාලාව සංවිධානය කරන්නේ අනුග්‍රාහකයන් තවමත් ඔබ සංගමය හා ඉන්නවා ද?

අපට පූර්ණ කාලීනව එක් එක් තරගාවලි සංවිධානය කිරීමේ දී ප්‍රධාන ව්‍යාපාරික ආයතන සහභාගි වනවා. ඔවුන් තමයි අපගේ ශක්තිය.

අපි අපේ පාඨකයන් වෙනුවෙන් ඔබේ පෞද්ගලික ජිවිතය ගැනත් යමක් දැනගන්න කැමතියි?

මට දරුවන් දෙදෙනෙක් සිටිනවා. දෙදෙනාම දියණියන්. මම විවාහ වෙලා සිටින්නේ මනෝහාරි වික්‍රමසිංහ සමඟයි. ඇයත් බැංකු නිලධාරිනියක් ලෙස සිට විශ්‍රාම ගෙන තිබෙනවා.

මගේ වැඩිමාහල් දියණිය විශිෂ්ට ලෙස උසස් පෙළ සමත් වුණ නිසා ඇයට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයට යන්න පූර්ණකාලීන ශීෂ්‍යත්වයක් ලැබුණා. ඇය එය නිමවා දැනට මොනැෂ් විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියක් ලෙස වසංගත රෝග සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතුවල නිරතව සිටිනවා. දෙවැනි දියණිය මධුණි වික්‍රමසිංහ ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්. ඈ දැන් ඇගේ දෙවැනි උපාධියට සූදානම් වෙනවා.

ගීෂා මුණසිංහ

Comments