පන්දුව උඩපන්දුවකට පෙරැළා තර කළහ ඔවුහු තම කඩුලු පැස | සිළුමිණ

පන්දුව උඩපන්දුවකට පෙරැළා තර කළහ ඔවුහු තම කඩුලු පැස

පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගැනීම සාමාන්‍ය දෙයක් වූවාට තමා යැවූ පන්දුවකට ම උඩපන්දුවක් රැක ගැනීම තරමක් සුවිශේෂී ය. එය එසේ වන්නේ සැම විටම ප්‍රතිවාදී පිතිකරුවා පන්දු යවන්නා වෙත එල්ල වන පරිදි පෙරළා පන්දුවට ප්‍රති පහර දෙන අවස්ථා විරල වන හෙයිනි. එසේ පහරක් එල්ල කළ ද එය තුළ ඇත්තේ අධිවේගයකි. එහෙත් පෙරළා තමන් වෙත එන ලෙස පිතිකරු මුළාවේ දැමූ පන්දු යවන්නන් අතර ලොව වැඩිම වාර ගණනක් එම දස්කම දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු බව ඔබ දන්නවා ද? ඒ මෙරට පමණක් නොව ලොව විශිෂ්ටත ම ටෙස්ට් පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ය. මේ එලෙස තම පන්දුවෙන් පිතිකරු ගේ පහර උඩපන්දුවක් ලෙස තමන්ම රැකගත් පන්දු යවන්නන් ගැන මතකයකි.

එක්දින සහ ටෙස්ට් පිටිය

ටෙස්ට් තරග 132 ක දී 35 වතාවක් ප්‍රතිවාදී පිතිකරුවාගේ පිත්තෙන් උඩපන්දුවක් ලබා ගනිමින් වැඩි ම අවස්ථාවක් එම දස්කම දක්වා ඇත්තේ සුපිරි පිට දඟ පන්දුයවන්නා වූ මුත්තයියා මුරලිදරන් ය. එපමණක් නොව ‍ටෙස්ට් සහ එක්දින තරග දෙඅංශයෙහිම 70 වතාවක් මෙම දක්ෂතාවය දක්වමින් එම ලැයිස්තුවේ පෙරමුණ සිටින්නේ ද ඔහු ය.

ටෙස්ට් තරග 132 ක ට ක්‍රීඩා කර ඇති ඉන්දියාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නකු වූ අනිල් කුම්බ්ලේ, මුරලි මෙන් ම අවස්ථා 35 ක දී මෙම දස්කම දක්වා තිබේ. ඒ අනුව ඔහු මුරලි සමඟ මෙම ටෙස්ට් තරග වාර්තාවේ සම තැන පසු‍වෙයි. එහි තෙවැනි තැන ද සම අයිතියකි. ඒ 21 වතාවක් මෙම දස්කම පා ඇති නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ය.

මේ අතර එක්දින සහ ටෙස්ට් යන දෙඅංශය තුළ ම මෙම දක්ෂතාවයේ පෙරමුණ සිටින්නේ ද මුත්තයියා මුරලිදරන් ය. එහිදී මුරලි මෙම දස්කම

70 වතාවක දී සිදු කරන විට අනිල් කුම්බ්ලේ තරග 403 ක දී 53 වතාවක් මෙම දස්කම පාමින් ලැයිස්තුවේ දෙවැනි තැන රැඳී සිටියි. එහි තෙවැනි තැන අවස්ථා 34 ක දී මෙම දස්කම පා ඇති ඩැනියෙල් විටෝරි සහ ෂේන් වෝන් අතර බෙදී ගොස් ඇත.

මුරලිදරන් එක්දින තරගවලදී ද මෙම සුවිශේෂී දස්කම වැඩි වශයෙන් දක්වා තිබේ. ඒ අනුව ජාත්‍යන්තර එක්දින තරග 350 ක ට සහභාගී වී ඇති ඔහු 35 වතාවක්ම පන්දු යවා තමන් විසින්ම උඩපන්දුවක් රැක ගනිමින් කඩුලු දවාගෙන ඇත්තේ ටෙස්ට් තරගවලදී මෙන්ම ය. ඔහුට පසු එක්දින තරගවල තමන්ගේ පන්දුවෙන් තමන් විසින්ම උඩපන්දු රැකගත් වඩා සාර්ථක පන්දුයවන්නා නවසීලන්තයේ හිටපු සුපිරි පන්දු යවන්නෙක් වූ ක්‍රිස් හැරිස් ය. ඔහු තරග 250 ක දී 29 වතාවක් මෙම දස්කම දක්වා ඇත.

තරග 398 ක ට සහභාගී වී ඇති පකිස්තානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සහීඩ් ඇෆ්රීඩ් ඒ ලැයිස්තුවේ තෙවැනි තැන හිමි කර ගෙන සිටී. ඒ 24 වතාවක් එකී දස්කම දක්වමිනි.

 

විස්සයි20 පිටිය

විස්සයි විස්සයි පිටියේ මෙම දක්ෂතාවය ගැන ද සඳහන් කළ යුතු ය. ඒ අනුව 2006 සිට වසර 15ක ඉතිහාසයක් සහිත විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටි‍යේ මෙම දක්ෂතාව 7 වතාවක් දක්වමින් පළමු තැන පසුවන්නේ ඇෆ්ගනිස්ථාන සුපිරි පන්දු යවන්නෙක් වන මෙහොමඩ් නබීය. එහි ‍දෙවැනි තැන පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හෆිස් සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ඩී.ජේ. බ්‍රාවෝ අතර බෙදී ගොස් ඇත.

කෝට් ඇන්ඩ් බෝල්ඩ් කිං

පසුගිය වසරේ අන්තර් ජාතික ක්‍රිකට් කමිටුව විසින් (ද කොට් ඇන්ඩ් බෝල්ඩ් කිං) නමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. සුවිශේෂීම කරුණ වූයේ එම වීඩියෝව ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් සුරුවෙක් මෙන්ම දක්ෂ පන්දු රකින්නෙක් වූ ටී. එම්. ඩිල්ෂාන් තේමා කරගෙන නිෂ්පාදනය කර තිබීමයි.

ඩිල්ෂාන් විසින් පන්දු යවමින් ඔහු විසින් රැකගත් උඩ පන්දුවලින් බොහෝමයක්ම සුපිරි ගණයේ උඩ පන්දු වීම එලෙස අයි.සී.සී ය විසින් ඇගයීම් වීඩියෝවක් නිකුත් කිරීමට ‍ප්‍රධානම හේතුව වී තිබිණි. ජාත්‍යන්තර එක්දින තරගවලදී ඩිල්ෂාන් එසේ රැකගෙන ඇති උඩපන්දු ගණන 11 කි.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments