නිවැරැදි ලේන් එකේ ගිය ලේන් | සිළුමිණ

නිවැරැදි ලේන් එකේ ගිය ලේන්

 

බොක්සිං ක්‍රීඩාවට අත්වැසුම් උවමනායි. අත්වැසුම් ලූ මිනිසුන් එක රැයකින් සමස්ත ලෝකයේම ජනප්‍රිය වන්නේ අකුණු පුපුරන්නාක් සේ යි. එහෙත් ඔහු ලොව සුප්‍රකට අත්වැසුම් නොමැතිව 'ඕනෑම ගමනක් යාමට මාවතක් තිබිය යුතු ය. ඔහුගේ මාවත වූයේ බොක්සිං ය. එහෙත් අතර මඟදී ඔහු තවමත් මාවතකට ගොඩ වූයේ ය. ඒ මාවත ඔහුට චිර ප්‍රසිද්ධිය රැගෙන ආ අයුරු අපූරු ය.'

එසේ වුවත් මෙම යථාර්ථයට පිටුපාමින් බොක්සිං වළල්ලේ දී ඉමහත් කීර්තියක් හා ජනප්‍රියත්වයක් හිමි කරගත් සුළු පිරිසක් සිටින බව ද අප අමතක නොකළ යුතු ය.

ඒ සුළු පිරිස අතර ඉදිරියෙන්ම සිටිනේනේ අමෙරිකානු ජාතික මිල්ස් බී ලේන් නමැත්තා ය. 1937 වසරේ උපත ලැබූ මිල්ස් ලේන් වෘත්තීය ජීවන ගමන අරඹන්නේ නැවියෙකු ලෙසිනි. නාවික වෘත්තියේ යෙදෙන අතරේ බොක්සිං ක්‍රීඩාව ප්‍රගුණ කළ ලේන් වෙල්ටර්වේට් බර පන්තිය ඔස්සේ බොක්සිං වළල්ලට ගොඩ වී තබන්ටම ආවේණික ශෛලියකින් තරග වැදුණේ ය.

එහි දී ඔහු තරග 11 ක ට සහභාගී වී 10 ක් ම ජයගෙන තිබූ අතර 1960 දී ජාතික වෙල්ටර්වේට් ශූරතාව ද දිනා ගත්තේ ය. තවද 1960 වසරේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඔහුට මඟ හැරී ගියේ ද අමෙරිකානු කණ්ඩායම තෝරා ගැනීම සඳහා පවත්වන ලද තරගාවලියේ වෙල්ටර්වේට් බර පන්තියේ අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්වීම නිසා ය.

අනතුරුව ලේන් බොක්සිං වළල්ලෙන් විශ්‍රාම ගෙන නීති ක්ෂේත්‍රයට ඇතුළු වී 1970 දී නීති උපාධිය ද දිනා ගත්තේ ය.

නීති වෘත්තිය ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස තෝරා ගත්තද මිල්ස් ලේන්ට බොක්සිං වළල්ල අමතක කිරීම ඉතා අපහසු එකක් වී තිබිණි. ඒ නිසා වසරක නිහඬතාව බිඳ දැමූ ඔහු නැවතත් බොක්සිං වළල්ලට ගොඩ විය. එහෙත් එවර ඔහුගේ දෑතේ බොක්සිං අත්වැසුම් දක්නට නොවීය. ළා නිල් පැහැති කමිසයකින් හා කළු පැහැති කලිසමකින් සැරසී කළු පැහැති බෝ එකක්ද පැලඳ සිටි ඔහු බොක්සිං තරග විනිසුරුවකු බවට පත්ව සිටියේ ය.

ලෝක බොක්සිං කවුන්සලයේ මිච්ල්වේට් ශූරතාව වෙනුවෙන් බෙටුලියස් ගොන්සාලෙස් හා අර්බිටෝ සල්වාරියා අතර පැවති සටන ඔහුගේ බොක්සිං විනිසුරු චාරිකාවේ පළමු පියවර විය.

ක්‍රමක්‍රමයෙන් තමන් සතු බොක්සිං විනිසුරු කුසලතා ඔපනංවා ගත් ලේන් ලෝක හෙවිවේට් බොක්සිං තරග විනිශ්චය අරඹන ලද්දේ 1978 වසරේ දී ය. එම තරගය පැවැතියේ ලැරී හෝම්ස් කෙන් නෝර්ටන් අතර ය.

එතැන් සිට 1998 වසර දක්වා පවත්වන ලද හෙවිවේට් බොක්සිං තරග 100 ක ට වැඩි ප්‍රමාණයක විනිසුරුවරයා වීමට මිල්ස් ලේන්ට හැකි විය. එබැවින් බොක්සිං ක්‍රීඩක මිල්ස් ලේන් පහසුවෙන් අභිබවා යන්නට බොක්සිං විනිසුරු මිල්ස් ලේන්ට හැකි වී තිබුණි.

මේ කාලය තුළ දී ම ඔහුට බොක්සිං වළල්ලෙන් පිටත දී නියෝජ්‍ය ෂෙරීප්වරයෙකු, නීතිඥවරයෙකු මෙන්ම දිසා විනිසුරුවකු ලෙසින් අධිකරණ ක්‍රියාදාමයේ වගකීම් ද ඉටු කරන්නට සිදුවිය.

මිල්ස් ලේන් ශරීරයෙන් කුඩා මිනිසෙකි. ඔහුගේ හැසිරීම් රටාවේ තිබුණේ ද වෙනස්ම ශෛලියකි. ඒ නිසා වහා කිපෙන සුළු යෝධයන් වැනි බොක්සිං ක්‍රීඩකයන් පාලනය කර ගැනීම ඔහුට පහසු කටයුත්තක් නොවූ බව සැබෑ ය. අපහසු වුවත් හරි දේ හරියටම කරන්නට ලේන් මොහොතකටවත් පැකිළුණේ නැත.

විනිසුරුවකු ලෙස හෙවිවේට් බොක්සිං වළල්ලේදී ඔහු පළමු අකරතැබ්බයට මුහුණ දුන්නේ 1981 වසරේ ට්‍රෙවෝ බර්බින් හා ලැරී හෝම්ස් අතර පැවති සටනේ දී ය.

එම තරගය ආරම්භ කිරීමට ආසන්නව තිබිය දී බර්බික් හෝම්ස්ව පරීක්ෂා කළේ ය. ඒ නිසා තරගය ආරම්භ කරන සීනුව නාද වෙන විට දෙදෙනා ම සිටියේ එකිනෙකාට ඔරවාගෙන ය. තවත් මොහොතක් ඉක්ම යද්දී ලැරී හෝම්ස් ද බර්බික් එල්ල කර රැවූ අතර ඉන් කිපුණු බර්බික් කළේ විනිසුරු මිල්ස් ලේන් හෝම්ස් වෙත තල්ලු කිරීම ය. එවැන්නක් බලාපොරොත්තු නොවූ ලේන් ඉදිරියට විසි වී ගොස් බිම ඇද වැටුණි. එහෙත් ඉන් අධෛර්යට පත් නොවූ ඔහු එම තරගය ඉතා හොඳින් පාලනය කරනු ලැබී ය.

ඒ හැරුණු විට 1997 වසරේ ජුනි මාසයේ 12 වැනි දා තරගය මෙන් ම එම වසරේ ම ජුනි 28 වැනි දා මයික් ටයිසන් හා එවැන්ඩර් හොලිෆීල්ඩ් අතර පැවති තරගය ද ගැටුම්කාරී වටපිටාවක් තුළ විනිශ්චය කිරීමට සිදුවූ අමතක නොවන තරග දෙක්ක බව මිල්ස් ලේන්ගේ අදහස ය.

ලෙනොක්ස් ලුවිස් හා හෙන්රි අකින් වන්ඩේ අතර පැවති තරගයේදී හෙන්රි අනුගමනය කර තිබුණේ පහර දීම වෙනුවට ආරක්ෂා වීම ය. එහෙත් ඔහුට ලෙනොක්ස් ලුවිස්ගේ ප්‍රහාරයෙන් ගැලවීම අපහසු විය. එබැවින් ඔහු දිගින් දිගටම නීතිවිරෝධී ලෙස ලුවිස් බදා ගැනීමට පියවර ගෙන තිබිණි.

විනිසුරු ලේන් කිහිප විටක් හෙන්රිට අවවාද කළ අතර පස් වැනි වටයේ දී ඔහු තප්පර 19 ක ට වැඩි කාලයක් ලුවිස් බදාගෙන සිටියේ විනිසුරුගේ අවවාදයද නොතකා හරිමිනි. ඒ නිසා වහාම ක්‍රියාත්මක වූ මිල්ස් ලේන් තරගය නතර කොට ලෙනොක්ස් ලුවිස්ට ජයග්‍රහණය පිරිනැමීය.

මයික් ටයිසන් හා හොලිෆිල්ඩ් අතර පැවති තරගයේ දත් ආරක්ෂක උපකරණය නොමැතිව පැමිණි නිසා ප්‍රමාද වී ඇරඹුණු අතර එම වටය අවසන් වීමට ආසන්නව තිබියදී ටයිසන් හොලිෆීල්ඩ්ගේ දකුණු කන සපා කෑම නිසා ඇති වූ ගැටුම්කාරී වටපිටාව මධ්‍යයේ තරගය අතහැර දමන්නට ද තීන්දු කරන්නට සිදුවූයේ මිල්ස් ලේන්ට ය.

මේ අනුව බොක්සිං වළල්ලක් තුළ රැඳී සිටින්නේ තරගකරුවන් දෙදෙනා හා විනිසුරුවරයා පමණි. මිල්ස් ලේන් බොක්සිං වළල්ලේ තර්ඩ්මෑන් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ක්‍රීඩකයෙකුට වඩා ඔහු විනිසුරුවකු ලෙස කැපී පෙනුණ බැවිනි.

සීවලී එදිරිවීර

Comments