තුන් ඉරියව් සිහින කොදෙව්වට යාත්‍රා කළ එලිස් පෙරී | සිළුමිණ

තුන් ඉරියව් සිහින කොදෙව්වට යාත්‍රා කළ එලිස් පෙරී

 

'තුන් ඉරියව් සුරුවකු වීම තබා එක ඉරියව්වක විශිෂ්ටයකු වීම ද බොහෝ අසීරු ය. වෙසෙසින් ජාතික කණ්ඩායමක් තුළ ස්ථානයක් දිනා ගැනීමට තරම් යම් ඉරියව්වකින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීම ඊටත් අසීරු ය. එහෙත් එය කාන්තා හෝ පිරිමි කියා භේදයකින් තොරව ස්ථානගතවීමක් දක්වා දියුණු කර ගන්නට යමකුට හැකිනම්? සැබැවින් ම එය අතිවිශිෂ්ට ක්‍රියාවක් නොවන්නේ ද? ඔස්ට්‍රේලියාවේ එලිස් පෙරී පසුගිය දා සුමට ලෙස තුන් ඉරියව් කොදෙව්වට යාත්‍රා කළා ය.'

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ක්‍රිකට් කණ්ඩායමකට සම්පතකි. නමුත් විටින් විට කරළියට පැමිණෙන තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරින් ස්ථාවර දක්ෂතා දක්වන්නේ සීමිත ප්‍රමාණයකි. සෑම අංශයක ම දක්ෂතාව එක ලෙස තබා ගැනීමේ අසීරුතාව ඊට හේතුවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 14 ක අත්දැකීම් සහිත එලිස් පෙරී එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ක්‍රීඩිකාවකි. ඇය ඒ බව සහතික කළේ නොබෝ දා නිමාවූ ඉන්දීය - ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ය. ඒ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 5000 සහ කඩුලු 300 සීමාව තරණය කරන්නට සමත් වූ ලොව ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසිනි.

ඉන්දීය පළමු ඉනිමේ පූජා වාසෙට්කාර් ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ පෙරී‍ ජාත්‍යන්තර කඩුලු 300 සීමාවට ප්‍රවේශ වූවා ය. පෙරී සිය පෞද්ගලික ලකුණු පන්දහසේ සීමාව පසු කරන්නට සමත් වූයේ ද එම ටෙස්ට් තරගයට දින කිහිපයකට පෙර ඉන්දියාව සමඟ පැවති එක්දින තරගය අතරතුර දී ය.

ඇය මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 9 ක ට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 693 කි. ඊට ද්විත්ව ශතකයක්, ශතකයක් හා අර්ධ ශතක 2 ක් ඇතුළත් ය. 2017 වසරේ දී ඇය එංගලන්ත කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 213 ක් ලබා ගත්තේ ජාත්‍යන්තර ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබා ගත් ලොව 7 වැනි ක්‍රීඩිකාව ලෙසිනි. ටෙස්ට් පිටියේ ඇය කඩුලු 33 ක් හිමි කර ගෙන තිබේ. ඒ අතර උඩ පන්දු 5 ක් ලබා ගන්නට ද ඇය සමත්ව ඇත.

ජාත්‍යන්තර එක්දින පිටියේ තරග 118 ක ට සහභාගිව ඇති ‍පෙරී එහිදී අර්ධ ශතක 28 ක් සහ ශතක 2 ක් සමඟින් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3135 කි. එක්දින පිටියේ ඇය දවාගෙන ඇති කඩුුලු ගණන 152 කි. 2019 වසරේ එංගලන්ත පිලට එරෙහිව ලකුණු 22 ක ට කඩුලු 7 ක් දවා ගැනීම ඇයගේ එක්දින ක්‍රිකට් දිවි‍යේ හොඳම පන්දු යැවීම ලෙස සැලකෙයි.

එක්දින තරගවල දී පෙරී උඩපන්දු 39 ක් රැකගෙන තිබේ. ඇය මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 තරග 123 ක ට ක්‍රීඩා කර ඇත. එහිදී ඇය අර්ධ ශතක 4 ක් ද සමඟින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1243 කි. එම තරගවල දී කඩුලු 115 ක ට හිමිකම් කියන ඇය උඩපන්දු 37ක් රැක ගන්නටද සමත් ව ඇත.

මීට අමතරව තවත් ක්‍රිකට් වාර්තා රාශියකට ද හිමිකම් කියන්නට ඈ සමත්ව ඇත. කාන්තා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පිතිකරණ සාමාන්‍යයට හිමිකම් කියන්නේ ද ඇය ය. ඇගේ පිතිකරණ සාමාන්‍යය 86.62 කි. කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව ටෙස්ට් ශතක 2 ක් ලබා ගත් ක්‍රිඩිකාවන් සය දෙනා අතරට ද ඈ ඇතුළත් ය.

ජාත්‍යන්තර එක්දින තරග 6 ක දී පිට පිට අර්ධ ශතක රැස් කරන්නටද ඇය සමත් වී ඇත. වැඩිම එක්දින ලකුණු ලැයිස්තුවේ 2 වැනි ස්ථානය, වැඩිම එක්දින තරග සහභාගීත්වයේ ‌තෙවැනි ස්ථානය, ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම කඩුලු ලැයිස්තුවේ දෙවැනි තැන, විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ලාභිනිය ආදී කාන්තා ක්‍රිකට් වාර්තා රැසක ම හිමිකාරිණිය පෙරී ය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 5000 සීමාව සහ කඩුලු 300 සීමාව පසු කළ ලොව 18 වන ක්‍රීඩකයා (පළමු කාන්තා ක්‍රීඩිකාව) ඇය ය.

මීට පෙර ඉයන් බොතම්, කපිල් දේව්, ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම්, ක්‍රිස් කෙයාන්ස් , කාල් හූපර්, ජැක් කාලිස්, සනත් ජයසූරිය, ෂෝන් පොලොක්, අබ්දුල් රසාක්, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, සහීඩ් අෆ්රීඩි, චමින්ද වාස්, ඩැනි‍යෙල් විටෝරි, ෂකීබ් අල් හසන්, ඩ්වේන් බ්‍රාවෝ සහ මොයීන් අලී එම වාර්තාවට හිමිකම් කියූ හ.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක්, පාකිස්තානු ක්‍රීඩකයන් සිව්දෙනෙක්, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සහ බංග්ලාදේශය සහ ඉන්දියාව නියෝජනය කරමින් එක් ක්‍රීඩකයෙක් බැගින් ආදී ලෙස තුන් ඉරියව් ක්‍රීඩකයන් 17දෙනෙක් ‍මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණි. ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එකදු ක්‍රීඩකයෙක් හෝ මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියා නොමැති වීමද සුවිශේෂී ය.

පසිඳු මිහිරාන් රැටියල

Comments