තිසරගෙන් ජනපතිට බෝලයක් | සිළුමිණ

තිසරගෙන් ජනපතිට බෝලයක්

  

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති 72 වන යුද්ධ හමුදා සංවත්සර උත්සවයේ දී “ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩක අයිතියට පත් කෙරිණි.

මධ්‍ය තණතිලි 5 ක් සහ පැති තණතීරු 4 කින් සමන්විත නව “ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ” නව තණතිල්ලේ සංකේතාත්මකව යවන ලද පළමු පන්දුවට මුහුණ දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, ගජබා රෙජිමේන්තු ක්‍රිකට් පිලේ නායක මේජර් තිසර පෙරේරා විසින් තණතීරුවේ යවනු ලැබූ පළමු පන්දුව ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබී ය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප්‍රධානීන් රැසක් එක්ව සිටිය හ.

ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන්නකු වූ යුද හමුදා ක්‍රිකට් පුහුණුකරු අජන්ත මෙන්ඩිස් ගේ නායකත්වයෙන් යුත් යුද හමුදා ක්‍රීඩා සමාජ පිල සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ගජබා රෙජිමේන්තු පිල අතර පන්දුවාර 10 සුහද තරගයක් පැවැති අතර, එහි දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජ පිල ලකුණු 36 කින් ජය ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්ෂණ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරමින් ඕමානයේ සංචාරයක නිරත හෙයින් හා අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න නේපාලයේ පැවැති එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම නිසාත් මෙම සුහද තරගයට එක් නොවිනි.

යුද හමුදා ක්‍රීඩා සමාජය: 116/8 (පන්දුවාර 10) අජන්ත මෙන්ඩිස් 35, අශාන් රන්දික 23, හිමාෂ ලියනගේ 17 ගජබා රෙජිමේන්තු පිල: 80/7 (පන්දුවාර 10) තිසර පෙරේරා 32, ලක්ෂාන් ගමගේ 10/2, තරිඳු කෞශාල් 16/2 යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 36ක ජයක්.

Comments