ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ශක්තිමත් සම්මුතියක් ඇතිවිය යුතුයි | සිළුමිණ

ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ශක්තිමත් සම්මුතියක් ඇතිවිය යුතුයි

 රංජනී ජයකොඩි

(හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්)

අද මව්පියන් තම දරුවන්ව කුඩා කාලයේ සිටම මෙහෙය වන්නේ විභාග සඳහා යි. එය තරගකාරී ප්‍රවනතාවයක් වෙලා. ඒ නිසා දරුවන් සීඝ්‍රයෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් සිටිනවා. මේ තත්ත්වය එක්ක දරුවන් උපතින්ම රැගෙන එන නිර්මාණශීලිත්වය යටපත් වෙලා

මේ සබරගමු පළාත් සභාවේ ලේකම් රංජනී ජයකොඩි ය. ඇය කලක් මෙරට ක්‍රීඩා අමාත්‍යායංශ අධ්‍යක්ෂ ජනරාල්වරිය ය. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නික්මුණ ද තමන් තවමත් ක්‍රීඩාව හා යාවජීව සම්බන්ධතාවයක් පවත්වන්නට කැමැත්තෙන් පසුවන බව ඈ ප්‍රකාශ කරයි. මේ 'ක්‍රීඩා' හා රංජනී ජයකොඩි මහත්මිය අතර පැවැති සුහද සාකච්ඡාවකි.

කාලයකට පස්සේ ක්‍රීඩාව ගැන කතා කරන්න ඔබව හමුවුණේ. රංජනී ජයකොඩි මහත්මිය මොකද මේ දවස්වල කරන්නෙ?

සාමාන්‍යයෙන් වෘත්තීය කටයුතු තමයි. දැන් මම සබරගමු පළාත් සභා ලේකම්වරිය වශයෙන් කටයුතු කරනවා.

ඔබ කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කියන තනතුර දැරුවා නේද?

ඔව්. මම 2011 - 2015 අතර කාලය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරුවා.

දැන් ක්‍රීඩා පරිපාලනයට ඈතින් සිට ක්‍රීඩාව දෙස බලද්දී මොකද ඔබට හිතෙන්නේ ?

ක්‍රීඩාව අලුත් පිබිදීමකින් ඉදිරියට ගමන් යන්න උත්සාහ කරමින් ඉන්නවා. එහි ප්‍රතිඵල සාමූහිකව ලබාගන්න උපකාර කළ යුතුයි. එය තමයි පුරවැසියන් වශයෙන් සියලු දෙනාගේම වගකීම.

ඔබ ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ කාලයේ දී මේ විධිහට ක්‍රීඩාව නගා සිටුවන්න වැඩ කළා කියලා සතුටක් තියෙනව ද?

ඇත්තෙන්ම. මොකද මම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් සිටි සමයේ මෙරට ක්‍රීඩාවේ යටිතල පහසුකම් වර්ධනය කරන්න අපි ගොඩාක් උත්සාහ කළා. එය අභි-යෝගාත්මකයි. නමුත් අපි උත්සාහ කළා. යම් යම් සාර්ථකත්ව අත්පත් කරගත්තා.

මොනව ද ඔබ මුහුණ දුන් අභියෝග ?

ඔබ දන්නවා ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් එකට බද්ධ වෙලා ගමන් කළ යුතු ක්ෂේත්‍ර දෙකක් බව. නමුත් අපේ රටේ ඒ තත්ත්වය නොමැතිකම නිසා දිගින් දිගටම ගැටලු ඇතිවුණා. ක්‍රීඩා අමාත්‍යාංශය එක්ක අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු අමාත්‍යාංශය එකට නොයන කොට යා දෙක නොරත රත වුණා. අපිට ක්‍රීඩකයන් ශක්තිමත් කරන එකට බොහෝ බාධක පැමිණියා. උදාහරණයකට මෙරට මලල ක්‍රීඩාව මීට වැඩිය පිබිදෙන්න අවශ්‍යයි. නමුත් එය එසේ වී නැත්තේ මේ කියන මත ගැටුම් හා ඒ්කාබද්ධ භාවය නොමැති නිසයි.

ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන සැලකීම මීට වඩා පුළුල් විය යුතුයි කියා ද ඔබ කියන්නේ ?

ඔව්. එය එසේ විය යුතුමයි. දැන් අපි රජයක් වශයෙන් කටයුතු කරන්නේ රටට ශක්තිමත්, ජව සම්පන්න ශ්‍රම බලකායක් හදන්න නෙ. ඒ්කට යද්දී ක්‍රීඩා අමාත්‍යාංශයට විතරක් වැඩකරන්න, එය ඉටුකරන්න බෑ. ඒ් වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශවල සහාය අවශ්‍යයයි. එතැනදී අධ්‍යා-පන අමාත්‍යාංශය කියන්නේ ප්‍රබල ව දායක වන්නට පිළිවන් අමාත්‍යාංශයක්.

ඔබ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් සිටි කාලයේ මේ වෙනුවෙන් උත්සහයක් ගත්තේ නැද් ද?

ගත්තා. නමුත් බොහෝ අසීරුතා මතුවුණා. අපි එවකට සිටි අධ්‍යාපන ඇමැතිවරයා සමග සාකච්ඡා කළා. ඒ්ත් අපේක්ෂිත ප්‍රතිඵල ආවේ නෑ. ඒකට විවිධ පාර්ශ්වවල බලපෑම හේතුවුණා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් පොතේ උගත්තු සිතුවා ක්‍රීඩාව නිසා විභාගවලට බාධාවක් පැමිණේවි කියා.

ඇත්තටම ක්‍රීඩාවට වැඩි වශයෙන් යොමුවීමෙන් අධ්‍යාපනයට බාධා වෙන්න පිළිවන් නේද?

ඇත්තෙන්ම මේක හුඹස් බියක්. මම ඉගෙන ගත්තේ ගම්පොල ශාන්ත ජෝසප් මහා විද්‍යාලයේ. මගේ පාසල් කාලයේ මම ඉගෙනීම වගේම ක්‍රීඩාව කළා. මුලින්ම මම මලල ක්‍රීඩිකාවක් ලෙස විවිධ ඉසව්වලින් ජාතික තලය දක්වාම ආවා. පාසලට ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණ ලබාදී තියෙනවා. මලල ක්‍රීඩාවට අමතරව දැල් පන්දු ක්‍රීඩාවටත් මම යොමු වුණා. ඒ්ත් ඒ කියලා ක්‍රීඩාව මගේ අධ්‍යාපනයට බාධාවක් වුණේ නැහැ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ මම හොඳින් සමත් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව නිමා කළා.

ක්‍රීඩා කළාම ලැබෙන තවත් ප්‍රතිලාභ තියෙනවානෙ. ඒ් ගැනත් ඔබෙන් ම දැනගන්න කැමතියි.

ක්‍රීඩාව කියන්නේ ජය පරාජය යන දෙකම එකසේ විඳදරා ගැනීමට වගේම සාමූහිකත්වය, නායකත්වය, වගකීම, කළම-නාකරනය, උගන්වන ක්ෂේත්‍ර-යකට. මොකද මිනිසුන් වශයෙන් අපට හැමදාම ජයග්‍රහණයම හිමිවන්නේ නෑ. ඉඳහිට හෝ පරාජයක් අත්වන මොහොතක් උදාවෙනවා. ක්‍රීඩාවේ ගෙවෙන හැම මොහොතකම අඩුපාඩු පිළිබඳව විමසිලිමත් වෙමින් ඊළඟ ජයග්‍රහණය සඳහා සැලසුම් සකස් කළ යුතු වෙනවා. එ්ක තමයි ක්‍රීඩාවේ සම්මතය. මෙමගින් කියැවන ප්‍රබලම දේ තමයි ක්‍රීඩාව තුළින් සාර්ථක මිනිසෙක් බිහි කිරීමට හැකිවීම. ජීවත් වෙද්දී විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙන වාර අපමණයි. ක්‍රීඩාවෙන් ලැබෙන පන්නරය එවන් අවස්ථාවලට සාර්ථකව මුහුණ දීමට ශක්තියක් ලබා දෙනවා.

නමුත් අද කුඩා කල සිටම දරුවන් තුළ මව්පියන් ඇතිකරන්නේ විභාග මානසිකත්වයනෙ. උදාහරණයකට ශිෂ්‍යත්වය වෙනුවෙන් සැරසෙන්නේ අවුරුදු හතර, පහේ ඉඳගෙනයි?

ඇත්ත. අද බොහෝ දුරට මව්පියන් සිය දරු-වන්ව කුඩා කාලයේ සිටම විභාග සඳහා සූදානම් කිරීමේ තරගකාරී ප්‍රවනතාවය නිසා දරුවන් සීඝ්‍රයෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙලා. ඔවුන් උපතින්ම රැගෙන එන නිර්මාණශීලිත්වය යටපත් වෙලා. ඔවුන් තුළ කිසිම සාමූහික හැඟීමක් නැහැ. පරා-

ජයේ දී ඔවුන් දුර්මුඛයි. එය විඳ දරාගැනීමේ ශක්තිය ඔවුන් වෙතින් ගිලිහිලා. ඒවගේ තත්-ත්වයක් නිර්මාණය වෙන්න මූලික හේතුව ඔවුන් බාහිර ක්‍රියාකාරකම් හා ක්‍රීඩාව සඳහා යොමු නොවීමයි. අපේ කාලයේ ක්‍රීඩාව සඳහා වෙනම කාලයක් තිබුණා. නමුත් විටින් විට සිදුකරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ක්‍රීඩාව සඳහා ෙයාමුවිය හැකි අවස්ථා හැලිලා

ගියා. අනාගතයට පෞරුෂත්වයෙන් යුක්ත සමා-ජයක් ඇතිකරන්නට නම් අධ්‍යාපනයත් ක්‍රීඩාවත් එකට එක් විය යුතුයි.

මේ තත්ත්වය වෙනස් කළ යුතු ආකාරය ගැන රාජ්‍ය පරිපාලන ප්‍රතිපත්ති නිර්මාණය කරන්නට දායක වුණු තැනැත්තියක් වශයෙන් ඔබ මොකද හිතන්නේ?

අවුරුදු පහෙන් පහට අපේ රටේ ඇමතිවරයගෙන් ඇමතිවරයට ප්‍රතිපත්ති හා සැලසුම් අපමණවත් හදලා ඇති. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආණ්ඩු මාරු වෙනවා, ඇමතිවරු මාරු වෙනවා. ඉතින් කොහොමද එක නිගමනයක ඉඳගෙන වැඩ කරන්නේ. පවතින අභියෝග ජය ගන්න ශක්තියක් නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාට ඇති බව මම විශ්වාස කරනවා. මන්ද ඔහුට ක්‍රීඩාව පිළිබඳ අත්දැකීම් බහුලයි. ඒ වගේම ඔහුට ක්‍රීඩාව නව මානයකට රැගෙන යාමේ අවශ්‍යතාවයක් පවතින බව පෙනී යනවා. ඒ සඳහා ඔහුට බාධා පැමිණෙන එකක් නැහැ.

 

 

Comments