ක්‍රීඩාව හා ජනමාධ්‍ය වගකීම | සිළුමිණ

ක්‍රීඩාව හා ජනමාධ්‍ය වගකීම

 

ජනමාධ්‍ය යනු කුමක් ද? ජනමාධ්‍යයේ වගකීම කවරේ ද? යන්න යළි යළිත් විමසා බැලිය යුතු ය. ඒ බොහෝ අවස්ථාවල ජනමාධ්‍ය තුළින් එකී නිෂ්ඨාව අමතක වෙමින් පවතින හෙයිනි.

ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ජනමාධ්‍යයේ ප්‍රමුඛ කාර්යය ය. එහිදී ජනතාවගේ පාර්ශ්වයේ සිට පාලකයා දැනුවත් කිරීම, පාලකයාට යායුතු මාර්ගය පෙන්වීම ජනමාධ්‍ය සතු මුඛ්‍ය කාර්යයකි.

එහෙත් ජනමාධ්‍ය බොහෝවිට ඉටුකරමින් ඇත්තේ එකී වගකීම ද? මෙය ගැඹුරින් සලකා බැලිය යුතු ය.

අපට පෙනෙන ආකාරයට නම් ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින්, පාලකයා නිවැරදි දිශානතිය වෙත යොමුකරනවා වෙනුවට ජනමාධ්‍ය සිදුකරමින් ඇත්තේ පාලකයාට ඇස්බැන්ඳුම් දැමීම ය.

මෙහි ඇති කනගාටුව වන්නේ ඉන් ජනතාව මෙන්ම පාලකයා ද එකලෙස අසීරුවට පත්වීම ය. මෙය ක්‍රීඩා ජනමාධ්‍යයේ කියා කිසිදු වෙනසක් නැත.

අප එසේ කියන්නේ ඇතැම් ක්‍රීඩා දරුණු ලෙස නාය යමින් තිබියදී පාලකයා සතුටු කරමින් සැබෑ තත්ත්වය යටපත් කිරීම ජනමාධ්‍යයේ මුඛ්‍ය කාර්ය බවට පත්ව ඇතැයි පෙණේ. එහෙයින් කොතෙක් වැරදි දුටුවද කිසිදු වරදක් නොදුටුවා සේ කටයුතු කිරීමට බොහෝ ක්‍රීඩා මාධ්‍ය ද ක්‍රියාකරමින් සිටී.

එය සිදුකරනුයේ පෞද්ගලික හිතවත්කම් මත පිහිටා වන්නට පිළිවන. එසේත් නැතහොත් සංචාර හෝ මූල්‍ය අල්ලස් වැනි යම් කිසි වරදානයක් අරභයා වනන්ට හැක. එහෙත් එයින් ක්‍රීඩාවට සිදුවූ හෝ සිදුවන යහපතක් නැත.

එහෙත් සිදුවිය යුත්තේ අපක්ෂපාතීව සදොස් තැන් පෙන්වා ක්‍රීඩාව හා ක්‍රීඩා ප්‍රතිපත්ති නිවැරදිවිය යුතු ආකාරය පිළිබඳ අද්වේශ සහගත යෝජනා ඉදිරිපත් කිරීමට තරම් ජනමාධ්‍යවේදියා සබුද්ධික වීම ය. ද්වේෂ සහගත විචාරයන්ගෙන් සිදුවන යහපතක් නොමැති වීම එයට හේතුව ය. එහෙයින් මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයෙන් යුතුව ක්‍රීඩා මාධ්‍ය හැසිරවීම ඒවා හසුරුවන්නන්ගේ යුතුකම බව කිවයුතුව ඇත.

-------------------------

ශ්‍රී ලංකා - බංග්ලාදේශ යොවුන් ගැටුම ඇරඹෙයි

සංචාරක බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයට ඊයේ ආරම්භ විය. ඊට එක්දින තරග 5 ක් ඇතුළත් ය. ඒ සඳහා නම් කළ 20 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ ට පවරා ඇත.

දිවයින පුරා විසිරී සිටි ක්‍රීඩකයින් 75 දෙනෙක් කොළඹ උතුර, කොළඹ දකුණ, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන සුපිරි පළාත් කණ්ඩායම් 5ක් නියෝජනය කරමින් පුහුණු කඳවුරකට සහභාගි කරවා මෙම අවසන් සංචිතය තෝරා ගැනිණි.

මෙම ක්‍රීඩකයින් 20 දෙනා අතරට මීට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නියෝජනය කළ දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, මතීෂ පතිරණ, චමිඳු වික්‍රමසිංහ සහ යසිරු රොද්‍රිගෝ යන අත්දැකීම් සහිත ක්‍රීඩකයින් පස් දෙනා ද ඇතුළත් ය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය යන විද්‍යාලයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙක් බැගින් මෙම සංචිතයට එක්ව සිටිති.

මෙම තරගාවලිය ලබන 25 දින දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතය: දුනිත් වෙල්ලාලගේ (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය), මතීෂ පතිරණ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය), චමිඳු වික්‍රමසිංහ (කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය), යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය), සදීෂ් ජයවර්ධන (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය), රයන් ප්‍රනාන්දු (ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය), සදීෂ රාජපක්ෂ (කොළඹ රාජකීය විද්‍යාලය), ෂෙවොන් ඩැනියෙල් (කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය), ජීවක ශෂීන් (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), පවන් පතිරාජ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), විනුජ රන්පුල් (කොළඹ නාලන්දා විද්‍යාලය), ළහිරු දවටගේ (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය), මල්ෂ තරුපති (මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය), ට්‍රවින් මැතිව් (කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය), ධනාල් හේමානන්ද (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය), වනුජ සහන් (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය), ළහිරු අබේසිංහ (කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය), හරිඳු ජයසේකර (මාතර ශාන්ත තෝමස් විද්‍යාලය), සසංක නිර්මාල් (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

ඉෂානි යද්දෙහි

Comments