කළහොත් කතුන් හා සෙල්ලං වන්නේය ජීවිතයම ලෙල්ලං | සිළුමිණ

කළහොත් කතුන් හා සෙල්ලං වන්නේය ජීවිතයම ලෙල්ලං

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය - රථ වාහන අලාභහානි කිරීමේ චෝදනා

'යූ,එෆ්.සී. මෙහෙයවන සටන් ක්‍රීඩා සඳහා ලොව පුරා ඇත්තේ උන්මාදයක්. එහි කිසියම් ග්‍රෝතික ලක්ෂණ තිබුණ ද එම සටන් තරගවල පවතින ප්‍රචණ්ඩත්වය නැරඹීමට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් රොඳ බැඳගෙන සිටිනවා. එහෙත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රීඩාවලින් තැනෙන්නේ චණ්ඩ මිනිසුන් ගෘහ ජීවිතයකට අනුචිත මිනිසුන් දැයි දැන් මතයක් පළවෙමින් තිබෙනවා. මේ යූ.එෆ්.සී. ශූරයකුගේ හැසිරීම් සම්බන්ධයෙන් ඇති වුණු කතා බහක්.'

මිශ්‍ර සටන් ක්‍රීඩා පවත්වන ලොව පුරා ප්‍රේක්ෂක උන්දාමදය දිනා ඇති හිටපු යූ.එෆ්.සී. (Ultimate Fighting Championship) තරගාවලියේ ශූරයා වූ ජොනතන් ඩ්විට් ජෝන්ස් පසුගියදා අමෙරිකාවේ ලාස් වේගාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ය.

ජෝන් ජෝන්ස් යනුවෙන් වඩා ප්‍රචලිත ජොනතන් කේසර්ස් පෙදෙසේ දී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් රථ වාහන කීපයකට අලාභහානි කිරීමත් යන චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ අලුයම 5.45 ට පමණ යි. එලෙස ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට ලාස් වේගාස් හි ස්ට්‍රිප් රිසෝට් නමැති ස්ථානයේ ඔහු රැඳී සිටි බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට පත් වූ ජෝන්ස් ඇප ලබාගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් අටදහසක් නැත-හොත් ආසන්න වශයෙන් රුපියල් මිලයනයක පමණ මුදලක් තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම මෙම මස 26 වැනි දා වන විට සිදු කිරීමට නියමිතයි.

එසේම ඔහු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ දී මෝටර් රථයකට සිදු කර ඇති හානිය තක්සේරු කර ඇත්තේ ඩොලර් පන්දහසක් ලෙස යි.

අදාළ නඩුව කඩිනමින් අවසන් කර ගැනීමට නම් ජෝන්ස් විසින් නීතිඥයකුගේ සහය ලබා ගත යුතුව තිබෙන බව සඳහන් වෙයි. එහෙත් නීතිඥයකුගේ සේවය ලබා ගැනීමට ඔහු අපොහොසත් වුවහොත් අදාළ නඩුව පැවැත්වෙන කාලය තවදුරටත් දීර්ඝ වනු ඇති.

“ජැක්සන් වින්ක් ඇකඩමිය මේ චෝදනා සම්බන්ධයෙන් තම අවධානය යොමුකරලා තිබෙනවා. ‍ඒ සම්බන්ධව ඔවුන් ඔවුන්ගේම පරීක්ෂණයක් පවත්වනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකියි.” ජෝන්ස් පුහුණු වන නව මෙක්සිකෝවේ Albuquerque කායවර්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක ජේම්ස් හලිනන් ප්‍රකාශ කර තිබේ.

ජෝන්ස් ජීවත් වන්නේ Albuquer-que වන නමුත් ඔහු මෙම සිදුවීම සිදුවූ දිනයේ රාත්‍රියේ යූ.එෆ්.සී. ශාලාවේ පැවැති උපහාර උළෙලකට සහභාගි වී ඇත. එය 2013 වසරේ ඇලෙක්සැන්ඩර් ගුස්ටෆාසන් සමඟ පැවැති සටනේ දී ඔහු ලැබූ ජයග්‍රහණය ඇගයීමට ලක්කර තිබිණි.

ජෝන්ස් 2011 වසරේ සිට 2020 වසර දක්වා ලයිට් හෙව්වේට් ශූරයා යි. එසේම ඔහු සැලකෙනුයේ එම්.එම්.ඒ. ඉතිහාසයේ විශිෂ්ට සටන්කරුවකු වශයෙනි.

නරක ජෝන්ස්

ඔහු යූ.එෆ්.සී. ඉතිහාසයේ ළාබාලම ශූරයා බවට පත්වූයේ 2011 වසරේ දී යි. එය දිනා වසරක් ගතවීමත් සමඟ 2012 වසරේ දී නිව්යෝර්ක්හි බර්මිංහෑම් හි දී සිය මෝටර් රථය ටෙලිෆෝන් කනුවක ගැටෙන ලෙස අපරික්ෂාකාරීව රිය ධාවනය කරමින් අනතුරක් සිදුකිරීම හේතුවෙන් ජෝන්ස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. එයින් පාඩමක් උගෙනීමට ජෝන්ස්ට හැකියාව නොලැබුණු බව තහවුරු වන්නේ යළි 2015 වසරේ දී ඔහු ගැබිණි රියැදුරකුගේ අතකට දරුණු තුවාල සිදුකරමින් අනතුරක් සිදුකර තිබීමයි. ඔහු ඒ වෙනුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබූවේ ය. අදාළ අනතුර සිදුකර ජෝන්ස් පළාගියත් අවසානයේ නීතියට වැලි ගසා ගැලවෙන්නට ඔහුට හැකියාවක් උදාවුණේ නැත. මේ හේතුවෙන් ම ඔහුට එම වසරේ යූ.එෆ්.සී. සටන් කිරුළ හිමිකරගැනීමට නොහැකි විණි.

එසේම ඔහු ගේ අර්බුදකාරී හැසිරීම්හි අඩුවක් නොවුණේ ය. ඒ අනුව 2019 වසරේ දී Albuquerque හි ස්ට්‍රිප් සමාජ ශාලාවේ දී අවහන්හල් සේවිකාවක් සමඟ ඇතිකර ගත් ගැටුමක දී හේ නොහික්මුණු ලෙස හැසිරී පසුව සමාව අයැදුවේ ය. එසේ ම නොසැලකිලිමත් ලෙස ගිනිකෙළි භාවිත කිරීමක් පිළිබඳව ද පසුගිය වසරේ දී ඔහු පොලිස් අත්අඩංගුවට පත්විණි.

අමෙරිකා එක්සත් ජනපද තහනම් උත්තේජක ඒජන්සිය විසින් පවත්වන ලද උත්තේජක පරීක්ෂණ කීපයක දී ම ඔහු අසමත් වීම ද මෙහිදී කැපී පෙනෙයි. 2016 වසරේ දී පැවැති තරගයක දී උත්තේජක පරීක්ෂාවකින් අසමත් වූ ඔහු බලධාරීන්ට පවසා තිබුණේ ලිංගික උත්තේජනය වැඩි කරන පෙත්තක් භාවිත කිරීම නිසා

එම තත්ත්වය ඇතිවූ බවයි.

2017 වසරේ යළි උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජෝන්ස්ගේ ශූරතා පටියක්

ගලවා දමන්නට යූ,එෆ්.සී. සංවි-ධායකයෝ කටයුතු කළහ. කැලි-ෆෝනියා ප්‍රාන්තයේ මලල ක්‍රීඩා කොමිසම විසින් ද ඔහුගේ ජයග්‍රහණ අවලංගු කළ අතර මාස පහළොවක කාලයක් යළි තරගකාරී තරගාවලියන්ට පැමිණීම තහනම් කරනු ලැබිණි.

මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීම, වරින් වර තරග තහනමට ලක්වීම වැනි කාරණාවන් සලකද් දී ජෝන්ස් අඛණ්ඩව ක්‍රීඩා කළ අවස්ථා ප්‍රමාණය අඩු ය. පසුගිය වසර අට තුළ ඔහු තරග වැදී ඇත්තේ තරග අටකට පමණක් වීමෙන් පැහැදිලි වන්නේ ජෝන්ස් කොතරම් අර්බුදකාරී ක්‍රීඩකයෙක් ද යන්නය. අවසන් වරට ඔහු ඩොමිනික් රෙයිස් පරාජය කරනු ලැබුවේ 2020 වසරේ දී ය. ඒ ඔහු පිට පිට ලැබූ සිව් වැනි ජයග්‍රහණය වූ අතර ඉන් අනතුරුව තරග වැදී තිබුණේ නැත.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වීමට ප්‍රථම ජෝන්ස් ප්‍රකාශකර තිබුණේ තමන්ට අවශ්‍යව ඇත්තේ හෙව්වේට් බොක්සිං ක්‍රීඩකයකු බවට පත්වීම යැයි ප්‍රකාශ කර තිබිණි.

“මට ශූරතාව දිනාගන්න උවමනායි. ඒ වගේම මට ගොඩාක් සල්ලිත් උවමනායි.” ඔහු පවසා තිබිණි.

දැන් ඔහුගේ බර රාත්තල් 255 කි. හෙවිවෙට් තරග අංශයට පිවිසීමට රාත්තල් 270 දක්වා බර ඉහළ දමාගත යුතු ය. එය ඉදිරියේ දී තමන් නිසැකව ම වර්ධනය කර ගන්නා බව ද ජෝන්ස් පවසා තිබේ.

එහෙත් ඔහුගේ සාමාන්‍ය ජීවිතය තුළ පවතින ප්‍රචණ්ඩත්වයේ කහට පැල්ලම්, ස්ත්‍රී හිංසනය මිඩ්ල් වේට් හෝ හෙවිවේට් බඳ පටි ජයග්‍රහණයන්ගේ කීර්තියේ පොඟවා දියකර හරින්නට නොහැකි ය.

ඒ් මන්ද යත් ඒවායෙන් ඔහුට ලබා දෙනු ඇත්තේ සදාකාලික අපකීර්තිය හා සමාජයේ පිළිකුල බැවිනි. ජෝන් ජෝන්ස් ට සමාජයෙන් ලැබෙන නිහඬ පිළිතුර ද එය ය.

ඒ මන්දයත් ගැහැනිය කොතරම් සුකුමාල වුවත් ඔවුන් පිරිමින්ගේ හෝ වෙනයම් ජිවියකුගෙන් ගැරැහුම් හෝ ප්‍රචණ්ඩත්වයට ලක්වීමට නිර්මාණයවී නැති හෙයිනි. ඒ බව සකල ලෝකවාසීන්ම තේරුම් ගන්වන්නට ජෝන්ස්ගේ හැසිරීම් හා ඔහුට නීතිය ඉදිරියේ මුහුණ දෙන්නට සිදුව ඇති අකරතැබ්බ ගැන තේරුම් ගැනීම ප්‍රමාණවත් ය.

සටන් ක්‍රීඩාවක නිරත වුණේ යැයි කියා ජීවිතය වැරැදි ලෙස මෙහෙයවන්නට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත. ලෝකයේ ජීවය තනන කාන්තාවට ගෞරව කිරීම ක්‍රීඩකයා නොව ඕනෑම සක්‍රයකු අතින් නොවහලහා ඉටුවිය යුතු ය. එවන්නන්ට ලොව සිව් දෙසින් පිදුම් ලැබෙන බවද කිව යුතු ය.

 

කාන්ති ජයසිංහ

Comments