උඩු ගං යන ශ්‍රී ලංකා මේස පන්දුව ආසියාවේ දීප්තිමත් දක්ෂතා අතරට | Page 2 | සිළුමිණ

උඩු ගං යන ශ්‍රී ලංකා මේස පන්දුව ආසියාවේ දීප්තිමත් දක්ෂතා අතරට

 

'මේස පන්දු ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාව ලෝකය ජය ගනු ඇතැයි බොහෝ දෙනකු සිතන්නේ නැත. එහෙත් අවශ්‍ය ද්‍රව්‍ය එක්කර සකසන සංයුතිය ජයග්‍රහණ ආසන්නයට රැගෙන ගොස් නුදුරේ දී ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වර්ණ දිනා දෙනු ඇත. එය අපට පැහැදිලි කළේ පසුගිය දා කටාරයේ දී නිමාව දුටු ආසියානු ශූරතා මේස පන්දු තරගාවලිය ය.'

ආසියාතික මේස පන්දු තරග ඉතිහාසයෙහි සුවිශේෂී දස්කම් අතරට පැමිණීමට සමත් වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර කටාර් දේශයේ දී ක්‍රියාත්මක කෙරුණු 25 වැනි ආසියානු ශූරතා මේස පන්දු තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ හ.

කේවල අංශයේ දී මෙන් ම කණ්ඩායම් ඉසව්වේ දී ද ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වීමට ඔවුහු සමත් වූ හ.

ජපානය, කොරියාව, හොංකොං, ඉරානය, ඉන්දියාව ප්‍රමුඛ රටවල ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වඩා කැපී පෙනුණ මෙවර තරගාවලියේ දී සෙසු රටවලට වඩා ඉදිරියෙන් කැපී පෙනෙන්නට ජපානය සහ කොරියාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වඩා කැපී පෙනුණේ මුතුමාලි ප්‍රියදර්ශනී ක්‍රීඩිකාව ය. ඈ ආසියාවේ හොඳම 16 දෙනා අතරට එක් වීමට සමත්වීම එලෙස කැපී පෙනීමට හේතුව ය. ඒ අනුව ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ එවන් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ පළමු ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාව ලෙස සැලකෙන්නේ ද ඇය ය. ආසියාතික තරගාවලියක දී කිසිදු ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක පළමු 16 දෙනා අතරට පිවිසීමට මෙතෙක් අපොහොසත්ව සිටි පරිසරයක් තුළ මුතුමාලී ප්‍රියදර්ශනී එම අවස්ථාව දිනා-ගැනීම සැබැවින්ම ප්‍රශංසනීය ය.

මුතුමාලී ප්‍රියදර්ශනී ට අමතර ව ආසියාතික තරගාවලියක පළමු 32 අත-

රට පිවිසීමට සෙනුර සිල්වා, තනුෂී රුද්‍රිගෝ සහ බිමන්දී බණ්ඩාර සුදුසුකම් ලැබූ හ. එය මෙරට මේස පන්දු ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතය සම්බන්ධයෙන් පෙර මඟ ලකුණක් ලෙස දැක්විය හැකිය. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනකු ආසියානු තරගාවලියක මෙතරම් දුරක් පැමිණි පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

එමෙන් ම, ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමුවරට ආසියානු ශූරතා කණ්ඩායම් තරගාවලියේ දොළොස් වැනි ස්ථානයට පත්වීමට මෙවර කාන්තා කණ්ඩායම සමත් වීම අගය කළ යුතු ය. එය මෙරට මේස පන්දු කණ්ඩායමක් හිමි කර ගත් ඉහළම ජයග්‍රහණයකි. බංග්ලාදේශය (03 - 00) සහ ජෝර්දානය (03 - 00) පරාජයට පත් කරමින් ක්‍රීඩිකාවන් පෙරට පැමිණි අතර ශ්‍රී ලංකා පිරිමි පිල හමුවේ වට 03 - 00 ක් ලෙස බංග්ලාදේශය පරාජයට පත්විණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 18 වෙනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය. පිරිමි කණ්ඩායමක් එවන් දුර ගමනක් පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය ය.

චමීර ගිනිගේ, සෙනුර සිල්වා, මිලින්ද ලක්ෂිත මෙන් ම ඉෂාරා මධුරංගී, බිමන්දී බණ්ඩාර, මුතුමාලී ප්‍රියදර්ශනී යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිපුණතාවය කණ්ඩායම් සටනේදී කැපී පෙනුණි. මෙහිදී නිමේෂ් රංචාගොඩ සහ ඉමන්ත උදයංජය ගෙන් ලැබුණු සහයෝගය ද අගය කළ යුතු ය.

මේ අතර වාරයේ දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ අභිනව සභාපති ධුරයට නිතරගයෙන් ම පත් වන්නට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට හැකි විය.

කටාරයේ දී පවත් වන ලද ආසියානු මේස පන්දු සම්මේලන වාර්ෂික සභා වාරයට සමගාමී ව මෙම පත් කිරීම සිදුකෙරිණි.

ඒ අනුව දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ මුල් පුටුවට පත් වුණු පළමු ශ්‍රී ලාංකිකයා බවට කනක හේරත් මහතා පත්විය

සපුමල් වීදිය බණ්ඩාර

----------------------

ශ්‍රී ලංකා කෝෆ්බෝල් යෝජනාවලට ජාත්‍යන්තරයත් හිස නමයි

ශ්‍රී ලංකාවේ වසර කීපයක සිට පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය විසින් ජාත්‍යන්තර කෝෆ් බෝල් සංගමය වෙත වාර්ෂික කෝෆ් බෝල් සම්මාන උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියට ඔවුන්ගේ ප්‍රසාදය පළ ව තිබේ. ජාත්‍යන්තර සංගමයේ විධායක කමිටුව විසින් මෙම යෝජනාවලිය සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය ඉතා ප්‍රශස්ත යෝජනාවලියක් සේ සලකා අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය විසින් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ 2019 වසරේ දී ය. ජාත්‍යන්තර කෝෆ් බෝල් ක්‍රීඩාව වඩා වේගවත්ව ප්‍රචලිත කිරීමේ අරමුණ ජය ගැනීම පෙරැදැරිව මෙම යෝජනාවලිය ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය විසින් ඉදිරිපත් කර තිබිණි.

'අපි යවපු යෝජනාවලට ජාත්‍යන්තර සම්මේලනයේ නිලධාරීන් ගොඩාක් සතුටු වුණා. ඒ නිසා ඔවුන් අපි කරපු ඉල්ලීම් බොහොමයක් පිළිගත්තා. මෙම සිදුවීම අපට සංගමයක් වශයෙන් වඩා වැදගත්. මොකද ජාත්‍යන්තරයේ පිහිටා ඇති අපේ මව් සංගමය ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය සම්බන්ධයෙන් දරන සුබවාදී මතය තමයි මෙමඟින් හෙළිදරව් වන්නේ. අනික් කාර-

ණය අපි කෝෆ් බෝල් ක්‍රීඩාව තුළ ඉතා සාර්ථක පරිපාලනයක නිරත වන බවත් මෙම සිදුවීමෙන් ඔප්පු වෙනවා.' යැයි ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමයේ ලේකම් පුෂ්පකුමාර මදුරප්පෙරුම මහතා පැවසී ය.

ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර කෝෆ්බෝල් සම්මාන උළෙල සඳහා සලකා බැලෙනුයේ ජාත්‍යන්තර කෝෆ් බෝල් සම්මේලනයේ ලියාපදිංචි කෝෆ් බෝල් සංගම් පමණි. එම සම්මාන ප්‍රදානය සෑම මහ සභා රැස්වීමක දී සිදු කිරීමට යෝජනා කර ඇති අතර, ඒ සඳහා සලකා බැලෙනුයේ සෑම මහ සභා රැස්වීම් දෙකක් අතර කාල වකවානුවය.

මෙම සම්මාන උළෙලේ උපමාන සම්බන්ධයෙන් තීරණය කිරීමට හැකියාව ජාත්‍යන්තර කෝෆ් බෝල් සම්මේලනයේ ඕනෑ ම සාමාජිකයකු සතු විය හැකි බව ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය යෝජනා කර තිබිණි.

ඒ අනුව සම්මාන ලබා දීම අදියර කීපයක් යටතේ සිදු කළ හැකි බව ද දක්වමින් ශ්‍රී ලංකාව කළ යෝජනාවට ජාත්‍යන්තර සම්මේලනය එකඟත්වය පළ කර ඇත.

ඒ අනුව හොඳ ම බිම් මට්ටමේ සංවර්ධනයක් පෙන්වන සංගමය, විශිෂ්ටත ම ආකාරයට කෝෆ් බෝල් ක්‍රීඩාව පවත්වාගෙන යන සංගමය, හොඳම පරිපාලනය, හොඳම තරගාවලි සංවිධානය, විශිෂ්ටතම නව්‍යකරණය යන අදියර යටතේ එම සම්මාන උළෙල පැවැත්වේ.

 

Comments